ඕඝ තරණය | Page 2 | සිළුමිණ

ඕඝ තරණය

ජෛන හාමුදුරුවරු තමන්ගෙ හිසකෙය උගුල්ල ගන්නවා. අප්‍රසිද්ධියෙ නෙමෙයි කෙළින් ම ප්‍රසිද්ධියෙ. ඔවුන්ගෙ ස්ව පීඩකත්වයෙ එක්තරා කොටසක් තමයි පෞද්ගලිකත්වයෙන් තොරව සිටීම. ඔවුන් තමන්ගෙ හිසකෙය උගුල්ල දාන්න කඩමණ්ඩිවලට ඇතින් නිර්වස්ත්‍රව හිටගෙනයි. රැස්වෙලා ඉන්න සෙනඟ සතුටින් අත්පොළසන් දෙනවා. ජෛන භික්ෂුන් තමන් ගැන අතිවෙන මහා ආත්මානුකම්පාවෙන් අවිඥානකව සතුටක් ලබන බව පෙනුණත් ඔවුන්ගෙ දෑස්වලට උනපු කඳුළු ඔබට පෙනේවි. මට ඔය වැඩ රූස්සන්නෙ නෑ. මං ඒ වගේ ස්වපීඩක අභ්‍යාසවලට මුළුමනින්ම විරුද්ධයි. ජෛනාගමේ සත්තාර චාරිත්‍රය හෙවත් නොකා නොබී දිවි තොරකර ගැනීමේ චාරිත්‍රය කියන්නෙ දීර්ඝ කාලීනව තමන්ටම වද වේදනා පමුණුවා ගැනීම මිසක් වෙන දෙයක් නෙමේ. ඒ පිළිවෙතට සහයෝගය දක්වන්ඩ මට බෑ. නමුත් මං දිවි නසා ගැනීමට ඇති අයිතිය පිළිබඳ අදහසට නිසැකවම සහයෝගය දක්වනව. මං ඒක සලකන්නේ ජන්ම උරුමයක් හැටියටයි. ලෝකේ ඉන්න හැමෝටම ඒක පොදුයි. කවදා හරි සියලු සංස්කාරයන් නැති වේවි. එය සැමට ඇති අයිතිය අපරාධයක් නෙමෙයි.

ඒක ‍එහෙම වුණත් කිසිවකුට වද හිංසා පැමිණවීම වගේම තමාටම වද හිංසා පමුණුවා ගැනීමත් අපරාධයක්. මගෙ මේ අදහස නොහික්මුණු එකක් නොවන විත්තිය තේරුම් ගන්ඩ ඔබට හැකි වේවි. මං එදා ජෛන භික්ෂුවගෙන් ඇහුවෙ හරියටම අදාළ ප්‍රශ්නයක්. එදා පටන් ඇරඹිච්ච මගෙ ඉදිරි ජීවිත කාලෙ පුරාම මං කරගෙන ගිය අරගලයට , ඒ කියන්නෙ සියලු වර්ගවල ආගමික තකතීරුකම්වලට, විකාරවලට, අද්භූත විශ්වාසවලට කොටින්ම කියනව නම් ආගමික විකාරවලට විරුද්ධව මගෙ ජීවිත කාලය පුරා ගෙන ගිය කැරලිවලට මුල ඇල්ලුවේ අන්න එදා තමයි. එහෙමයි ඕං මගෙ ජීවිතේ කැරලිකාරිත්වය ඇරඹුවෙ. ඒක මගෙ ජීවිතේ අවසානය දක්වා පවතීවි. සමහර විට ඊට පසුත් පවතීවි.

ජේසුන් වහන්සේ යුදෙව් ආගමික නායකයන් එක්ක දේවස්ථානෙදි තර්ක කරපු දවස මට ඓතිහාසිකව සුවිශේෂ වූවක්. ජෛන භික්ෂුවගෙන් ප්‍රශ්න කරපු දා මගෙ වයසයි යුදෙව් ආගමික නායකයන් එක්ක තර්ක කරපු ජේසුස් වහන්සෙගෙ එදා වයසයි සසඳලා බැලුවම ජේසු මට වඩා ටිකයි වැඩිමල්. වෙනස අවුරුදු අටක් නවයක් විතර ඇති. එතුමා එදා තර්ක කරපු විදිහෙන් එතුමගෙ ඉදිරි ජීවිතයේ කාර්යභාර්ය විනිශ්චය වෙනව.

අර ජෛන භික්ෂුවගෙ නම ශාන්ති සාගර්. ඒකෙ තේරුම ශාන්තියට සාගරයක් වුණු තැනැත්තා කියන එකයි. ඔහු නම් ශාන්තියට සාගරයක් නෙමේ නිකම්ම මඩ ගොහොරුවක්.

ශාන්ති කියන වචනෙට තේරුම් ගොඩක් තියෙනවා. ඒකෙන් සාමකාමී බව අදහස් වෙන්න පුළුවන්. නිහඬතාව අදහස් වෙන්න පුළුවන්. තේරුම් ගොඩ අතරින් ඒ දෙකයි මූලික වෙන්නෙ. ඒත් ඒ දෙකම ඔහු ළඟ තිබුණෙ නෑ. මං අහපු ප්‍රශ්නෙන් ඔහු කැලඹිල්ලට පත්වෙලා හිටියෙ නෑ කියල කියන්ඩ බෑ. මට ‘ඉඳ ගන්නව!’ කියල ඔහු කෑ ගැහුවෙ ඒකයි.

‘මේක අපේ ගෙදර. පිට කිසි කෙනෙකුට බෑ අපේ ගෙදරදී මට ‘ඉඳ ගන්නවා!’ කියන්ඩ! ඒත් මට පුළුවං ඔයාට ‘එළියට බහින්ඩ!’ කියල කියන්ඩ. ඔයාට බෑ මාව ඉන්දවන්ඩ. මං ඔයාට එළියට බහින්ඩ කියල නොකියන්නෙ මට තව ප්‍රශ්න දෙක තුනක් අහල උත්තර දැන ගන්ඩ ඕනෑ හින්දයි. ඔයාගෙ නම ශාන්ති සාගර්නෙ. ඒක මතක තියා ගන්ඩ! සාගරයක් වෙන්ඩ බැරුවට පොකුණක් හරි වෙන්ඩ පුළුවන්නෙ. මං වගේ පොඩි කොල්ලෙක් අහන දේවල්වලින් ඔළුව අවුල් කර ගන්ඩ එපා! මං කිව්ව.

එහෙම කියල මං අපේ ආච්චි දිහෑ බැලුව. උන්දැ හිටියෙ හිනා වෙවී.

‘....... මොකද කියන්නෙ? මං එයාගෙන් තව ප්‍රශ්නයක් දෙකක් අහන්ඩ ද? නැත්තං දොට්ට බැහැල යන්ඩ කියන්ඩද?’ මං ආච්චිගෙන් ඇහුව.

මං සීයගෙන් මොකුත් ඇහැව්වෙ නැත්තෙ ජෛන භික්ෂුව උන්දැගෙ ගරු හාමුදුරු‍වො හින්දයි.

‘උඹට ඕනෑ එකක් අහපං! උන්නාන්සෙට උත්තර නැත්තං ඔන්න පිටවෙලා යන්ඩ දොර ඇරලයි තියෙන්නෙ’ ආච්චි කිව්වා.

එහෙම තමයි මං ආදරේ කළ මාතාව කතා කළේ. ඒ තමයි මං කැරලිකාරයෙක් කරපු ගැහැනිය! ආච්චි මගෙ පැත්තට කතා කරනව ඇහිල සීයත් හෙල්ලිලා ගියා ඊනියා ශාන්ති සාගරුත් නිශ්ශබ්ද වුණා. ආච්චි විතරක් නෙමේ අපේ මිදුලට රැස්වෙලා හිටිය මුළු ගමේම සෙනගත් ගත්තෙ මගෙ පැත්ත. ජෛන භික්ෂුව අසරණ වෙලා නැති වුණා.

ඊළඟට මං ශාන්ති සාගර්ගෙන් මෙහෙම ප්‍රශ්නයක් ඇහුව.

‘ඔබ වහන්සෙ කිව්වනේ තම තමං ම අත්දැකල අවබෝධ කර ගන්න කම් කිසි දෙයක් විශ්වාස කරන්ඩ එපා කියල. මට ඒකෙ ඇත්තක් පේනව. ඒ හින්දයි මං මෙහෙම අහන්නෙ. ජෛනාගම්කාරයො අපාය හතක් තියෙනව කියල විශ්වාස කරනවනේ. ඔය කියන හය වෙනි අපාය දක්වා අපායවලට ගියාට ආපහු එන්ඩ පුළුවන්නේ. නමුත් හත්වෙනි අපාය සදාකාලිකයිනේ. ඉතිං ඔබ වහන්සෙ හත්වෙනි අපායට ගිහිල්ල තියනවද? ඒකයි මගේ ප්‍ර‍ශ්නෙ. ගිහිල්ල තියන බව හැබෑව නම් ඔබ වහන්සෙට මේ විදිහට ඉන්ඩ බෑනෙ. ගිහිල්ල නැත්තං හත්වෙනි අපායක් තියනව කියල ඔබ වහන්සෙ කිව්වෙ මොන බලයක් තියන හින්ද ද? ඔබ වහන්සෙට කියන්ඩ තිබුණෙ අපායවල් හයක් තියනව කියලනේ. දැන් ඉතිං මේ වැරැද්ද හදන්ඩ! අපායවල් හතක් නෙමේ හයයි තියෙන්නෙ කියල කියන්ඩ! හතක් තියනව නං දැං මට ඔප්පු කරල පෙන්නන්ඩ ශාන්ති සාගර් කියන කෙනා හත්වෙනි අපායෙනුත් මිදිල ආපු කෙනෙක් කියල’.

ලබන සතියට

 

Comments