මීට පස්සෙ රඟපාන්නේ නෑ - මම ගර්කින්, තක්කාලි වවනවා | Page 2 | සිළුමිණ

මීට පස්සෙ රඟපාන්නේ නෑ - මම ගර්කින්, තක්කාලි වවනවා

මම සිනමාවට ආවේ 1997 අවුරුද්දේ අගෝස්තු මාසයේ “මොහොතින් මොහොත“ කියන චිත්‍රපටයේ පොඩි චරිතයක් රඟපාලා. ඉන්පස්සේ පොඩි චරිත හත අටක් රඟපාන කොට මේන් රෝල් හම්බවුණා. මේ ප්‍රධාන චරිත එක දිගට රඟපෑවා තිහක් විතර. ජීවන් කුමාරතුංග, රන්ජන් රාමනායක, බන්දු සමරසිංහ, ටෙනිසන් කුරේ වැනි දැවැන්තයන් හැමදෙනාම එක්ක රඟපාලා තිබෙනවා.

ජයන්ත චන්ද්‍රසිරි කියන අද්විතීය අධ්‍යක්ෂවරයා නිර්මාණය කළ “මහරජ ගැමුණු“ චිත්‍රපටයේ 'සුරනිමල' යෝධයා වෙන්නත් ලැබුණා.

ඉන්පස්සෙ මම චිත්‍රපට අධ්‍යක්ෂණයට ආවා. “ඉගිල්ලෙන්න ඇයි දඟලන්නේ“ අධ්‍යක්ෂ සහ නිෂ්පාදනය, “කුසල්“ අධ්‍යක්ෂණය, “කුණාටුවේ මාරයා“ අධ්‍යක්ෂ සහ නිෂ්පාදනය ඒත් ඒකෙ රඟපෑවේ නැහැ. දැන් මම නිෂ්පාදනය කරපු අලුත්ම චිත්‍රපටය තමයි 'ඝරසරප'. එහි රඟපෑවේ නැහැ. නිෂ්පාදනය විතරක් කළා. ඉතින් මේව කරන්න මූලිකවම මම ක්ෂේත්‍රයේ වසර ගණනාවක් පුරා ගත් අත්දැකීම් බලපෑවා. 'සුදු හංසි' කියන චිත්‍රපටයේ නිෂ්පාදකවරයා මගේ යාළුවෙක්. මම තමයි එයාට උදව් කළේ. ඉතින් ඒ ලැබිච්ච අත්දැකීම් ප්‍රඩක්ෂන් ඒකක් කරන්නෙ කොහොමද, ඔක්කොම එකතු කරගෙන නායකත්වයක් දීගෙන වැඩකරන්නෙ කොහොමද කියන දේ ඒ කාලයේ ඉඳලම නොයෙක් නොයෙක් ආකාරයෙන් ඉගෙන ගෙන තිබුණා. වසර 20ක් ඇතුළත නළුවා, අධ්‍යක්ෂවරයා වගේම නිෂ්පාදකවරයා ලෙස මේ ගමන ආවා. තවත් සිනමාවේ ඉහළට යන්න දෙයක් නැහැ. ජයන්ත අයියා එක්ක චිත්‍රපටයක් කළාට පස්සෙ තව කරන්න දෙයකුත් නැහැ වගේ.

ඝරසරප චිත්‍රපටයට ලැබෙන ප්‍රතිචාර...

ඇත්තටම මෙය කවුරුත් ආදරය කරන චිත්‍රපටයක්. හැමෝම හොඳමයි කියන්නේ. මේ ඔක්කොම දිහා බලන කොට ඒ පැත්තෙන් මම හරිම තෘප්තිමත්.

ඇයි ඔබ මෙහි චරිතයක් රඟ නොපෑවේ...

කොහොමත් මෙයින් පස්සේ අර්ජුන් කමලනාත් කියන රංගන ශිල්පියා නැහැ. මම ආයෙ රඟපාන්නේ නැහැ ජීවිතේට. සුරංග ද අල්විස් අධ්‍යක්ෂණය කළ අපේ නිෂ්පාදන කණ්ඩායම නිෂ්පාදනය කරපු කිඩ්නැප් තමයි මගේ අවසාන රංගනය. තව චිත්‍රපට 5ක් විතර එන්න තියෙනවා. ඔය ටික පෝලිමේ එද්දි තව අවුරුදු කීපයක් යයි. ඒ කියන්නේ 2020 විතර වෙනකල් මම කටවුට්වල ඉඳියි.

ඔබ චිත්‍රාගාරයක හිමිකරුවෙක්...

ඝරසරප චිත්‍රපටයේ සවුන්ඩ්ස්, කලර්ස්, එඩිටින් මේ සේරම කළේ මගේ කුල්නෙත් මීඩියා ස්ටූඩියෝ එකේ. ඔක්කොම අහන්නෙ ඉන්දියාවේද කළේ කියලා. මුම්බායිද කළේ කියලා අහනවා. සියලු දේ කළේ කඩවත මගේ ස්ටූඩියෝ ඒකේ. ඝරසරප හරහා මම ලබපු ලොකුම ජයග්‍රහණය තමයි ඒක.

විශේෂයෙන් කියන්න ඕන ලෝකයේ චිත්‍රපටත් එක්ක හැප්පෙන්න පුළුවන් මට්ටමේ ස්ටූඩියෝ එකක් හදාගත්තා අපි අපේ රටේ. මේ චිත්‍රපටය ඒෂියන් පැසිපික් (ආසියානු පැසිපික්) කියන ඕස්ට්‍රේලියාවේ පැවැත්වුණු සම්මාන උලෙළේදී චිත්‍රපට 300ක් අතරින් හොඳම චිත්‍රපට 10 අතරට තේරිලා තිබෙනවා.

අවසාන 10ට තේරෙනවා කියන්නෙ ඒකෙ කලර්ස්, එඩිටින්, සවුන්ඩ් මේ හැම දෙයක්ම ටෙක්නිකලි හරියන්න ඕන. ටෙක්නිකල් ෆෝල්ට් තියෙනවා නම් කවදාවත්ම අවසන් 10 ට තේරෙන්න බැහැ. ඒ් කියන්නෙ ඔක්කොම සියයට සියයක් හරි ගිහිල්ලනෙ. එහෙම ස්ටූඩියෝ එකක් බිහිකරගන්න ලැබීම මේ රටේ ජයග්‍රහණයක්.

මෙහි නම්බුව යන්න ඕන ඩිලාන් ගුණවර්ධනට. ඔහු තමයි මෙහි සංස්කරණ ශිල්පියා, කලර් ග්‍රේඩර්, එඩිටර්. එයාගෙ ටැලන්ට් එක දැකල තමයි මම මේ ස්ටූඩියෝව දාගන්න උදව් කළේ. අ

පි දෙන්න තමයි ඒ්ක කරගෙන යන්නේ. ජයන්ත අයියටත් ඉතාමත් නිදහසේ වැඩ කරගෙන යන්න හම්බ වුණා. එයගෙ ගෙවල් කඩවත. ස්ටූඩියෝවට පයින් එන දුර. මේ වෙනකොට ලංකාවේ ලීඩින්ම ඩිරෙක්ටර්ස්ලා කිහිප දෙනෙක්ම ඒ ගොල්ලන්ගේ ඊළඟ චිත්‍රපටවලදී අපිත් ඒක්ක වැඩකරන්න කැමැති වෙලා තිබෙනවා. ඝරසරප හි අතුරු සහ සුන්දර ප්‍රතිඵලය තමයි ස්ටූඩියෝ එක.

ඝරසරප චිත්‍රපටය නිෂ්පාදනය කිරීම පිටුපස ඇති කතාව කියමු...

ජයන්ත අයියා මගේ හිතවතා. ජයන්ත අයියයි මමයි අතර හිතවත්කමට අවස්ථාව උදා කරන්නෙ හේමන්ත රන්දුනු කියන ප්‍රවීණ මාධ්‍යවේදියා. ඒ ලින්ක් එකත් එක්ක තමයි ජයන්ත අයියා මගේ මිතුරෙක් වෙන්නෙ. මට ඔහු මුලින්ම ගුරුවරයෙක්. ඔහුගේ වර්ක්ෂොප් ගිහිල්ල ඉගෙන ගෙන “මහරජ ගැමුණු“ කරන කාලෙ ජයන්ත අයියයි මමයි අතරෙ මුලින්ම තිබ්බෙ ගුරුගෝල සම්බන්ධතාවක්. ඊට පස්සෙ ඉඳල හිටල තැන් තැන්වල ජයන්ත අයියා මට හම්බ වුණාම අපි හිතන පතන විදිහ බොහොම සමානයි. දෙන්නගෙම ලග්න මේෂ. අපි දෙන්නා සම්බන්ධ කළ හේමන්තත් මේෂ. මේ ලග්නෙ හින්දද දන්නෙ නැහැ. අපි අතරේ හරි බැඳියාවක් තිබ්බා. ඩිරෙක්ට, නළුවා කියන එකට එහා ගිය මිතුරුකමක් ගොඩ නැගුණා.

ජයන්ත අයියා මහරජ ගැමුණු කරලා අවුරුදු කිහිපයක් නිකම් හිටියා. ඒ කාලේ තමයි හේමන්ත රන්දුනු කිව්වේ “කිඩ්නැප්“ කරන කොට “කුණාටුවේ මාරයා“ කරන කොට කරමුකො මේ වගේ ටිකක් ලොකු වැඩක්. ඔළුවට දැම්මා මේක. මට එකපාරටම බය හිතුණා. ජයන්ත චන්ද්‍රසිරි වගේ කෙනෙක් එක්ක චිත්‍රපටයක් කරනවා කියන එක ලොකු වැඩක්. එයා එක්ක වැඩ කරලා තියෙන්නෙ එසේ මෙසේ නිෂ්පාදකවරු නෙමෙයි. හොයලා බලන කොට මේ වැඩේ අධික වියදමක් යන වැඩක්. ඒත් මම කල්පනා කළා මේ චැලේන්ජ් එක බාරගන්නවා. එහෙම තමයි මම මේක පටන් ගත්තේ.

මේ සඳහා මුදල් සොයාගත්තේ කොහොමද?

මේ කටයුත්ත කරන්න හිතුවට මා ළඟ මුදල් තිබුණේ නැහැ. එහෙත් එක්තරා මූල්‍ය සමාගමක් මාත් එක්ක හරිම හිතවත් මම ගිහින් ඇහුවම කිව්වා ඔයා අපිත් එක්ක ගනුදෙනු කරලා තියෙනවා. ඒ විශ්වාසෙට මුදල් දෙන්නම් කියලා. අපි සිනමා කර්මාන්තයේ කිසිම දෙයකට ලෝන් දෙන්නේ නැහැ.

එදා තමයි මම දැන ගත්තේ බැංකුවල මූල්‍ය සමාගම්වල තිබෙනවලු ‘ අධික අවදානම්‘ කියන කැටගරි එකක්. සිනමාව තියෙන්නෙ ඒකෙ උඩින්ම බව. ඒ නිසා චිත්‍රපටයකට කියලා නෙමේ පෞද්ගලිකව මට අවශ්‍යනම් ණයක් දෙන්නම් කියලා. ඔයා ඒකෙන් කරගන්න එකක් කරගන්න. අපිට චිත්‍රපටය දුවනවද නැද්ද අදාළ නැහැ ණය මුදල ගෙවන්නයි ඕන.

ඒක ඒ වෙලාවේ මට මාර ශක්තියක් වුණා. එහෙම වුණත් ඔවුන් මට වක්‍රාකාරව උදව් කළා. ඒ වැඩි රිපෝට් වලින් තොරව දවස් දෙකෙන් තුනෙන් මට ලෝන් එක දුන්නා. මොකද ඔවුන් මාව රීඩ් කරලා තිබුණා. මම කරගෙන යන වැඩ ස්ටූඩියෝවට ගත්ත ලෝන් එක, වගාවට ගත්ත ලෝන් එක වාහනවලට ගත්ත ලෝන් මේ හැම එකක්ම මම හරියට වෙලාවට ගෙවනවා. සමහර ලෝන් ගෙවලා ඉවරයි. ඉතින් මම අප්ටු ඩේට් වැඩ කරන හින්දා ඉහළම කළමනාකාරිත්වය මට මේ ණය මුදල ඉක්මනින්ම දුන්නා. ඒකට ජයන්ත චන්ද්‍රසිරි කියන නමත් බලපෑවා.

හේමන්ත එක්ක ජයන්ත අයියා හම්බවෙලා මේ ගැන මුලින්ම කතා කළ වෙලාවේ ජයන්ත අයියා මට මේ ඝරසරප කතාව කව්වා. කතාව කියන කොටම මට ඒ කතාව මැවිලා ඉවරයි. එයාගේ දේවල් එහෙම කාටවත් එකපාරටම දැනෙන්නෙ නැහැ. ඒක කාලාන්තරයක් එයාව ආශ්‍රය කිරීම වගේ දේ හන්දා තමයි මට එයාව දැනුනේ. ජයන්ත අයියා කතාව කියද්දි මම මට දැනෙන දේ කිව්වා. එහෙම තැන් තුනකදී එයා ‘‘අන්න උඹ අල්ල ගත්තා‘‘ කියලා කිව්වා.

මොකද ජයන්ත අයියාගේ ෆිල්ම් සරල නැහැ. එහෙම එකපාරටම තේරුම් ගන්න අමාරුයි. ඒවා ඔළුවෙන් බලන්න ඕන. එයාගෙ චිත්‍රපට හදවතට සහ ඔළුවට කතා කරන්නෙ. මොකද එයාගෙ කතා ආනන්දයෙන් පටන් අරන් ප්‍රඥාවෙන් ඉවරවෙන්නෙ.එහෙම අධ්‍යක්ෂවරයෙක් එයා. ඉන්න කාස්ට්එක කිව්වමත් මේක දැවැන්ත වැඩක් කියල තේරුම් ගියා. ජැක්සන්, කමල්, ශ්‍රියන්ත, සංගීතා වගේ පතාක යෝධයින්ගේ නම් ජයන්ත අයිය කියාගෙන ගියා. එතකොට පොඩි බයකුත් දැනුණා. හරි කමක් නැහැ මම මේක කොහොම හරි කරනවා. සමහර විට මම කරන ලාස්ට් ෆිල්ම් එක වෙන්නත් පුළුවන්. කවදා හරි සිනමාවට හොඳ නිර්මාණයක් වත් ඉතිරි වේවි කියලා තමයි මේ නිර්මාණයට අත ගැහුවේ.

අද ලැබෙන විචාර පැසසුම් ඔක්කොම ජයන්ත අයියට හම්බවෙන කොට ඒවා මට හම්බ නූණට හිත යට තියෙනවා මාර සන්තෝෂයක්.

ජයන්ත අයියා නිර්මාණ කරුවෙක් විදියට ටොප් ක්ලාස්. ඒත් ජයන්ත අයියා දන්නෙ නැහැ ප්‍රඩක්ෂන් පැත්ත. කෙළින්ම කිව්වා. මගේ පැත්ත මම දන්නවා ඔයාගෙ පැත්ත ඔයා බලාගන්න කියලා. ඒක මාර කම්බිනේෂන් එකක්. පබ්ලිසිටි කැම්පේන් එකේදි වුණත් පාරේ බැහැල පෝස්ටර් ගහන ඒවා හෑන්ඩ්බිල්, යකඩ කටින් කෑගහන ඒව මගේ. පත්තර ජයන්ත අයියගේ. ඇත්ත වශයෙන්ම කිව්වොත් එකම වැඩක ටීම් දෙකක්. ටීම් දෙකක් වැඩ කරන කොට එන ප්‍රශ්නත් තියෙනවා. නමුත් මම ඒ ප්‍රශ්න ගාණට බැලන්ස් කරලා සංහිඳියාවෙන් වැඩේ අවසන් කළා. මම රඟපාන්නෙ නැතුව හිටියෙ ඒකයි. මට චරිතයක් දුන්නා. මම කිව්වා බැහැ කියලා. කියන්න කනගාටුයි චිත්‍රපටයේ මුහුරත් එක පටන් ගත්ත දවසේ ඉඳලම බොහෝ දෙනෙක් ඇහුවේ ඔයාට පුළුවන්ද ඕක කරන්න කියලා. චිත්‍රපටය අවසන් වන තුරු බොහෝ දෙනෙක්ගේ ප්‍රාර්ථනාව වුණේ මග නවතීවා කියලා.

උදව් කළ අය හිටියෙම නැද්ද?

ඒකත් කියන්නම ඕන. කිහිප දෙනෙක් උදව් කළා. කවදාවත් හිතපු නැති ප්‍රවීණයෝ උදව් කළා. ඒ වගේම සංගීතාගේ, සමිතා මුදුන්කොටුවගේ ලොකු විෂ් එකක් තිබුණා. ශ්‍රියන්ත අයියා තමයි ලොකේෂන් පවා හොයලා දුන්නේ. විශේෂයෙන් ජැක්සන් අයියා උදව් කළා. ජැක්සන් අයියා මුදල් ගත්තෙත් නැහැ. එයා කිව්වා මට සල්ලි එපා මේක මම ජයන්තට දෙන තෑග්ගක් කියලා. එයා මේකෙ ප්‍රධාන චරිතෙ. එයාගේ ගාණ කියන්නෙ එසේ මෙසේ ගාණක් නෙමේ. ඒ වගේම ඒක දිය යුතු ගාණක්. නමුත් එයා සත පහක් වත් ගත්තෙ නැහැ. ඒ වගේ නොහිතපු උදව් තිබුණා. ඒවා මම බොහොම ගෞරවයෙන් මතක් කරන්න ඕන. තවත් අය කිව්වා සමහර ප්‍රවීණයින්ගේ නම් කියලා එයාලා එක්ක වැඩ කරන එක මාර වාතයක් කියලා. නමුත් වර්තමානයේ ඉන්න සමහර අයට වඩා මේ ප්‍රවිණයෝ අති විශිෂ්ටයි. වාතයක් කියලා කියපු ප්‍රවීණයෝ ඇවිත් හරි ලස්සනට වැඩේ කරලා ගියා. ඒ අය හරි ප්‍රොපෙෂනල්. අති විශිෂ්ටයි.

අමිෂා කාවින්දි රඟපෑම ගැන විවේචන තිබෙනවා.

හේමන්ත ෆ්‍රැන්කිගේ චරිතෙට අමීෂාව යෝජනා කළා. ජයන්ත අයියා කිව්වා මේකප් ටෙස්ට් එකක් තියන්න ඕන කියලා. ජැක්සන් ඇන්තනීගේ ඉඳලා දෙව්නකලා ඔක්කෝම මේකප් ටෙස්ට් එකට ආවා. අමීෂා කාවින්දි පවා මේකප් ටෙස්ට් එකට ආවා. එතැනදී මේකප් කරලා, ඩයලොග් කියලා ඇට්කරවලා තමයි අමිෂාව ඒ චරිතෙට තෝරාගත්තෙ. එහෙම නැතුව එයා මගේ බිරිය කියලා මේකෙ රඟපාන්නේ නැහැ. සමහරු එහෙම චෝදනා කරලා තිබුණා. ෆේස්බුක් එකේ පිස්සො සෙට් එකකුත් ඉන්නවා. ඒවා අපි ගණන් ගන්නේ නැහැ. එහෙම නම් සල්ලි වියදම් කරලා අපි දෙන්නා ඕන තරම් චිත්‍රපට කරනවානෙ. හැමදාම අපි දෙන්න තමයි කපල් එක කියලා දිගටම චිත්‍රපට කරගෙන ඉන්නවා. දෙව්නක, කාවින්ද්‍යා වගේ අලුත් අය ෆෝම් කරන්න ඕනද? අද නළුවෙක් නිළියෙක් තවත් අලුත් කෙනෙක් ෆෝම් කරනවද? ඉතිහාසයේ වත් එහෙම කරලා තියෙනවද? ඒත් අපි මේ චිත්‍රපටය හරහා ඒක කළා. ඒකත් අගය කරන්න බැරි පිරිසක් තමයි ඔය දේවල් කියන්නෙ. මට කියන්න තියෙන්නෙ බල්ලො බිරුවට තවලම නවතින්නෙ නැහැ. ඉදිරියටම යනවා. දැන් අපි ඒ ගමන තමයි ඇවිත් තියෙන්නෙ.

ඔබ සිනමා ශාලා හිමියෙක්...

ඔව්. දැන් සිනමා ශාලා 5 ක් පවත්වාගෙන යනවා. ඒවායේ ප්‍රශ්නත් තියෙනවා නැත්තේ නැහැ. ඇත්ත වශයෙන්ම ප්‍රශ්න තියෙන්නේ ඇතුළෙන්මයි. වැඩක් කරගෙන යනකොට කකුලෙන් ඇදීම්, නඩු හබවලට පැටලවීම්, නොයෙක් නොයෙක් කටකතා යැවීම් වගේ දේවල් තියෙනවා. හැබැයි මම ඕව එච්චර ගණන් ගන්නේ නැහැ. ඒ හැටි. වැඩ කරනකොට ප්‍රශ්න එනවා. මම මේ සිනමා ශාලාවල කළමනාකාරිත්වය වසර 10කට අරගෙන තිබෙනවා.

ඔබ පහුගිය දවසක රහස් පොලීසියට ගියා කියලා ආරංචියි...

ඔව්. මම සී.අයි.ඩී. ගියා මගේ ඉමෝ එක හැක් කරලා. කෙල්ලන් ගෙන් ෆොටෝ එවන්න කියලා තිබ්බා. මගේ යාළුවන්ගෙන් සල්ලි ඉල්ලල තිබ්බා. සල්ලි නම් කවුරුත් දාලා නැහැ. හැබැයි කෙල්ලො ෆොටෝ දාලා තිබ්බා. බැරිම තැන ශානි අබේසේකර මහත්තයව හම්බවෙන්න ගිහින් එන්ට්‍රියක් දාලා ආවා. දැන් ඉතින් මම ගැලවිලානේ. හැබැයි ඇන්ට්‍රිය දැම්මට පස්සෙ වැඩේ නතරවෙලා. ඒ කියන්නේ මේක කරන්න ඇත්තේ මම දන්න කෙනෙක් වෙන්න ඕන. මම හිතනවා මේක කරලා තියෙන්නෙ ටීම් එකක්. මම ඉල්ලනවා ඒ අයගෙන් ඔහොම කරන්න එපා ඕව හරි ජරා වැඩ. ඔය අයිටී මොළය පාවිච්චි කරලා රටට හොඳ වැඩක් කරපල්ලා කියලා.

ඔබට කොහෙන්ද මේ මුදල් ? ඒ ගැන විවේචන තිබෙනවා.

දැන් සමහර දෙනකුට අර්ජුන කමලනාත් භීතිකාවක් තමයි තියෙන්නේ. ඇත්තටම මට එක එක කතා කියනවා. මම ළඟ තියෙන්නේ අනුන්ගේ සල්ලිලු. මම හම්බකරගත් සල්ලි ටිකක් තියෙනවා. ඒවාට අමතරව මම ගොඩක් දේවල් කරන්නේ ලෝන් වලින්. මම මේ කරන දේවල සත පහක් නෑර පෙන්නන්න පුළුවන් විදිහට ඒවාට වෙන වෙනම ෆයිල් හදලා තිබෙනවා. අනිත් දේ තමයි මම අවුරුදු 20 ක් විතර තිස්සේ හදාගෙන තියෙන නම. ඒ නමට තමයි මට මෙච්චර ලොකු ලෝන් දෙන්නෙ. ඒ වගේම මගේ පැවැත්ම සහ මම ගත කරන සරළ ජීවිතය. මස් මාළු කන්නෙ නැහැ. රා, අරක්කු, සිගරට් මත් ජාති කිසිම දෙයක් පාවිච්චි කරන්නේ නැහැ. වයින් එකක්වත් බීලා නැහැ. මම පාටි දාන්නෙ නැහැ. පාටි වලට යන්නෙ නැහැ. හම්බ කරගත්තු දේ ගාණට කළමනාකරණය කරගෙන තියෙනවා.

ඔබ මේ හැම දෙයකටම වඩා වෙනස් බිස්නස් එකක් පටන් අරගෙන කියලා ආරංචියි.

මම දැන් වගාකරනවා. ‘කුල්නෙත් ඇග්‍රෝ‘ කියන ආයතනයෙන් කළගෙඩිහේනේ ගර්කින්, තක්කාලි වවනවා. මිනිසුන්ගේ බඩ පුරවන්න මොනවාහරි කරන්නත් එපායැ. සමන්ත රණසිංහ කියන මගේ මිත්‍රයෙක් එක්ක තමයි මම ඒ වගාව කරන්නෙ.

 

අදහස්