සමීප රූප | Page 2 | සිළුමිණ

සමීප රූප

සාහිත්‍ය වසන්ත සමය උදා වී ද?  

අද සැප්තැම්බර් 9 ඉරිදා. ඒත් ඉන්ද්‍රචාප දුටු සමීපරූප පිළිබඳ සටහන ලියැවෙන්නෙ අඟහරුවාදා. ඒ නිසා සාහිත්‍යයේ වසන්ත සමය උදා කරමින් සැප්තැම්බර් හයවැනි බ්‍රහස්පතින්දා නිමාවුණු 2018 ගොඩගේ ජාතික සාහිත්‍ය උලෙළේ සම්මාන ලාභීන් ගේ මුහුණු සමීප රූප අතරට එකතුවන්නෙ නෑ.

2018 සාහිත්‍ය වසන්ත සමය උදාවීම ඇරැඹුණේ ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ රජත පුස්තක, පද්‍ය, කෙටිකතා හා යොවුන් සාහිත්‍ය වෙනුවෙන් සම්මාන පිරිනැමීමත් සමග. පසුගිය හයවැනිදා තමයි සාහිත්‍යයේ ක්ෂේත්‍ර රාශියකටම සම්මාන පිරිනැමුණු උළෙලක් පැවැත්වුණේ. ඒත් සාහිත්‍ය සමයේ සැබෑ වසන්ත කාලය උදාවෙන්නෙ සැප්තැම්බර් 11 වැනිදා රාජ්‍ය සාහිත්‍ය සම්මාන උලෙ‍ෙළන් බවයි ඉන්ද්‍රචාප විශ්වාස කරන්නෙ.

රාජ්‍ය නායකයාගෙ ප්‍රධානත්වයෙන්,සාහිත්‍ය ක්ෂේත්‍රයේ ඉසව් රාශියක, සිංහල, දෙමළ හා ඉංග්‍රීසි භාෂාවන්ගෙන් රචනා වූ විශිෂ්ට කෘති සියයකට ආසන්න ප්‍රමාණයකට සම්මාන පිරිනැමෙන මහා සාහිත්‍ය මංගල්‍යය පැවැත්වෙන්නෙ අනිද්දා, 11 වැනිදා. රාජ්‍ය සාහිත්‍ය උපදේශක මණ්ඩලය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව දැනටමත් සාහිත්‍ය වසන්තයට එක්වෙලා හමාරයි.

ඒ සති කීපයකට පෙර රාජ්‍ය සාහිත්‍ය උලෙළෙට සමගාමීව පැවැත්වෙන සාහිත්‍ය දේශනය පවත්වා හමාරවීමෙන්. සාහිත්‍ය වසන්ත සමයේ තවත් කඩඉම් අවස්ථාවක සම්මාන පිරිනැමීමට නියමිත ස්වර්ණ පුස්තක නවකතාවට නිර්දේශ වුණු කෘති පහ ඉන්ද්‍රචාපගෙ සමීපරූපයේ.

ඒත් සැබෑම ස්වර්ණ පුස්තකයෙ සමීපරූපය ඉන්ද්‍රචාපට තවමත් දකින්න නෑ. ස්වර්ණ පුස්තක නවකතාව සමග දවස් දහයක් පුරා පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ නිමාවත් සමග සාහිත්‍ය වසන්තයේ උත්සව ලීලා අවසන් වුණත් සාහිත්‍ය සමග මිනිස්සු හැමදාම බැඳිල ඉන්නවා. පොත්පත්වල ලියැවිලා තියෙන දෙයින් බොහෝ දෙනා ඉගෙන නොගත්තත් කියවීම අත් හරින්නෙ නෑ.

අදාළ වර්ෂයේ විශිෂ්ට සාහිත්‍ය හා ශාස්ත්‍රීය කෘති කළ ලේඛක ලේඛිකාවන්ට සම්මාන පිදීමට අමතරව, මෙරට සිංහල, දෙමළ හා ඉංග්‍රීසි සාහිත්‍ය ක්ෂේත්‍රයන්හි විශිෂ්ට කාර්ය සාධනය සඳහා ඊට වඩාත්ම සුදුසු පිරිස තෝරා ගෞරව සම්මාන පිදීම ද සාහිත්‍ය වසන්ත සමයේ ඉන්ද්‍රචාප ගේ සමීපරූපාවලියට හසුවන්නකි.

ජීවිතයේ එක්වරක් පමණක් පිරිනැමෙන සාහිත්‍ය රත්න ගෞරව සම්මානය රාජ්‍ය සාහිත්‍ය උළෙලේ දී සිංහල, දෙමළ හා ඉංග්‍රීසි සාහිත්‍ය ක්ෂේත්‍රයන්හි විශිෂ්ටයන් තිදෙනකුට පිරිනැමෙනු සමීපරූපයෙහි සටහන්ව ඇත.

එ මගම යමින් ගොඩගේ ජාතික සාහිත්‍ය උලෙළේ දී මෙවර ද දිවමන් ප්‍රණාමයෙන් පිදුම් ලැබූ ලේඛක ලේඛිකාවන් තිදෙනකුගේ සමීපරූප ඉන්ද්‍රචාප දකී. මහාචාර්ය සෝමරත්න බාලසූරිය, වෛද්‍ය ජින්නා ෂෙරිෆ්ඩීන් හා මහාචාර්ය කමනි ජයසේකර මෙවර දිවමන් ප්‍රණාමයෙන් පිදුම් ලැබූ ලේඛක ලේඛිකාවෝ වෙත්. සිංහල, දෙමළ හා ඉංග්‍රීසි සාහිත්‍ය සම්ප්‍රදාන උදෙසා පිළිවෙළින් ඔවුන් ගෞරවයට පාත්‍ර වූහ.

සක්‍රීයව නිර්මාණකරණයේ හා ශාස්ත්‍රීය පර්යේෂණයන්හි නිරත නිර්මාණකරුවන්ට සම්මාන පිරිනැමෙන අතරේම එකී ක්ෂේත්‍රයන්හි විශිෂ්ට සේවාවක් ඉටු කොට ඇති සුදුසු චරිත තෝරා ගෞරව සම්මානයෙන් පිදීම ද අගය කළ යුත්තකි.

සාහිත්‍ය වසන්තයේ මෙවැනි ක්‍රියාකාරකම් දක්නට ලැබීම සාහිත්‍යකාමී සියල්ලන්ගේම සොම්නසට හේතුවන බව ඉන්ද්‍රචාපගේ විශ්වාසයයි. සාහිත්‍ය වසන්ත සමයේ බොහෝ සමීපරූප ඉදිරි සති කිහිපයේ දී දකින්නට ලැබෙන බව ඉන්ද්‍රචාප දනී. එතෙක් සොඳුරු සාහිත්‍ය සමයක් උදා වේවායි ඉන්ද්‍රචාප ප්‍රාර්ථනා කරයි.

 

Comments