උදාර මහැ­­දුරු පියදාස රණසිංහ | සිළුමිණ

උදාර මහැ­­දුරු පියදාස රණසිංහ

මහාචාර්ය ඩබ්ලිව්. ඒ. වීරසූරිය මහාචාර්ය පියදාස රණසිංහයන් දෙවන ගුණානුස්මරණය නිමිත්තෙනි.

 

මහාචාර්ය පියදාස රණසිංහයන් උපත ලැබූයේ 1949 ඔක්තෝබර් 10 දින පුත්තලමේදී ය. එතුමා මූලික අධ්‍යාපනය 1953 සිට පුත්තලම තබ්බෝව තම්බපන්නි විද්‍යාලයෙන් ද ද්විතීය අධ්‍යාපනය 1965 සිට දෙල්ගොඩ කල්‍යාණ ප්‍රදීප පිරිවෙණෙන් ද ලැබීය.

1967 දී විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයට ඇතුළත්ව සිංහල විෂය පිළිබඳව ශාස්ත්‍රවේදී (විශේෂ) උපාධියත්, ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් විශ්වවිද්‍යාලයෙන් පුස්තකාල හා විඥාපන විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධියත් එතුමා 1994 වර්ෂයේදී ලබාගත්තේ ය. උසස් අධ්‍යාපනය ලැබීමෙන් අනතුරුව කැලණිය විශ්වවිද්‍යාලයෙහි සිංහල අධ්‍යයනාංශයෙහි තාවකාලික කථිකාචාර්ය හොබවා ඉනික්බිතිව මහාචාර්ය ඩී.ඊ. හෙට්ටිආරච්චි මහතාගේ ශාස්ත්‍රීය ඇසුර ලබමින් සිංහල ශබ්දකෝෂයේ සහකාර සංස්කාරක ධූරය දරමින් ශබ්දකෝෂකරණයට ඉමහත් සේවාවක් ඉටු කරන ලදී. 1979 ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සහකාර පුස්තකාලයාධිපති තනතුරට පත්වීම ඒ මහතාගේ ශාස්ත්‍රීය ගමන් මඟ නව මාවතකට අවතීර්ණවීමට හේතු විය. මහාචාර්ය රණසිංහයන්ට සිංහල භාෂාව, සංස්කෘත, පාලි සහ විශේෂයෙන් ඉංග්‍රීසි භාෂාව ලේඛනකරණයෙහි හසළ දැනුමක් තිබිණි. මහාචාර්ය පියදාස රණසිංහයන් මේ වර්තමාන ශ්‍රී ලංකාවේ පුස්තකාලයාධිපතිවරුන්ට පමණක් නොව සියලුම විද්වතුන්, වෘත්තිකයන්, ඇතුළු පොදු ජනතාවට ද ලද හැකි මහඟු ආදර්ශයකි.

පුස්තකාල හා විඥාපන විද්‍යා ක්ෂේත්‍රයේ වර්ධනයට කැපවන ඒ මහතාණන් 1994 දී කැලණිය විශ්වවිද්‍යාලයේ වැඩ බලන පුස්තකාලයාධිපති ලෙස පත් විය. 1996 – 1998 වකවානුව තුළ එතුමා රජරට විශ්වවිද්‍යාලයේ පුස්තකාලයාධිපති වශයෙන් පත්ව එහි ගොඩනැඟිලි සංකීර්ණය නිර්මාණය සහ පර්යේෂණ සහ ශාස්ත්‍රීය එකතුව වර්ධනය කිරීමට පුරෝගාමීව කටයුතු කළේ ය. 1998 වර්ෂයෙහි අග භාගයේදී කැලණිය විශ්වවිද්‍යාලයේ පුස්තකාල හා විඥාපන විද්‍යා අංශයෙහි ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධ‍ූරයත් එහි අංශ ප්‍රධාන ධූරයත් පසුකාලීනව මහාචාර්ය සහ‍ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ධූරයත් හෙබවීය.

යම් තැනැත්තෙක් යම් තනතුරකට පත්වූයේ නම් එම තනතුරෙහි රාජකාරි, වගකීම් නිසි ලෙස ඉටු කරමින් සාධාරණ, අපක්ෂපාතී සහ අවංක ගුණාංගවලින් යුතුව සේවය කළ යුතු බව ඒ මහතා ආදර්ශයෙන් පෙන්නුම් කළේ ය. කිසියම් ලිපියක හෝ ලේඛනයක අක්ෂර වින්‍යාසය, නිවැරැදි ව්‍යාකරණය, විරාම ලක්ෂණ යෙදීම සහ අර්ථය හොඳින් කාහටත් අවබෝධ වන ලෙස ලිවිය යුතු බව ඔහුගේ උගැන්ම විය.

රණසිංහයන් සේවය කළ වකවානුව තුළදී හා ඉන් අනතුරුවත් කැලණිය විශ්වවිද්‍යාලයෙහි ශාස්ත්‍රීය ප්‍රකාශන, නිල ප්‍රකාශන බොහොමයක භාෂා සංස්කරණ කටයුතුවල ප්‍රාමාණික ලෙස යෙදිණි. භාෂාවක වියරණ හා වාග්විද්‍යා අංශය පමණක් නොව, සාහිත්‍ය කලා අංශයෙන් ද යන දෙඅංශයෙන්ම ප්‍රගුණත්වයක් ලබා තිබීම යම් අයෙක් භාෂා ප්‍රවීණයකු වශයෙන් සැලකීමේ ප්‍රධාන ලක්ෂණයකි. රණසිංහයන් කාව්‍ය රචනය, කෙටි කතා රචනය, සාහිත්‍ය කෘති පරිවර්තනයෙහි ද දක්ෂයකු විය.

2006 – 2008 වකවානුව තුළ යක්කල ආයුර්වේද විශ්වවිද්‍යාල විද්‍යායතනයෙහි අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කරන සමයේ එහි සිසුන් නුවර පාරට යාබදව බිත්තියක අලවා තිබූ පෝස්ටරයක සිංහල භාෂාව දෝෂ සහිතව ‍යොදා තිබූ අවස්ථාවක භාෂාවකට එ් කරන වැරැද්ද, සිසුන්ට පෙන්වා ‍දුන්නේ මේ වරද නොකරන ලෙසත් ඉදිරියේදී නිවැරැදිව පෝස්ටර් ලිවීමට තමා හමුවන ලෙසත් පවසමිනි. මෙය වර්තමාන විශ්වවිද්‍යාල පාලනය කරන බලධාරීන්ට පමණක් නොව සමස්ත සමාජයට ඒ මහතා දුන් ආදර්ශයකි. එතුමා නිරන්තරයනේ පැවසූයේ “ආචාර්යවරුන් වන අප ද ශිෂ්‍යයන් වන ඔබ මෙන් ම ශිෂ්‍ය කණ්ඩායමක් වන බවයි.

මහාචාර්ය පියදාස රණසිංහයන් සෑම ශිෂ්‍ය ශිෂ්‍යාවකට ළෙන්ගතුව කටයුතු කළේ ය. අපට වඩා එතුමා ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ මුදල් දුෂ්කරතා, පවුල්වල ගැටලු, ඔවුන්ගේ කායික හා මෙන් ම මානසික ගැටලු යනාදිය ඔවුන්ට ඉතා සමීප වෙමින් දැනගන්නට යෙදිණි. සිසුන් මුහුණපාන සෑම ගැටලුවක්ම පෞද්ගලිකවත්, රාජකාරි ලෙසත් විසඳීමට කටයුතු කරන ලදී. මා පුද්ගලිකව ම දන්නා පරිදි ඉතා මූල්‍ය දුෂ්කරතාවලින් යුත් සිසුන්ට පරිත්‍යාගශීලී ලෙස උදව් කරන ලදී.

එතුමාගේ තවත් ආදර්ශයක් වන්නේ, එතුමා හඳුනන යම් අයෙක් යම් වරදක් කරන්නේ නම් පුද්ගලයාගේ, නෑදෑකම, හිතවත්කම හෝ තරාතිරම නොබලා ඍජුවම ඔහුට හෝ ඇයට එම වරද පෙන්වා ‍දීමයි. කිසි දිනක මහාචාර්යතුමා යමෙකු කළ වැරැද්දක් හෝ වරදවල් පෙන්වා දීමෙන් අනතුරුව, එය තම සිත නොතබාම සිතින් ඉවත් කර ගැනීමේ ගුණයක් විය.

විශ්වවිද්‍යාල ආචාර්යවරයකුගේ රාජකාරි හා වගකීම් අතර යහපත් පුද්ගලයන් නිර්මාණය කිරීම, චරිත සංවර්ධනය කිරීම මෙම මහාචාර්යතුමා ඉතා හොඳින්ම ඉටු කළේ ය. එතුමා බිහි කර ඇති ශිෂ්‍ය ප්‍රජාව සහ ඔවුන් දැනට ලබාගත හැකි හැකියා, තත්ත්ව, මිනිස් ගුණ මේ සෑම දෙයකින් ම අපට පෙන්වා දෙන්නේ මහාචාර්යතුමා වැනි උදාරතර පුද්ගලයකුගේ ඉතා ගැඹුරු ජීවන දර්ශනයයි.

 


ශ්‍රී ලංකාවේ ප්‍රථම භාෂා සාහිත්‍ය කෞතුකාගාරය

ඩබ්ල්යු. ඒ. සිල්වා වෙනුවෙන් රවි තිලකවර්ධන

භාෂා සාහිත්‍ය ලෝලීන්ට අලුත් හා මහඟු අත්දැකීමක් තිළිණ කරන ප්‍රථම භාෂා සාහිත්‍ය කෞතුකාගාරය, සැප්තැම්බර් 01 වන දා වැල්ලවත්ත ඩබ්ල්යු. ඒ. සිල්වා මාවතේ පිහිටි ‘සිල්වර්මියර්’ මැඳුරේදී විවෘත කෙරේ. වචනයේ පරිසමාප්තාර්ථයෙන් ම භාෂා සාහිත්‍ය කෞතුකාගාරයක් වන මෙය, හෙළදිව මහා නවකතාකරු වන සාහිත්‍ය කීර්ති ඩබ්ල්යු. ඒ. සිල්වා (1890- /1/16--1957/5/31) සූරීන් සිය ජීවිතයෙන් ඉතා දිගුකලක් ගත කළා වූත්, ඒ මහා භාෂා සාහිත්‍ය මෙහෙවරට සෙවණ සැලසුවා වූත් නිවහනයි.

අතීත ශ්‍රී විභූතිය වර්තමාන පරපුර හමුවේ ජීවමාන කෙරෙමින් අනාගත පරපුරට ද දායාද කිරීමේ අරමුණින් දිවයින සතර දිග්භාගයේ පිහිටුවා ඇති විවිධ කෞතුකාගාර අතරේ භාෂා සාහිත්‍ය කෞතුකාගාරයට වෙසෙස් තැනක් හිමිවන්නේ එය නූතන මිනිසාගේ බුද්ධියේ නිම්වළලු ප්‍රසාරණය කිරීමට මෙන් ම ඔහුගේ ආකල්ප වර්ධනයට ද බොහෝ සෙයින් උපස්ථම්භක වෙන හෙයිනි.

මේ භාෂා සාහිත්‍ය කෞතුකාගාරයෙහි ආරම්භක ස්ථානය හෙවත් පළමු නැරඹුම් මැදිරිය ඩබ්ල්යු. ඒ. සිල්වා සූරීන් විසින් සිය නිර්මාණ කටයුතු සඳහා භාවිතා කරන ලද බටහිර පැත්තේ පිහිටි කාමරය යි. එ තුමා විසින් පරිහරණය කරන ලද මේසය පුටුව ඇතුළු භාණ්ඩ කිහිපයක් මෙය තුළ ප්‍රදර්ශනයට තබා ඇත.

දෙවන මැදිරියෙහි තබා ඇති එතුමන් විසින් පරිහරණය කරන ලද අල්මාරිය තුළ එ තුමන් ගේ නව කතා කිහිපයක අත් පිටපත් ප්‍රදර්ශනයට තබා ඇත. තව ද මේ මැදිරිය තුළ සිල්වර්මියර් නිවෙසට අදාළ භාණ්ඩ කිහිපයක් ද එ තුමන් ගේ නවකතාවල මුල් මුද්‍රණවල (ලෙටර් ප්‍රෙස්) පිටපත් සමූහයක් ද ප්‍රදර්ශනය කෙරේ.

තුන්වන මැදිරිය තුළ ඩබ්ල්යු. ඒ. සිල්වා සහ ගුවන් විදුලිය (රෙදෙව්ව) සම්බන්ධ තොරතුරු මෙන් ම භාණ්ඩ ද ප්‍රදර්ශනය කෙරේ. තව ද ඩබ්ල්යු.ඒ සිල්වා සූරීන් සතුව තිබූ විශාල පුස්තකාලයෙහි තිබූ තෝරාගත් ඉපැරණි ග්‍රන්ථ සමූහයක් ද එකී පුස්තකාලය ප්‍රතිනිර්මාණය කිරීමක් වශයෙන් මෙම මැදිරිය තුළ ප්‍රදර්ශනයට තබා ඇත.

හතරවන මැදිරිය ඩබ්ල්යු.ඒ.සිල්වා සූරීන් සහ සිංහල සිනමාව වෙනුවෙන් වෙන් කොට ඇත. ඩබ්ල්යු.ඒ. .සිල්වා සූරීන් ගේ නවකතා ඇසුරු කොට නිපදවුණු චිත්‍රපටවල තොරතුරු ද ඡායාරූප ද මෙම මැදිරියෙහි ප්‍රදර්ශනය කෙරේ.

තව ද එකල භාවිතා වූ බිම සිටුවන වර්ගයේ ඉතා විශාල ප්‍රමාණයේ කැමරාවක් ද මෙම මැදිරිය තුළ ප්‍රදර්ශනයට තබා ඇත.

මෙම කෞතුකාගාරයේ අවසන් මැදිරි කිහිපය තුළ එ කළ භාෂාවේ හා සාහිත්‍යයේ ප්‍රවර්ධනයට විශාල මෙහෙයක් නිහඬව ඉටු කළ සාම්ප්‍රදායික (ලෙටර් ප්‍රෙස්) වර්ගයේ සම්පූර්ණ මුද්‍රණාලයක් ස්ථාපනය කොට ඇත. ලී සහ ඊයම් අකුරු, අකුරු තටු, අකුරු ඇමිණීමේ හා පිටු සැකසීමේ යන්ත්‍ර, මුද්‍රණ යන්ත්‍ර, කොකු ගැසීමේ යන්ත්‍ර, පොත් තද කිරීමේ සහ පොත් කැපීමේ යන්ත්‍ර ආදී වශයෙන් යන්ත්‍ර සූත්‍ර ගණනාවක් සහ මේ මුද්‍රණ ක්‍රමය පිළිබඳ තොරතුරු මෙයට ඇතුළත් ය.

ආචාර්ය කේ.ඩී.පී.වික්‍රමසිංහ මහතා විසින් 1966 දී එළි දක්වන ලද ‘සාහිත්‍ය ලිපි ගොන්න’ නම් ග්‍රන්ථයෙහි ‘අපට අවශ්‍ය සාහිත්‍ය කෞතුකාගාර’ යන ශීර්ෂය යටතේ භාෂා සාහිත්‍ය කෞතුකාගාර පිළිබඳ දක්වා ඇති පහත තොරතුරු ඉතා වැදගත් වනු ඇත.

“ලංකා වාසී අපට අපේ මිය ගිය එක එක සාහිත්‍ය සේවියා වෙනුවෙන් එක එක කෞතුකාගාරය බැගින් පිහිටුවීමට ශක්තියක් නැත. වෙන ම කෞතුකාගාරයකින් සම්මාන කළ යුතු තත්ත්වයේ මිය ගිය ලේඛකයන් ද තුන් හතර දෙනෙකුට වඩා අපට නැති බව ද පිළිගත යුතු ය. රටේ කාහටත් ලෙහෙසියෙන් නැරඹිය හැකි පරිදි අපේ අගනුවර එක පොදු සාහිත්‍ය කෞතුකාගාරයක් පිහිටුවීමට හැකි වෙතොත් අපේ මිය ගිය සාහිත්‍ය සේවීන් හට ගෞරව කිරීම සඳහා ඒ හොඳ ම සිහිවටනයක් වනු ඇත.”

අප සියලු දෙන හොඳින් දන්නා කොග්ගල මාර්ටින් වික්‍රමසිංහ ජන කලා කෞතුකාගාරය ද භාෂා සාහිත්‍ය ක්ෂේත්‍රයෙහි ඉතා වැදගත් සිහිවටනයකි.

1890 දී ලංකාවට පැමිණි ශ්‍රේෂ්ඨ රුසියානු ලේඛක ඇන්ටන් චෙකොෆ් සිහිවීම පිණිස කර ඇති සැමරුම ලාල් සරත් කුමාර මහතා විසින් රචිත ‘චෙකොෆ්ගේ ලංකා ගමන ප්‍රශ්න කරවමු’ නම් ලිපියෙහි මෙසේ දක්වා ඇත.

“ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලය චෙකොෆ් වෙනුවෙන් බොහෝ කැපකිරීම් කර තිබේ. අපට චෙකොෆ් චරිතය ගැන මෙතරම් අවධානයකින් කතා කරන්නට වන පරිසරය සපයා දුන්නේ එහි කීර්තිමත් කළමනාකාරීත්වයයි. එහි අංක 304 දරණ කාමරය ඇන්ටන් චෙකොෆ් නමින් නම් කරවා ඔහු පරිහරණය කළ ගෘහ භාණ්ඩ එහි තැන්පත් කර සාහිත්‍යධරයකුට දියහැකි ඉහළ ම ඇගයීම ලාංකික පාඨකයා වෙනුවෙන් කර තිබේ.”

ජාත්‍යන්තර කෞතුකාගාර පිළිබඳ ව ඉහත ලිපියෙහි අඩංගු පහත කරුණු ද සාහිත්‍යධරයනට උපහාර දැක්වීම පිළිබඳ ව වැදගත් තොරතුරු හෙළදරවු කරනු ඇත.

“මෙම තත්ත්වය සෝවියට් දේශය පුරා බහුලව දැකගත හැකි වේ. ඔක්තෝබර් විප්ලවයට පෙර විසූ මහා සාහිත්‍යකරුවන් බොහෝ දෙනෙකු අදත් ජීවමානව ජනතා ගෞරවයට පාත්‍ර වනුයේ ඔවුන් වෙනුවෙන් සෝවියට් සමූහාණ්ඩුව ලබාදී තිබූ ගෞරවය හේතු කොට ගෙනයි.

ටෝල්ස්ටෝයි, ගෝර්කි, චෙකොෆ් ඩෝස්ටොස්කි ඒ අතර සුවිශේෂත්වයට පත්ව තිබේ. ඔවුන්ගේ නිවෙස්, ඔවුන්ගේ තාවකාලික නවාතැන්, ඔවුන් පරිහරණය කළ දෑ රැසක් අද ඉතිහාසය විසින් අනාගතය සඳහා දායාද කර තිබේ.

අදත් මොස්කව් නගරයේ සැරිසරන්නෙකුට බොහෝ ස්ථානවලදී එවැනි සටහන් ගල්පුවරුවල හා පිත්තල ඵලකවල දැකගත හැකිව තිබේ.

ඩබ්.ඒ.සිල්වා සූරීන් ගැන කීවත් එපමණ ය. එතුමාගේ වැල්ලවත්ත ‘සිල්වර්මියර්’ නිවෙසට අමතරව, පාමංකඩ, බම්බලපිටිය, බණ්ඩාරවෙල ආදී ප්‍රදේශ ගණනක ජීවත්වෙමින් තම සාහිත්‍ය මෙහෙවර කර තිබේ. එතුමා ප්‍රකට ‘කැලෑ හඳ’ නවකතාව ලියා අවසන් කළේ බණ්ඩාරවෙල තමා සතු කැලිඩොනියා තේ වත්තේ ජීවත් වන අවධියේ ය. නිර්මාණකරුවනට, විචාරකයනට මෙන් ම පොදු පාඨකයාට ද ස්වර්ණමය අවස්ථාවක් විවර කර දෙමින් සැප්තැම්බර් 1 වන දා පොදු ජන අයිතියට පැවරෙන මේ භාෂා සාහිත්‍ය කෞතුකාගාරය වූ කලී අද්විතීය සාහිත්‍ය නිර්මාණකරුවකුට චිර ජීවනය ලබාදීමට මෙන් ම ඒ නිර්මාණාත්මක පර්යාලෝකය මේ රටේ නව නිර්මාණකරුවන් කෙරෙහි විහිදුවාලීමට ද දැරුණු ප්‍රයත්නයකි.

 

Comments