BOLLYWOOD | සිළුමිණ

BOLLYWOOD

රාජ්කපූර් චිත්‍රාගාරය විකුණයි

ආර්.කේ. ස්ටුඩියෝ නමින් දශක පහක් තිස්සේ බොලිවුඩ් සිනමාවට අනගි නිර්මාණ දායාද කළ රාජ් කපූර් චිත්‍රාගාරය විකුණා දැමීමට කපූර් පවුල තීරණය කර ඇතැයි පසුගිය සතියේ අහන්නට ලැබුණා. 1948 දී පිහිටුවන ලද මේ චිත්‍රාගාරයේ හිමිකරුවා වූයේ ප්‍රවීණ සිනමාකරු රාජ් කපූර්, ආර්.කේ. චිත්‍රාගාරය මුලින් ම නිෂ්පාදනය කළේ 1948 දී තිරගතවූ ‘ආග්’ චිත්‍රපටයයි.

එදා සිට 1999 දක්වා චිත්‍රපට 21ක් මේ චිත්‍රාගාරයෙන් නිෂ්පාදනය වී තිබෙනවා. ඉන්පසුව චිත්‍රපට නිෂ්පාදනය වී නැහැ. 2018 සැප්තැම්බර් 16 දා මේ චිත්‍රාගාරය තුළ රියැලිටි වැඩසටහනක් රූගත වෙමින් තිබෙද්දී එය ගින්නකට හසුවුණා.

එම ගින්නෙන් දැඩි ලෙස හානි සිදුවීමෙන් පසුවයි චිත්‍රගාරය විකුණා දමන්නට එහි වත්මන් අයිතිකරුවන් වන රන්ධීර්, රිෂි සහ රජීව් යන රාජ් කපූර්ගේ පුතුන් තිදෙනා අදහස් කළේ. චිත්‍රාගාරයේ සම අයිතිකරුවකු වන රිෂි කපූර් පැවසුවේ මේ චිත්‍රාගාරය යළි ප්‍රතිසංස්කරණය කිරීමට තමන් සහ සහෝදරයන් දෙදෙනා තුළ අදහසක් තිබූ බවයි.

‘නමුත් එහෙම මුදල් ආයෝජනය කළත් ප්‍රතිඵලයක් ලැබේවිද කියලා හිතුණා. ඒ නිසා අපි හොඳින් හිතල - මතල මේ චිත්‍රාගාරය විකුණන්න ත‍ීරණය කළා.” රිෂි කපූර් ඉන්දීය පුවත්පතකට එලෙස පැවසුවා.


අලුත්ම පෙම් යුවළ ආර්යන් - කුෂි?

බොලිවුඩ් සිනමාවට තවත් යොවුන් පරපුරක ආගමනය සිදුවෙමින් පවතින බව යළි සිහිගන්වමින් කුෂි කපූර් නම්වූ නව යෞවනියත් කල එළි බසින්නට පෙරුම් පුරනවා. මේ සුරූපිනිය තමයි, බොලිවුඩය හැඩ කළ ප්‍රවීණ නිළි ශ්‍රී දේවිගේ බාල දියණිය.

කුෂීගේ වැඩිමල්, සොයුරිය, ජාන්වි කපූර්, ඇය රඟපෑ මුල් ම චිත්‍රපටය, ‘ධාදක්’. මේ සිනමා නිර්මාණය දැන් සාර්ථකව තිරගත කෙරෙනවා. කුෂීත් මේ වනවිට ඇඟිලි ගනිමින් පසුවන්නේ බොලිවුඩ් සිනමාවට පිවිසෙන්නටයි. නැවුම් ආරංචිවල සටහන් වන්නේ සුපිරි නළු ශාරුක් ඛාන්ගේ වැඩිමල් පුතු, ආර්යන් ඛාන් සමඟ ප්‍රධාන චරිතයක් රඟන්නට කුෂී තුළ වැඩි කැමැත්තක් තිබෙන බවයි.

මේ චිත්‍රපටය ප්‍රවීණ, සම්මානිත අධ්‍යක්ෂ කරන් ජොහාර් ගේ අධ්‍යක්ෂණයෙන් ඔපවත් වන බව පැවසෙනවා. කුෂි ව සිනමා ලෝකයට එක් කරගන්නට අවසරය ඇගේ පියාණන් වන චිත්‍රපට නිෂ්පාදක බොනී කපූර් ගෙන් කරන් ජොහාර්ට ලැබී තිබෙනවා.

පසුගිය කාලයේ කුෂිට ඉන්දීය සිනමා රසික රසිකාවන්ගෙන් ධනාත්මක ප්‍රතිචාරයක් ලැබී තිබුණා. ඒ, ඇය තම සොයුරිය ජාන්වි සමඟ ප්‍රසිද්ධියේ පෙනී සිටිමින් පෙන්වූ නිරහංකාර බව නිසයි. අනෙක් අතින්, ආර්යන් ඛාන් ද ඉන්දීය යොවුන් රසික පරපුරේ ආදරය දිනාගත් යෞවනයෙකු බවට පත්වී සිටිනවා.

ශාරුක්ගේ සෙවණැල්ල හැටියටයි, බොහෝ දෙනා ආර්යන්ව හඳුන්වන්නේ බහුතර යොවුන් පිරිසක් බලා සිටින්නේ ආර්යන් බොලිවුඩ් සිනමාවට එක්වන තුරුයි. ඒ නිසා ආර්යන් සහ කුෂී රඟන කුලුඳුල් චිත්‍රපටයට උණුසුම් ප්‍රතිචාර ලැබේවි යැයි කවුරුත් විශ්වාස කරනවා.

 

 

අදහස්