කන්තෝ­රු­කා­ර­යන්ට වඩා ගෙදර මිනිස්සු වෙනස්ය | සිළුමිණ

කන්තෝ­රු­කා­ර­යන්ට වඩා ගෙදර මිනිස්සු වෙනස්ය

ඩන්ස්ටන් ජය­ව­ර්ධන

මේ කියන්නේ නව­සිය අසූ ගණ­න්වල කතා­වකි. මේ කාලයේ ලංකාව තම පසු­ගා­මි­ත්වයේ හැව අරි­මින් සිටි­යාය. ගාමිණි දිසා­නා­යක මහ­වැලි සංව­ර්ධන වැඩ පිළි­වෙළ හරහා අපේ වාරි කර්මාන්ත ඉති­හා­සයේ වප­ස­රිය පුළුල් කර­මින් සිටි­යේය. හිසට සෙව­ණක් අහිමි මිනි­සුන් සොය­මින් ආර්.ප්‍රේම­දාස ගමින් ගමට යමින් සිටි­යේය. මේ කාලයේ ජාතික නිවාස සංව­ර්ධන අධි­කා­රිය කඩි­ගු­ලක් වාගේය. ගොඩ ගැහුණු වැඩ ප්‍රමා­ණය, සිදුවූ අඩු­පාඩු සහ අත­ප­සු­විම් ගැන ඉහ­ළින් එන තර්ජන හමුවේ නිල­ධා­රින් සිටියේ බිර­න්තට්ටු වෙලාය. මුල­තිව් දිස්ත්‍රි­ක්කයේ උද්ග­තව පැවති බර­ප­තළ ගැට­ලු­වක් නිසා මා ප්‍රධාන කාර්යා­ලය වෙත කැඳවා තිබිණ. මගේ ප්‍රධා­නියා වූ ජාතික නිවාස සංව­ර්ධන අධී­කා­රිෙය් සභා­පති ඩන්ස්ටන් ජය­ව­ර්ධන මහ­තාට මම කරුණු පැහැ­දිලි කර­මින් සිටි­යෙමි. මුල­තිව් ගැට­ලුව පාර්ලි­මේ­න්තු­වේදී රජය පිළි­තුරු දිය යුතු ප්‍රශ්න­යක් බවට ගොඩ නැඟී ඇති බව ඔහු මට පැහැ­දිලි කළේය. අප දෙදෙ­නාගේ සාක­ච්ඡාව දිගු වෙලා­වක් පැව­තිණ. මේ අතර, ප්‍රධාන කාර්යා­ලයේ විවිධ නිල­ධා­රිහු ඩන්ස්ටන් ජය­ව­ර්ධන මහතා හමු­විමේ අපේ­ක්‍ෂා­වෙන් පෙළ ගැසී සිටි­යහ. ඔවුන් හැම දෙනෙකු අතම පූජා වට්ටි මෙන් ගෞර­ව­යෙන් ඔසවා ගත් ලිපි­ගොනු තිබෙනු දක්නට ලැබිණ. කිහිප වරක් ඔවුන් දෙස බැලූ ජය­ව­ර්ධන මහතා මා ඇම­තීය.

“අපි මේ කීප දෙනෙකු යවලා ඉඳීමු.” එසේ කී ඔහු පෝලි­මට අතින් සන් කළේය.

පෝලිමේ මුලින්ම සිටි පරි­පා­ලන නිල­ධාරි රාජා සිය ගොනුව දිග­හැර මේසය මත තැබීය. ජය­ව­ර්ධන මහතා උපැස් යුවළ හරහා රාජා වෙත ගැඹුරු බැල්මක් හෙළීය. රාජා යනු ආය­ත­නයේ විනය සහ පිරිස් කට­යුතු භාර කළ­ම­නා­කරු විය.

“මොනවා කළත් හොර­කම් නම් නොකර ඉන්න බැහැ” ලිපි ගොනුව කියවූ ජය­ව­ර්ධන මහතා එසේ කියා ගැඹුරු හුස්මක් පිට කර­මින් ලිපි ගොනුවේ සට­හ­නක් තබා කල­කි­රුණු ස්වරූ­ප­යෙන් ගොනුව රාජා වෙත තල්ලු කළේය. ලිපි ගොනුව රැගත් රාජා ආපසු යන්ට හැරුණා පම­ණකි.

“රාජා ඔහොම ඉන්නවා කවුද අයිසේ ඔය කාල­ක­න්නියා.” ඒ ඩන්ස්ටන් ජය­ව­ර්ධන මහ­තාගේ භාෂා­වය. ඔහුට කේන්ති ගියොත් ගමේ භාෂාව ඇසිය හැකිය. නැවත පැමිණ සිට­ගත් රාජා­ගෙන් ජය­ව­ර්ධන මහතා ප්‍රශ්න කිරීම ආරම්භ කළේය.

“රාජා මේ වැඩ අස්සේ ඔය වාගේ ඒවා උස්සන් එන්න එපා.” එසේ කී ජය­ව­ර්ධන මහතා නැවත කතා කළේය.

“කවුද ඔය මිනිහා?”

“සුළු සේව­ක­යෙක්” රාජා පිළි­තුරු දුන්නේය.

“මොකක්ද තන­තුර?” ප්‍රශ්න වැලකි.

රාජා පැකි­ළෙ­මින් කතා කර­න්නට විය.

“සර්, පියන් කෙනෙක්”

“මොන­වාද හොර­කම් කළේ?”

“ලිපි ද්‍රව්‍ය”

“අයිසේ ලිපි ද්‍රව්‍ය කීවාම කොච්චර තියෙ­න­වාද? මොන­වද අරන් යන­කොට අල්ලා ගත්තේ”

“හාෆ් ෂීට්”

“කීයක්ද?”

“හයක්” රාජා ගොනුව බලා­ගෙන උත්තර දිගෙන යයි. ඩන්ස්ටන් ජය­ව­ර්ධන මහ­තාගේ ස්වරූ­පය තිගැ­ස්සෙ­න­වාක් මෙන් වෙනස් වෙනවා මට දැනිණ.

“යකෝ හාෆ් ෂීට් හය­කට මිනි­හෙ­කුගේ වැඩ තහ­නම් කර­නවා. එහෙ­මද?”

රාජා සීරු­වෙන් බලා සිටියි.

“ඔය මිනිහා හාෆ් ෂීට් හයක් අරන් ගිහින් විකු­ණලා අරක්කු බොන්ඩද? ඕවා ගෙනි­යන්න ඇත්තේ ඉස්කෝලේ යන ළම­යාගේ උව­ම­නා­ව­කට. තේරු­ණාද මම කියන දේ”

“ඔව් සර් මිනි­හා­ගෙන් ප්‍රකා­ශ­යක් ගනි­ද්දීත් කිව්වේත් ළම­යාට දෙන්න අරන් ගියා කියලා” රාජා කතා කරයි.

“ඉතින් බල­නවා අයිසේ නීති­යක් තිය­නවා තමයි. ඒකට අපි ඇක්ෂන් ගන්නත් ඕනැ තමයි. ඒ වුණාට ඒ අතර කොච්චර දේ කල්පනා කරන්න තියෙ­න­වාද? දෙනවා ඔය ෆයිල් එක” කියා රාජා දෙසට අත දිගු කළේය. ජය­ව­ර්ධන මහතා අතට ආපසු ලිපි ගොනුව ලැබිණ. නැවත ගොනුවේ තම අත්සන තැබූ තැන ඔහු කපා දැමීය. ඉන්ප­සුව යමක් ලියා ගොනුව ආපසු රාජාට දුන්නේය.

“මේක අරන් යනවා. මම වැඩ තහ­නම් කරන නියෝ­ගය අව­ලංගු කළා. සත පහක් දඩ ගහලා තදින් අව­වාද කරලා ලියු­මක් නිකුත් කර­නවා. අයිසේ අපි වැඩ කරන්නේ මිනිස්සු එක්ක. මෙත­නින් පිට­වෙලා ගියාම ඒ මිනි­සු­න්ගෙන් රැකෙන කී දෙනෙක් ඉන්න­වාද? අපිට මිනිස්සු දොට්ට දාන්න ලෙහෙ­සියි. ඊට පස්සේ ඒ මිනි­සුන්ට ජීවත් වෙන්න අමා­රුයි. සම­හර විට ඒ මිනි­හාට ඔය කොළ හතර පහ පොත් සාප්පු­ව­කින් ගන්න යන්න වෙලාව මදි නොවුණා වෙන්න බැරි නැහැ. අපි මෙහෙම දෙයක් ගැන ගැඹු­රෙන් හිතන්න ඕනැ අයිසේ” සියල්ල අසා සිටි රාජා හිස පහත් කර යන්ට ගියේය.

“මොකද හිතෙන්නේ” එතෙක් නිහ­ඬව සිටි මගෙන් ජය­ව­ර්ධන විම­සීය.

“මම නම් සර් ගෙන්නලා හොඳ දෙකක් කියලා එළවා ගන්නවා. වේවැල ගන්නේ බැරිම තැන.”

“ඒක තමයි. අපට වැඩ කරන මිනි­සුන් පරි­ස්සම් කර ගන්න එක අපේ වග­කී­මක්” එසේ කී ජය­ව­ර්ධන මහතා නැවත අපේ සාක­ච්ඡාව ආරම්භ කළේය.

චන්ද්‍ර­සිරි සෙනෙ­වි­රත්න

අදහස්