ආසියානු ක්‍රීඩා උලෙළ මෙදා පාරත් හිස් අතින් | සිළුමිණ

ආසියානු ක්‍රීඩා උලෙළ මෙදා පාරත් හිස් අතින්

දශක හතක ඉතිහාසයකට උරුමකම් කියන ආසියානු ක්‍රීඩා උලෙළේ දී සිවුවැනි වරටත් හිස් අතින් ගෙදර පැමිණීමට මෙවර ද අපට සිදුවිය. මීට පෙර 1982 සහ 1986 මේ ඉරණමට ගොදුරු වීමට ශ්‍රී ලංකාවට සිදුවූ අතර, ඉන්පසු 2010 දී සහ මෙවර ද එකී ඉරණම වෙනස් නොවීය.

කිසිම ක්‍රීඩාවක ජාත්‍යන්තර ජයග්‍රහණයක් කෙටි මං හරහා වැටී ඇතැයි සිතීම මුළාවකි. විචාරයට පෙර හැදෑරීමේ වැදගත්කම ජාත්‍යන්තරය පවා පිළිගත් මුඛ්‍ය සාධකයක් වන විට එය අමතක කර හෝ නොසලකා කටයුතු කිරීමෙන් ප්‍රදර්ශනය වන්නේ හිස්කම පමණි.

ඉන්දුනීසියාවේ පැවැති 18 වැනි ආසියානු ක්‍රීඩා උ‍ලෙළට ඉතිහාසයේ වැඩිම පිරිස මෙවර එක්වූ අතර ක්‍රීඩක ක්‍රීඩිකාවන්, නිලධාරින් පුහුණුකරුවන් සහ සෙසු ආවතේවකරුවන් ද එක් වූ කළ එම පිරිස 275 දෙනකු ඉක්මවා යෑමකි. ක්‍රීඩා අමාත්‍යංශය මිලියන 25ක් ඒ සඳහා යට කර ඇති අතර ඔලිම්පික් කමිටුව යෙදූ මුදල පිළිබඳ සද්දයක් නැත. කෙසේ වෙතත් එකී මුදල ද මිලියන 25කට වැඩි මිසක් අඩු නැත. ඒ අනුව මිලියන 50කට අධික මුදලක් විය පැහැදම් කළ ද, ලෝකඩ පදක්කමක්වත් දිනා ගැනීමට නොහැකි විය.

ශ්‍රී ලංකාව ද ඇතුළු මෙවර ආසියානු ක්‍රීඩා උලළේ දී කිසිදු පදක්කමක් ජයග්‍රහණය නොකළ රටවල් 9 කි. එම රටවල් 9 අතරින් ද වැඩිම ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංඛ්‍යාවක් ආසියානු ක්‍රීඩා උ‍ලෙළට ඉදිරිපත් කළ රට වූයේ ද ශ්‍රී ලංකාවයි.

ශ්‍රී ලංකාව දහ අටවැනි ආසියානු ක්‍රීඩා උලෙළට පෙර ගිය වසරේ මලල ක්‍රීඩා ලෝක ශූරතාවලියට සහ ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියට එක් විය.

ලන්ඩනයේ පැවැති දහසයවැනි ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේදී විදේශ රටවල සිට ශ්‍රී ලංකාව නියෝජනය කළ මැරතන්, ක්‍රීඩක ක්‍රීඩිකා දෙපළට තරගයක් අහවර කරගැනීමට තරම්වත් ශක්තියක් නැත. මේ අතර ඇසෙන්නේ පරණ කුණුකන්දල් පමණි. ඒවා සියල්ලක්ම අවසන් වන්නේ විකට සිදුවීම්වලින්ය.

දහසය වැනි ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය වුවද, බෝල්ට්ගේ අවසන් තරග දෙක හැර අපට අප ගැනවත් වගේ වගක්වත් නැත. 1948 - 2000 ඔලිම්පික් මෙන්ම 1997 - 2007 මලල ක්‍රීඩා ලෝක ශූරතාවලි හැර ඉතිරි සියල්ල හුදෙක් විනෝද චාරිකාවලට පමණක් සීමා වූ බව සැබෑය.

“ජාත්‍යන්තර තරග වරම් දිනා ගන්නත් (ඔලිම්පික්, ලෝක ශූරතාවලි) ලොකු කැප කිරීමක් කරන්න ඕනෑ. හැබැයි අපේ අය එසේම කරන පාටක් පේන්නවත් නෑ. අපි ඉස්සෙල්ලා දකුණු ආසියාව ජය ගන්න බලන්න ඕනෑ. ඒක නැතුව එතැනින් එහාට කිසිම දෙයක් ගැන හිතලවත් වැඩක් නෑ“

ඒ මීට වසර පහකට පෙර හිටපු ඔලිම්පික් කමිටු සභාපති හේමසිරි ප්‍රනාන්දු කළ ප්‍රකාශයකි. ලාංකේය ක්‍රීඩාවේ සිදුවන සිදුවීම් දෙස විමසිලිමත් වන විට තව වසර 25කටත් මේ ප්‍රකාශය වලංගු වන බව නම් සහතිකය.

වරුණ ලක්ෂාන්ට මලල ක්‍රීඩා ලෝක ශූරතාවලිය හිමි වන්නේ එක් රටකින් ක්‍රීඩකයන් තිදෙනකු පමණක් එක් වන නීතිය යටතේය. ජර්මනියෙන් මේ තරගාවලියට ක්‍රීඩකයන් පස් දෙනකු සුදුසුකම් ලබන්නේ එකී රටවල දක්ෂයන් බහුල බැවිනි. නිමාලි ලියනආරච්චි මීටර් 800 විනාඩි 01:08.45 කින් මූලික වටයේ දෙවැනි තරගය නිම කරන අතර සමස්ත පෙළ ගැස්ම අනුව ඇයට හිමි වන්නේ 45 දෙනකු අතරින් 43 වැනි තැනය. නිමාලිගේ හොඳම කාලය විනාඩි 01:02.58 කි. නිමාලි ඔලිම්පික් ක්‍රීඩාංගණයේදී පවා සිය හොඳම කාලයටත් ළඟාවීමට නොහැකි වීම කියාපාන ගැටලුව කුමක්ද යන්න බලධාරින් විමසිලිමත් විය යුතුය.

1997 ග්‍රීසියේ ඇතැන්ස්හිදී සුසන්තිකා මීටර් 200 ඉසව්ව, තත්පර 22.39 කට රිදී සහ 2007 දී ජපානයේ ඔසාකාහිදී මීටර් 200 ඉසව්ව තත්ප 22.63 කට ලෝකඩ පදක්කම් දෙක දිනා නොගන්නට මලල ක්‍රීඩා ලෝක ශූරතාවලියේද ශ්‍රී ලංකාව පදක්කමක් අහිමි රටවල් අතර එක් වනු ඇත.

පසුගිය වසරේ ඉන්දියාවේ ඔඩිෂාහි පැවැති ආසියානු ශුරතා මලල ක්‍රීඩා තරගාවලියේ ශ්‍රී ලංකාව රන් පදක්කමක් හා රිදී පදක්කම් හතරක් දිනා ගනිමින් එවර තරගාවලියේ නව වැනි ස්ථානයට පත්වන විට, සත්කාරක ඉන්දියාව, රන් පදක්කම් 12 ක් දිනා ගනිමින් මෙකී තරග ඉතිහාසයේ පළමුවරට ප්‍රථම ස්ථානය දිනා ගැනීමට සමත් විය. මේ තරගාවලියට රටවල් 45 ක් එක්වූ අතර රටවල් 23 ක් කුමන හෝ පදක්කමක් දිනා ගැනීමට සමත් විය. මෙකී තරග ඉතිහාසයේ වැඩිම රන් පදක්කම් ප්‍රමාණයක් දිනා ගෙන සිටින චීනය එවර රන් පදක්කම් අටක් පමණක් දිනා ගෙන දෙවැනි ස්ථානයට පත්වන විට මෙකී තරගාවලිය පිළිබඳ ඔවුන්ගේ ආකල්පය හා ඉදිරි දැක්ම ගැන අදහසක් ලබා ගත හැකිය.

ලාංකේය මලල ක්‍රීඩාව මෙකී තරගාවලියේදී අත්පත් කරගත් ජයග්‍රහණය පිළිබඳ කප්පරක් කයිවාරු ඇදබානවාද? නැත්නම් අඩුපාඩු සකසා ගෙන හෙට දවස සැලසුම් කරනවාද යන්න සිහිබුද්ධියෙන් කල්පනා කිරීමට මෙකී තරගාවලිය උපයෝගි කරගන්නවාද? නැද්ද? යන්න තීරණය නොකිරීම එදා වැරදුණු තැනය.

2015 දී මෙකී තරගාවලියේ මීටර් 800 කාන්තා ඉසව්ව විනාඩි 2:03.94 කින් නිම කරමින් ලෝකඩ පදක්කම දිනා ගන්නා නිමාලි ලියනආරච්චි එකී පදක්කම මෙවර රන් පදක්කමක් බවට පෙරළා ගන්නේ විනාඩි 02:05.23 කින් තරගය නිම කරමින්ය. මේ පදක්කම පසුපස තව රිදී පදක්කම් හතරක් ශ්‍රී ලංකාවට හිමි වන්නේ රුමේෂිකා කුමාරි රත්නායක මීටර් 200 තත්. 23.43 කට ගයන්තිකා අබේරත්න මීටර් 800 විනාඩි 02:05.37 කට, මීටර් 400 x 4 පිරිමි සහාය විනාඩි 03.04.80 කට සහ නදීෂා දිල්හානි ලේකම්ගේ මීටර් 58.1 ක දුරකින් පතිත කරන හෙල්ලයටය.

යොහාන් බ්ලේක් පවා පරාජය කළ වීරයා බවට මෙරට මාධ්‍ය ඔසවා තැබූ හිමාෂ ඒෂාන් මීටර් 100 ඉසව්වේ අවසන් තරගයකටත් සුදුසුකම් නොලැබූ අතර, අවසන් පූර්ව තරගයේදී 11 වැනියා ලෙස සටහන් කළ කාලය තත්පර 10.53 කි. ඊට වඩා අඩු අවධානයක් යොමු වූ විනෝද් සුරංජය මීටර් 100 අවසන් පූර්ව තරගයේ නවවැනියා ලෙස සටහන් කළ කාලය තත්. 10.44 කි.

ශ්‍රී ලංකාව දිනා ගත් රන් පදක්කම ඇතුළු සෙසු පදක්කම් හතර ද රිදියෙන් නොව, ලෝකඩින් ආලෝකවත් වුවද, එය අගය කළ යුතුය. රන් පදක්කම ආරක්ෂා කර ගැනීමට, රිදී පදක්කම් රන් පදක්කම් කර ගැනීමට, ගිලිහිණු ලෝකඩ පදක්කම ලෝකඩ පදක්කම් කර ගැනීමේ අභියෝග ලේසි පහසු නොවේ. 2009 මංජුල කුමාර උස පැනීමේ ඉසව්වෙන් රන් පදක්කම දිනා ගත්තාට පසු නිමාලි ලියනආරච්චි රන් පදක්කමක් දිනා ගන්නා තෙක්ම ලාංකේය ක්‍රීඩා බලධාරින් නිලධාරින් කළේ කුමක්ද යන්න දැන්වත් සිහිබුද්ධියෙන් විමසා බැලිය යුතුය.

2009 දී මංජුලගේ රන් පදක්කමකින් 10 වැනියා වන විට ඉන්දියාව ද එක රන් පදක්කමක් දිනා ගෙන එකී පදක්කම් සටහනේ හත්වැනි ස්ථානය හිමිකර ගනියි. අප එතැන් පටන් අඳුරේ අතපතගාද්දී, 2011 රන් පදක්කමක්, 2013 රන් පදක්කම් දෙකක්, 2015 දී රන් පදක්කම් හතරක් දිනා ගෙන පදක්කම් සටහනේ පිළිවෙළින් 7 - 6 සහ 3 වැනියා වූ ඉන්දියාව 2017 දී පදක්කම් සටහනේ ප්‍රථම ස්ථානය හිමිකර ගන්නා විට, 2009 දී දහවැනි ස්ථානය හිමිවූ අප 2017 දී නවවැනි ස්ථානය හිමි කරගෙන තිබේ.

මෙකී පදක්කම් සටහන දෙසම ආපසු හැරී බැලීමේ දී 1995 සහ 98 දී ඉන්දියාව රන් පදක්කම බැගින් දිනා ගනිද්දී ශ්‍රී ලංකාව රන් පදක්කම් දෙක බැගින් දිනා ගෙන තිබේ. 2002 දී ඉන්දියාව රන් පදක්කමක් දිනා ගන්නා විට ශ්‍රී ලංකාවට රන් පදක්කම් තුනකි. 2003 දී ඉන්දියාවට එකද රන් පදක්කමක් හෝ දිනා ගන්නට නොහැකි වන විටත් ශ්‍රී ලංකාව රන් පදක්කමක් දිනා ගෙන තිබේ. එතැන් පටන් 2017 දක්වා ඉන්දියාවේ නැඟීම සහ අපේ බැසීම තේරුම් ගැනීමට වෙහෙසවිය යුතු නොවේ.

එස්. බී. දිසානායක - සුනිල් ගුණවර්ධන යුගයෙන් පසු අපේ රටේ ක්‍රීඩාව ජරාජීර්ණ තත්ත්වයට පත්වූයේ මෙයට අත ගැසූ නිකමුන් මෙය තනිකරම බඩගෝස්තරවාදයක් කරගත් බැවිනි. 2000 න් පසු සියල්ල කණපිට පෙරළමින් සිදු වූයේ ක්‍රීඩාව ජීවත් කරවන්නන් අකාමකා දමමින් ක්‍රීඩාවෙන් ජීවත්වෙන පරපෝෂිතයන් කොටසක් බිහිවීමය. මේ ආකල්ප සියල්ලටම නැවතීමේ තිත තැබිය යුතුය. අපේ රටේ සමස්ත ක්‍රීඩාව ම ජාත්‍යන්තරය දක්වා වර්ධනය කරගත යුතුය. මේ සඳහා මුලින් ම රජයක් තීන්දු තීරණ කළ යුත්තේ රටක පැවැත්මට නිරෝගි ජන කොටසක් ඇවැසි යැයිද, එහිදී අනිවාර්යෙන්ම රජයක් ක්‍රීඩාව සඳහා වැඩි බරක් තැබිය යුතුය. වැඩි කැපකිරීමක් කළ යුතුය. එහි ප්‍රතිඵලය රටක ක්‍රීඩාව ජාත්‍යන්තරකරණය වීමය.

මෙවර ආසියානු ක්‍රීඩා උ‍ලෙළට ශ්‍රී ලංකාවෙන් සහභාගි වූ කණ්ඩායමේ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 173 ක් සිටියහ. ඊට වඩා අඩු පිරිසක් සහභාගි වූ රටවල් ගණන 25 කි. මින් රටවල් 16 ක්ම කුමන පදක්කමක් හෝ හිමි කරගැනීම විශේෂත්වයකි.

අදහස්