දුර්ගා දේවි­යට ගින්ද­රෙන් කරන අග්නි කෙළි පූජාව | සිළුමිණ

දුර්ගා දේවි­යට ගින්ද­රෙන් කරන අග්නි කෙළි පූජාව

‘අග්නි කෙළි, යනු ගින්දරත් සමඟ ක්‍රීඩා කිරීමයි. ශ්‍රී ලංකාවේ සංස්කෘතිය ගින්දරත් සමඟ දැඩි සේ බද්ධ වී තිබෙන බව පැහැදිලි වන්නේ උත්සවයක් ආරම්භයේ පොල්තෙල් පහනක් දැල්වීමේ සිට ළිප ගිනි මෙලවීම හා ගිනිකෙළි සමඟ ක්‍රීඩා කිරීම ඇතුළු ගින්දර හා සම්බන්ධ ක්‍රියාකාරකම් සෑම උත්සව හා සැමරුම් අවස්ථාවකටම සම්බන්ධ වන නිසායි. එසේම බලි තොවිල් වල පන්දම් ගෙන ගින්දර සමඟ කරන යාතිකා මෙන්ම ගින්දර කෑමද සිදුකරනවා.

එසේම කතරගම ගිනි පෑගීමේ උත්සවයද ගින්දර සමඟ කරන සුවිශේෂී අවස්ථාවකි. මේ අතරින් තවත් සුවිශේෂී අවස්ථාවක් නොබෝ දිනකට පෙරද දකින්නට ලැබුනේ ඇසළ මහා පෙරහර මංගල්‍යයේදීයි. ඒ තමයි පෙරහරේ ඉදිරියෙන්ම දැකිය හැකි ගිනිබෝල කරකැවීම. තරමක අවදානම් වුවත් පෙරහරේ සුන්දරම අවස්ථාවක් ලෙසින් මෙම ගිනිබෝල සන්දර්ශන හැඳින්විය හැකියි.

අපේ අසල්වැසි රටෙන් සෑමවිටම විස්මයජනක පුවත් මැවෙන්නේ ඔවුන්ගේ තිබෙන විශාල ජනගහනය හා එහි තිබෙන විවිධත්වය නිසා විය හැකියි. පෙරහරෙහි ගිනිබෝල කැරකවීම අවදානම් සහගත ක්‍රියාවක් ලෙසින් ඔබ සිතනවා නම්, ඔබ අනිවාර්යෙන්ම ඉන්දියාවේ ‘අග්නි කෙළි’ නම් ගින්දරවලින් එකිනෙකාට පහර දෙන උත්සවය නැරඹුවහොත් එය මොනතරම් නම් අවදානම් සහගතදැයි වැටහේවි.

කර්ණාටක ප්‍රාන්තයේ කටීල් හි දුර්ගා පරමේශ්වරී දේවස්ථානයේ දුර්ගා දේවියට වන්දනා කිරීමට සෑම වසරකම මෙම අග්නි කෙළි උත්සවය පවත්වනු ලබනවා.

සියගණනක් පිරිමි බැතිමත්හු උඩුකය නිරුවත්ව රතු පැහැති සරම්වලින් සැරසී දෙපිලකට බෙදී ගින්දර සහිත හුළුඅතුවලින් දමා ගැසීම මෙහි ප්‍රධානම අංගයයි. දෙපිල අතර පරතරය මීටර 10-15ක් වන අතර එක් අයෙකුට පස් වරකට වඩා අනෙක් පිල වෙත ගිනි පන්දම් විසි කළ නොහැකියි.

මේ නිසා විනාඩි 15ක් පමණ යන විට මෙය නිමාවන අතර ඉන්පසු සියල්ලන්ම දේවාල භූමිය වෙත ගොස් නැවතත් විනාඩි 5ක පමණ කුඩා වේලාවකට ගින්දරවලින් පහර දීම සිදු කරනු ලබනවා. සුදු පැහැති සරම් හැඳ පිරිසක් මේ දෙපිල දෙසම ඉතා අවධානයෙන් බලා සිටින්නේ මෙහි නීති රීති උල්ලංඝනය වීමට ඉඩ නොදීමට හා කිසියම් පුද්ගලයකු වෙත ඉලක්ක කර පහර දීම වැළැක්වීමටයි.

සෑම වසරකම අප්‍රේල් මස දින 8 ක් පමණ පුරා මෙම දේව පූජා පවත්වනු ලබනවා. උත්සව ආරම්භ වන්නේ සූර්යයා මේශ රාශියට යන දිනට පෙර රාත්‍රියේදීයි. එකිනෙකට බැඳුණු වතාවත් රාශියක් මෙම දින 8 පුරා සිදුවන අතර මෙම ‘අග්නි කෙළි’ පවත්වන්නේ දෙවැනි දින රාත්‍රියේ. එදින හිරු උදා වී දවස පහන් වන විට සියලුම බැතිමතුන් ‘ගාට්’ ගංගාවට ගොස් ස්නානය කර දුර්ගා දේවියගේ පිළිමයක් ඉතා අලංකාර ලෙසින් සරසනු ලබනවා.

උත්සවය අතරතුර ගින්දර නිසා පිලිස්සුම් තුවාල සිදුවන බැතිබතුන් වෙත ‘කුම්කුමාචනේ’ නම් ආශීර්වාද කළ පැන් ඉසිනු ලබනවා. මේ අතර දහසක් පමණ දෙනා තරමක් දුරින් සිට මේ මහා ගිනි කෙළිය දෙස බලා සිටින්නේ එක් පිලක් විසින් අනෙක් පිල වෙත වැඩිම ප්‍රහාරයක් එල්ල කිරීමට තරග වදින අතරතුරයි. 

 

Comments