HOLLY WOOD | Page 2 | සිළුමිණ

HOLLY WOOD

පැරිස්ගෙන් මැකෝලිට සුබ පැතුම්

පැරිස් ජැක්සන් පසුගියදා ප්‍රවීණ හොලිවුඩ් නළුවෙකුට සුබ උපන් දිනයක් ප්‍රාර්ථනා කළේ දැඩි සෙනෙහසකින් යුතුවයි. මේ ජනප්‍රිය රංගන ශිල්පියා තමයි, මැකෝලි කල්කින්. ඔහුගේ 38 වැනි උපන් දිනය දා තමයි පැරිස් තමන්ගේ ඉන්ස්ටග්‍රෑම් පිට‍ුවෙන් උණුසුම් සුබ පැතුම් පිරිනැමුවේ. පැරිස්, මේ සුබ පැතුමත් සමඟම තමන් සහ මැකෝලි එකට පෙනී සිටින ඡායාරූප ඇල්බමයක් ද එකතු කළා.

“මැක්, ඔයාට සුබ උපන් දිනයක්. මම ඔයාට ගොඩක් ආදරෙයි. ඔයා මගේ ජීවිතයට ගොඩක්ම සමීපයි‍.” පැරිස් එලෙස ද සටහන් කර තිබුණා. මේ වැකිය අවසානයේ සිය පියා (ගායක මයිකල් ජැක්සන්) ‘බ්ලැක් ඕ වයිට්’ ගීතමය වීඩියෝ වෙහි පෙනී සිටි දර්ශනයක් ද එකතු කරන්නට පැරිස් අමතක කළේ නැහැ. පැරිස්, මැකෝලිව හඳුන්වන්නේ සිනමා රංගනයට සහ ගායනයට තමන්ව හඳුන්වා දුන් කලාකරුවා හැටියටයි. මැකෝලි, පැරිස්ව හඳුනන්නේ ඇය උපන්දා සිට. තවමත් 20 වැනි වියෙහි පසුවන පැරිස්ට මැකෝලි තම දියණියකට මෙන් ආදරෙයි.

“මම පැරිස්ට ගොඩක්ම සමීපයි. දැන් මම පැරිස් ගේ ආරක්ෂාව ගැනත් හිතනවා. මම, මගේ උපන් දින කවදත් සැමරුවේ තනිවමයි. දැන් මගේ වයස 38 ක්. බලන්න මා දිහා. මම දැන් වයසයි” මැකෝලි අහිංසකව සිනාසෙමින් පැවසුවා.

 


සෙලිනා ගෝමස් තනිකඩ වෙන්නෙ නැතිලු

ජස්ටින් බීබර් ගේ හදිසි විවාහ ගිවිස ගැන්මත් සමඟම කම්පාවට පත්වුණු සෙලිනා ගෝමස් කියා සිටියේ මින් මතුවට තනිකඩව දිවිය ගෙවනවාය කියලයි. නමුත්, පසුගිය සතියේ හොලිවුඩ්පුරවරයෙන් පැවසුණේ අඳුරු මතකයෙන් සමුගෙන නැවතත් සැබෑ ආදරය සොයායන්නට මේ ජනප්‍රිය යොවුන් ගායිකාව සූදානම් බවයි.

සුපිරි ගායක ජස්ටින් බීබර් ගේ පෙම්වතිය වී සිටිය අවදියේ දී අත්විඳි අමිහිර නැවතත් විඳින්නට සෙලිනාට අවශ්‍ය නැහැ. ඇය බීබර් සමඟ විවාහ ගිවිසගත් ෂෝලි බෝල්ඩ්වින් ගැන අහිතක් හිතන්නෙත් නැහැ. දැනට 26 වැනි වියෙහි පසුවන සෙලිනා, තම අනාගතය ගැන හිතන්නට පටන් ගෙන තිබෙනවා.

“සෙලිනා මින් මතුවට බීබර් ගැන හිතමින් අනාගතය අඳුරු කරගන්න එකක් නැහැ. තමන්ගේ ගායන දිවිය ඉදිරියට ම ගෙන යන්නයි අදිටන් කරගෙන ඉන්නෙ. එහෙම ඉදිරිය බලන කොට එයාට සැබෑ ආදරවන්ත‍යකු මුණ ගැහේවි. අනාගතය සුබදායක වේවි‍. මේ තත්ත්වය එක රැයකින් ම සිදුවෙන එකක් නැහැ. කාලයක් ගතවේවි” සෙලිනාගේ අනාගත ජීවිතයේ හැඩරුව ගැන මේ අනාවැකි පළ කළේ ඇගේ සමීපතම හිතවතියක්. සෙලිනා ළඟදීම ඇගේ අලුත් ගීත ඇල්බමය නිකුත් කරන්නට යොමුවනු ඇතැයි ද පැවසෙනවා.

Comments