ස්වර්ණ පුස්තක අව­සන් වට­යට නිර්දේ­ශිත වූවෝ මෙසේ පව­සති | සිළුමිණ

ස්වර්ණ පුස්තක අව­සන් වට­යට නිර්දේ­ශිත වූවෝ මෙසේ පව­සති

සාහිත්‍ය මාසය ආරම්භ වූවා පමණි. සාහිත්‍යය මාසයත් සමඟ සාහිත්‍යය සම්මාන ප්‍රදානෝත්සව, සාහිත්‍යය සංවාද, පොත් දොරට වැඩුම්, කතිකා පොත් ප්‍රදර්ශන යනාදී විවිධාකාර සාහිත්‍යය අංගයන් දක්නට ලැබේ. කෙටියෙන් ම කිවහොත් මේ මාසය සාහිත්‍යය වසන්තයක් ලෙස හැඳින්වූවාට වරදක් නැත. මේ සාහිත්‍යය වසන්තයේ උත්කර්ෂවත් ම අවස්ථාවක් ලෙස ‘ස්වර්ණ පුස්තක’ සම්මාන ප්‍රදානෝත්සව හැඳින්වීම අතිශයෝක්ති‍යක් නොවේ. මේ වසරේ ස්වර්ණ පුස්තක සම්මාන උලෙළ පැවැත්වෙන්නේ 12 වැනි වතාවට ය. එය සැප්තැම්බර් 15 වැනිදා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ‍. සෑම වසරක ම මෙන් ම මෙවරත් ස්වර්ණ පුස්තක සම්මාන උලෙළේ අවසාන වටයට නවකතා 5 ක් නිර්දේශ වී තිබේ. ඒ ජයතිලක කම්මැල්ලවීරගේ ‘චක්‍ර’, සමන් වික්‍රමාරච්චිගේ ‘අප්පච්චි ඇවිත්’, පද්මිණී සෙනෙවිරත්නගේ ‘වර්ණ’, දර්ශනා ෂම්මි විජේතිලකගේ ‘අසනඟ වැසි’ සහ විමල් උදය හපුගොඩආරච්චිගේ ‘යකඩ සිල්පර’ යන නවකතා පහයි.

මේ නවකතා පහෙන් ස්වර්ණ පුස්තකය ලෙස සම්මානයට පාත්‍ර වන කෘතියට දහසින් බැඳි පියලි හෙවත් රු. ලක්ෂ 7 ½ ක මුදලක් පිරිනැමෙනු ඇත. සෙසු කෘති හතරට ද රු. ලක්ෂය බැගින් ප්‍රදානය වේ. ස්වර්ණ පුස්තක සම්මාන උලෙළෙහි අවසාන වටයට නිර්දේශ වීමෙන් ලැබෙන පිළිගැනීම ඊට වඩා ඉහළ ය. එය පොතේ අලෙවියට ද ඍජු ව බලපාන්නකි. ඒ සම්බන්ධයෙන් නිර්දේශිත නවකතාකරුවන්ගෙන් අදහස් විමසීමට තීරණය කළේ එබැවිනි.

උද්දාම වෙන්න තරම් ලොකු සතුටක් නෑ

ජයතිලක කම්මැල්ලවීර

මගේ ‘චක්‍ර’ නවකතාව මෙවර ස්වර්ණ පුස්තක සම්මාන සඳහා අවසාන වටයට නිර්දේශ වීම ගැන පොඩි සතුටක් හිතේ තියෙනවා. හැබැයි ඒක මහ ලොකු සතුටක් නොවෙයි. මීට පෙර 2010 වසරේදීත් මා ලියූ ‘චුම්බන කන්ද’ නවකතාව ස්වර්ණ පුස්තක සම්මාන සඳහා අවසාන වටයට නිර්දේශ වුණා. ස්වර්ණ පුස්තක සම්මානය ඊට හිමි නොවුණත් රාජ්‍ය සාහිත්‍යය සම්මානය සහ විද්‍යෝදය සම්මානය හිමි වුණා. මේ වසරේ රජත පුස්තක සම්මානය සඳහා අවසාන වටයට මගේ ‘‍එකොළහ’ කෙටිකතා පොත නිර්දේශ වුණා. ඒ නිසයි මම කිව්වේ මට ‍උද්දාමයට පත් විය යුතු තරම් මහ ලොකු සතුටක් නැති බව‍. හැබැයි සම්මානය සඳහා නිර්දේශ වීම යන කාරණයක් සමඟ පොතට පිළිගැනීමක් ලැබෙනවා; වටිනාකමක් ලැබෙනවා. ඒ ගැන සතුටක් තිබෙනවා.

ස්වර්ණ පුස්තක සම්මාන ගැන කතා කරන සෑම අවස්ථාවකම මම අනිවාර්යයෙන් සඳහන් කරන කාරණයක් තිබෙනවා. මේ අවස්ථාවේදීත් මම ඒ ගැන ප්‍රකාශ කරන්න ඕනෑ. ඒ, ස්වර්ණ පුස්තක සම්මානය ගැන කාරණා 2 ක් නිසා තමයි මම මේ විවේචනය කරන්නේ. ස්වර්ණ පුස්තකය කියන නමේම ලොකු අර්ථයක්, බරක් තිබෙනවා‍‍.‍ ඒ නිසා ස්වර්ණ පුස්තකය ලෙස නම් කරන නවකතාව ඉතා විශිෂ්ට නවකතාවක් විය යුතුයි. ප්‍රථම අවස්ථාවේදී සුදුසු නවකතාවක් නැහැ කියලා මුදල් ත්‍යාගය පොත් 5 ටම සම සමව බෙදා දුන්නා. ඊට පසුව පොත් ප්‍රකාශකයන් විසින් ඉල්ලා තිබුණා කෙසේ හෝ එක පොතක් තෝරා දෙන ලෙස. මා දකින්නේ එය වරදක් හැටියටයි. සුදුසු පොතක් නැතිනම් මොකක් හරි පොතකට සම්මානය දිය යුතු නැහැ. එයින් ස්වර්ණ පුස්තකය කියන නමේ අර්ථයත් හ‍ැල්ලු වෙනවා. අනෙක් කාරණාව තමයි පොත් ප්‍රකාශකයන්ගේ පොත් පමණක් තෝරා ගැනීම. එය වැරදියි. මෙයින් කර්තෘ ප්‍රකාශන පොත් ඉවතට යනවා. ස්වර්ණ පුස්තකයට සුදුසුම පොත කර්තෘ ප්‍රකාශන අතර තිබුණොත් මොකද වෙන්නේ? මේ කාරණා දෙක සම්බන්ධයෙන් මට කවදාත් විවේචනයක් තිබෙනවා. ඒ ගැනත් සඳහන් නොකර බැහැ.‍


මම ගොඩක් සතුටු වෙනවා

පද්මිණී සෙනෙවිරත්න

‘වර්ණ’ නවකතාව ස්වර්ණ පුස්තක සම්මානය සඳහා අවසාන වටයට නිර්දේශ වීම ගැන මට ගොඩාක් සතුටුයි. මෙය මගේ දෙවැනි නවකතාව.

‘වර්ණ’ නවකතාව නිර්මාණය වෙන්නේ ඉතිහාසය පසුබිම් කරගනිමින්. ඊට හේතු වුණේ මම එක්තරා ජාතික පුවත්පතක අතිරේකයට මහනුවර යුගය පිළිබඳ ලිපි මාලාවක් රචනා කළා. ඒ ලිපි ලිවීමේදී මම තොරතුරු ගවේෂණය කරලා හුඟක් මහන්සි වෙලා තමයි ලිව්වේ. ඒ තොරතුරු සොයා යෑමේදී ඒ ඇසුරෙන් නවකතාවක් ලිව්වොත් හොඳයි කියලා මට හිතුණා‍‍. එහි ප්‍රතිඵලය තමයි වර්ණ නවකතාව.

මම උපාධියටවත් සිංහල හදාරපු කෙනෙක් නෙමෙයි. ඒ නිසා මට නවකතා ක්ෂේත්‍රය ගැන කිසිම දැනුමක් නැහැ. මට ඒ සම්බන්ධයෙන් කියන්න කිසිම දෙයක් නැහැ.

මට කියන්න තියෙන්නේ මගේ දෙවැනි නවකතාව සම්මානයට නිර්දේශවීම ගැන මම ගොඩාක් සතුටු වෙනවා කියලා විතරයි.


සම්මානයකට නිර්දේශ වීමෙන් පොතකට පිළිගැනීමක් ලැබෙනවා

සමන් වික්‍රමාරච්චි

‘අප්පච්චි ඇවිත්’ නවකතාව මෙවර ස්වර්ණ පුස්තක සම්මාන සඳහා අවසාන වටයට නිර්දේශ වීම ගැන මට විශේෂ හැඟීමක් දැනුණේ නැහැ. කොහොම වුණත් සම්මාන බලාගෙන නවකතා ලිවිය යුතු නැහැ. නවකතාවක් කියන්නේ ප්‍රබන්ධයක්. ඇත්තටම අපි දකින අපි ජීවත්වන කාලීන සමාජය අපි යථාර්ථයක් කියලා දැක්කාට මේ සමාජය ප්‍රබන්ධයක්. අපි පය ගහලා ඉන්න සමාජය නවකතාවේදී නිරූපණය කරන විට එය ‍මනෝ විශ්ලේෂණාත්මක පැත්තකින් නිරූපණය කරන්න හිතුවේ ඒ නිසයි. ආත්මය විවරණය කළ හැකි දාර්ශනික හැඩයක් නවකතාවට තිබිය යුතුයි කියලා මම විශ්වාස කරනවා. ‘අප්පච්චි ඇවිත්’ සහ ‘අසන්ධිමිත්තා’ නවකතා දෙකටම එවැනි හැඩතල දුන්නේ ඒ නිසයි. කොහොම වුණත් සම්මානයකට නිර්දේශවීමේදී පොතකට පිළිගැනීමක් ලැබෙන නිසා ඒ ගැන නම් සතුටු විය හැකියි.


ප්‍රවීණයන් මැද්දෙන් මේ තරම් දුර එන්න ලැබීම සතුටක්

දර්ශනා ෂම්මි වි‍ෙජ්තිලක

මා ලියූ ‘අසනඟ වැසි’ නවකතාව මෙවර ස්වර්ණ පුස්තක සම්මානය සඳහා අවසාන 5 ට තේරීම ගැන මම අවංකවම සතුටු වෙනවා.‍ මෙය මගේ 5 වැනි නවකතාව. මීට අවුරුදු අටකට කලින්, එනම් 2010 වර්ෂයේදී ‘ගිරග සසල විය’ නවකතාව ස්වර්ණ පුස්තක සම්මානයේ අවසාන පොත් දොළහට තේරුණා.

ඊට පස්සේ තමයි මේ නවකතාව ලිව්වේ. මේ නවකතාවට පාදක වෙන්නේ කතරගම දෙවියන්ට කැප වූ ආලත්ති අම්මා කෙනකු ගැන.

ප්‍රවීණ ලේඛක ලේඛිකාවන් අතරින් මා වැනි නවකයෙක් අවසාන පහට තේරීම ගැන මම ඇත්තටම ගොඩාක් සතුටු වෙනවා. එය මගේ නවකතාවට ලොකු වටිනාකමක් එකතු කරන බව මට විශ්වාසයි. සම්මානය ලැබීමට වඩා ප්‍රවීණයන් මැද්දේ මේ තරම් දුර එන්න ලැබීම ගැන මම ගොඩාක් සතුටු වෙනවා.‍ මම එය සලකන්නේ මා ලැබූ ජයග්‍රහණයක් හැටියටයි.


සම්මාන ගැන කිසිම බලාපොරොත්තුවක් නෑ

විමල් උදය හපුගොඩ ආරච්චි

මගේ 5 වැනි නවකතාව වන ‘යකඩ සිල්පර’ මෙවර ස්වර්ණ පුස්තක සම්මානය සඳහා අවසාන වටයට තේරීම මා ලැබූ ජයග්‍රහණයක්. මේ පොතට පාදක වෙන්නේ කුරුණෑගල සිට යාපනය දක්වා රේල් පාර හදන වකවානුව.

එය පසුබිම් කරගෙන තමයි මම කතාව ගොඩ නඟා තිබෙන්නේ. මගේ කුලුඳුල් නවකතාව වන ‘බඹර පොරය’ 2007 වර්ෂයේ රාජ්‍ය යොවුන් සාහිත්‍යය සම්මානය දිනා ගත්තා.

මම සම්මාන ගැන කිසිම බලාපොරොත්තුවක් නැහැ‍. ඒත් ‘යකඩ සිල්පර’ නවකතාවට මට හුඟක් හොඳ ප්‍රතිචාර ලැබුණා.

15 දෙනෙකු පමණ මට කතා කරලා පොත ඉතා ආසාවෙන් කියවූ බව කිව්වා. තවත් සමහරු පොත දෙවැනි වරටත් කියවන බව කිව්වා.

ඒ වෙලාවේදී නම් මට හිතුණා ‘යකඩ සිල්පර’ පොත සම්මානයකට නිර්දේශ වේවි කියලා. මගේ පොත සම්මානයට නිර්දේශ වීම ගැන සතුටුයි.

සම්මානය ලැබු‍ණත් නොලැබුණත් මම ලද දෙයින් සතුටු වන පුද්ගලයෙක් නිසා මෙයින් සෑහීමකට පත් වෙන්න පුළුවන්.

අදහස්