පාපයක් නැතිව සාපයක් කුමට ද? | සිළුමිණ

පාපයක් නැතිව සාපයක් කුමට ද?

මහා ඇලෙක්සැන්ඩර්, ජුලියස් සීසර් වැනි පාලකයන් ඔවුන්ගේ සංග්‍රාම මඟින් ඉතිහාසයේ සමස්ත ගමන් මාර්ගයම වෙනස් කළ ද ඔවුනට ද සිය බල ව්‍යාපෘතිය සදා කල් පවත්වාගත නොහැකි විය. රජුන්ගේත් රජු ලෙස වැජඹුණු කුරිරු ආඥාදායකයකුගේ පිළිරුව පවා ඇද වැටී නටබුන් ගොඩක් බවට පත් වූ අයුරු ෂෙලී කවියා සිය ඔසිමැන්ඩියාස් නම් කවියෙන් ගෙනහැර පායි. බලය යනු එතරම්ම ම තාවකාලික වරප්‍රසාදයකි. එහෙත් එහි අල්පකාලික බව සලකා රාජ්‍ය අත්හැර මාලිගාවෙන් පලා ගොස් වන වදින සිරිසඟබෝවරුන් යනු එක්තරා සිහිනයක් පමණි.

ඉතාම සාර්ථක දේශපාලනඥයන් වීමට ඇතැමුන් ප්‍රජාතන්ත්‍රවාදය අවලංගු කොට ආඥාදායකයන් බවට පත් වෙතියි බර්ට්‍රන්ඞ් රසල් නම් දාර්ශනිකයා සිය Power නම් කෘතියෙහි පවසයි. අපි මේ ප්‍රකාශයෙහි සත්‍යතාව මින් වසර තුනහමාරකට පෙර අත්දැක ඇත්තෙමු. එදා අප ඇස්පනාපිට දුටු ආඥාදායකත්වයේ ඇතැම් ලක්ෂණ නායකයා සතු වූ නිර්භීතකම ලෙස, ඔහු සතු පෞරුෂය ලෙස සලකා ඒ මළගිය කුරිරු අතීත සාපය යළි කැදවා ගැනීමට කැසකවනු අද අපි දකිමු. මෙය අතීත වහල් දාස මානසිකත්වයේ ම ප්‍රකාශ වීමකි.

හැට දෙලක්ෂයක ජනතාව ගේ කැප වීමෙන් 2015 ජනවාරි 08 වැනිදා සිදු වූ දේශපාලන පරිවර්තනය සැබැවින් ම විප්ලවයකැ යි සිතෙන්නේ නායකයා හා පවුල කේන්ද්‍රීය අත්තනෝමතික බලයේ වූ අන්තරාය පිටුදැකීමට එමඟින් හැකි වීම නිසා ය.

මෙරට ජනතාව සිය නව නායකයා ලෙස තෝරාගත් මෛත්‍රීපාල සිරිසේන යනු කාගේ හෝ උරුමයක් කඩා වඩා ගත්තෙක් නොවේ. ලොව ප්‍රථම අග්‍රාමාත්‍යවරිය වන සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ගේ ආදරයට පාත්‍ර වෙමින්, දේශපාලන ජීවිතයේ සියලු කඩඉම් පසු කරමින් වසරින් වසර, දශකයෙන් දශකය ලැබූ ඇත්දැකීම්වලින් එතුමා ලද අවබෝධය, ප්‍රඥාව කිසිදු විශ්වවිද්‍යාලයකින් ලැබිය හැකි නොවේ. ජනතාවගෙන් ඈත් ව සිට නොව වසර ගණනාවක් ඔවුන් සමඟම එකට සිට කටයුතු කිරීමෙන් ලද පරිණතභාවයක්, දුරදක්නා නුවණක් මෛත්‍රීපාල සිරිසේනයන් සතුය.

ජනාධිපතිවරයකු ලෙස එතුමා පරිණත නැතැයි යමකු පවසන්නේ නම් ඒ වනාහි අතීතය නොදන්නා කමේ ප්‍රතිඵලයකි. එතුමා පරිණත නැතැයි කියන ඕනෑම කෙනකුගේ පරිණතභාවය එවිට අපට පෙරළා විමසා සිටීමට සිදු වේ.

වඩාත් අර්ථවත් විපක්ෂයක් යනු බලයේ සිටින පාර්ශ්වයේ ගමන් මඟ නිරවුල් කරගැනීමට අනගි පිටුබලයක් සපයන්නකි. ආණ්ඩුවේ ක්‍රියාකාරකම් පිළිබඳව සහේතුකව විවේචනය කිරීමේ අයිතිය විපක්ෂය සතුය. එහෙත් මේ ආණ්ඩුව බලයට පත් වූ දා සිටම නැවතත් බලය අපට දියවු, දියවු කියමින් ඝෝෂා කිරීම ඉස්සා ඉසේ අසූචි තබාගෙන මං සුදනා යැයි කියන ජාතියේ අයගේ ක්‍රමය මිස වැදගත් විපක්ෂයක ස්වරූපයක් නොවේ.

අනියත බියකින් තොරව ජීවත් විය හැකි රටක්, හොඳින් ක්‍රියාත්මක වන රටක්, අන්තර්ජාතික වශයෙන් සුහදතාව වර්ධනය කොට මිත්‍රත්වය තහවුරු කරගත් රටක් හිතුමතේ කඩාකප්පල්කාරී ලෙස උදුරාගන්නට කැසකැවීමෙන් පෙනී යන්නේ කුමක් ද? පවත්නා පාලනයේ බැරි කම ද? නැත. ප්‍රජාතන්ත්‍රවාදය අවංගු කරමින් ව්‍යවස්ථා නියමයන් උල්ලංඝනය කරමින් කටයුතු කොට අවසන පාලන බලය අහිමිවීමෙන් උපන් වියරුවේ මුහුණුවරය.

‘පහර පිට පහර දෙන කොට පරුවතයත් ගමන් යාලු‘ කියා පැරණි පිරුළක් ඇතත් ඊට ද නිසි කාලය එළැඹිය යුතුය. මේ අය ඊට කලින් දීපාපයක් නැතුව සාපයක් කොයින් දැයි එකල ගැමියන් කියූ කියුම සිහිපත් කළොත් හොඳය. මේ එන්නේ පාපයක් නැතත් සාපයක් ඇතැයි කියමින් බලය උදුරා ගන්නටය. එහෙත් බලය ලබාගත් පසු ඔවුන් පිහිටුවන්නේ සර්වතෝභද්‍ර පාලනයක් ද? සැබැවින්ම අතීතය අමතක නොකරන පහසුවෙන් නොරැවටෙන මිනිස්සු බැටළු හම් පොරවාගත් වෘකයන් හඳුනාගැනීමට සමත් වෙති.

හැලහැප්පීම් මැද වුවත් ප්‍රධාන පක්ෂ දෙක එක්ව රාජ්‍ය කරන සමයකි මේ. මෙය නව අත්හදා බැලීමකි. මේ තරම් තර්ජන, ගර්ජන, ජනඝෝෂා මැද වුවත් ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික අපේක්ෂාව සුරකිමින් ආඥාදායකත්වයන් සාර්ථක වීම තෝරා නොගත් ජනපතිවරයෙකි මේ. ගර්ජනයට තර්ජනයෙන් පිළිතුරු දීම ප්‍රතික්ෂේප කළ පාලන සමයකි මේ.

ජනාධිපති කාර්යාලය කාර්ය බහුලත්වයෙන් පිරී ඇත. පැය 8කට වැඩියෙන් වැඩ කරන කාර්යාලයක් ඇති නම් ඒ ජනාධිපති කාර්යාලයයි. මීට කලින් මෙතරම් වැඩ කොටසක් පරිපාලන යන්ත්‍රණයක් ඉතිහාසයේ කවර කලක හෝ ක්‍රියාත්මක වී දැයි යන්නට පිළිතුරු දිය හැක්කේ මධ්‍යස්ථ මතධාරීන්ට මිස අන්තවාදීන්ට නොවේ. දැන් මෙතරම් ජනඝෝෂා නැඟෙන්නේ ජනතාවගේ අප්‍රමාණ ප්‍රශ්න වෙනුවෙන් උපන් අතිමහත් කැක්කුමකින් දැයි විසා බැලීම ඔබ සතුය. ජනඝෝෂා නැඟෙන්නේ ජනයගේ එදිනෙදා ප්‍රශ්න සඳහා විසඳුම් පිණිස නොවේ. මීට වසර තුනහමාරකට පෙර කළා වූ අසාධාරණකම්වලට වන්දි ගෙවීම පිණිස ද නොවේ. කෑ ගසන මිනිසුන්ගේ හෙට දවස සුඛිත මුදිත කරන්නට ද නොවේ. මේ ඝෝෂා කිරීම් සියල්ල පාපයක් නැතිව කරන සාපයන් ය. මේ ජනඝෝෂා පසු ගිය වසර තුනහමාර තුළ සිදු වූ ප්‍රජාතන්ත්‍රවාදී පරිවර්තනයන් අකා මකා පවුල මූලික ප්‍රචණ්ඩ අධිරාජ්‍යයක් නැවත ගොඩනැඟීමට ය. අසරණ ජන සමූහයා උමතු රැළක් මෙන් ක්‍රියාකිරීමේ වාසිය, තමන් ගේ වාසියට හරවා ගන්නා නීලකාස කපටියන් දේවතාවුන් මෙන් පිළිගැනීමට ලක් වන තාක් සමාජයම චෞරයන් අතේය.

ජනඝෝෂා අවශ්‍ය වන්නේ ස්වාධීන මැතිවරණ, අධිකරණයේ නිදහස, අල්ලස දූෂණය පිටුදැකීම වැරදිකරුවනට නීතියේ සමානාත්මතාව, මතින් තොර අනාගතයක් පිළිබඳ බලවත් අපේක්ෂාව යන මේ සියල්ල අවුල් කිරීම උදෙසා ද? ජනතාවගේ එදිනෙදා ජීවිතයේ කටයුතු පවා අඩාළ කරමින් තමාට හිතෛෂී පිරිස් දිගින් දිගට ම කොළඹ ගෙන එන්නේ ඇයි? අතීතයේ එක් පාර්ශ්වයක් සතු වූ බලයේ හීනය සැබෑ කරගැනීමට එබඳු අමන ක්‍රියාමාර්ගයන්ගෙන් කවර පලයක් ද? ක්‍රමානුකූල ව ක්‍රියාත්මක වන ආණ්ඩුවක ගමන් මඟට අවහිර කිරීම දිගින් දිගට කළ නොහැකිය.

මහජන නියෝජිතයන් හට පවුලක් වන්දනාමාන කරමින් තම දේශපාලන අනාගතය සුරක්ෂිත කරගැනීමට සිදු වූ ඒ යුගයේ අමිහිරි මතක අප කිසිවෙකුට බොහෝ කලකට අමතක කළ හැකි ඒවා නො වේ. ඇතැම් පරිණත දේශපාලකයන් හට මල් වැනි දරුවන් ළඟ පින්සෙණ්ඩු වීමට සිදු වූ අවාසනාවන්ත යුගය මේ මිහිපිට යළි පවත්වා ගැනීමට උත්සාහ දැරීම යනු එක්තරා උමතුවක් පමණි.

මහජන නියෝජිතයන් මෙසේ පාලකයා සහ ඔහුගේ පවුලේ අය වන්දනාමාන කිරීම යනු තම ඡන්ද දායක ජනතාවම ගොනාට ඇන්දවීමකි. ගමේ රටේ වැඩකට ප්‍රතිපාදන ගන්නට මහජන නියෝජිතයා පාච්චල් වූ ඒ නින්දා සහගත යුගය දැන් හමාර වී ඇත.

එහෙත් අද තත්ත්වය කුමක් ද? කිසිදු දේශපාලකයකුට ජනාධිපතිවරයා සමඟ සමීපකම් ඇති කරගැනීමට එතුමාගේ පුතා හෝ දියණිය හෝ බෑනනුවන් හෝ සහෝදරයන් යන කිසිවකුගේ අතවැසියන් වීම අනවශ්‍යයය. පවුලේ සහෝදර දූ දරු සියල්ලන් ජනපතිවරයාගේ ආගමනය උදෙසා කළ කැපවීම මම ඔබට ඉදිරි ලිපියකින් කියන්නට බලාපොරොත්තු වෙමි.

ජනාධිපතිතුමා හැම විටම පවසන්නේ මිනිසුන් ඉල්ලන දේ නොව ඔවුනට අවශ්‍ය දේ දිය යුතු බවය. සියලු විවේචන එල්ල වී ඇත්තේ ද ඉල්ලන දේ නොදීම නිසාය. ඉල්ලන දේ කවරේ දැයි විමසා බලා අවශ්‍ය දේ ලබා දීම ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්තියයි. සමස්ත ප්‍රජාව ගේ උන්නතිය වෙනුවෙන් ගන්නා තීරණ ක්‍රියාත්මක කිරීම වෙනුවෙන්ම එතුමා කැප වී සිටියි.

ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාගෙන් පසු ආර්. ප්‍රේමදාස මහතා ජනාධිපති ධුරයට පත් වෙමින් පොදු ජනතාවගේ වීරයා බවට පත් විය. ඔහුගෙන් පසු සාමයේ පණිවිඩය රැගෙන එන වීරවරිය ලෙස ජනතාව තුළ අපේක්ෂා ඇති කළේ චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය යි.

මහින්ද රාජපක්ෂ මැතිතුමා යුද්ධය නිමා කිරීමෙන් පසු මෙරට සමාජයේ වීරවරයකු බවට පත් විය. ඔහු යුද්ධය ජයග්‍රහණය කිරීමෙන් ලද වීරත්වය ද ආදේශ වීමෙන් අසීමිත බලයේ අනුහස සහිත අධිපතියෙක් විය. ඔහු අපරාජිත නායකයෙකු යැයි ජනතාව සිතූහ. දකුණු ආසියාවේම බලසම්පන්න පාලන බලය ද පවුල් සංස්ථාව වෙත ආරෝපණය කළ බලය ද ඔහු සතු විය. ඔහුට එරෙහි ව යෑම පවා හාස්‍යය දනවන කරුණක් සේ සැලකිණි.

එහෙත් ඔහු හා අභියෝගයට එළැඹුණේ ඔහු සමඟම හිඳ ඔහු කවුරුන් දැ යි හොඳින් හැඳිනගත් මිනිසෙකි. අපරාජිත යැයි සිතා සිටි මහින්ද රාජපක්ෂයන් පරාජය කිරීමට ඉදිරිපත් වූයේ දේශපාලන අඳබාලයෙක් නොවේ. බලගතු වීරයාට පසුව එන අනුප්‍රාප්තිකයා වීරයාට වඩා ක්‍රමෝපායයෙහි දක්ෂ වීරයෙකු විය යුතුය. දේශපාලන අත්දැකීම්වලින් පැසුණු තෙම්පරාදු වුණු ඒ වීරයා වූ මෛත්‍රීපාල සිරිසේන මහතාට අභියෝග කිරීමට සමතෙක් ඒ වන විට දේශපාලන ලෝකයෙහි නොසිටියේය.

මෙතෙක් සිටි විධායක ජනාධිපතිවරුන්, අගමැතිවරුන් අනුගමනය කළේ තම තමාට ආවේණික පාලන ක්‍රමයි. තම තමාට වැටහෙන පරිදි ඔවුහු කාලීන ප්‍රශ්නවලට විසඳුම් දුන්හ. ප්‍රේමදාසගේ ක්‍රමයට මහින්ද අනුගත නොවීය. මහින්දට අවශ්‍ය අන්දමට කටයුතු කිරීමට මෛත්‍රීපාල සිරිසේනයන් බැදී නොසිටී. මේ විවිධත්වය ජනතාව වටහාගත යුතුය.

දැන් ඇත්තේ බලය අවභාවිත කළ බලසම්පන්න ජනාධිපතිවරයෙකු අතීතයට පසුබැස්වූ වීරයකු නායකත්වය දරන පාලනයකි. ඔහු කටයුතු කරන්නේ ඔහුටම හිමි ශෛලියකිනි. ඔහුගේ අදීනත්වයට වීරත්වයට අභියෝග කිරීමට නම් ඉදිරියට පැමිණිය යුත්තේ ඔහුටත් වඩා පාරිශුද්ධ වීරයෙකි. දේශපාලනයේ ඔහුටත් වඩා නොකිලිටි වීරයෙකි.

මේ වීරයාට අභියෝග කිරීමට නම් මීට වැඩි ප්‍රජාතන්ත්‍රවාදයක් රටට අත් කරදිය යුතු වේ. පක්ෂවල ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කළ යුතු වේ. මැති ඇමතිවරුනට ස්වාධීනව උපායශීලීව කටයුතු කිරීමට අයිතිය දිය යුතු වේ. මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා මීට වැඩි උද්‍යෝගයක් ඇති කළ යුතු වේ. වසර පුරා ජලය හිඟ නැති දේශයක්, කෘෂිකාර්මික සංවර්ධනයක් ඇති කළ යුතු වේ.

මේ තාක් ඉතිහාසයේ නො වූ විරූ අන්දමේ මහා වාරි නිර්මාණ උදෙසා කැපවෙමින් මෙරට ජන දිවිය පවත්නා තෙක් හිත සුව සදන කාර්යභාරයක් සඳහා කැපවූවකුට ගෙදර යන්නැයි කරන ඝෝෂා ඇසේ. රට පවතින තුරු කෙත්වතු සරු කරන වැව් හැදූ මිනිසාට ගෙදර යන්නැයි කියනු ඇසේ.

යුද ජයග්‍රහණයෙන් උන්මත්තක බවට පත් ව අධර්මය ධර්මය ලෙස ද, අවනීතිය නීතිය ලෙස ද ගත් අන්ත දූෂිත සමයකට නැවත රට ගෙන යෑමට කැසකවන්නාට ජයවේවායි කියනු ඇසේ.

එහෙත් පෙර වීරයාට වීරයකු සේ වැජඹීමට පිටු දුන් සමාජ දේශපාලන පරිසරය දැන් නැත. පෙර වීරයා පසුබැස්වීම වූ කලි සැබෑ වූ ඓතිහාසික සිද්ධියකි. එය පඹයන් නැටවීමෙන් පුහු ඝෝෂාවෙන් පරාජය කළ හැකි නොවේ.

ඝෝෂා කිරීමට කොළඹ එන තමා කරන්නේ කුමක් දැයි නොදන්නා ජනතාවගේ පවා ජීවිත සුඛිත මුදිත කිරීමේ වගකීම පැවරී ඇත්තේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාටය. එතුමා මේ අරගල හමුවේ වුව ද මුවගට නැඟුණු සිනාවෙන් කුලුණුබර හදැතිව ඔවුන් දෙස බලා සිටින්නේ මේ අවුල් ජාලයෙන් ඔවුන් මුදාලන සැනසිලිදායක අනාගතයක් පිළිබඳ සාවධාන වෙමිනි.

අදහස්