සුද්දෝ සීයා නම් කළේ මහා භයානක පුද්ග­ල­යකු ලෙසයි | සිළුමිණ

සුද්දෝ සීයා නම් කළේ මහා භයානක පුද්ග­ල­යකු ලෙසයි

රට වෙනු­වෙන් වැඩ කළත් සීයා රැස්කර ගත් දෙයක් නැහැ. සීයා අන්ත දුප්පත් වුණා.

මේ උදා­වන්නේ පොත­පත ගැන අන් කව­ර­දා­ටත් වඩා පාඨක අව­ධා­නය යොමු වන සාහි­ත්‍යය මාස­යයි. මේ සමයේ අපේ මත­ක­යට නැගෙන සහි­ත්‍ය­ක­රු­වන් බොහො­ම­යකි. ඒ අතු­රින් ජාතික නිද­හස මෙන්ම සිංහල සාහි­ත්‍ය­යට සිංහල නව­ක­තා­වට නව මාන­යක් ගෙන එන්නට කට­යුතු කළ, සිංහල නව­ක­තාවේ පියා ලෙස හඳු­න්වනු ලබන පියදාස සිරි­සේන විය­තා­ණන් අම­තක කළ නොහැකිය. එතු­මන්ගේ 143 වන ජන්ම දින සංව­ත්සර සැමැ­රුම පසු­ගිය අගෝස්තු 31 වැනි දා ට යෙදී තිබිණි. පිය­දාස සිරි­සේ­න­යන්ගේ මුනු­පු­රකු වන ප්‍රවීණ පරි­පා­ලන නිල­ධාරි­යකු මෙන්ම ලේඛ­ක­යකු ද වන ජගත් සව­න­දාස මහතා සමඟ කෙරෙන මේ කතා­බහ ඒ නිමි­ත්තෙනි.

• පිය­දාස සිරි­සේන විය­තා­ණන් සමඟ ඔබගේ ඇති ඥාතී­ත්වය කුමක්ද?

පිය­දාස සිරි­සේන කියන්නේ මගේ මවගේ පියා. සීයා මිය යන විට මම හුඟක් පුංචියි. මට අවු­රුදු හතක් අටක් වගේ ඇති. අපි කුඩා කල ජීවත් වුණේ සීයා සම­ඟයි. ඒ නාවින්නේ සේනානි කියන නිවෙසේ. සීයත් එක්ක තමයි මගේ කුඩා කාලය ගෙවී ගියේ. ඒත් සීයා ගැන විශාල මත­ක­යක් මගේ සිතේ නැතත් සීයා සම්බ­න්ධ­යෙන් පුංචි පුංචි සිදු­වීම් මගේ මත­කයේ තිබෙ­නවා. ඒ වගේම මගේ ආච්චි අම්මා සීයා ගැන කියපු දේවල් තව­මත් මත­කයේ තිබෙ­නවා.

සව­න­දාස මහතා පිය­දාස සිරි­සේන නම් වූ ඒ අපූර්ව සාහි­ත්‍ය­ධ­රයා වූ තම මුත්ත­ණු­වන් සමඟ ගෙවුණු අතී­තය සිහි­පත් කර­මින් අප සමඟ කතා බහට මුල පිරුවේ එලෙ­සයි.

• එතු­මන් ඔබේ මවගේ පියා ?

අපේ සීයාට දරුවෝ නව දෙනෙක් හිටියා. ඒ අත­රින් තුන්වෙ­නියා හෝ හතර වෙනියා තමයි මගේ අම්මා. සීයා තමයි සිංහල ජාතිය පුව­ත්පත මුද්‍ර­ණය කළේ. ඒ ප්‍රෙස් එක තිබුණේ මර­දානේ. එය පටන් ගෙන තිබෙන්නේ 1921 සුද්දා රට පාල­නය කරන කාලෙ. මර­දාන කියන්නේ ඒ කාලයේ සිංහල ජාතිය පිබි­ද­වීමේ කේන්ද්‍ර­ස්ථා­න­යක්. අද වගේම එදා පොත්පත් මුද්‍ර­ණය වුණේ මර­දා­නෙදි.

• එතු­මන්ගේ කුඩා කාලය ගැන ඔබ දන්නා තොර­තුරු මොන­වාද?

1875 අගේස්තු 31 දා තමයි සීයා ගාල්ලෙ ඉඳු­රු­වට නුදුරු අතු­රු­වැල්ල ගමේ ඉප­දිලා තිබෙන්නේ‍. සීයගේ තාත්තා තමයි වැරැ­ණි­ය­ගොඩ ගමගේ එමා­නිස් අප්පු­හාමි. අම්මා දොව්වො හාමිනේ. සීයාට සහෝ­දර සහෝ­ද­රි­යන් තුන්දෙ­නයි. පවුලේ බාලය තමයි අපේ සීයා. සීයා බාල­කා­ල­යේ­දීම එතු­ම­න්ගේගේ තාත්තා මිය ගිහින්. ඉන්පසු සීයාගේ වැඩි­ම­හල් සහෝ­ද­ර­යින් තමයි සීයට උග­න්වල තියෙන්නේ.

• පිය­දාස සිරි­සේ­න­යන්ගේ අධ්‍යාපන කටයුතු සිදු­වුණේ කොහේද?

මගේ ආච්චි අප සමඟ පවසා ඇති අන්ද­මට මගේ සීයා ‘අ’යනු ‘ආ ’යනු කියවා තිබෙන්නේ වරා­හේනේ ස්වභාෂා පාඨ­ශා­ලා­වෙන්. ඉන්ප­සුව ඉඳු­රුවේ ජී. එස්. ද අල්විස් ගුරු­තු­මා­ගෙන් සිංහල භාෂාව ඉගෙ­න­ගෙන තිබෙ­නවා. සීයා ආගම ධර්මය වගේම ඉංග්‍රීසි භාෂා­වත් මනාව හදා­රපු කෙනෙක්. බෙන්තොට ලන්සි පල්ලි­යෙන් වගේම අලු­ත්ගම බ්‍රොහි­යර් පාස­ලෙන් ඉංග්‍රීසි ඉගෙන ගත්තලු. යාලේ­ගම ජය­සු­ම­නා­රා­ධි­ප­තිව වැඩ විසූ සුම­න­තිස්ස හිමි­ගෙන් බෞද්ධා­ගම ඉගෙන ගත්තා. ඒ වගේම සීයා කාව්‍ය­ක­ර­ණ­ය­ටත් දක්ෂයි. එය බෙන්තොට ඇල්බට් සිල්වා මහ­තා­ගෙන් ඉගෙන ගෙන තිබෙ­නවා.

• එතු­මන් ගාල්ලේ සිට කොළ­ඹට පැමි­ණෙ­නවා?‍

ඔව්. ඒ රැකි­යා­වක් බලා­පො­රො­ත්තු­වෙන්. ඒ වෙන කොට සීයට අවු­රුදු 20ක් විතර ඇතිලු. ලී බඩු සාප්පු­වක ලිපි­ක­රු­වෙක් විදි­හට සේවය කර­න්නට තමයි එතු­මන් පැමිණ ඇත්තේ. නමුත් එතු­මන්ගේ උග­ත්කම අනුව ඔහු එව­කට අර්වින් ගුණ­ව­ර්ධ­න­යන් සංස්ක­ර­ණය කළ 'සිතු­මිණ' සඟ­රා­වට ලිපි ලියා තිබෙ­නවා. ඒ අනුව පසු­ක­ලෙක මේ සඟ­රාවේ උප සංස්කා­රක ධූර­යේත් කට­යුතු කර­න්නට සීයාට අව­කාශ ලැබෙ­නවා.

ඉන්ප­සුව ශ්‍රීමත් අන­ගා­රික ධර්ම­පා­ල­ තුමන්ගේ 'සර­සවි සඳ­රැ­සට' සම්බ­න්ධ­වෙලා එහි උප­කර්තෘ, කර්තෘ පද­විය දර­නවා.

• ඔහු රච­නා­ කළ පොත්පත් ඔබ කියවා ඇති?

ඔව්. අද ඒවා හොයා ගන්නත් නැහැ. 'වාස­නා­වන්ත විවා­හය හෙවත් ජය­තිස්ස හා රොස­ලින් (1904), අපට වෙච්ච දේ (1906), මහා විය­වුල (1909), තරු­ණි­ය­කගේ ප්‍රේමය (1910), අෂ්ට ලෝක­ධර්ම චක්‍රය (1916), ඩිංගිරි මැණිකා හෙවත් වික්‍ර­ම­පා­ලගේ පළ­මු­වැනි වික්‍ර­මය (1918) ඉන් කිහි­ප­යක් පම­ණයි. ඩිංගිරි මැණිකා නවකතාව චිත්‍ර­ප­ට­යක් ලෙසත් තිර­ගත වුණා.

• සිංහල ජාතිය වෙනු­වෙන් ඔහු පෙර­මුණ ගත් විය­තෙක්?

මේ කාල­යේදී සිංහ­ල­යන්ගේ ජාති­කා­භි­මා­නය හා ස්වදේ­ශා­නු­රා­ගය අවදි කර­න්නට තම සුරතේ වූ පන්හිඳ අවි­යක් කර­ග­න්නවා. ඒ යුගයේ අව­ශ්‍ය­තා­වක් ඉටු­ක­ර­න්න­ටයි. ඒ වෙනු­වෙන් සීයා 'ඔව­දන් මුතු­වැල', 'දම්පල් සිරිත' වගේ පද්‍යා­වලි රචනා කළා. මට මත­කයි එහි එන කවි­යක්.

'සඳේ මෙන් පතල පැර­කුම් දුටු ගැමුණු
උදේ සවස මුනි­ඳුට පසු සිහි කරනු
විදේ සින්ගෙ දුසි­රිත් පිළි­කුල් කරනු
මෙදේ කරන තුරු ජාතිය නැත දියුණු'

• සිංහල නව­ක­තාවේ පුරෝ­ගා­මියා ඔහුයි?

1904 දෙසැ­ම්බර් 27 වැනි දා සිට 'සර­සවි සඳ­රැස' පුව­ත්පතේ 'වාස­නා­වන්ත විවා­හය' නමැති ප්‍රබන්ධ කතාව එතුමා කොටස් වශ­යෙන් රචනා කළා. එය අව­සා­නයේ ලංකාවේ පළමු නව­ක­තාව ලෙස ප්‍රකා­ශ­යට පත් වුණා. ඉන්ප­සුව 'බෞද්ධයා', පුව­ත්ප­තින්ද අගනා මෙහෙ­ව­රක් සමා­ජ­යට ඉටු කළා.

• ඔබේ මිත්ත­ණිය ගැනත් දැන ගන්නට කැමැ­තියි?

සීයාට මගේ ආච්චි අම්මා මුණගැහී තිබෙන්නේ මොර­ටු­වේදි. ඒ ඔහු සේවය කළ ලී බඩු සාප්පු­වට අවශ්‍ය බඩු භාණ්ඩ ගෙන එන්නට ගිය මොහො­ත­කයි. ඇය මහබෙ­ත්මගේ දෝන සිසි­ලියා පෙරේ­රායි. විවා­හ­යෙන් පසුව කැට­ව­ල­මුල්ලේ පදිං­චි වී පසුව මර­දානේ ස්ටැන්ලි පෙදෙසේ 'ඇල්කොට්’ නිවෙ­සේත් අන­තු­රුව නාවින්නේ 'සේනානි 'නිවෙ­සේත් ඔවුන් වාසය කළා.

• සීයාගේ සම­කා­ලී­න­යන් ගැන ඔබේ මත­කය මොන වගේද?‍

සීයාගේ සම­කා­ලී­න­යන් හුඟ දෙනෙක් හිටියා. ඒ අතර පැවි­ද්දන් වගේම ලංකාවේ ප්‍රධාන පෙළේ මහා පුරු­ෂ­යින් සීයා නිතර ඇසුරු කළා. මට මත­කයි සීයා අස­නීප වී සිටි කාලයේ ඩී. එස් සේනා­නා­යක, ඩඩ්ලි සේනා­නා­යක, එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩා­ර­නා­යක, ඩී. ආර්. විජේ­ව­ර්ධන වගේ ප්‍රසිද්ධ ජන නාය­ක­යින් නිත­රම සීයා මුණ­ගැ­හෙ­න්නට නාවින්නේ නිවෙ­සට ආවා. ගියා. සීයා අස­නී­ප­යෙන් සිටිත්දී සීයාගේ කාම­රේට ගිහින් ඇඳ උඩ ඉඳ­ගෙන තමයි සීයා සමඟ ඔවුන් කතා­බහ කළේ. ඒ කතා­බහ කළේත් මේ රට ජාතිය ගැන හා සිංහල බෞද්ධ­යන් ගැනයි. විශේ­ෂ­යෙන්ම ඒ කාලෙ නිද­හස් සටන ගැන කතා­බහ කළ බවත් ආච්චි මට කියා තිබෙ­නවා.

• අම­ද්‍යප ව්‍යාපා­රයේ පුරෝ­ගාමි චරි­ත­යක් ඔහු?

එතුමා සිංහල ජාතිය පුබුදු කිරී­මට අම­ද්‍යප ව්‍යාපා­රය වෙනු­වෙන් කට­යුතු කළ එෆ්ආර්.සේනා­නා­යක, ඩී.බී.ජය­ති­ලක, ඩී. ඇස් සේනා­නා­යක, ඩබ්. ආතර් ද සිල්වා, මාටි­නස්. සි. පෙරේරා වැනි ජාතික විරු­වන් සමඟ ගමින් ගමට ගොස් සිංහල ජන­තාව දැනු­ම්වත් කළා. මේ වාගේ කට­යුතු නිසා බ්‍රිතාන්‍ය ජාති­ක­යන් සීයා නම් කර තිබුණේ මහා භයා­නක පුද්ග­ල­යෙක් ලෙසයි. ඒ වගේම සීයාට සිර­බත් කන්නත් සිදු වුණා. ඒ ප්‍රබල ලෙස ජාතික ව්‍යාපා­රයේ යෙදුණු නිසා.

• ඔබේ සීයා ගැන මොකද හිතෙන්නේ?

මම උපන්නේ 1940 දියි. මට මත­කයි සීයා හුඟක් අස­නී­ප­යෙන් හිටියේ. ඒ කාලෙ ලංකා­වට නිද­හස ලබා දෙන්න වගේම සිංහල ජාතිය වෙනු­වෙන් සීයත් පෙර­මු­ණ­ගෙන හිටියා.

සීයා රටට දැයට හුඟක් ආද­රය කළා. සේවය කළා. එත් ඒ වෙනු­වෙන් රැස්කර ගත් දෙයක් නැහැ. එතුමා දරි­ද්‍ර­තා­වේ අඩි­ය­ටම වැටුණා. ඒත් රටට විශාල සේව­යක් කරලා. අද එවන් විරු­වන් ගැන කතා­බහ වෙනවා අඩුයි. ඒ ගැන කන­ගා­ටුයි. පිය­දාස සිරි­සේන කියන්නේ කවුද කියලා අහන තැනට අද සමා­ජය පත්වෙලා තිබෙ­නවා. ඒකයි ලොකුම කන­ගා­ටුව.

• ඔබ ගැන හැඳි­න්වී­මක් කළොත්?

මං ඉගෙන ගත්තේ නුගේ­ගොඩ ශාන්ත ජෝන් විදු­හලේ. උසස් පෙළින් පසු වෘත්තීය­මය අංශ­ය­කට යොමු වුණා සමා­ගම් ලේක­ම්ව­ර­යකු ලෙස. 1969 දී ලංකා ජාතික වාණිජ මණ්ඩ­ලයේ සහ­කාර ලේකම් ලෙසත් එම සඟ­රාවේ කතු­ව­රයා ලෙසත් කට­යුතු කළා. අව­සා­නයේ එහි කළ­ම­නා­කාර අධ්‍ය­ක්ෂ­ව­රයා ලෙස පත්වී පසුව ආර්ථික උප­දේ­ශ­ක­ව­ර­යකු ලෙසත් වැඩ කළා. ආර්ථි­කය පිළි­බඳ පර්යේ­ෂණ කෘති රචනා කරන්න ලැබුණා. ඒ සම්බ­න්ධ­යෙන් මට ජාත්‍ය­න්තර සම්මාන රැසක් හිමි වුණා.

විශේ­ෂ­යෙන්ම ජාත්‍ය­න්තර සංවි­ධා­න­වල මෙරට නියෝ­ජි­තයා ලෙසත් කට­යුතු කරන අත­රම පිලි­පී­නයේ මැග්සේසේ සම්මාන මණ්ඩ­ලයේ මෙරට නියෝ­ජි­තයා වී සාම සම්මාන වෙනු­වෙන් මෙරට කීප දෙන­කුම නම් කිරී­මට අව­ස්ථාව ලැබුණා.

• ඔබත් ලේඛ­ක­යෙක්?

‍ඔව්. මමත් පොත් කිහි­ප­යක්ම රචනා කළා. ඒ ඉංග්‍රීසි භාෂා­වෙන්. ඒ වගේම මගේ පුතාත් ලේඛ­න­යට දක්ෂයි. ඔහු 2017 වසරේ හොඳම ඉංග්‍රීසි නව­ක­තා­කරු ලෙස සම්මාන ලැබුවා. සීයාගේ ලේඛන කලාව ඉදි­රි­යට ගෙන යන්නට ලැබීම වාස­නා­වක්.

ජායා­රූප- තුෂාර ප්‍රනාන්දු

අදහස්