නෙඵම් විල | සිළුමිණ

නෙඵම් විල

දන් පින්කම

මපි­යා­ණන් ගේ දානය දවස ද ළං වෙමින් තිබිණ. එතෙක් ඒ වාර්ෂික දානය පිරි­නැ­මුණේ අපේ නුගේ­ගොඩ මහ­ගෙ­දර ය. නමුත් මෙවර එය හඳ­පා­න්ගොඩ මගේ ගෙදර දිය යුතු යැයි මට සිතිණ.

මා කළ යෝජ­නා­වට ඥාතීහු ද එකඟ වූහ. වෙනදා මෙන් මෙව­රත් දාන­යට අහර සැප­යීම අදාළ ආය­ත­න­යට ම බාර දීමට ද තීර­ණය විය.

දාන­යට සහ­භාගි වන ලෙස අස­ල්වැ­සි­ය­නට කල් තියා ආරා­ධනා කිරීම යුතු­ක­මක් සේ සැලකූ මම ඒ වෙනු­වෙන් වරු­වක් වෙන් කළෙමි.

මා පය ගැසූ මුල් ගෙද­රින් ම ලැබුණේ උණු­සුම් පිළි­ගැ­නී­මකි.

‘ආ, එන්ඩ මහ­ත්තය! වාඩි­වෙන්ඩ!’

නිවැ­සියෝ මා සතු­ටින් පිළි­ගත් හ.

‘වාඩි­වෙන්ඩ වෙලා­වක් නෑ. අනිත් ගෙව­ල්ව­ල­ටත් යන්ඩ තිය­නව. වෙනද අපේ කොළඹ ගෙද­රදි දීපු අපේ තාත්තගෙ වාර්ෂික දානෙ මේ සැ‍රේ අපේ ගෙද­ර­දියි දෙන්නෙ. ඒ ගැන ඔයා­ලට මතක් කර­න්ඩයි ආවෙ’ යි කී මම අදාළ දිනය කීමි.

‘අනේ හොඳයි. එහෙනං අපි ගාණෙ දානෙට වෑංජ­න­යක් දෙන්නම්. අපි ඒක බාර ගන්නම්’ ඔවුහු වහා ඉදි­රි­පත් වූහ.

‘අනේ බොහොම ස්තුතියි! ඒ වැඩේ වෙනද වගේ කේට­රින් සර්විස් එක­ක­ටයි දෙන්නෙ. ඒක ලේසි­යිනේ. ඉතිං ඔයා­ලට තියෙන්නෙ දානෙට සහ­භාගි වෙන එක විත­රයි.’

‘අයියො මහ­ත්තයො, පිටින් ඕඩර් කරන්ඩ ඕනැ නෑ. අපි කෑම ටික හොඳ රහට උයල දෙන්නංකො’

මම ඒ යෝජ­නාව ඉව­ස­ගෙන ම දෙවන ගෙද­රට ද ගොඩ වීමි.

‘අපි දානෙට වුව­මනා කැවුම් කොකිස් ටික හදල දෙන්නම් මහ­ත්තයො’ ඔවුහු කී හ.

මම තෙවන නිවෙ­සට ද ගියෙමි.

‘අපි දානෙට අතු­රු­පස හදල දෙන්නං. ඒක අපි බාර­ගන්නං’ ඔවුහු කී හ.

මේ අයු­රින් අස­ල්වැ­සියෝ දානයේ බර කරට ගත් හ.

ඔවුන් ගේ හිත් රිද­වනු නොහැකි විය. එහෙ­යින් මම නිහ­ඩ­වම ගෙදර ආවෙමි.

දාන­යට වුව­මනා සියල්ල ඔවුන් කැමැ­ත්තෙන් ම බාර ගෙන තිබුණු ‍බැවින් මට සූදා­නම් කර ගැනී­මට සිදු වී තිබුණේ පිරි­කර පමණි. එහෙත් මා සොයා ආ පිරි­සක් එය ද බලෙන් ම බාර ගත් හ.

දැන් මට කිරී­මට දෙයක් නැත.

දානය වෙනු­වෙන් වත්ත පිටිය පිළි­වෙ­ළක් කළ යුතු යැයි මට සිතිණ. එහෙත් ඊට ද ඉඩක් නොලැ­බිණ.

දිනක් හව­සක අස­ල්වැ­සියෝ පිරි­සක් උදලු කැති මන්නා ද දරා ගෙන අපේ වත්තට ආ හ.

‘මහ­ත්තය, දානෙත් ළඟ­යිනේ. අපි ආවෙ මේ වත්ත පිටිය ටිකක් සුද්ද පවිත්‍ර කරල දාන්ඩ හිතා­ගෙන’ ඔවුහු කී හ.

‘හොඳයි එහෙම කරමු’ යි කී මම ද ඔවුන් හා එක්වීමි.

අව­සා­නයේ පිරිස සිය යුතු­කම මැන­වින් ඉටු කොට මගේ පුංචි සංග්‍ර­හය ද විඳ පිට ව ගියහ.

මම ගෙට තීන්ත ගෑමට ලහි­ල­හියේ සූදා­නම් වීමි.

‘ආ ගාමු මහ­ත්තය. තීන්ත ගාමු’ තවත් අස­ල්වැ­සියෝ පිරි­සක් ඒ කාර්යය ද ඉටු කර දුන් හ.

දාන­යට පෙර දින රැයේ අස­ල්වැ­සි­යන් ගෙන් අපේ ගේ පිරී ගියේ ය. ඔවුහු කඩි රැළක් මෙන් යුහු­සුලු වූහ.

පසු දා එළි­වන විට දාන­යට වුව­මනා සියල්ල පරි­පූ­ර්ණව තිබිණ.

මගේ අස­ල්වැ­සි­යන් ගේ උද­ව්වෙන් පින්කම ඉතා ඉහ­ළින් පැවැ­ත්විණ.

කොළ­ඹින් පැමිණි මගේ ඥාතියෝ ද බෙහෙ­වින් සතුටු වූහ.

‘බල­න්ඩකො මේ ගම්වල තියන එක­මු­තුව! හැම දෙයක් ම ලස්ස­නට පිළි­වෙ­ළට සිද්ධ වුණා නේද? දානෙ ටිකත් රසට හදල තිබුණ. පිටින් ඇවිත් මේ ගමේ පදිංචි වුණ ඔයාට මේ අය හරි ආද­රෙ­යිනේ. ඒක කොච්චර වාස­නා­වක් ද? ඔයා මේ අයත් එක්ක දිගට ම මෙහෙම ඉන්ඩ ඕනැ.’ යි කිය­මින් ඔවුහු මට ආශි­ර්වාද කළහ.

එදින විසිර යෑමට පෙර අපි තවත් සත් කාර්ය­ය­කට මුල පිරු­වෙමු. එනම්, වව්නි­යාව පෙදෙසේ දානය නොලැ­බෙන විහා­ර­ස්ථාන කිහි­ප­ය­කට වියළි ආහාර මිලදී ගැනීම සඳහා මාසි­කව මුද­ලක් යැවීම සහ ඒවායේ අධ්‍යා­ප­නය ලබන සාම­ණේර හිමි­ව­රුන්ගේ අධ්‍යා­පන කට­යුතු වෙනු­වෙන් මාසි­කව මුද­ලක් පිරි­නැ­මීම ය.

දැන් ඒ කට­යුත්ත ද ක්‍රියා­ත්මක වෙමින් තිබේ.

අදාළ විහා­ර­ස්ථාන ගැන තොර­තුරු දැන ගැනී­මට වුව­මනා අයට ඒ ගැන උදව් කළ හැකි බව ද කියමි.

හඳ­පා­න්ගොඩ, ප්‍රදීප් සම­ර­සිංහ මහතා විසින් යොමු කරන ලද ලිපි­යක් ඇසුරෙනි.

0714293777 ඔහුගේ දුර­ක­ථන අංක­යයි.


සැඟ­වුණු සොහො­යුරා

නග­ර­යක පොදු වෙළෙ­ඳ­පො­ළකි.

ඒ ඉදි­රියේ ඇති ලොත­රැයි අලෙවි ලෑල්ලකි. මම ඊට කිට්ටු කළෙමි.

එකෙ­ණෙ­හිම නැඟුණු ලොත­රැයි අලෙවි කරුගේ මොර­දී­මෙන් මම උඩ ‍‍ගොස් බිම වැටු­ණෙමි.

‘ඒයි, ඒයි, අඩෝ නව­ත්ත­ග­නිල්ලා ! මේ...මේ... අර කොල්ලො දෙන්නම දෙපැ­ත්ත­කට ඇදල දාන­වල!...’

ඔහු එසේ කෑගා­ගෙන පාර පැන ගියේ සරම ද කැස­පට කව­මිනි. මම වහාම ඒ දෙස බැලු­වෙමි.

මා දුටුවේ ගහ ගන්නා පාසල් සිසුන් දෙදෙ­නෙකි. දෙදෙනා පහර පිට පහර එල්ල කර ගනිති.

‘එන­වල! එන­වල! මුංව දෙපැ­ත්තට ඇදල දාන­වල!’

ලොත­රැ­යි­කරු සටන නර­ඹ­මින් සිටි මගී­නට කෑගැ­සුවේ පොර කුකු­ළන් සේ එකෙකා වෙත පනින සිසුන් දෙදෙනා දෙප­සට කිරීම ඔහුට තනිව කළ නොහැකි නිසා විය යුතුය. එහෙත් මගීහු ඒ බස නෑසුණු ගාණට සිය ජංගම දුර­ක­ථ­න­ව­ලින් සටන වීඩි‍යෝ ගත කර­මින් සිටි­යහ.

ගහ ගැනීම සිදු වූයේ පල­තුරු කඩ­යක් ඉදි­රි­පි­ටය. ඉන් තම පල­තුරු පෙට්ටි­ව­ලට හානි වේදෝයි සැක­යෙන් මෙන් පල­තුරු අලෙ­වි­ක­රුද උද­ව්වට ආයේය. වෙළෙන්දෝ දෙදෙනා සිසුන් දෙදෙනා දෙප­සට ඇද දැමුහ.

මින් ගහ­ගැ­නිල්ල අඩ­පණ විය. එතෙක් සිසුහු දෙදෙනා එකි­නෙ­ක‍ාට පුම්බ­මින්, බැණ ගනි­මින් පාරේ ඉදි­රි­යට යන්නට වුහ.

ලොත­රැයි අලෙ­වි­කරු නැවත පාර පැන සිය ලෑල්ල වෙත ආයේ තමා­ටම කියවා ගනි­මිනි.

‘....මුන්ට මොනව බෙදා ගන්ඩ බැරුව මරා ගන්ඩ හද­න­වද මන්ද? ඔය බැණ බැණ යන්නෙ. අ‍ායෙත් ගහ ගනීද දන්නෑ...!

ලෑල්ල ළඟ නැව­තුණු ඔහු කැස­පට ලෙහා මදෙස බලා යළිත් හැරී සිසුන් දෙදෙනා යන හැටි බලා සිටි­යේය.

සටන වීඩියෝ ගත කර­මින් සිටි මගීන් ඈත ඇදෙන සිසුන් දෙදෙනා දෙස බලා සිටියේ උක­ට­ලී­වය. අන­තු­රුව ඔවුන්ගේ ඇස් ලොත­රැයි අලෙවි කරු වෙත හැරිණ. ඔවුන්ගේ බැල්මේ තිබුණේ ‘මේ යකා වැඩේ කෑව’ කිය­න්නාක් ‍බඳු හැඟී­මකි.

‘ගන්ඩ නෝන මේව අද අදින ඒවා’ ඔහු මට සිනා­වක් පා ලොත­රැයි පත් විශේ­ෂ­යක් දැක්වීය.

‘මේ මිනිසා කෙත­රම් වටිනා පුර­වැ­සි­යෙක්ද?’ මට එසේ සිතිණ. මට ඔහු ගැන සියුම් ආඩ­ම්බ­ර­යක් ඇති විය. එහෙ­යින් මම ඔහු­ගෙන් ලොත­රැයි පත් පහක්ම මිල දී ගතිමි.

මම ඉනුදු සෑහී­මට පත් විය නොහැ­කිය. මම ඔහු ගැන මා දන්නා කියන කිහිප දෙන­කුට ද කීමි. නොදන්නා අයට කියනු පිණිස මේ සට­හන ලීවිමි.

ඔහුගේ වචන දැනුදු මට ඇසෙන්නා සේය. ඒවායේ උච්චා­ර­ණය සිංහ­ලට තර­මක් නුහු­රුය. ඔහු කාල­ව­ර්ණය.

මාතලේ නග­රයේ පාර අයිනේ මෙබඳු මිනි­සකු දැකී­මම ඇසට රස­ඳු­නකි.

උකු­වෙල, හේම­ලතා රාජ­ගුරු මහ­ත්මිය විසින් යොමු කරන ලද ලිපි­යක් ඇසු­ෙරනි.

නෙළුම්විල
සිළුමිණ,
ලේක්හවුස්,
කොළඹ 10.

අදහස්