කැරම් ලෝක කුසලානය පළමු වරට ශ්‍රී ලංකාවට | සිළුමිණ

කැරම් ලෝක කුසලානය පළමු වරට ශ්‍රී ලංකාවට

2018 ලෝක කුසලාන කැරම් තරගාවලියේ දී පිරිමි කණ්ඩායම් ශූරතාවය ශ්‍රී ලංකාව දිනා ගත් අතර කාන්තා කණ්ඩායම අනුශුරයන් විම‍ට සමත් වෙයි. දකුණු කොරියාවේ චුන්වෝන් නුවරදී රටවල් 21 කගේ සහභාගීත්වය ඇතිව මේ වන වට පැවැත්වෙන පස්වන ලෝක කුසලානය කැරම් තරගාවලියෙදී 2-1ක් ලෙස ඉන්දියාව පරදා පිරිමි කැරම් ලෝක කුසලානය දිනාගැනීමට චමිල් කුරේගේ නායකත්වයෙන් සමන්විත වු ශ්‍රී ලංකා කැරම් කණ්ඩායම සමත් විය. 3 – 0 ක් ලෙස ඉන්දියාව හමුවේ පරාජය වු යසිකා රාහුබද්ධගේ නායකත්වයෙන් සමන් විත වු ශ්‍රී ලංකා කාන්තා කැරම් කණ්ඩායම අනුශූරතාවය හිමිකර ගැනීමට සමත් විය.

ලෝක කුසලාන කැරම් තරගාවලියකදී ශ්‍රී ලංකා කණ්ඩායමක් ලෝක කුසලානයක් දිනාගත් පළමු අවස්තාව මෙය වෙයි. 2018 ලෝක කුසලාන කැරම් තරගාවලියේදී මොහොමඩ් ෂහීඩ් හීල්මි එක් වටයකදී පරාජයට පත්විම හැරෙන්නට සෙසු තරග වට දෙකක් ජයගනිමින් ශ්‍රී ලංකා කැරම් කණ්ඩායම මෙම ජයග්‍රහණයට හිමිකම් කීය.

සිව් වරකට වරක් ලෝක කැරම් කුසලාන තරගාවලිය හා ලෝක කැරම් ශූරතා තරගාවලිය මාරුවෙන් මාරුවට පැවැත්වෙන තරගාවලි දෙකකී. මෙතෙක් පැවැති ලෝක කැරම් කුසලාන තරගාවලි හතරකදීම පිරිමි කණ්ඩායම් ශූරතාවය දිනා ගැනීමට ඉන්දියාව සමත්ව සිටීයී.

කාන්තා අවසන් තරගය ඉන්දියාව සමග තරග කළ ශ්‍රී ලංකා කාන්තා කැරම් කණ්ඩායම ඉන්දියාව හමුවේ 3 -0 ක් ලෙස පරාජය වු අතර ඉන්දියාව 3 - 0 ක් ලෙස 2018 ලෝක කුසලාන කැරම් කාන්තා කණ්ඩායම් කුසලානය නැවතත් තමන් සතුකර ගැනීමට සමත් විය.

ලෝක කැරම් කුසලාන තරගාවලියට සමගාමීව පැවැත්වෙන වීවෘත ‘ස්විස්’ ලීග් ඉසව්වෙන් මෙ‍තෙක් ශූරතාවය දිනා සිටි ශ්‍රී ලංකා ක්‍රිඩක චමිල් කුරේ පරාජයට පත් කරමින් එහි ශූරතාව දිනා ගැනීමට ඉන්දියාව නියෝජනය කළ කාජල් කුමාරී ක්‍රීඩිකාව සමත් වුවාය. එම තරගයේදී චමිල් කුරේ කාජල් හමුවේ පරාජය වී ඇත්තේ එක් ලකුණකිනී. එම තරගය උදෙසා ක්‍රිඩක ක්‍රීඩිකාවන් 84 දෙනෙක් සහභාගි වි ඇත.

මේ මස අවසානය දක්වා තරගාවලිය පැවැත්වෙන අතර යුගල තරග ඉසව් කිහිපයක් ‍ඉදිරියේදී පැවැත් වීමට නියමිතය. ඒ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කණ්ඩායම් නායක චමිල් කුරේ හා නිශාන්ත ප්‍රනා‍න්දු තරග වැදීමට නියමිතය.

කොරියානු කැරම් සමිමේලනයේ සත්කාරත්වයෙන් මෙවර පස්වන ලෝක කුසලාන කැරම් තරගාවලිය සංවිධානය වු අතර ඒ සඳහා රටවල් 21ක් සහභාගී විය. යුරෝපය නියෝජනය කරමින් යුරෝපා රටවල්12ක්ද තරගාවලියට එක්ව සිටියේය.

පසුගිය තරගාවලියේදී ඉන්දියාව විසින් කාන්තා හා පිරිමි ලෝක කුසලාන දෙකම දිනා ගත්තේය. ශ්‍රී ලංකාව අනුශූරයන් විය. මේ වසරේදී කැරම් ශ්‍රේණිගත කිරීම් වල අංක 01 ස්ථානය හිමිව තිබු‍ණේ ශ්‍රී ලංකාවටයි. ශ්‍රී ලංකාව අංක 01ක ස්ථානය රැකගනීමින් ලෝක කුසලාන කැරම් තරගාවලිය ජයගැනීම පැසැසිය යුතු කරුණකී.

2018 ලෝක කුසලාන කැරම් තරගාවලිය ජයගත් ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම සේලාන් බැංකුවේ චමිල් කුරේ (නායක) ශ්‍රී ලංකා නාවික හමුදා‍වේ නිශාන්ත ප්‍රනාන්දු, කොළඹ රාජකීය විද්‍යාලයේ මොහොමඩ් ෂහීඩ් හිල්ම්, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ උදේශ් චන්දිම පෙරේරාගෙන් සමන් විත විය.

ලෝක කුසලාන කැරම් අනුශූරතාවය දිනාගත් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ යසිකා රාහුබද්ධ (නායක) ශ්‍රී ලංකා නාවික හමුදාවේ ජෝශප් රොසිටා, ශ්‍රී ලංකා ගුවන් හමුදා‍වේ චලනි ලක්මාලි ලියනගේ ශ්‍රී ලංකා යුද හමුදාවේ මධුකා දිල්ශානි යන ක්‍රිඩිකාවන්ගෙන් සමන් විත විය.

අදහස්