මෝ යෑන් නැවතත් ලේඛනකරණයට | Page 2 | සිළුමිණ

මෝ යෑන් නැවතත් ලේඛනකරණයට

චීන ජාතික නවකතා සහ කෙටිකතා රචක, නොබෙල් සාහිත්‍ය සම්මනාලාභී මෝ යෑන් (Mo Yan) 2012 වසරෙන් පසුව නැවතත් සිය ලේඛන කටයුතු ආරම්භ කරමින් නිර්මාණකරණයට එළඹි ඇති බව වාර්තා වේ. 2012 වසරේ නොබෙල් සාහිත්‍ය සම්මානය හිමි කර ගැනීමෙන් පසුව හෙතෙම වසර 6කට ආසන්න කාලයක් පුරා ලේඛනකරණයෙන් ඈත් වී සිට ඇත. ගුරුවරයකු වශයෙන් මෙන්ම වෙනත් රාජකාරි කටයුතු සමග අවිවේකි වුණු නිසා පොත් පත් අතරට පැමිණෙමින් නව නිර්මාණ සිදු කරන්නට නොහැකි වූ බව ඔහු මාධ්‍ය හමුවේ පවසා සිටියේය. මෙතැන් පටන් පාඨකයන්ට තමාගේ නව නිර්මාණ රස විඳීමට හැකියාව ලැබෙන බවද ඔහු වැඩිදුරටත් පවසා ඇත.


ටෝල්කින්ගේ අවසන් කෘතිය ‘ද ෆෝල් ඔෆ් ගොන්ඩොලීන්”

ලොව පුරා සුවහසක් පාඨකයන් අතර අතිශයින් ජනප්‍රියත්වයට පත් වූ ‘ලෝර්ඩ් ඔෆ් ද රින්ග්ස්’ කෘති පෙළ රචනා කළ ජේ. ආර්. ආර්. ටෝල්කින් ගේ අවසන් කෘතිය ලෙස සැලකෙන ‘ද ෆෝල් ඔෆ් ගොන්ඩොලීන්’ (The Fall of Gondolin) නවකතාව පසුගිය අගෝස්තු 30 වැනිදා නිකුත් විය. 1973 වසරේදී ටෝල්කින් මියගිය පසුව අස්ථානගතව තිබූ අත්පිටපතකින් මේ කෘතිය නිර්මාණය කර ඇත්තේ ක්‍රිස්ටෝපර් ටෝල්කින් නම් ඔහුගේ පුතු විසින්ය. ජේ. ආර්. ආර්. ටෝල්කින් විසින් මේ කෘතිය රචනා කිරීම අරඹා ඇත්තේ පළමු ලෝක යුද්ධය පැවති සමයේදී ඔහුට වැලඳුණු උණ රෝගයකින් සුවය ලබමින් සිටින අතරතුරේදී බව සඳහන් වේ. ඒ 1917 වසරේදීය. ක්‍රිස්ටෝපර් ටෝල්කින් විසින් මේ කෘතිය සකසා ඇත්තේ තම පියාගේ එම පැරණි සටහන් උපයෝගී කරගෙනය.


2018 මයිල්ස් ෆ්‍රැන්ක්ලින් සාහිත්‍ය සම්මානය මිචෙල් ඩී ක්‍රෙට්සර් ට

ඔස්ට්‍රේලියාවේ ඉහළම සාහිත්‍ය සම්මානය ලෙස සැලකෙන මයිල්ස් ෆ්‍රැන්ක්ලින්(Miles Franklin literary award) සම්මානය දෙවැනි වරටත් හිමි කර ගැනීමට මිචෙල් ඩී ක්‍රෙට්සර් නම් ලේඛිකාව සමත් වී ඇත. ඇය ශ්‍රී ලාංකික සම්භවයක් සහිත වීම විශේෂත්වයකි.

පසුගිය සතියේ පැවතී මෙල්බර්න් ලේඛකයන්ගේ උලෙළකදී ප්‍රකාශයට පත්වූ ආකාරයට මිචෙල් ට මේ සම්මානය හිමිව ඇත්තේ ඇය රචනා කළ ‘ද ලයිෆ් ටු කම්’(The Life to Come) කෘතියටයි. මෙය ඇගේ පස්වන ග්‍රන්ථයයි. පැරණිතම සාහිත්‍ය සම්මානයක් වන මෙය පිරිනැමෙන්නේ ඔස්ට්‍රේලියානු ජන ජීවිතය විවරණය කෙරෙන ඉහළම සාහිත්‍යමය අගයකින් යුතු නවකතා වෙනුවෙනුයි.

ඇයට සම්මානයත් සමග ඩොලර් 60,000ක මුදල් ත්‍යාගයක්ද හිමි විය. මීට පෙර 2012 වසරේදී ඇය විසින් රචිත ‘ක්වෙස්ට්ෂන්ස් ඔෆ් ට්‍රැවල්’ (Questions of Travel) නමැති නවකතාව වෙනුවෙන්ද 2013 වසරේදී මයිල්ස් ෆ්රෑන්ක්ලින් සම්මානය ඇයට හිමි විය.

 


නිව් ඇකඩමි සාහිත්‍ය ත්‍යාගය 2018

මෙම වසරේ ආදේශක නොබෙල් සාහිත්‍ය ත්‍යාගය සඳහා හොඳම ලේඛකයන් හතරදෙනා අතරට පැමිණීමට නීල් ගෙයිමන් කතුවරයා සමත් වී ඇත. සම්මානය සඳහා නිර්දේශිත අනෙක් කතුවරයන් තිදෙනා වන්නේ ජපානයේ හරුකි මුරකාමි, ගුඅඩිලෝපියානු රචක මාරිසේ කොන්ඩේ සහ වියට්නාමයේ උපත ලද කැනේඩියානු ලේඛකයෙකු වන කිම් තුයි ය. මෙම නව නොබෙල් සම්මානය ස්වීඩනයේ ‘නිව් ඇකඩමි’ විසින් නිර්මාණය කර ඇත.

ලොවපුරා කතුවරයන් 47 දෙනකු අතරින් මොවුන් හතරදෙනා මෙම New Academy Prize in Literature 2018 සඳහා තේරී පත්වී ඇත. ස්වීඩන් පුස්තකාලවේදීන් විසින් මේ සම්මානය සඳහා කතුවරන්ගේ නම් යෝජනා භාරගෙන ඇති අතර, අවසානයේ ඡන්ද විමසීමකින් අනතුරුව මෙලෙස සිවු දෙනකු තෝරාගෙන ඇත. මෙම නව සම්මානය පිළිබඳ වාර්ෂික නොබෙල් සාහිත්‍ය සම්මාන රැස්වීමේදී සාකච්ඡා කර තීරණයන්ට එළඹී ඇති බව වාර්තා වේ.

අදහස්