මාරු කළ යුත්තේ ඔළු නොවෙයි ප්‍රති­ප­ත්තියි | සිළුමිණ

මාරු කළ යුත්තේ ඔළු නොවෙයි ප්‍රති­ප­ත්තියි

 මැති­ව­ර­ණය ඉක්මන් කරන්න කියලා වේදි­කාවෙ කෑ මොර දෙන ජනතා විමුක්ති පෙර­මුණ ඇයි සීමා නිර්ණය පනත සම්මත කිරීමේ දී පැනලා ගියේ.

අපි කව­දා­වත් පැනලා යන පක්ෂ­යක් නෙමෙයි. සීමා නිර්ණය පනතේ අඩු­පාඩු තිබුණා. ඒක වෙනම එකක්. නමුත් ආණ්ඩු­වට ඕන වුණේ පනත සම්මත නොකර මැති­ව­ර­ණය කල් දාන්න. ආණ්ඩු­වට මැති­ව­ර­ණය මඟ හැර යන්න උදවු කරන්න අපට අවශ්‍ය නැහැ. අපට අවශ්‍ය මැති­ව­ර­ණය පව­ත්වන්න. ආණ්ඩු­වට ඕන කරපු සීමා නිර්ණය පනත පර­ද්දන්න ඒකට විරු­ද්ධව අත උස්සලා ආණ්ඩුවේ ගම­නට සහාය දෙන්න අව­ශ්‍ය­තා­වක් අපේ පක්ෂ­යට නැහැ. පන­තට පක්ෂව හෝ විප­ක්ෂව හෝ ඡන්දෙ නොදෙන නිසා ජන්දය විම­සන වේලාවෙ සභාවේ සිටීමේ අව­ශ්‍ය­තා­වක් නැහැ

මුස­ම්මිල් මහතා පසු­ගිය දිනක කිව්වා මැති­ව­ර­ණය කල් දාන්න ආණ්ඩුව ගන්නා උත්සා­හ­යට සහාය දෙන්න ජවිපෙ මාරු වුණා කියලා. ජනතා විමුක්ති පෙර­මු­ණත් මේ ක්‍රියා­දා­මයේ ඉත්තො වෙලා කිව්වා

අපි කාගෙ­වත් ඉත්තො වෙන්නෙ නැහැ. ඔය කියන උද­වි­යත් එදා සීමා නිර්ණය පනත මඟ ඇරි­යනේ එයා­ල­ටනෙ ඕන කරන්නෙ මැති­ව­ර­ණය කල් දාන්න. අපි හය දෙනාගෙ ඡන්දය ඔය තීර­ණය වෙනස් කරන්න බල­පෑ­මක් වෙන්නෙ නැහැනෙ.

පසු­ගිය මැයි 31ට කලින් මැති­ව­ර­ණය ගැන පොදු තීර­ණ­යක් ආණ්ඩු­වත් සමග ඇති කර­ගෙන තිබෙන බවක් ජවිපෙ නාය­කයා කියපු බවක් එතු­මාම කිව්වා. එතුමා අභි­යෝග කරලා ඇහුවා ‍කෝ එක­ඟ­තාව කියලා.

අපි 25%ක කාන්තා නියෝ­ජ­නය ගැන එකඟ වුණා. කොට්ඨාස ක්‍රමය ගැන එකඟ වුණා. ඒ එක­ඟතා මිසක් අපිට ආණ්ඩුව එක්ක ඩීල් නැහැ.

මැති­ව­ර­ණය සම්බ­න්ධව දැන් ජනතා විමුක්ති පෙර­මුණ සද්ද­යක් නැහැ වගේ.

මැති­ව­ර­ණය කඩි­න­මින් පැවැ­ත්විය යුතුයි යන මතයෙ අපි ඉන්නේ. කොට්ඨාස ක්‍රම­යෙන් හෝ මනාප ක්‍රම­යෙන් හෝ මැති­ව­ර­ණය කඩි­නම් කිරී­මයි අපට අවශ්‍ය වන්නේ. මොන ක්‍රම­යෙන් ආවත් අපි ඉදි­රි­පත් වෙනවා. කොට්ඨාස ක්‍රම­යෙන් පව­ත්ව­නවා නම් වඩාත්ම හොඳයි. අපි ආණ්ඩු­වට කියන්නෙ ඉක්ම­නින්ම මැති­ව­ර­ණය පව­ත්වන්න කියලා. ආණ්ඩුව තේරුම් ගත යුතුයි මේ දක්වා මැති­ව­රණ කල් දාපු ආණ්ඩු­ව­ලට මොකද වුණේ කියලා. ඒ පාඩම දැන්වත් ආණ්ඩුව ඉගෙන ගත යුතුයි.

සීමා නිර්ණය පනත පාර්ලි­මේ­න්තුවේ 3න් 2ක බල­යක් නොමැ­තිව පරා­ජය වූවා­යින් පසුව අග­මැ­ති­ව­ර­යාගේ මූලි­ක­ත්ව­යෙන් යුක්ත කමි­ටු­වක් මඟින් ලබා දෙන නිර්දේ­ශය මඟින් එය සම්මත කරවා ගත හැකි බවක් කිය­නවා. නමුත් ඩලස් අල­හ­ප්පෙ­රුම මහතා පවසා තිබුණා එය පාර්ලි­මේ­න්තුවේ පරා­ජ­යට පත් වූවා­යින් පසුව එසේ කිරීම වැරැ­ද්දක් බව. ඔබ පක්ෂය ඒ ගැන දරන මතය කුමක්ද?

ඩලස්ගේ කතා ගැන මම දන්නේ නැහැ. එතුමා එහෙම ප්‍රකා­ශ­යක් කළා නම් ඒකට හේතුව එයා­ගෙන්ම අහන්න. අපේ පක්ෂය ඒ ගැන දරන මතය නෙමෙයි මෙතැ­නට අවශ්‍ය වෙන්නේ. නීත්‍ය­නු­කූල තත්ත්වය ගැනයි අප අව­ධා­නය යොමු කළ යුත්තේ. 19 වන සංශෝ­ධ­නයේ පැහැ­දි­ලිව තියෙ­නවා සීමා නිර්ණය පනත 3න් 2 කින් පරා­ජය වුණොත් කතා­නා­ය­ක­ව­රයා විසින් අගැ­මැ­ති­ව­ර­යාගේ මූලි­ක­ත්ව­යෙන් සම­න්වි­තව පත් කරනු ලබන කමි­ටු­වක් හරහා එම පනත සම්මත කරවා ගත හැකි බව. පනතේ එසේ තිබිය දී ඒ ගැන නොදත් අය කියන කතා ගැන කතා කරන්න මම කැමැති නැහැ. සම­හරු තමන්ගේ පක්ෂයේ අර්බුද වහ­ගන්න මාතෘකා වෙනත් අත­කට හර­වන අව­ස්ථාත් තියෙ­නවා. ඒ, ඒ අයගේ දේශ­පා­ල­න­යනෙ.

ඒකා­බද්ධ විප­ක්ෂය ලබන 5 වැනි දා කොළඹ අව­හිර කරන්න දැවැන්ත ජන­බ­ල­යක් ගෙන එන බව පවසා තිබෙ­නවා. ඔබ පක්ෂ­යත් මෙයට සම්බන්ධ වෙන­වාද?

නැහැ, අපේ කිසිම සම්බ­න්ධ­යක් නැහැ.

එවන් ජන පෙළ­පා­ළි­ය­කින් ජන ජීවි­තය අවුල් වීම ගැන ඔබ පක්ෂය දරන මතය කුමක්ද?

දැන් ජන ජීවි­තය අවුල් වෙලා නැත්ද? ජන­තා­වට කන්න බොන්න පුළු­වන් වාතා­ව­ර­ණ­යක්ද තියෙන්නෙ. බඩු මිල අහස උසල නැඟලා. හිතෙන හිතෙන වේලා­වට බඩු මිල ඉහළ යනවා. ඉගෙන ගත්තාට රැකියා නැහැ. රටේ දැවැන්ත ණය වාරික ගෙවන ක්‍රම­වේ­ද­යක් නැහැ. ණය ගන්න නිසි ක්‍රම­වේ­ද­යක් නැහැ. රට අස්ථා­වර වෙලා, අරා­ජික වෙලා. වාහන තද­බ­දය නිසා ගම­නක් යන්න එන්න බැහැ. හැම තැනම වර්ජන. ඒ ක්‍රියා­වන් නිසා ජන ජීවි­තය අවුල් වෙලා නැද්ද?

ඒ කියන්නෙ ඔබ මේ ජන­බ­ල­යක් උප­යෝගී කර­ගෙන කොළඹ සිදු කරන්න යන අව­හිර ක්‍රියා­දා­මය අනු­මත කර­නවා ද?

ඔව් , ආණ්ඩු­වට විරෝ­ධය පාන්න කරන දේ අපි අනු­මත කර­නවා. ජන­තාව අප­හසු වෙන්නේ ආණ්ඩුවේ වැඩ­පි­ළි­වෙ­ළින්. ඒ ආණ්ඩු­වට විරෝ­ධය පෑම කළ යුතු­මයි. ඒ විරෝ­ධතා හමුවේ ජන­තා­වට අප­හ­සුතා ඇති වෙයි. ආණ්ඩු­වක අනිසි දූෂිත වැඩ­පි­ළි­වෙ­ළට විප­ක්ෂ­යට කරන්න පුළු­වන් හැම දෙයක්ම කළ යුතුයි.

ඔබ පක්ෂය නිත­රම කියන දෙයක් තමයි මේ රටේ ආර්ථි­කය හදන්න ඔළු ගෙඩි මාරු කරල හරි­යන්නෙ නැහැ කියලා. ඒ මාරු­ක­රන හෝ නොක­රන ඔළු ගෙඩි­ව­ලට ඔබ පක්ෂයේ ඔළුත් අයිති වෙන­වනේ

මේක පැහැ­දි­ලිව ජන­තාව තේරුම් ගත යුත්තක්. අදත් අපි කියන්නේ ඒකම තමයි. මාරු කරන්නේ ඕන පක්ෂ­වල ඔළු ගෙඩි ටික නෙමෙයි. අපි රට හදන්න නම් මාරු කළ යුත්තේ ප්‍රති­ප­ත්තියි. අද අපේ රටේ කිසිම ප්‍රති­ප­ත්ති­යක් තියෙ­න­වද? නිෂ්පා­දන ආර්ථි­ක­යක් තියෙ­න­වද? සෞඛ්‍ය සේවා­වට ප්‍රති­ප­ත්ති­යක් නැහැ. අධ්‍යා­ප­න­යට නැහැ. ප්‍රවා­හ­න­යට නැහැ. අඩු ගණනේ කෘෂි­ක­ර්මා­න්ත­ය­ට­වත් ප්‍රති­ප­ත්ති­යක් තියෙ­න­වද? ණය ගැනීම ගැන ප්‍රති­පත්ති නැහැ, අඩුම ගානේ ණය ගෙවන එක ගැන­වත් ප්‍රති­ප­ත්ති­යක් තියෙ­න­වද?

ජන­තාව කැමැති පක්ෂ­යක් පත් කර ගැනීම ප්‍රජා­ත­න්ත්‍ර­වාදී රටක අයි­ති­යක්. ඔබ ඒ අයි­ති­යත් වැරැදි ලෙස ද දකින්නේ

අපේ අයි­තිය අපි යොදා ගත යුත්තේ රටක සංව­ර්ධ­න­ය­ටයි. ඒ මඟින් අප­ටත් සංව­ර්ධ­නය නැත්නම් ආර්ථි­කය යහ­පත් කර ගන්න පුළු­වන්. ජන­තා­වයි මේ අය පත් කර ගන්නේ. ජන­තාව තීර­ණය කර­නවා නම් මේ දූෂිත ඔළු ටිකම එහාට මෙහාට මාරු කළ යුතුයි කියල, ඒ මාරු කිරීමේ කරු­මය ගෙවන්න වෙන්නෙත් ජන­තා­ව­ට­මයි. තල වැපි­රි­රු­වොත් තලම තමයි අස්වැන්න හැටි­යට ගන්න වෙන්නේ. ඒක ජන­තාව හොඳින් මතක තබා­ගත යුතු­මයි.

සංවා­දය - තාරක වික්‍ර­ම­සේ­කර

Comments