රෝහින්ග්‍යා අර්බු­දය සහ වර්ග­වාදී රැල්ලට යන අවුන්ග් සාන් සූ කී | සිළුමිණ

රෝහින්ග්‍යා අර්බු­දය සහ වර්ග­වාදී රැල්ලට යන අවුන්ග් සාන් සූ කී

පසු­ගිය අගෝස්තු 27 වනදා එක්සත් ජාතීන් ගේ සංවි­ධා­නයේ විශේ­ෂඥ කමි­ටු­වක් විසින් එළි දක්වන ලද වාර්තා­ව­කින් චෝදනා කර සිටියේ මිය­න්මාර් හමු­දාව එරට රෝහින්ග්‍යා මුස්ලිම් ජන­තාව ඉලක්ක කර­ගත් ජන සංහා­ර­යට සහ රෝහින්ග්‍යා කාන්තා­වන් සමූහ දූෂ­ණ­යට ලක් කිරීම පිළි­බඳ ව වග­කිව යුතු බව ය. එම චෝදනා සම්බ­න්ධව එරට හමුදා නාය­ක­ත්වය අධි­ක­ර­ණ­යක් හමු­වට පැමි­ණ­විය යුතු බවත් එ් වාර්තාව නිර්දේශ කළේ ය.

මේ නිර්දේ­ශ­යන් කරා එක්සත් ජාතීන් එළ­ඹීම බලා­පො­රොත්තු විය යුතු තත්ත්ව­යක් විය. ඊට හේතුව නම් වසර කිහි­ප­යක් තිස්සේම මිය­න්මාර් රජ­යට එරෙ­හිව ජන සංහා­රය පිළි­බඳ චෝදනා එල්ල වෙමින් පැව­තීම ය. එහෙත් එ් නිර්දේ­ශ­යන් හි බර­ප­ත­ළකම හේතු­වෙන් මිය­න්මාර රජය ද දැඩි පීඩ­න­ය­කට හසු වූයේ ය.

ෆේස්බුක් තහ­නම

මේ තත්ත්වය තවත් දරුණු අතට හර­ව­මින් ඉන් පැය කිහි­ප­ය­කට පසුව යටකී වාර්තාව මඟින් නම් කරන ලද්දාවූ මිය­න්මාර හමු­දා­ප­ති­ව­රයා ඇතුළු හමුදා ප්‍රධා­නීන් කිහිප දෙන­කුගේ ද හමු­දාව විසින් පව­ත්වා­ගන යනු ලබන මාධ්‍ය ආය­ත­න­යක ද ෆේස්බුක් පිටු අත්හි­ටු­වී­මට එම ආය­ත­නය පිය­වර ගත්තේ ය.

මේ පිය­ව­රට ප්‍රධා­නම හේතුව වූයේ අදාළ වාර්තාව මඟින් ෆේස්බුක් මාධ්‍ය ජාල­යට ද චෝදනා එල්ල වීම යග එම වාර්තාව සඳ­හන් කළේ ෆේස්බුක් සමාජ ජාලය වෛරී සහ­ගත තොර­තුරු බෙදා හැරී­මට මිය­න්මා­ර­යෙහි ඉතා පහ­සු­වෙන් යොදා ගන්නා ලද බව යි. පසු­ගිය මාස ගණ­නා­වක් තුළ විවි­ධා­කාර චෝදනා හේතු­වෙන් ෆේස්බුක් ආය­ත­නය ද විශ්ව­ස­නී­ය­ත්වය පිළි­බඳ අර්බු­ද­යක පැටලී සිටින අව­ස්ථා­වක මෙවන් චෝද­නා­වක් එල්ල වීම එ් ආය­ත­න­යට ගැට­ලු­කාරී තත්ත්ව­යක් ඇති කළේ ය. නමුත් ෆේස්බුක් ආය­ත­නය වෛරී ප්‍රකාශ පාල­නය පිළි­බඳ වේග­යෙන් කට­යුතු කරන බව පෙන්නුම් කිරී­මට, කී ෆේස්බුක් පිටු අත්හිට­ව­න්නට ඇතැයි සිතිය හැකිය.

මීට මාස කිහි­ප­ය­කට පෙර මහ­නු­වර ප්‍රදේ­ශයේ විශාල නොස­න්සු­න්තා­වක් හට­ගත් අව­ස්ථාවේ රජය, සමාජ මාධ්‍ය තාව­කා­ලි­කව තහ­නම් කළේ ය. රජය සඳ­හන් කළේ එ් මාධ්‍යය භාවිත කර­මින් විවිධ ප්‍රචාර කිරීම සහ සංවි­ධා­නය වීම් ඒ අනුව වැළැ­ක්විය හැකි හෙයින්, එ් තහ­නම උණු­සුම් තත්ත්වය පාල­න­යට උප­කාර වූ බව ය.

අවා­ස­නා­ව­කට මෙන් මිය­න්මා­රයේ තත්ත්වය වෙනස් ය. මෙහිදී සමාජ මාධ්‍ය ඔස්සේ වෛරී ප්‍රකා­ශ­යන් නිකුත් කර­න්නන්ට රජ­යෙහි වක්‍ර අනු­ග්‍ර­හය ලැබෙන බවට චෝදනා එල්ල වේ.

විප­ර්යා­ස­යට පත් සූකී

කෙසේ නමුත් මේ තත්ත්වය හමුවේ වැඩි ම වෙන­ස­කට පත්ව සිටින්නේ කලක් මිය­න්මා­රයේ විපක්ෂ නායි­කාව වූ අවුන්ග් සාන් සූකී ය. මිය­න්මා­රයේ හමුදා පාල­නය පැවති සම­යෙහි සූ කී ප්‍රජා­ත­න්ත්‍ර­වාදී නායි­කා­වක බවට නමක් දිනා ගත්තාය. ඇය මිය­න්මාර විප­ක්ෂයේ පොදු නියෝ­ජි­ත­ව­රිය බවට පත් වූවා ය. එහෙ­යින්ම නොබෙල් සාම ත්‍යාගය ආදී විවිධ සම්මාන ද ඇය කරා ගලා ආවේ ය.

කෙසේ නමුත් සැබැ­වින්ම ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය පිහි­ටුවා බල­යට පත් වූ පසු ඇයත් අනෙ­කුත් බල­ලෝභී දේශ­පා­ල­ක­ය­නුත් අතර කිසිදු වෙන­සක් නොමැති බව පසක් වෙමින් පවතී. රෝහින්ග්‍යා අර්බු­දය ඊට කදිම උදා­හ­ර­ණ­යකි. සිය හමු­දාව සිදු කරන විවිධ අප­රා­ධ­යන් නැවැ­ත්වීම සඳහා ඇය කිසිදු උත්සා­හ­යක් නොග­නියි. ඇය බොහෝ අව­ස්ථා­වන් හි මේ ප්‍රශ්නය පිළි­බ­ඳව නිහ­ඬ­තාව රැකීම හෝ හමු­දාව පක්ෂය ගැනීම සිදු කරයි.

මෙයට හොඳම උදා­හ­ර­ණය නම් අගෝස්තු 27 වනදා නිකුත් වූ එක්සත් ජාතීන්ගේ වාර්තාව පිළි­බඳ ව ඇයගේ නිහ­ඬ­තා­වයි. අගෝස්තු 28 වනදා ඇය යැන් ගොන් සර­ස­වියේ උත්ස­ව­යක් ඇම­තී­මට නිය­මිත වූ අතර ලොවම බලා සිටියේ රොහින්‍යා අර්බු­දය සහ එක්සත් ජාතීන් ගේ වාර්තාව පිළි­බඳ ඇය ප්‍රකාශ කරන්නේ කුමක්ද යන්න යි. සූ කී ඒ පිළි­බඳ වද­න­කුදු නොපැ­ව­සූවා ය.

අවුන් ග් සාන් සූ කී ගෙන ඇති ස්ථාව­රය තුන්වන ලෝකයේ දේශ­පා­ල­න­යෙහි ඛේද­වා­ච­කය පෙන්නුම් කරයි. මේ රට­වල් බොහො­ම­යක ජාති­වාදී, ආග­ම්වාදී, වර්ග­වාදී අද­හස් පතු­ර­ව­මින් බොහෝ දේශ­පා­ල­කයෝ සිය ඡන්ද පද­නම ගොඩ නඟා ගනිති. එ් තත්ත්ව­යට පිටින් ගමන් කර­න්නන් අතර ජන­තාව අතර අති බහු­ත­ර­ය­කගේ පිළි­ගැ­නීම දිනා ගැනීම පහසු නැත.

මිය­න්මා­රය ද හමුදා පාල­නය යටතේ ප්‍රජා­ත­න්ත්‍ර­වාදී ප්‍රවා­හය කරා එළ­ඹීම ඇර­ඹුණේ 2011 දී පමණ සිට ය. පිය­ව­රෙන් පිය­වර ප්‍රති­සං­ස්ක­රණ ක්‍රියා­ත්මක වූ අතර එහි එක් අංග­යක් වූයේ දශක ගණන් රජ­යට එරෙ­හිව කැරලි ගස­මින් සිටි සුළු ජාතික කණ්ඩා­යම් සමඟ සාකච්ඡා ඇර­ඹීම ය. නමුත් මේ අතර බුරුම ජාතික බහු­ත­රය අතර ආග­ම්වාදී, ජාති­වාදී අද­හස් පැති­ර­වීම සඳහා බෞද්ධ කණ්ඩා­යම් සම­හ­රක් කට­යුතු කළෝ ය.

මිය­න්මාර ප්‍රති­චා­රය

සිය විශාල ජන පද­නම තිබි­යදී සූ කී අදට ද මේ අන්ත­වා­ද­යට එරෙ­හිව සටන් නොක­රයි. ඒ වෙනු­වට ඇය කරන්නේ ද බෞද්ධ, බුරුම ජන­තා­වගේ ඡන්දය ආරක්ෂා කර­ගැ­නීමේ බංකො­ලොත් දේශ­පා­ලන උත්සා­හ­යකි. මෙසේ වක්‍රා­කා­ර­යෙන් වර්ග­වා­දය සහ ආග­ම්වා­දය සිය දේශ­පා­ල­නය වෙනු­වෙන් යොදා ගන්නා සූ කී ගේ නොබෙල් සාම ත්‍යාගය ඇගෙන් ආපසු ගැනීම සිදු කළ යුතු ය. මක් නිසාද යත් සිය ජන­තාව වඩා යහ­පත් යුග­යක් කරා ගෙන යෑමට තමන්ට ඇති අව­ස්ථාව පැහැර හරි­මින් ඇය ද සාමාන්‍ය වර්ග­වාදී දේශ­පා­ල­න­යක යෙදෙන බැවිනි.

මිය­න්මාර රජය දින දෙකක් ගිය තැන යට කී එක්සත් ජාතීන්ගේ වාර්තා­වට ප්‍රති­චාර දුන්නේ ය. ඒ එරට මාධ්‍ය ආය­ත­න­යක් සමඟ රජයේ ප්‍රකා­ශ­ක­යකු කළ සාක­ච්ඡා­ව­කදී ය. මිය­න්මාර් රජය කියා සිටින්නේ එ් වාර්තාව පිළි­යෙල කිරී­මේදී අදාළ කමි­ටුව මිය­න්මා­ර­යට නොපැ­මිණි බවත් එහි චෝදනා පිළි­ගත නොහැකි බවත් ය. මානව අයි­ති­වා­සි­කම් සුරැ­කීම කෙරේ මිය­න්මා­රය විශාල අව­ධා­න­යක් යොමු කරන බව ද ඔහු කියා සිටියේ ය.

මිය­න්මාර් රජය පුන පුනා ප්‍රකාශ කරන්නේ තමන් සිවිල් වැසි­යන්ට පහර නොදෙන අතර මුස්ලිම් කැර­ලි­ක­රු­වන් හා යුද වැදීම පම­ණක් සිදු කරන බව යග

රජය ප්‍රකාශ කරන කරු­ණු­වල යම් සත්‍ය­තා­ව­යක් තිබේ. රෝහින්ග්‍යා ප්‍රශ්නයේ අග මුල සොයා ගිය­හොත් සියලු පක්ෂ­වල වැරදි ඇති බවක් පෙනී යනු ඇත. මීට පෙර කාල­යන්හි ද මේ ප්‍රදේ­ශයේ කැරලි මෙන්ම රාජ්‍ය මර්දනය ද සිදු වී තිබේ. නමුත් වර්ත­මා­නයේ මේ ප්‍රදේ­ශ­යන් හි කැරලි කණ්ඩා­යම් වර්ධ­නය වී ඇත්තේ රජයේ මර්ෙද­න­යට පිළි­තු­රක් ලෙස බව පිළි­ගත යුත්තකි. රෝහින්ග්‍යා ජන­තාව වෙන ම සංස්කෘ­ති­ය­කින් යුතු ජන­තා­වකි. නමුත් මිය­න්මා­රය ප්‍රකාශ කරන්නේ ඔවුන් බංග්ලා­දේ­ශ­යෙන් පැමිණි අන­ව­සර සංක්‍ර­ම­ණි­ක­යන් බව ය. 2014 ජන සංග­ණ­න­යට පවා ඔවුන් ඇතු­ළත් කෙරුණේ නැත. එමෙන්ම මිය­න්මාර හමුදා රොහින්‍යා සිවිල් වැසි­යන්ට සංවි­ධා­නා­ත්ම­කව පහර දෙන බවට බොහෝ සාක්ෂි ලැබෙ­මින් පවතී.

කවුද හරි?

රෝහින්ග්‍යා ප්‍රශ්න­යෙහි අග මුල සොයා ගොස් හරි වැරැද්ද කවු­රුන් අත වේද යන්න සොයා බැලීම වැද­ගත් විය හැකිය. නමුත් වසර ගණ­න­කට පෙර කව­රකු හෝ කළ වැරදි හේතු­වෙන් අද ජීවත් වන අහිං­ස­ක­යන් ඝාත­නය කිරීම කුමන පද­න­ම­කින් හෝ සාධා­ර­ණී­ක­ර­නය කළ නොහැ­කිය.

එමෙන්ම හමු­දාව විසින් මේ සිදු කරන ක්‍රියා­කා­ර­කම් රෝහින්ග්‍යා මුස්ලිම් ජන­තාව අතර අන්ත­වා­දය මැඩී­මට නොව එය වැපි­රී­මට හේතු වී තිබේ. රොහින්‍යා ජන­තාව අතර අන්ත­වාදී අද­හස් එත­රම් රෝප­ණය වූ බවක් නොපෙනේ. ඔවු­නගේ ඇඳුම් පැලඳුම්ල ඇව­තුම් පැව­තුම් ආදිය නිරී­ක්ෂ­ණය කර­න්න­කුට ඒ බව අමු­තු­වෙන් කිව යුතු නොවේ. නමුත් මර්දනය හමුවේ මධ්‍යස්ථ මත­ධා­රීන් යට­පත් වී අන්ත­වා­දීන් ඉස්මතු වීම සිදු වෙමින් පවතී.

සාමා­ජි­ක­යන් සිය­ය­ක­ටත් අඩු සංවි­ධා­න­යක් වූ සංවි­ධා­නය 1983 කළු ජූලි­යෙන් පසු සීඝ්‍ර­යෙන් ප්‍රසා­ර­ණය වූ අයුරු අපි දැක ඇත්තෙ­මු. රෝහින්ග්‍යා ජන­තාව අතර ද එම තත්ත්වය සිදු වීමේ අව­දා­න­මක් ඇතග

යම් හෙය­කින් එසේ අන්ත­වා­දය පැතිර ගිය­හොත් එවිට රෝහින්ග්‍යාජන­තා­වට පහර දීමට මිය­න්මාර් හමු­දා­වන්ට තවත් නිද­හ­සට කරු­ණක් ලැබෙනු ඇත. මිය­න්මා­රයේ වර්ග­වාදී දේශ­පා­ල­ක­යන්ට ද අව­ශ්‍යව ඇත්තේ එය බවට සැක­යක් නිතැ­තින් ම උපදී.

 

අදහස්