ලිහි­ණි­යෙක් මියැ­දුණා | Page 2 | සිළුමිණ

ලිහි­ණි­යෙක් මියැ­දුණා

මනෝරි කෞෂි දිසානායකගේ කුලුඳුල් පද්‍ය කාව්‍ය සංග්‍රහය රිදුණු තැන එතැන නම් වේ. කිවිඳිය තම නිර්මාණ එකතුවක් සමඟ ප්‍රථම වරට පාඨකයන් අතරට මෙසේ පැමිණිය ද, ඈ දැනටමත් පුවත්පත් කවි පිටු අතරින් හා අන්තර්ජාලයේ සයිබර් අවකාශයේ නිර්මාණ තුළින් පාඨකයා හඳුනන කිවිඳියක බවට පත්ව සිටින්නී ය. ම‍නෝරිගේ රිදුණු තැන එතැන කෘතිය, අනාගතයේ අපේක්ෂා රඳවා ගත හැකි කිවිඳියකගේ ගුණරුව විශදවන නිර්මාණ කිහිපයකින් යුතු බවයි අපගේ හැඟීම. සම්මත සිවුපද ආකෘතියෙන් මෙන්ම නිසඳැස් ආකෘතියෙන් ද කාව්‍ය රචනා කරන ඇගේ අත්දැකීම් විවිධත්වයෙන් යුත්තය. ජන විඥානය සහිත අත්දැකීම් මෙන්ම පුද්ගල බද්ධ අත්දැකීම් ද ඇගේ කවියට විෂයය වේ. කාව්‍යමය ගුණයෙන් යුතු කවිබසක් ඈ සතු වන්නී ය. රූපක භාවිතය ද ඇගේ කවියේ කැපීපෙනන තවත් ලක්ෂණයක් සේ දකිමි.

ලිහිණියෙක් මියැදුණා නිර්මාණය ඇගේ පෞද්ගලික අත්දැකීමක් කාව්‍ය නිර්මාණයක් බවට පත් වූ අවස්ථාවකි. මියැදුණු ආදරයක් පිළිබඳවය කිවිඳිය පාඨකයනට පවසන්නට උත්සාහ ගන්නීය. එහෙත් මේ නිර්මාණයේ කිසිඳු තැනක ඈ පිළිබඳ සෘජු ප්‍රකාශ කරන්නට, ව‍ාර්තා කරන්නට ඉදිරිපත් නොවෙයි. සංකල්ප රූප මඟින් මෙන්ම වචනාර්ථය ඉක්මවා ගිය ව්‍යංග්‍යාර්ථ පිරි බසකින් ඈ පාඨක හදවත අමතන්නී ය.

“නිවෙන්නට අර අඳින ඇස් දෙකේ සිළුව මැද නුහුරු ගීයක් ගයයි. මට පුරුදු කුරුලු නාද ඉඩ තියා සතර අත. අහස් ගඟ හිඩස් සිඳ ලිහිණියෙක් මියැදුණා පපුවෙ හරිමැදම හිඳ”

දෑසෙහි සිළු නිවෙන්නට අර අඳී. දෑසක දීප්තිය නිවී යන්නේ මරණය සමඟ බව පාඨකයා එක්වර දනී. මරණය ආසන්න මොහොත කිවිඳිය කවි බසින් බවසන්නී ‘නිවෙන්නට අර අඳින ඇස් දෙකේ සිළුව’ මැද යන අපුරු කාව්‍යොක්තියකිනි. ඒ මොහොතෙහි අවට පරිසරයද ඇයට ඒ බව පවසනු වැන්න. වෙනදා ඇසෙන කුරුලු ගීය අද ඇයට නො ඇසේ.

නුහුරු ගීයක් ගයයි මට... පුරුදු කුරුලු නද වෙනදා ඇසෙන සුපුරුදු කුරුළු ගී හඬ නොවේ. අද ඇයට ඇසෙන්නේ. නුපුරු ගීයක් ගයන අරුමය කුමක් ද? අහස් ග‍ඟෙහි හිඩැස් මකා සතර අත, ඉඩ තබමින් ලිහිණියෙක් මිය ගොසිනි පපුවක හරිමැද. මියගොස් ඇත්තේ ලිහිණියෙකි. කොතැනද ඌ මියගොස් ඇත්තේ? පපුවෙ හරි මැදට හිඳගෙන ය. ආදරය රැඳී සැගවී පණ ගැසෙමින් තිබුණේ පපුකුරෙහි බවයි කිවිඳිය ව්‍යංගයෙන් පවසන්නී. ලිහිණියා මියෙන කල් සොබාදහම පවා වෙනසකට පත් වේ. මල් පොකුරු, හමා යන මඳ සුළඟ, සුසුම් රැළි එසේ වෙනස්වන වස්තූන්ය.

“කිසි දිනෙක නොපිපෙනා මල් පොකුරු වතු කොණේ පිපී පරවී ගියා අමුත්තක් මට දැනේ හදිස්සියේ ඇවිත් ගිය සුළං රැල්ලක් ‍වැණේ සුසුම් රැල්ලක පවා මහ දුකක් අද ගෙනේ”

කිසි දිනෙක වතු කෙනේ මල් ගසෙහි මල් පිපී තිබෙනු ඈ දැක නැත. එහෙත් එහි පවා මල් පිපී එමල් පොකුරු පරවී ගියා සේ අමුත්තක් ඈ සිත වෙළාගනී. සුළං රැලි හදිසියේ පැමිණ වැනේ. සුපුරුදු සුසුම් රැල්ලක පවා ඈ අත් විදීන්නී මහ දුකකි. පපුව මැද මියගිය ලිහිණියා වෙනුවෙන් ද මේ සියලු වෙනස්කම්? ලිහිණියා ආදරයේ සංකේතයයි.

ඇගේ භාෂාව රෑපකාර්ථ නංවයි. උපමා භාවිතයට වඩා රූපක භාවිතයෙන් ගැඹුරු අරුත් මතු වේ. කිවිඳිය එලෙස පවසන්නී හති දමන දෛවයක් පිළිබඳවයි. කටු ඇනී රිදුම් දෙන කුණාටුවක් පිළිබඳවයි.

හති දමන දෛවයට පිරිත් පැන් ඉසින්නට වැහි ලිහිණි පියාපත් හයිය මදි රැ‍ඳෙන්නට කටු ඇනී රිදුම් දෙන කුණාටුවේ සරන්නට අවසරයි දැන් ඉතිං ඇස් දෙකෙන් මිදෙන්නට පිරිත් පැන් ඉසිමින් මියයන්ට ආසන්න ලිහිණියෙකුගේ ජීවිතය රැක ගන්නට නොහැකිය දැන්. කටු ඇණී රිදුම් දෙන කුණාටුවක තනි වී සරන්නට කිවිඳිය අවසර පතන්නීය. ඇස් දෙකෙන් විදීම යනු ජීවිතයෙන් සමුගැනීමයි.

කවියෙකුට හෝ කිවිඳියකට අසවල් අත්දැකීම් වර්ගය මතම නිර්මාණ කළ යුතු යයි සම්මත වූ නීතියක් හෝ රීතියක් නොවේ. කාව්‍ය නිර්මාණයක් මතු නොව අන් කවර නිර්මාණයක් සඳහා වුව විෂය තෝරා ගැනීමේ අයිතිය සතුවන්නේ නිර්මාණ කරුවාටමයි. එනයින් බලන කළ ලිහිණියකු මියැදුණු වැනි පෞද්ගලික අත්දැකීමක් තෝරාගන්නා මනෝරි කෞෂි දිසානායක කිවිඳිය ඉන් බැහැර වී සමාජ විෂමතා මිනිසුන් අත් විඳිනු ලබන දුක්කදායි සංවේදනා පිළිබඳව වුව පද්‍ය නිර්මාණ කොට ති‍බෙනු පෙ‍නේ. එහෙත් ලිහිණියෙක් මියැදුණා වැනි පෞද්ගලික අත්දැකීමක් මඟින් වුව පාඨක සිත බිඳක් හෝ සසල කිරීමට සමත්වන්නේ නම් එය කිවිඳියගේ සාර්ථකත්වයයි. ඒ අනුව ලිහිණියෙක් මියැදුණා පද්‍ය නිර්මාණය ඔස්සේ කිවිඳියගේ පෞද්ගලික අත්දැකීම වුව ඉදිරිපත් කොට ඇති විලාසය අනුව පාඨක සිතට සමීප, සිතෙහි මඳ වූ හෝ කම්පනයක් ඇති කිරීමට සමත් නිර්මාණයක් බවට පත්ව ඇත.

ලිහිණියෙක් මියැදුණා

නිවෙන්නට අරඅඳින, ඇස් දෙකේ සිළුව මැද

නුහුරු ගීයක් ගයයි මට පුරුදු කුරුලු නද

ඉඩ තියා සතර අත, අහස් ගඟ හිඩැස් සිඳ

ලිහිණියෙක් මියැදුණා පපුවෙ හරි මැදම හිඳ

කිසිදිනෙක නොපිපෙනා මල් පොකුරු වතු කොනේ

පිපී පර වී ගියා අමුත්තක් මට දැනේ

හැදිස්සියෙ ඇවිත් ගිය, සුළං රැල්ලක් වැනේ

සුසුම් රැල්ලක පවා මහ දුකක් අද ගෙනේ

හති දමන දෛවයට පිරිත් පැන් ඉසින්නට

වැහි ලිහිණි පියාපත් හයිය මදි රැ‍ඳෙන්නට

කටු ඇනී රිදුම් දෙන කුණාටුවෙ සරන්නට

අවසරයි දැන් ඉතිං ඇස් දෙකෙන් මිදෙන්නට

මනෝරි කෞෂි දිසානායක

අදහස්