දුකින් තැවෙන ආද­ර­ව­න්ත­යන්ගේ ගීතය | සිළුමිණ

දුකින් තැවෙන ආද­ර­ව­න්ත­යන්ගේ ගීතය

මා මළ දා සුදු ඇඳ­ගත්
වතු සුදු ගහ වාගේ
නුඹ තව­මත් සුදු ඇඳ­ගෙන
ඇයි මැණිකේ මාගේ...

මා සිහි කර සුසුම් ලමින්
නුඹ දුක් වන ගානේ
කඳු­ළක් වත් පිස­ද­මන්න
මං නුඹ ළඟ නෑ නේ...

ඉටි පන්දම් දල්වන විට
නුඹ තව­මත් සොහොනේ
මම කොහො­මද තව භව­යක
උප­දින්නේ නෝනේ...

තාත්තා මිය ගිය දා සිට අම්මා චාම් වතින් සැරසෙන්නට හුරු වූවාය. ඇය මංගල උත්සවයකට පවා ගියේ කණපාට ඇඳුමින් සැරසීය. හැම මොහොතකම ඇගේ නෙතග කඳුළක් දිලිසිණි. තාත්තාගේ වියෝව ඇය දරාගත්තේ එලෙසිනි. තාත්තාගේ වියෝවෙන් අම්මාගේ ඇසේ රැඳුණ කඳුළු යම් තරමකට හෝ වියැකී ගියා නම් ඒ ඇයගේ දරුවන් නිසාමය. එහෙත් ඇය නෙත කඳුළු නොරැඳි මොහොතක් නොතිබූ තරම්ය.

පසුගිය දිනෙක අසන්නට ලැබුණ, හදවතින් විඳි ගීතයක් අම්මාගේත් තාත්තාගේත් ආදරය, වියෝව පමණක් නොව තවත් චරිත දෙකක්ද නිරන්තර සිහියට නැඟීය.

එක් කෙනෙක් දීපිකා අක්කාය. ඇය අප කාර්යාලයේ යෙහෙළියයි. මට මතක හැටියට ඇයගේ සැමියා මියගොස් මේ වන විට වසර විසිගණනකට වැඩිය. ඒ වසර ගණනම ඇය සිටින්නේ සුදුවතින් සැරසීය. ඈ වත තවමත් සෝබරය. ඇය සිනා සුණද, ඒ සිනාව යට සැඟව තිබෙන්නේ දුක යැයි ඇය දකින හැම විටෙකම සිතේ.

ගීතයත් සමඟ බැඳුණු මගේ මතකයේ සිටින අනෙක් කෙනා රේණු අක්කාය. ඇය මගේ අසල්වැසියාය. පනස්වැනි වියද පසු කර සිටින රේණු අක්කා තවමත් අවිවාහකය. යොවුන් වියේදී ඇය ප්‍රේමයෙන් බැඳී සිටියාය. එහෙත් විවාහ වීමට පෙර ඔහු හදිසි අනතුරකින් මිය ගියේය.

එදවස පටන් තවමත් රේණු අක්කා තනිකඩ දිවියක් ගෙවන අතර ඇය වසර විස්සකට වැඩි කලක් තිස්සේ තම ප්‍රේමය වෙනුවෙන් පෙම්වතාගේ සොහොනේ පහන් දල්වන්නීය. අම්මා, දීපිකා අක්කා, රේණු අක්කා පමණක් නොව, තම සැමියන්ගේ ආදරවන්තයන්ගේ වියෝවෙන් නිරන්තර දුකින් තැවෙන ආදරවන්තියන්ගේ ගීතයක් ලෙස මම අද ඔබට මේ ගීතය හඳුන්වා දෙන්නට කැමැතිය.

මිදුලේ පසෙක සුදු රෙද්ද එළුවා සේ මල් පිපෙන වතු සුදු ගහ දකින මොහොතක් පාසා දැන් සිහිපත් වන්නේ මේ ගීතයයි.

‘මා මළ දා සුදු ඇඳගත්

වතුසුදු ගහ වාගේ

නුඹ තාමත් සුදු ඇඳගෙන

ඇයි මැණිකේ මාගේ...‘

කරුණාරත්න දිවුල්ගනේගේ ශෝකී ගී රාවය ඇසෙන මොහොතක් පාසා හද කම්පාවට පත් වෙයි. දර්ශන වික්‍රමතුංගගේ ළයාන්විත තනු නිර්මාණය ඒ ශෝකී බව වඩ-වඩාත් තීව්‍ර කරයි.

සැමියාගේ මරණයෙන් පසු හුදෙකලා වන ගැහැනියකගේ හැඟීම්-දැනීම් හඳුනන්නේ තවත් එවැනිම වූ කෙනෙක් පමණි. ආදරයෙන් බැඳී සිටි දෙදෙනකුගෙන් එක් අයකු වෙන් වූ දා අනෙකා ගැන සිතන්නේ කෙසේද? ගීතයේ පද රචකයා අපට කියන්ගේ හුදෙකලා වූ ගැහැනියගේ සිතිවිලි නොවේ; මියගිය සැමියකුගේ වේදනාත්මක සිතිවිලිය...

‘මා සිහි කර සුසුම් ලමින්

නුඹ දුක් වන ගානේ

කඳුළක් වත් පිස දමන්න

මං නුඹ ළඟ නෑ නේ...‘

හදින් හද දැනෙන ලෙස, මුවින් සුසුමක් නැඟෙන ලෙස ලියැවුණ මේ පද පෙළ ගැන පද රචකයා වූ අනුර බී සෙනෙවිරත්න පවසන්නේ මෙවැනි කතාවකි. ගී පද රචකයකු ලෙස පසුකාලීනව අප මොහු හඳුනාගත්තද ඔහු කවිය ආත්ම කොටගත් නිර්මාණකරුවෙකි.

“මේ ගීතය ලියන්න මගේ හිතට වද දුන් අත්දැකීමක් තිබෙනවා. අපේ ප්‍රවීණ ගී පද රචිකා යමුනා මාලනී සොහොයුරිය සිය සැමියා සේනක මිය ගියදා සිට සුදු වතිනුයි සැරසෙන්නේ. අපි ඇය දැන් වසර ගණක් තිස්සේම කොහේ දැක්කත් දකින්නේ සුදු වතින් තමයි. මීට මාස කිහිපයකට පෙර අපේ සහෘදය කවියකු වන දේ. වි. ගාල්ලගේ ප්‍රිය සම්භාෂණ්‍යක් තිබුණා. එදා මේ උත්සවයට යමුනා පැමිණියා. විසිතුරු ඇඳුමින් සැරසුණු අය අතර ඇය එදත් සිටියේ සුදු වතින් සැරසිලා. මගේ හිතේ මේ සිද්ධිය බොහෝම තදින් කා වැදී තිබුණා. මේ සිද්ධියෙන් සති කිහිපයකට පස්සේ මම උදෑසන ගෙයි ඉදිරිපස දොර හරින විට දුටුවා ගේ ඉස්සරහා තියෙන වතුසුදු ගහේ මල් පිරිලා තිබෙනවා. මේ අත්දැකීම් දෙක-තුනම එකතු වෙලා තමයි මා අතින් මේ ගීතය ලියැවුණේ. මේ පද රචනාව රත්න‍ශ්‍රී විජේසිංහ කවියාගේ උපහාර උත්සවය වෙනුවෙන් පැවැත්වූ ගීපදමාලා තරගයේදී දෙවැනි ස්ථානය ලැබුවා. මේ ගීතයට කරුණාරත්න දිවුල්ගනේ ගායන ශිල්පියා වගේම, දර්ශන වික්‍රමතුංග සංගීත ශිල්පියා උපරිම සාධාරණය ඉටු කර තිබෙනවා. මෙය මා අතින් නිරායාසයෙන්ම ලියැවුණ පද පෙළක්.“

ආදරය පුදුමාකාරය! හිත ඇද-බැඳගත්, සිත වෙළාගත්, මුළු ජීවිත කාලයම ළඟින් සිටි ආදරයක් අහිමි වූ විට එයින් නැඟෙන දුක බොහෝ වේදනාකාරිය. ජීවිතයම හිස් වූවා යැයි දැනේ. දුක බෙදාගන්නට කෙනකු නැතිකම ම වේදනාවකි. මේ සියල්ල කියා ගී පද රචකයා අවසානයේ අපට බුදු බණද පසක් කරවයි. අහිමි වීමෙන් තැවී දැවී සිටීමෙන් පලක් නොවන බවද, යළිත් බවයක උපදින්ට නම් මිය ගිය ආත්මයද නිදහස් විය යුතු බවද සිහිපත් කරන මේ පද රචකයා සංසාර චක්‍රය පිළිබඳ හැඟීමක් අප තුළ දනවන්නේ හරි අපූරු ආකාරයටය! 

අදහස්