සර් කියවා ගන්නා දේශපාලන චණ්ඩි | සිළුමිණ

සර් කියවා ගන්නා දේශපාලන චණ්ඩි

හිටපු ජනාධිපතිවරයකු වූ රණසිංහ ප්‍රේමදාස මහතාට ලැබෙන සෑම ලිපියකටම පිළිතුරක් යැවීම අනිවාර්යෙන්ම සිදු කෙරුණකි. ඒ සෑම ලියුමකම අස්සන් කිරීමට පෙර එතුමා සඳහන් කර තිබුණේ ‘මෙයට ඔබගේ යටහත් සේවක’ යනුවෙනි. ලිපිය කියවන ඕනෑම පුරවැසියකුට දැනෙන්නේ ජනාධිපතිවරයා තමාගේ සේවකයකු ලෙස පෙනී සිටින බවයි. ඒ රටේ ජනාධිපතිවරයාය.

පාකිස්තානයේ හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක ඉම්රාන් ඛාන් එරට අගමැති පදවියෙන් පිදුම් ලද අවස්ථාවේ මන්දිරයේ වාසය ප්‍රතික්ෂේප කෙළේය.

ඒ අන්තර්ජාතික උදාහරණයකි.

මේ කතා දෙකම සිහිපත් කිරීමට සිදු වූයේ අප දුටු අරුම-පුදුම බෝඩ් ලෑල්ලක් නිසාය. එහි සඳහන් වූයේ ‘‘නගරයේ පළමු පුරවැසියා නිසාත්, මෙම ආයතනයේ ප්‍රධාන විධායක තතතුරු හොබවන නිසාත් සියලු නිලධාරි සේවක මහත්ම මහත්මීන් සහ සියලු ජනතාව ‘සර්’ යන නාමයෙන් ආමන්ත්‍රණය කළ යුතුය.’’ යන්නයි. ඒ බෝඩ් ලෑල්ල එල්ලා තිබුණේ මහරගම නගරසභාවේ සභාපතිවරයා විසිනි. ඒ නිකම්ම නොවේ; තම අස්සනද එහි යොදමිනි!

රටක ජනාධිපතිවරයකු හා ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩකයකුව සිට අගමැති පුටුවට ආ අයකු හා තම නිහතමානිත්වය, නිරහංකාර බව එසේ පෙන්වද් දී නගරසභාවක සභාපතිවරයකු මෙසේ බලයෙන් තමන්ට ‘සර්’ කියාගන්නට උත්සාහ ගනිද් දී අපට ඔහුගේ සැබෑ ස්වරූපයද තේරුම් ගැනීම අපහසු නොවේ. එවන් මානසිකත්වයක් හට ගන්නේ සැබෑවටම හීනමානයක් ඇති අයකු තුළය.

ඒ හීනමාන ස්වරූපයේ සැබෑ නිරුවත පසුගියදා හෙළි විය. ඒ එම නගරසභාවේ විදුලි අංශයේ කම්කරුවන් සිව් දෙනකුට ඉතා දරුණු ලෙස පහර දී තිබීමෙනි.

මහරගම නගරසභාවේ සේවය කරන සුළු සේවකයන් සිව් දෙනකුට පසුගිය 06 වැනිදා සවස නගරසභාවේ සභාපති ටිරාජ් ලක්රුවන් පියරත්න විසින් පහර දීමක් සිදු කළේයැයි පසුගිය සිකුරාදා නගරසභාවේ සියලු සේවකයෝ තම රාජකාරිවලින් හා දෛනික සේවාවන්ගෙන් බැහැරව විරෝධය දැක්වූහ.

මේ සම්බන්ධව කරළියේ කතාබහ වෙද් දී සභාපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ, තමා කිසිම පහරදීමක් සිදු කර නැති බවකි. තමන් බීමතින් සිටි සේවකයින් සිව් දෙනකුට අවවාද කළ බව පමණක් ඔහු පවසා සිටී. කෙසේ වෙතත් ඒ පහරකෑමට ලක් වූ සේවකයින් සිව් දෙනාත්, විදුලි අංශයේ සහ අනෙකුත් සුළු සේවකයන්ද පවසා සිටින්නේ ඔවුන් පසුගිය 6 වැනිදා දහවල් ආහාරය ගෙන නැවත කාර්යාල පරිශ්‍රයට පැමිණීමෙන් අනතුරුව සභාපතිවරයා තම ඔහුගේ නිල කාමරයට කැඳවා ඔවුන්ට අමානුෂික ලෙස බිම පෙරළා පහර දීමට ලක් කළ බවයි. එමෙන්ම දණගස්සවා, අනතුරුව දණගසන ආකාරය වැරදියැයි පවසමින් නැවත පහරදීමක් සිදු කර ඇති බවත්ය. මේ සම්බන්ධයෙන් ඔවුන් පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවද, හෝමාගම රෝහලෙන් ප්‍රතිකාරද ලබා ඇති බව ද දැනගන්නට ඇත.

සභාපතිවරයාගේ මේ අත්තනෝමතික ක්‍රියාකලාපය හෙළා දකිමින් පසුගිය 7 වැනිදා සිකුරාදා මහරගම නගරසභාවේ නිලධාරීන් ප්‍රමුඛ සුළු සේවකයෝ සියලු දෙන තම සේවයෙන් බැහැර වෙමින් ඔහුට විරෝධය දැක්වීමට කටයුතු කළහ.

කොළඹට පසු ශ්‍රී ලංකාවේ දෙවැනි විශාලතම වෙළෙඳ ආර්ථිකය පවතින මහරගම නගරයේ නගරසභාවට විශාල කාර්යභාරයක් හිමි වේ.

රෙදිපිළි කර්මාන්තය හා අනෙකුත් ක්ෂේත්‍ර මෙන්ම මහජනතාවට අවශ්‍ය දෛනික පොදු සේවා සැලසීම, විශේෂයෙන් කැළිකසළ ඉවත් කිරීම හා සෞඛ්‍ය සේවා කටයුතු, විදුලි ඉංජිනේරු සේවා කටයුතු, පරිපාලන සේවා කටයුතු අඩපණ වීමෙන් විශාල අර්බුදයකට මුහුණ දීමට සිදු වනු ඇති බවට එහි නාගරික මන්ත්‍රී ධනුෂ්ක රාමනායක මහතා පුවත්පත් නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටියේය.

පවත්නා තත්ත්වය සමනය කිරීම භාර ගත යුත්තේ කවුරුන්ද යන්නට වඩා මේ තත්ත්වයන්ගෙන් නගරසභාව මුදාගෙන නගරසභාව විධිමත් නගරසභාවක් බවට පත් කිරීමේ අවශ්‍යතාව දැන් දැන් වඩ-වඩාත් දැඩිව දැනෙන කාලයක් බවට පත් වී ඇති බවත්, පසුගිය පළාත් පාලන මැතිවරණ කාලසීමාවේ දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමඟ ඉදිරිපත් වී බයිසිකලය ලකුණ ජයග්‍රහණයට වංචනිකව දායකත්වයක් ලබා දී ප්‍රෝඩාකාරි ලෙස පත් වූ කණ්ඩායමකින් බලයට පත් මේ පිරිස විසින් අද වන විට මහරගම සමස්ත පරිපාලන කටයුතු බිඳ-දමමින්, විනය කඩ කරමින් මේ කටයුතු සිදු කරමින් සිටින බවත් ඔහු පෙන්වා දී ඇත.

දේශපාලන අධිකාරිය වේවා, ඉහළ නිලධාරීන් වේවා තමන්ගේ අවශ්‍යතා ඉටු කරගැනීම සඳහා පහළ තනතුරු හොබවන මිනිසුන් හෝ ආයතනික සුළු සේවකයන් භාවිත කිරීම ඇතැම් දේශපාලකයන්ගේ සිරිත වී තිබේ. ඔවුන් හයිකාරකම් දමන්නේද මේ අහිංසකයන්ටය.

තමන්ගේ සුඛ විහරණය වෙනුවෙන් සාමාන්‍ය ජනයාට මත්ද්‍රව්‍ය, දුම්වැටි සහ මත්වතුර වැනි ඕනෑම දෙයක් දී හෝ අනිසි ආකාරයෙන් මුදල් ලබා දෙමින් හෝ එසේත් නැති නම් වෙනත් පහසුකම් සලසමින් තමන්ගේ හුදු ලාභ-ප්‍රයෝජන සඳහා ජනතාව යොදාගැනීම වත්මන් කූට දේශපාලකයන්ගේ ගති ස්වභාවය වී තිබේ.

මේ දේශපාලක ක්‍රියාදාමයන් කිසිදු ලෙසකින් අපට අනුමත කළ නොහැකිය. නිලධාරියකුගෙන් හෝ සේවකයකුගෙන් විනය විරෝධි ක්‍රියාමාර්ගයක් සිදුව ඇත් නම් කළ යුත්තේ ආයතන සංග්‍රහයට සහ විනය පටිපාටියට අනුව කටයුතු කිරීමය.

පහර දීමට හෝ අවම වශයෙන් බැණ-වැදීමට හෝ කිසිදු බලයක් කිසිදු නිලධාරියකුට හෝ දේශපාලනඥයකුට හිමිව නැත.

විදුලි අංශයේ එම කම්කරුවන් සිව්දෙනා තම රාජකාරි අවසන් කිරීමෙන් පසු සිය නිවෙස් බලා යන අතරතුර පන්නිපිටිය “බෝගහ ලඟ රෙස්ටුරන්ට් එක” ලෙස හඳුන්වනු ලබන ස්ථානයට ගොස් එහි දී මත් වතුර තොල ගාගත් අවස්ථාවක සභාපතිවරයා විසින් නිල කාමරයට ඔවුන් රැගෙන ගොස් පහර දුන් බවක්ද වෙනත් ආරංචි මාර්ගවලින් පැවසේ.

සභාපතිවරයා මීට පෙරද මෙලෙසම මාර්ග අංශයේ කම්කරුවන් පිරිසකට පහර දී ඇති බවට වාර්තා වන අතර, එම කම්කරුවන් එය ප්‍රසිද්ධ නොකර රහසක් ලෙස තබාගෙන ඇතත් විදුලි කම්කරුවන්ට පහරදීමත් සමඟ එම සිදුවීමද හෙළිදරව් වී තිබේ.

සභාපතිවරයා ඇතුළු අපේක්ෂක ලැයිස්තුවේ බොහෝ පිරිසක් නගරසභා බල ප්‍රදේශයෙන් පිටස්තර පුද්ගලයන් වීම නිසා එම අපේක්ෂක ලැයිස්තුව බල රහිත කිරීම සඳහා අධිකරණ ක්‍රියාමාර්ගවලටද එළඹ ඇත.

සභාපතිවරයා විසින් පහර දුන් බව කියන මේ කතාවේ ඇත්ත-නැත්ත කෙසේ වුවත් පසුගිය කාලය පුරාම පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක්ම විවිධාකාරයේ චෝදනාවලට ලක්ව සිටිති. පොල්ගහවෙල ප්‍රදේශයේ දී එක් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු පොලිස් නිලධාරියකුට පහර දී තිබිණි.

ගම්පහ දිස්ත්‍රික්කයේ කෙළවරක ප්‍රාදේශීය සභාවක් නියෝජනය කරන පොහොට්ටුවේ ස්වාමීන් වහන්සේ නමක් විසින් කුඩා පිරිමි දරුවකු අපයෝජනය කිරීම පිළිබඳවද මේ වන විට පරීක්ෂණ සිදු කෙරෙමින් පවතී.

මේ වන විට තවත් සිදුවීමක් අපට මොනරාගලින් වාර්තා විය. පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී මොනරාගල ප්‍රදේශීය සභාව සඳහා තරග කළ පොදුජන පෙරමුණේ අපේක්ෂකයකු විසින් මැතිවරණ සමයේ සිදු කළ මැතිවරණ නීති උල්ලංඝනනයක් සම්බන්ධයෙන් මොනරාගල මහාධිකරණයේ ගොනු කර ඇති නඩුව සැප්තැම්බර් 10, 11, 12, 13 යන දිනයන්හි දී විභාගයට ගැනීමට නියමිතව ඇත.

එයට මැදිහත් පාර්ශ්වයක් ලෙසින් පැෆරල් සංවිධානයද කටයුතු කරමින් සිටී.

මුළුමනින්ම අල්ලස් දෙමින් මැතිවරණ ප්‍රචාරණය සිදු කළ බවට මේ අපේක්ෂකයාට විරුද්ධව චෝදනා එල්ල වී ඇත. ඒ නිවාසවලට විදුලිය සැපයීම මෙන්ම ජලය සැපයීම සඳහා මුදල් දීම වැනි කරුණුය. එම අල්ලස් දීම් මේ වන විට පැහැදිලිවම ඔප්පු වී ඇති බව වාර්තා වේ.

බලය ඇති විට මොළය නැති වීමක් ගැන දේශපාලනය ගැන කතා කරද් දී අපට අසන්නට ලැබී ඇත.

සමෘද්ධි නිලධාරීන් ගස් බැඳීමක් ගැන අපට කාලයකට පෙර අසන්නට ලැබිණි. ගුරුවරුන් දණ ගැස්සවීමක් ගැනද වරෙක අසන්නට ලැබිණි. අද වාර්තා වී ඇත්තේ සුළු සේවකයින් දණගැස්වීමකි. ප්‍රදේශීය සභාවේ දී මේ ලෙසින් බලය භාවිත කරන්නේ නම් ඔවුන් තව ටික කලකින් දණගස්සවනු ඇත්තේ කවුරුද?

ඒ කෙසේ වුවත් තමන් මහ ලොකු හයිරංකාරයන් බව සිතමින් ඔවුහු මෙසේ හැසිරෙති; වැඩ කරති. තමන්ට ‘සර්’ කියන්නට කියන්නේ ඒ පහත් මානසිකත්වය නිසාය.

බුදු රජාණන් වහන්සේ දේශනා කළේ යම් අයකු බමුණකු හෝ වසලයකු වන්නේ ක්‍රියාවෙන් මිස උපතින් නොවන බවයි. දේශපාලන පක්ෂය කුමක් හෝ වේවා, වසලයකු නොවී තම කටයුතු කරගෙන මහජන සේවය ඉටු කළ යුතුය. එත් මෙසේ බලෙන් ‘සර්’ කියවාගනිමින්, සේවකයන්ට පහර දෙමින්, පොලිස් නිලධාරීන්ට අඩන්තේට්ටම් කරමින් සිටිනා මහජන නියෝජිතයන්ගෙන් අපට බලාපොරොත්තු විය හැක්කේ කුමන සහනයක්ද?

මෙවන් සිදුවීම් වාර්තා වූ සැණින් ඒ දේශපාලන නියොජතයන් අදාළ ආයතනවලින් පහ කිරීමේ ක්‍රමවේදයක් දේශපාලන පක්ෂ විසින් අනුගමනය නොකිරීම කනගාටුවට කරුණකි.

අදහස්