ෆෙයාර්වේ ජාතික සාහිත්‍ය සම්මාන | Page 2 | සිළුමිණ

ෆෙයාර්වේ ජාතික සාහිත්‍ය සම්මාන

2018 නිර්දේශිත නවකතා ප්‍රකාශයට පත් වේ

මෙරට සාහිත්‍ය ක්‍ෂේත්‍රය විසින් ඉතා උද්යෝගයෙන් බලාපොරොත්තුවූ අවස්ථාවක් වන සිව්වැනි ෆෙයාර්වේ ජාතික සාහිත්‍ය සම්මාන උළෙලේ නිර්දේශිත ග්‍රන්ථ නාමාවලිය ප්‍රකාශයට පත්කිරීම 2018 අගෝස්තු 30 වැනිදා කොළඹ කිංග්ස්බරි හෝටලයේදී මහත් සරසරින් යුතුව සිදුකෙරිණි. සිංහල, ද්‍රවිධ, ඉංග්‍රීසි යන භාෂා මාධ්‍ය තුනෙන් ම නිර්දේශිත සෑම නවකතාවක් වෙනුවෙන් ම රුපියල් 100,000 බැගින් මුදල් ත්‍යාග හිමිවන අතර සෑම භාෂාවක ම ජයග්‍රාහී නවකථාව වෙනුවෙන් රුපියල් 500,000 බැගින් හිමිවනු ඇත.

නිර්දේශිත ග්‍රන්ථ ප්‍රකාශයට පත්කිරීමේ මේ අවස්ථාවේදී මෙකී කීර්තිමත් සම්මාන උදෙසා වන භාෂා තුනෙන්ම ඒ සඳහා ක්‍රියාකළ විනිසුරු මඩුල්ල ද හෙළි කරන ලදි. ෆෙයාර්වේ ජාතික සාහිත්‍ය සම්මාන කමිටුව විසින් සෑම වසරක ම මේ සඳහා උසස් රසඥතාවෙන් සහ නිර්මාණශීලී බවින් පිරිපුන් විද්වතුන්ගෙන් සමන්විත, අපක්‍ෂපාතී විනිසුරු මඩුල්ලක් යොදාගනු ලැබේ.

මෙසේ නිර්දේශිත නවකතා සියල්ල නැවත විචාරයකට ලක්කරමින් සෑම භාෂා කාණ්ඩයක ම ජයග්‍රාහී නවකතාව තෝරාගැනීමේ කටයුත්ත සිදුකරන අතර ඒ ජයග්‍රාහී නවකතා ප්‍රකාශයට පත්කිරීම මේ වසර අගදී සිදු කෙරෙනු ඇත.

ශ්‍රී ලංකාවේ නිර්මාණශීලී රචනය පිළිගැනීමට ලක් කිරීම, ඒ උදෙසා ලේඛක ලේඛිකාවන් උනන්දු කරවීම සහ ඔවුන් සම්මානයට ලක් කිරීමේ අරමුණින් ෆෙයාර්වේ හෝල්ඩිංග්ස් විසින් ‘ෆෙයාර්වේ ජාතික සාහිත්‍ය සම්මාන උලෙළ’ පවත්වනු ලබයි.

මෙවර සිංහල මාධ්‍යයෙන් නිර්දේශිත වූ නවකතා මෙසේය.

අත්තානීකණු- සේපාලි මායාදුන්නේ

වරණ- පද්මිණී සෙනෙවිරත්න

තරු විසුළ රැය- අරුණ ප්‍රේමරත්න

දේශද්‍රෝහියාගේ නිර්මල හෘදය සාක්ෂිය- තරංගනී රසිකා ප්‍රනාන්දු

බලව, කඳුළු ගිනි ගනී- පී. බී. ජයසේකර

මීට අමතරව දෙමළ මාධ්‍යයෙන් හා ඉංග්‍රීසි මාධ්‍යයෙන් ද නිර්දේශිත නවකතා නාම නිකුත් කරන ලදී.

අදහස්