කවි­ය­කට තනු­වක් එක් කළ පම­ණින් එය ගීත­යක් වන්නේ නැහැ | සිළුමිණ

කවි­ය­කට තනු­වක් එක් කළ පම­ණින් එය ගීත­යක් වන්නේ නැහැ

නිලාර් එන්. කාසිම් යන නාමය මෙරට සාහිත්‍යය කලා ක්ෂේත්‍රය නියෝජනය කරන අය අතුරෙන් සුවිශේෂිත ය. ඒ, නිලාර් යනු ඔහුගේ පරපුර නියෝජනය කරන චිත්‍රපට ගීත රචකයන් අතුරෙන් වැඩි ම චිත්‍රපට ගීත ප්‍රමාණයක් රචනා කළ ගීත රචකයෙකි. හෙතෙම යකඩ පිහාටු සිනමා නිර්මාණයේ සිට: ආසයි මං පියාඹන්න, රෝස කැලේ, හිරිපොද වැස්ස, චැලෙන්ජර්ස්, ආදරණීය කතාවක්, නෙලා, සෙල්වම් දක්වා චිත්‍රපට තිහකට වැඩි ප්‍රමාණයකට ගීත රචනා කර ඇත. එ මතු නොව ඔහුගේ ගීත රචනා ඇතුළත් චිත්‍රපට දහයකටත් වැඩි ප්‍රමාණයක් අනාගතයේ දී තිරගතවීමට ද නියමිත ය. චිත්‍රපට ක්ෂේත්‍රයට මතු නොව ටෙලිනාට්‍ය සඳහා ද ඔහු ගීත රචනයෙන් දායක වී ඇත. මේ වන විට ඔහුගේ ගීත රචනා ඇතුළත් ටෙලිනාට්‍ය තුනක් නාලිකා තුනක විකාශනය වෙමින් පවතී.

ඔහුගේ ගීත රචනා මෙන්ම කවි ද විශ්වවිද්‍යාලවල පැවති බොහෝ කලා උළෙලවල දී ඇගයීමට පාත්‍ර වී තිබේ. ඒ අතුරෙන් කොළඹ විශ්වවිද්‍යාලය මඟින් පුදනු ලබන හොඳ ම ජනමාධ්‍යවේදියා සම්මානය, 2007 වසරේ දඔහුගේ ගීත රචනා කලාව ඇගයීමට ලක්කරමින් අන්තර්ජාතික බුන්කා සම්මානයෙන් ද පිදුම් ලැබීම විශේෂිත ය. හෙතෙම සිග්නීස් සම්මානයෙන් පිදුම් ලබන්නේ ‘‘වර පෙරළිය’’ ටෙලිනාට්‍ය වෙනුවෙන් කළ ගීත රචනාව සඳහා ය. එමතු නොව ඔහු විසින් මේ වන විට ගීත රචනා කෘති තුනක්, දෙමළ සාහිත්‍යය පිළිබද ලියැවුණු කෘති තුනක් ද රචනා කර ඇත.

හෙතෙම මේ සියලු සාහිත්‍ය කලා කටයුතුවලට ප්‍රවේශ වී පන්විසි වසක් පිරිම නිමිත්තෙන් සංවිධානය කළ සංගීත සන්ධ්‍යාවක් මෙ මස 07වන දින ශ්‍රී ලංකා පදනම් ආයතන භුමියේ දී පැවැත්වේ. මතු දැක්වෙන්නේ එ් කටයුත්ත නිමිති කරගනිමින් ඔහු සමඟ කළ සාකච්ඡාවකි.

පළමුවෙන් ම මේ කටයුත්ත සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරන්න.

ගීත රචකයකු ලෙස ක්ෂේත්‍රයට පැමිණ වසර විසි පහක් පිරීම නිමිති කරගනිමින් කරන අලුත් සහ වෙනස් වැඩක්.

‘‘අලුත් සහ වෙනස්’’ යනුවෙන් සඳහන් කළේ?

අලුත් යනුවෙන් පැවසුවේ මෙතෙක් ක්ෂේත්‍රයේ කිසිවකු විසින් නොකරන ලද කටයුත්තක් නිසා. එනම් ම විසින් රචිත ගීත සියයක් ඇතුළත්, සාමාන්‍ය MP තාක්ෂණය ද අබිබවූ තාක්ෂණයෙන් යුතු, චීනයේ නිෂ්පාදිත Pen Drive එකක් සහ එ් ගීත රචනා සියය Pen Drive එකේ අන්තර්ගත අනුපිළිවෙළට ම අඩංගු කෘතියක් ජනගත කිරිම. මේ Pen Drive එක සහ කෘතිය නම් කර තිබෙන්නේ ‘‘සරස වසන්තය’’ නමින්. මගේ ගීත කිහිපයක් සඳහා ලියූ රසවින්දනාත්මක විචාර කිහිපයක් ද මේ කෘතියේ අන්තර්ගත වෙනවා. මීට අමතරව මගේ ගීත ඇතුළත් සීඩී හතරක් නිකුත් වෙනවා. එ් සීඩී හතර නම් කර තිබෙන්නේ: ‘‘අහසින් එහා’’, ‘‘සීත මාරුතය’’, ‘‘කරදිය සුළගට’’ සහ ‘‘මීදුම උතුරන’’ යනුවෙන්. මෙහි එක් සීඩි තැටියක අන්තර්ගත වන්නේ චිත්‍රපට ගීත. අනෙක් තුනේ අන්තර්ගත වන්නේ ජ්‍යෙෂ්ඨ සහ නව පරපුරේ ගායක ගායිකාවන්ගේ සංකලනයක්. ‘‘සරස වසන්තය’’ යනුවෙන් පැවැත්වෙන ප්‍රසංගයේ මූලික කටයුතු කිහිපය පෙළ ගැසෙන්නෙ ඔය විදියට. මෙහිදී විශේෂයෙන් ම සඳහන් කළ යුතු දෙයක් තිබෙනවා. එනම් මේ ප්‍රසංගය සඳහා කිසිදු අය කිරීමක් නැහැ. දැවැන්ත සංගීත සන්ධ්‍යාවක් වුණත් මගේ ගීතවලට ඇල්මක් දක්වන රසික රසිකාවන් වෙනුවෙන් මෙය විවෘතයි. පැමිණි පිළිවෙළට අසුන් ගන්න පුළුවන්.

මේ සා වියදමක් දරමින් නිකුත් කරන Pen Drive එක සහ සීඩී හතර ම සතියක් ඇතුළත ව්‍යාජ අනු පිටපත් ලෙස වෙළෙදපොළට එන්න ඉඩ-කඩ නැද්ද?

ඇත්තට ම මේ පරිහානිගත වුණ වෙළෙඳ සමාජයේ එවැන්නක් වීමට තිබෙන ඉඩ ප්‍රමාණය වැඩියි. මේ වැඩේ කරන්නෙ ඒ අවදානම නොදැන නෙවෙයි. නමුත් මම මේ ඒකරාශි කිරීමෙන් බලාපොරොත්තු වන්නේ මේ ගීත සංරක්ෂණය කිරීම සහ අදාළ ගීතවල පළමු නිර්මාණ ශිල්පියෝ සහ ශිල්පිනියෝ කවුද යන්න තහවුරු කරගැනීමට අනාගත පරපුරට දැන ගැනීමට හැකි වීම. අපි දන්නවා අපේ ජ්‍යෙෂ්ඨ පරපුරේ ගීත රචක රචකාවන්ගේ ගීත ලිව්වෙ ඔවුන් ම ද, ගායනා කළේ ඔවුන් ම ද නැද්ද යන්න පැටලිලි සහගත අවස්ථා එළඹිලා තියෙනවා. මම නිරන්තරයෙන් ම ශාස්ත්‍රීය කටයුතුවල නියැළී සිටින නිසා ම අදහස් කළා මේ සියල්ල විධිමත් ආකාරයකට සංරක්ෂණය කර තබන්න. පොත සකස් කිරීමේ දි වුණත් මේ පිළිබඳ ව සැලකිලිමත් වුණා.

Pen Drive තාක්ෂණයට අවතීර්ණ වෙද්දි මුහුණ පෑ අභියෝග මොනවද?

Pen Drive එකකට යන්න හේතු වුණේ ඇයි ද යන්න පළමුවෙන් ම පැහැදිලි කළ යුතුයි. දැන් බොහෝ අය සීඩී භාවිතා කරනවා අඩුයි. වාහනයක ගමන් කරද්දි, කාර්යාලයේ වැඩ කරන මොහොතෙ පමණක් නොවෙයි නිවසෙ දි වුණත් වඩාත් භාවිත කරන්නෙ Pen Drive. ඒ එක්කම අභියෝගයක් ද පවතිනවා. එනම් දැනට ම සමහර ගීත ලෝලියෝ ගීත දහස් ගණනින් Pen Drive එකට ඇතුළත් කරගෙන රසවිඳිනවා. නමුත් ඒ අය නොදැනම ඒ ගීතවල තාක්ෂණික තත්ත්වය අවම කර තිබෙනවා. තවත් විදියකින් කියනවානම් උසස් තාක්ෂණික තත්ත්වයක් නැහැ. මට වුමනා වුණා මේ කියපු තාක්ෂණික තත්ත්වය රැකගන්න. එතනදි මම MP3 hige Qulity යන තාක්ෂණ ක්‍රමවේදය භාවිත කළා. අනෙක් කාරණය වෙන්නෙ මේ Pen Drive එක මකා දමන්න හෝ වෙනත් කිසිවක් ඇතුළු කරන්න බැහැ. මේ Pen Drive එක අයත් වෙන්නෙ ‘‘රීඩ් ඔන්ලි’’ යන වර්ගිකරණයට. ලංකාවේ ගීත ශ්‍රවණය සහ පරිහරණය යන කාරණයේ දී මෙය අලුත් ම සන්ධිස්ථානයක් වේවි සහ මේ තාක්ෂණික පිම්ම අනාගතයෙ දී ලාංකික ගීත ක්ෂේත්‍රයට බලපාවි කියල මම විශ්වාස කරනවා.

නිර්මාණ බිහිවීම සහ බිහි කිරීම යනුවෙන් හඳුන්වන්නෙ ක්‍රමවේද දෙකක්. මට දැනෙන විදියට ඔබටත් ගීත ලියවිලා තියෙනවා. ඒ වගේ ම ලියලත් තියෙනවා. මේ ක්‍රමවේද දෙක වෙන් කරගන්නෙ කොහොමද?

ඇත්තට ම ගීතයක් හෝ කවියක් වගේම නවකතාවක් කෙටිකතාවක් ලියන්න බැහැ. මේ සියල්ල ලියවෙන්න ඕන. ඔබේ ප්‍රශ්නයට අනුව බොහෝ විට සිද්ධ වෙන්නෙ සිතුවිල්ලක් පැන නැඟිල එය රචනයක් බවට පත්කිරීම යි. නමුත් වුවමනාවෙන් ම සහ හිතල ම කළ යුතු අවස්ථා ද එළඹෙනවා. උදාහරණයක් විදියට කියනවා නම් චිත්‍රපටයක් හෝ ටෙලිනාට්‍යයක් වෙනුවෙන් අපිට ලැබෙන ආරාධනයක දි; අධ්‍යක්ෂක දෙන ප්‍රස්තුතය සහ ඒ තිරනාටකයට අනුකූලව සහ ඒ වෙනුවෙන් ම හිතල ගීත රචනා කරන්න සිද්ධ වෙනවා. නමුත් සාමාන්‍යයෙන් නම් සිදුවිය යුත්තේ ස්වයංව ම ලියැවීම යි. එසේ ලියන ගීතවලදි ඒ ගීතය අඩංගු වෙන්නෙ කුමන අවස්ථාවක ද, අදාළ ගීතයට යොදාගන්න බලාපොරොත්තු වන ගායකයා හෝ ගායිකාව කවුද යන්න පිළිබඳව හිතන්න වෙනවා. ඒ ඒ ශිල්පීන්ට අනුව ගීතයට යොදා ගන්නා භාෂා රටාව පවා වෙනස් කළ යුතු අවස්ථා තිබෙනවා.

එවන් අවස්ථාවක දි ගීත රචකයෙක් විදියට තමන්ගේ ස්වාධීනත්වය ආරක්ෂා කරගත හැකිද?

එතනදි බොහෝ සෙයින් උපක්‍රමශිලි විය යුතුයි. අපි අපේ භාෂා රටාව, වදන් භාවිතය යනාදි අනන්‍යතා රැකෙන ආකාරයට නම්‍යශිලි විය යුතු අවස්ථා එළඹෙනවා. එතනදි අදාළ අධ්‍යක්ෂක, සංගීත ශිල්පියා ගායකයා හෝ ගායිකාව යන සියලු දෙනාගේ අදහස්වලට ගරු කළ යුතු අවස්ථා ද එළඹෙනවා. එය තරමක් අසිරු වුණත් කළ යුතු වෙනවා. සරලව ම ගත්තොත් ටෙලි නාට්‍ය සහ චිත්‍රපට යන මාධ්‍යය දෙකට ගීත රචනා කරනවිට පවා ඒ ඒ වෙනස්කම් වෙන වෙන ම හඳුනාගත යුතු වෙනවා. ටෙලිනාට්‍ය කියන්නෙ සාමාන්‍ය‍යෙන් ආලින්දයේ වාඩිවෙලා ගෙදර හැමෝ ම සමග නරඹන නිර්මාණයක්. නමුත් චිත්‍රපටය ඊට වඩා බොහෝ වෙනස් මාධ්‍යයක්. එතනදි තේමා ගීතය ද පසුබිම් ගායනයට ලියන ගීතයක් ද යන කරුණ අනුව වෙනස්කම් සිදුකළ යුතුයි. ඒ සමඟ ම චිත්‍රපටවල පමණක් නොවෙයි ටෙලිනාට්‍යවල පවා පෙර නිමි තනුවලට ගීත ලියන්න සිද්ධ වෙනවා. ඒ හැම අවස්ථාවක දී ම ඉතා සීරුමාරුවට මේ අභියෝග ජයගත යුතු වෙනවා.

කිසියම් ටෙලිනාට්‍යයක හෝ චිත්‍රපටයක තේමා ගීතයක් ලියද්දි මුහුණ පාන්න වන අභියෝග මොනවද?

තේමා ගීතයක් රචනා කරද්දි අනිවාර්යයෙන් ම සමස්ත කියවීමක් කළ යුතුයි. ඒකට හොඳම උදාහරණයක් කියන්නම්. මම මීට වසර ගණනාවකට කලින් ‘සෙනුරි’ ටෙලිනාට්‍ය සඳහා ලියපු තේමා ගිතය. ‘සිතල සුසුමට උණුසුම් සිතුවිලි’ නමැති එ් ගීතය ගායනා කළේ රුකාන්ත ගුණතිලක සහ චන්ද්‍ර ‍ෙල්ඛා යුවළ. එ් නවකතාවේ රචකයා වෙන්නෙ එඩ්වඩ් මල්ලවආරච්චි. ඔහු ඉතා අවංකව ම මට පැවසුවේ ඔහු පිටු තුන් හාරසියයක් පාවිච්චි කරල කියපු දේ ම ඔයා පේළි දහයකින් දොළහකින් කියල තියෙනවා කියල. ඒ සම්බන්ධයෙන් ඔහු කතා කළේ අතිශය තෘප්තිමත් බවකින්. මෙන්න මේ අභියෝගය ජයගන්න ගීත රචකයකුට හෝ රචකාවකට හැකියාවක් තිබිය යුතුයි. ඒ වගේම ඇතැම් අවස්ථාවලදි අදාළ සිනමා නිර්මාණයේ හෝ ටෙලිනාට්‍යයේ වැඩි අවධානයට ලක්වෙන ඉංගිතයක් ඉලක්ක කරන්න සිදු වෙනවා. එබඳු අවස්ථාවල දි අධ්‍යක්ෂක සහ තිර රචකයා සමඟ ඇති කරගන්නා එකඟතාව මත ඔවුන් දරන අදහස ඉස්මතු කරන්න සිද්ධ වෙනවා. ඒ වගේ ම මෙය සාමාන්‍ය සරල ගීතයක් ලියනවට වඩා බෙහෙවින් ම වෙනස්. ඒ නිසා මෙය එක්තරා මටට්ටමක අභියෝගාත්මක කාරණයක්.

මේ කටයුත්තෙ දී කිසියම් මත ගැටුම් ඇතිවුණ සහ ගීත රචනය අතුහැර දැමු අවස්ථා තිබෙනවද?

ක්ෂේත්‍රයක් විදියට ඇතැම් අයට එහෙම අවස්ථාවලට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. නමුත් මම විශ්වාස කරනවා කිසියම් අධ්‍යක්ෂවරයෙක් හෝ අධ්‍යක්ෂවරියක් තමන්ගේ නිර්මාණයක් වෙනුවෙන් මට කියල ගීතයක් ලියවා ගන්න එන්නෙ: මම කවුද, මගේ අනන්‍යතාව මොකක්ද, මගේ ශෛලිය මොකක්ද, මම භාවිත කරන භාෂා රටාව මොකක්ද යනාදි සියල්ල පිළිබද අවබෝධයෙන්. ඒ වාසනාව නිසාද මන්දා මට ඔබ සඳහන් කරන ආකාරයේ අත්දැකීමකට මුහුණ දෙන්න සිද්ධ වෙලා නැහැ. මෙහි දී මට ඉතා වැදගත් වුණේ මම නියැළී සිටින රැකියාවට අනුබද්ධ රූප මාධ්‍යය පිළිබඳ තිබෙන අත්දැකීම්.

අපි හැමෝ ම දන්න කාරණය නම් කවිය ආත්මිය ප්‍රකාශනයක්. නමත් ගීතය සාමුහික ප්‍රකාශනයක්. මේ සාමුහිකත්වයේ අන්‍යෝන්‍ය අවබෝධයෙන් තොර ගීතයක් සාර්ථක වෙන්න පුළුවන්ද?

ඇත්තට ම බැහැ. ඒක සාර්ථක නිර්මාණයක් වෙන්නෙ නැහැ. ඒ එක්ක ම මෙයත් සිහිපත් කළ යුතුයි. එනම් අපි හිතනවා කිසියම් කවියකට තනුවක් දැමු පමණින් එය ගීතයක් වෙන බව. නමුත් එය වැරැදි අදහසක්. පැහැදිලිව ම අවබෝධ කරගත යුත්තේ මෙය මාධ්‍යය දෙකක් බවයි. ඔබ සදහන් කළ ආකාරයට ම කවිය ආත්මීය ප්‍රකාශනයක්; ගීතය සාමුහික ප්‍රකාශනයක්. ගීතයක් පරිසමාප්තියට පත් වෙන්න නම් එහි තනුවට සහ සංගීතයට ඉඩක් තිබිය යුතුයි. තිබිය යුතුයි නොවෙයි ඇත්තට ම වෙන් කළ යුතුයි. ඒ නිසා අපි ගීතයක් ලෙස යම් රචනාවක් කරනවානම් තනිවම කියවා රස විඳිනවට වඩා රචනය ශ්‍රව්‍ය ගෝචර ලෙස රසිකයා අතරට ළඟා වෙනවා ය යන අදහසට ප්‍රමුඛත්වය දිය යුතුයි.

ගීත රචනයක් සාර්ථක වෙන්නෙ මේ පුර්ව නිගමනයේ සිටියොත් පමණයි. මොකද ගීතයක දී රචකයා පමණක් සාර්ථක වීම සාධාරණ නැහැ. සංගීතඥයාගේ දායකත්වය වගේ ම ගායකයාගේ හෝ ගායිකාවගේ නිසි දායකත්වය අනිවාර්ය යි. ඒ සියල්ල සම්පූර්ණ වීමෙන් අනතුරුවයි ගීතයක් සාර්ථක වෙන්නෙ.

 

අදහස්