රාජ්‍ය සාහිත්‍ය සම්මා­නය එක රැයක ප්‍රති­ඵ­ල­යක් නොවෙයි | සිළුමිණ

රාජ්‍ය සාහිත්‍ය සම්මා­නය එක රැයක ප්‍රති­ඵ­ල­යක් නොවෙයි

රාජ්‍ය සාහිත්‍ය සම්මානය සහ අනෙකුත් සම්මාන උත්සව අතර වෙනසක් තිබේද?

එයට කරුණු කිහිපයක් පාදක වෙනවා. ප්‍රධානතම කරුණ තමයි එයට ඇති ඓතිහාසික පසුබිම. රාජ්‍ය සාහිත්‍ය සම්මානය 1957 වර්ෂයේ ඉඳන් අද දක්වා අඛණ්ඩ ව ගලා එනවා. එහෙම අඛණ්ඩ ඉතිහාසයක් ඇති වෙනත් කිසිදු සාහිත්‍ය සම්මානයක් නැහැ. ඒ නිසා රාජ්‍ය සාහිත්‍ය සම්මානයක් ලැබෙනවා කියන්නෙ ඒ අඛණ්ඩ ඉතිහාසයේ ලේඛකයකුට හෝ ලේඛිකාවකට හිමිවන ගෞරවයෙ වටිනාකමයි. ඒ ගෞරවය හෝ සම්මානනීයත්වය වෙනත් කිසිදු සම්මාන උලෙළකින් ලබන්න බැහැ.

අද වන විට සම්මාන උත්සව ගණනාවක් පැවැත්වෙනවා. එය හොඳයි. නමුත් ඒ හැම අතර රාජ්‍ය සම්මානය ප්‍රබලයි. මේ සම්මානය හිමිවෙන්නෙ රාජ්‍යයෙන්. රාජ්‍යය කියන්නෙ අප ජීවත්වන පරිසරයෙ තියෙන ප්‍රබල ම ආයතනයයි. ඒ නිසා රාජ්‍ය සාහිත්‍ය සම්මානයට හිමිවන සම්භාවනීයත්වය හෝ විශිෂ්ටත්වය වෙනත් කිසිදු සම්මානයක් සමඟ සංසන්දනය කිරීමට නොහැකියි.

එයට තියෙන අනන්‍ය සාධාරණ ගුණය මෙන්ම ගෞරවය අදත් තියෙනවා. රාජ්‍ය සාහිත්‍ය උපදේශක මණ්ඩලයේ ප්‍රධානියා හැටියට මමත් අනෙකුත් සාමාජික සාමාජිකාවනුත් එහි ගෞරවාන්විත බව වෙනුවෙන් අදත් කැප වෙනවා. ඒ ගෞරවය ඇතිවෙන්නේ කොහොමද? කියන එක ඉතා වැදගත්. ඒ සඳහා නිවැරදි ක්‍රමවේදයක අනුගමනය කළ යුතුයි. ඉතා නිවැරදි නිර්ණායක ඒ සඳහා භාවිත කළ යුතුයි. එහෙම නොවුණහොත් ඒ සම්බන්ධව තියෙන විශ්වසනීයත්වය නැතිවෙලා යනවා. සාහිත්‍ය අගය කිරීමේ නිර්ණායක හා ඒ සඳහා භාවිත කරනු ලබන පටිපාටිය අපි ඉතාම පාරදෘශ්‍ය භාවයෙන් සිදු කරනවා. ඒ සඳහා මූලික වෙන්නෙ ඒ කෘති විනිශ්චයට ලක්කරනු ලබන විනිශ්චය කරුවන්.

ඒ සඳහා අපි ඉතාම සුදුසු පුද්ගලයෝ තෝරා ගන්නවා. ඔවුන්ට මඟ පෙන්වමින් අපි ඉතාම නිවැරදි තීන්දු තීරණවලට එළඹෙනවා. එයින් අදහස් වෙන්නෙ නැහැ, අනිකුත් සම්මාන විනිශ්චයන්හි සිදුවන විනිශ්චය වැරදියි කියල. නමුත් මට ඉතාම පැහැදිලි ව හා ඍජුව ම කියන්න පුළුවන් රාජ්‍ය සාහිත්‍ය සම්මානය සුවිශාල ශ්‍රමදායකත්වයක අවසාන ප්‍රතිඵලයක් කියලා. එතැනදි අපට වැදගත් වෙන්නෙ කෘතිය මිස කර්තෘවරයා කවුද යන්න නෙමෙයි. කෘතියක නිර්මාණාත්මක බව තමයි අපට වැදගත්. ශාස්ත්‍රීය කෘතියක් නම් එහි ශාස්ත්‍රීය බව පමණයි වැදගත්. මේක කිසිදු ආර්ථික ප්‍රතිලාභයක් අරමුණු කරගෙන දෙන සම්මානයක් නෙමෙයි.

මුළුමනින් ම ලේඛකයාගේ නිර්මාණාත්මක බව හෝ ශාස්ත්‍රීය බව අගය කරමින් දෙන සම්මානයක්. එය ලේඛකයා දිරිමත් කරමින් සාහිත්‍යයේ අභිවර්ධනය වෙනුවෙන් පිදෙන උපහාරයක්. ඒ අනුවත් රාජ්‍ය සාහිත්‍ය සම්මානය සුවිශේෂ තත්ත්වයක් හිමිකර ගන්නවා. නමුත් මෙය රාජ්‍ය අංශය හරහා ක්‍රියාත්මක වන නිසා ඒ සම්බන්ධ වැරදි අදහසක් ද නිර්මාණය වෙලා තියෙනවා.

ඒ කියන්නෙ?

රාජ්‍ය සම්මානය නම් හිමි වෙන්නෙ මේ වගේ කෘති වලට පමණයි කියල කිසියම් වැරදි අදහසක් සමහරුන් තුළ තියෙනවා. එවැනි පූර්ව නිගමනවල ඉඳල සමහරු ඒ පිළිබඳ අදහස් දක්වනවා. නමුත් ඒ සම්බන්ධව ක්‍රියාත්මක වන අතිවිශාල ක්‍රියා පටිපාටිය අධ්‍යයනය කළොත් එවැනි වැරදි අදහසකට ඒමට හැකියාවක් නැහැ. මේ සම්බන්ධව මට විශාල අත්දැකීම් රාශියක් තිබුණත් මට විශේෂ කැමැත්තකින් හා දැනුමකින් කතා කරන්න පුළුවන් 2010 සිට අද දක්වා අතරතුර කාලය සම්බන්ධවයි. ඒ කාලය තුළ තමයි මම බරපතළ ලෙස රාජ්‍ය සාහිත්‍ය සම්මාන ක්‍රියාවලියට සම්බන්ධ වුණේ.

අපි කෘතියක අදාළ වර්ෂය ලෙස සලකන්නෙ වර්ෂයේ ජනවාරි 1 දා සිට දෙසැ. 31 දක්වා කාල පරිච්ඡේදයයි. මේ කාල වකවානුව තුළ ලංකාවෙ මුද්‍රණයෙන් ප්‍රකාශිත ප්‍රථමවරට මුද්‍රණ වූ ආශ්‍රිත ග්‍රන්ථ සියල්ලම අපි පරික්ෂා කරනවා. එය සිංහල, දෙමළ, ඉංග්‍රිසි යන හැම අංශයකටම පොදුයි. එහි නීත්‍යනුකූල පදනම වෙන්නෙ ඒ කෘති සියල්ලම රාජ්‍ය ලේඛනාගාරයෙ ලියාපදිංචි වී තිබිය යුතු වීමයි. ඒ අනුව එහි නීත්‍යනුකූල පසුබිමක් තියෙනවා. නමුත් කිසියම් කෙනෙකුගේ කෘතියක් සත්‍ය වශයෙන් ම අදාළ වර්ෂයේ මුද්‍රණය වෙලා යම් හෙයකින් එය ලියාපදිංචි කිරීමට නොහැකි වුවහොත් ඒ කියන්නෙ ලියාපදිංචි කරගන්න බැරි වුණොත් අපි ලේඛක ලේඛිකාවන්ට දන්වනවා. නිශ්චිත කාලයක් තුළ ඒ කෘති අපට බාරදෙන්න කියලා. ඊට අමතරව අපි ලේඛකයන්ට සහන කාලයක් දෙනවා කෘති අපට බාරදෙන්න කියලා. ඒ අනුව ප්‍රකාශන ආයතන මඟින් පළකරන කෘති පමණක් නෙමෙයි කර්තෘ ප්‍රකාශන පවා අපි සැලකිල්ලට භාජනය කරනවා. ඒ අනුව සෑහෙන කෘති සංඛ්‍යාවක් සමීක්ෂණය සඳහා අපට ලැබෙනවා. මේ අවුරුද්දෙ භාෂා තුනෙහිම 2000 කට වැඩි කෘති ප්‍රමාණයක් අපට ලැබිලා තියෙනවා. ඉන්පසු මේ සියලු ම කෘති අදාළ විෂයය අනුව වර්ගීකරණය කරනවා. එය මූලිකවම සිදුකරන්නෙ සාහිත්‍ය මණ්ඩලයේ සාමාජිකයන් විසින්. ඊට පස්සෙ පළමුවන වටයේ සමීක්ෂණය ආරම්භ කරනවා.

එය සම්පූර්ණයෙන් ම සිදුවෙන්නෙ සාහිත්‍ය උපදේශක මණ්ඩලයෙ සාමාජිකයන් විසින් පමණයි. මෙහිදි මූලිකවම සලකා බලන්නෙ ඒ කෘති අපගේ නිර්ණායකයන්ට එකඟ ද නැද්ද යන්නයි. මේ මූලික නිර්ණායකයන්ට අමතරව දෙවන වටය සඳහා තෝරා ගත යුතු කෘතිවල ගුණාත්මක බව මෙන්ම ශාස්ත්‍රීය බව පිළිබඳ නිගමනයකට එළඹෙනවා.

ඒ සඳහා එක කෘතියක් අපේ සාමාජිකයො දෙදෙනෙක් කියවනවා. ඉන්පස්සෙ තමයි දෙවන වටයට නිර්දේශ කරන්නෙ. එහිදි මුල් කෘති වලින් භාගයකට වඩා ඉවත් වෙනවා. ඉන්පසු තමයි බැරෑරුම් ම කාර්යභාරය සිද්ධවෙන්නෙ.

ඒ කියන්නෙ දෙවන හා අවසාන වට සඳහා සමීක්ෂකයන් ‍තෝරා ගැනීම.

‍ ඔව්. මේ විනිශ්චය මණ්ඩල පත් කිරීම තමයි බැරෑරුම් ම කාර්යභාරය. එතැන තමයි අපි ඉතා නිවැරදිව ම තීන්දු ගත යුතු තැන. කිසියම් සාහිත්‍යය ප්‍රවර්ගයකට අයිති කෘති සමීක්ෂණය සඳහා කුමන පුද්ගලයා හෝ පුද්ගලයන් තෝරා ගන්නේද? යන ගැටලුව අපි ඉදිරියෙ තියෙනවා. සම්මානයේ තියෙන පාරදෘශ්‍ය භාවය ආරක්ෂා කරන්න අපි නියම සුදුස්සන් මේ සඳහා පත් කර ගත යුතුයි.

මේ තෝරා පත් කර ගැනීමේදී අප විසින් නිර්මාණය කරගත් සීමා කිහිපයක් තියෙනවා. ඒ අතර තිබෙන මූලික ම සීමාව තමයි රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙ විනිශ්චයකරුවකු වීමට නම් ඒ පුද්ගලයා අදාළ වර්ෂය තුළ මොනම ක්ෂේත්‍රයක හෝ කෘතියක් පළ නොකර සිටිය යුතු වීම. මේ අනුව කිසියම් විෂයයක් පිළිබඳ ප්‍රාමාණික දැනුමක් ඇති මහාචාර්යවරයෙක් වුව අදාළ වර්ෂයේ කුමන හෝ සාහිත්‍ය හෝ වෙනත් විෂයයක් සම්බන්ධව කෘතියක් මුද්‍රණයෙන් පළකොට ඇත්නම් ඔහු හෝ ඇය රාජ්‍ය සාහිත්‍ය සම්මානය තුළ විනිශ්චයකරුවකු ලෙස කටයුතු කළ නොහැකියි. මේ අනුව සම්මාන විනිශ්චයට පුද්ගලයන් රාශියක් අපට මඟ හැරෙනවා.

සියලු දේ කර ගන්නෙ සම්මානය සතු අපක්ෂපාති බව මෙන්ම පාරදෘශ්‍ය භාවය වෙනුවෙන්. පොත් රාශියකින් සෑම ප්‍රවර්ගයක ම සම්මානය ලැබෙන්නෙ එක කෘතියකට විතරයි. නමුත් අනිත් අයට දැනෙන්න ඕන අපි අනුගමනය කරන ලද ක්‍රමය නිවැරදියි කියලා.

ඒ සඳහා නිරන්තරව පොත් පත් ඇසුරුකරන, නිරන්තර පර්යේෂණ කරන, මේ ක්ෂේත්‍රය පිළිබඳ ප්‍රාමාණික අවබෝධයක් තියෙන විද්වත් පාඨකයන්, විද්වත් රසිකයන් විනිශ්චය කරුවන් ලෙස අප තෝරා ගන්න පසුබට වෙන්නෙ නැහැ. නමුත් එහෙම තෝරා ගන්නෙ අදාළ ක්ෂේත්‍රය තුළ ප්‍රවීණත්වයක් ඇති කිසියම් කෘතියක් පිළිබඳ සාධාරණ විනිශ්චයක් ලබා දෙන්න පුළුවන් කියලා හිතෙන අය පමණයි.

ඒ අතරෙම ලංකාව කියන කුඩා දූපතෙ තියෙන යථාර්ථයත් අපි තේරුම් ගන්න ඕන. මේකෙ කල්ලි, දැන හැඳුනුම්කම්, කඳවුරු, ඉතා දැඩි මිත්‍ර සම්බන්ධතා ආදි රැසක් ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම මේ ලේඛක ලේඛිකාවෝ සෑම කෙනෙකුට ම වගේ හමුවෙනවා. මේ තත්ත්වය යටතෙ වුවත්, සම්මානයෙ අපක්ෂපාති බව පිළිබඳ අපි සැලකිලිමත් විය යුතුයි. ඒ නිසා සෑම කටයුත්තක් කෙරෙහිම අපි අවසාන වටයෙදි දැඩි සැලකිල්ලක් දක්වනවා. පක්ෂපාති විනිශ්චය කරුවන් කවුද? යන්න අපි දන්නවා. එකිනෙකා අතර පෞද්ගලික අමනාපකම් තියෙන අය අපි දන්නවා. ඒ සංවේදිතාව නැත්නම් අපක්ෂපාතීව ගෞරවාන්විත විදියට මේ වැඩේ කරන්න බැහැ. අපට අවශ්‍ය ලේඛකයට සාධාරණය ඉටු කරන්න නෙමෙයි. කෘතියට සාධාරණය ඉටු කරන්න. ඒ නිසා අපි විනිශ්චයකරුවන් පත්කරල පමණක් තියන්නෙ නැහැ. ඔවුනට උපදෙස් ලබා දෙනවා.

රාජ්‍ය සාහිත්‍ය උලෙළට සමගාමීව බිහිවන සාහිත්‍ය කලාපය සැබෑ සාහිත්‍ය කලාපයක් කිරීමට ඔබට හැකිවුණා.

රාජ්‍ය සාහිත්‍ය උලෙළ ඇරඹුණු දා පටන් බිහිවෙන සාහිත්‍ය කලාපය ඉතා වැදගත් කෘතියක්. සම්ප්‍රදායිකව එය එදා ඉඳන් සිදුවෙනවා. ඒ සාහිත්‍ය කලාප ඒ දවස්වල සංස්කරණය කළේ අපේ සාහිත්‍ය වංශයෙ බිහිවුණු පඬිවරුන් අතින්. ඒ සාහිත්‍ය කලාප අපගේ ජීවිතයට ද විශාල ආලෝකයක් වුණා. නමුත් එහි ඇති ශාස්ත්‍රීය භාවය වැඩි කරන්න මට ඕන වුණා. ඒ සඳහා මට සහය වුණු සංස්කාරක මණ්ඩලයක් ද හිටියා. සාහිත්‍ය පිළිබඳ අධ්‍යයනයක නිරත වන ඕනෑම කෙනකුට පැහැදිලි ව අවබෝධ වන දෙයක් තමයි මෑත භාගයෙ බිහිවුණු සාහිත්‍ය කලාපයන් හි ඇති ගැඹුරු ශාස්ත්‍රීය වටපිටාව. ඊට පෙර ඉතා කුඩා කෘතියක් වශයෙන් බිහිවුණු ඒ කලාපය මෑත වන විට ඉතා විශාල පුස්තකයක් බවට පත්වෙලා තියෙනවා. ඒ තුළ සාහිත්‍ය ක්ෂේත්‍රය නියෝජනය කරන සෑම අංශයක් ම නියෝජනය වෙලා තියෙනවා. මෙවැනි දැවැන්ත සාහිත්‍ය කලාපයක් සංස්කරණය කිරීම ඉතා දුෂ්කර කාර්යයක්.

ඒ කියන්නෙ ඔබ දැන් වෙහෙසට පත්වෙලා ද?

පෞද්ගලිකව බලනකොට ඔව් කියල කියන්න වෙනවා. මගේ ජීවිතෙ වසර අටක පමණ කාලයක් ක්ෂය වෙලා ගිහින් තියෙන්නෙ රාජ්‍ය සාහිත්‍ය උත්සවය වෙනුවෙන්. ඒ නිසා එය මට පෞද්ගලිකව හානිකරයි. මමත් නිර්මාණ ක්ෂේත්‍රයෙ යම් යම් නිර්මාණ කිහිපයක් කරපු කෙනෙක්. මගේ අවසාන කවිපොත බිහිවුණෙ 2006 වසරෙදියි. එතැන් පටන් කිසිදු නිර්මාණ කාර්යයක මට යෙදෙන්න වෙලාවක් නැතිවෙලා තියෙනවා.

මගේ ඔළුවෙත් යම් යම් නිර්මාණ සඳහා අවශ්‍ය වස්තු බීජ සෑහෙන කාලෙක ඉඳන් ගොඩ ගැහී තියෙනවා. ඒව ගොනු කරගන්න වෙලාවක් නැහැ. මමත් ටිකක් ආත්මාර්ථකාමී වුණා නම් මේ වන කොට මගේ නිර්මාණ කිහිපයක් එළිදක්වා ගන්න තිබුණා. නමුත් මේ වැඩේට 2010 අවුරුද්දෙ ඉඳන් මම බරපතළ ලෙස මැදිහත්වෙලා ඉන්න නිසා ඒ හැම දෙක්ම පරක්කු වෙලා තියෙනවා. ඒ වගේම විශ්වවිද්‍යාල ආචාර්යවරයකු වශයෙන් මගේ පර්යේෂණ කටයුතු ඇනහිටල තියෙනවා.

මේ මගේ පෞද්ගලික කාරණා. නමුත් ඒ හැම අතරෙම සතුටු වෙන්න පුළුවන් කරුණු කාරණා රාශියක් තියෙනවා. පොත්පත් සමීක්ෂණ ක්‍රියාවලිය ඉතා ඉහළ මට්ටමකට ගෙනත් තියෙනවා. දැන් මම නැතිවුණත් ඒ පදනම මත ඉඳගෙන ඕනෑම කෙනෙකුට මෙය මෙහෙයවිය හැකියි.

සාහිත්‍ය කලාපය තුළ සාහිත්‍ය පිළිබඳ පර්යේෂණ කරන විද්‍යාර්ථින්ට, පර්යේෂකයන්ට, නවක විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට, නව ලේඛක ලේඛිකාවන්ට අවස්ථාවක් ලබා දුන්නා. මේ වගේ සතුටු විය හැකි කරුණු කාරණා රාශියක් තියෙනවා. ඒ අනුව මේ ක්‍රියාවලිය මගේ පෞද්ගලික ජීවිතයට කොපමණ හානිකර වුණත් පොදු වශයෙන් ගත්තම එයින් වන සේවය ගැන හිතා සතුටු විය හැකියි.

මේ සෑම කටයුත්තක් ම සාර්ථක කර ගැනීම සඳහා සංස්කෘතික දෙපාර්තමේන්තුව මට ලබා දෙන සහයෝගය ඉතා විශාලයි. ඉතිහාසයෙ පටන් ම සංස්කෘතික දෙපාර්තමේන්තුව හා සාහිත්‍ය මණ්ඩලය, උපදේශක සභාව අතර ඇත්තේ අන්‍යොන්‍ය සම්බන්ධයක්. එහි සංස්කෘතික අධ්‍යක්ෂිකා අනූෂා ගෝකුල ප්‍රනාන්දු මහත්මිය අපට ලබාදෙන සහයෝගය ඉතා සුවිශේෂයි. ඒ වගේම එහි කාර්ය මණ්ඩලය ද මේ කටයුතු වෙනුවෙන් ඉතා වෙහෙසක් ගන්නවා. ඒ අතර දිසානායක මෙනෙවිය ගේ සහයෝගය අපට ලොකු ශක්තියක්. මේ වන විට රාජ්‍ය සාහිත්‍ය උලෙළට සමගාමීව පැවැත්වෙන සාහිත්‍ය දේශනය නිම වී අවසානයි. සැප්තැම්බර් 11 දින පැවැත්වෙන සම්මාන උලෙළට අපි දැන් සූදානම් වෙමින් එහි වැඩ කටයුතු අවසන් කරමින් පසුවෙනවා.

Comments