එදා ගම්මැද්දේ මඟුල් තුලා කොට්ටව රාල­හා­මිගේ මත­ක­යෙන් | සිළුමිණ

එදා ගම්මැද්දේ මඟුල් තුලා කොට්ටව රාල­හා­මිගේ මත­ක­යෙන්

කොට්ටව සිරි­සේන රාල­හාමි වූ කලි දකුණේ සිටින දක්ෂ කලා­ක­රු­වෙකි. දක්ෂ චිත්‍ර ශිල්පි­යෙකි. ඔහු කාල­යක් ගම්මු­ලැ­දැ­නි­ව­ර­යකු වශ­යෙන් ද කට­යුතු කළේය. කොග්ගල ගම්මා­නයේ ගම්මු­ලා­දෑ­නි­ව­ර­යකු වශ­යෙන් කට­යුතු කරන කාලයේ කොට්ටව සිරි­සේන රාල­හාමි හෙළයේ මහා ගත්කරු මාර්ටින් වික්‍ර­ම­සිං­හ­යන් සම­ඟද සමී­පව ඇසුරු කළේය. හේ මාර්ටින් වික්‍ර­ම­සිං­හ­යන් ඇසුරු කරන කාලයේ මුහුණ දුන් රස­වත් සිද්ධි මෙන්ම කථා­න්දර ගොන්නක් අප සමඟ කීවේය. එහෙත් අප මේ කිය­න්නට යන්නේ ඒ කථා­න්දර ගැන නම් නොවේ. මඟුල් තුලා සමඟ බැඳී ඇති රස­වත් කථා­න්දර ගැනය.

මක්නි­සා­ද­යත් එකල මඟුල් තුලා වැඩි වශ­යෙන් කරනු ලැබුවේ කපු මහ­ත­කුගේ හෝ කපු ගැහැ­නි­ය­කගේ මාර්ග­යෙනි. පසුව මෙය ක්‍රම­යෙන් මංගල සේවා­වන් බවට පත්විය. ඒ විත­රක් නොව වර්ත­මා­නයේ ඉරිදා පුව­ත්ප­ත්වල වෙනම අති­රේක පවා මංගල යෝජනා සඳහා වෙන්ව ඇත්තේය. ඒ කොයි­හැ­ටි­වු­වද තාක්ෂ­ණයේ දියු­ණු­වත් සමඟ අද වන­විට අන්ත­ර්ජා­ලය ද මංගල සේවා පහ­සු­කම් සප­යන තැනක් බවට පත්ව තිබේ. මංගල සේවා වෙබ් අඩ­වි­වල සිට ජංගම දුර­ක­ථන මුහුණු පොත දක්වා මෙකී සේවාව වර්ත­මා­නයේ ව්‍යාප්ත වී තිබේ.

කලා­ශූරී කොට්ටව රාල­හාමි ද මංගල සේවා­වක් පව­ත්වා­ගෙන ගිය අයෙකි. එකල සිය හිත­ව­තුන්ගේ මංගල කට­යුතු සිය­ල්ලක්ම පාහේ කර­දුන්නේ කොට්ටව රාල­හා­මිය. ඔහු ඒ කාලයේ ඉරිදා දින­වල මනාල මනා­ලි­යන් මුණ­ගැ­ස්වීමේ හමු­වක්ද සිය ආය­ත­නයේ පව­ත්වා­ගෙන යනු ලැබීය. මෙරට දහස් ගණ­නක් වූ මනාල මනා­ලි­යන් ජෝඩු කිරී­මට කොට්ටව රාල­හාමි සමත් විය. මේ කාරියේ දි කොට්ටව රාල­හාමි ලැබූ­අ­ත්දැ­කීම් හරිම රස­වත්ය.

මාර්ටින් වික්‍ර­ම­සිංහ ද පැමිණි ගංදුවේ මංගල උත්ස­වය

ඒ 1969 වර්ෂ­යයි. දිනක් මහා­ග­ත්කරු මාර්ටින් වික්‍ර­ම­සිංහ කොට්ටව රාල­හාමි ඇම­තීය.

“සිරි­සේන මට ගම්බද මංගල උත්ස­ව­යක් දැක ගැනීමට අව­ශ්‍යයි”

“හරි මම ඒ ගැන සොයා­බලා ඔබ­තු­මාට දන්ව­න්නම්” සිරි­සේන රාල­හාමි කිවේය. මේ කාලයේ දි කොග්ගල ගංදුවේ ජෝන් අයි­යාගේ දිය­ණි­ය­කගේ මංගල උත්ස­වය පැවැ­ත්වී­මට ලක­ලැ­හැස්ති වෙමින් තිබුණි. ඒ කොට්ටව රාල­හා­මිගේ උප­දෙස් මතය. වික්‍ර­ම­සිංහ සූරින්ගේ ඉල්ලීම ඉටු කිරී­මට මෙය හොඳම අව­ස්ථාව බව ඔහු කල්පනා කළේය. ඒ අනුව ඉපැ­රැණි ක්‍රම­යට මෙකී මංගල උත්ස­වය සංවි­ධා­නය කිරී­මට කොට්ටව රාල­හාමි කට­යුතු කළේය. මාර්ටින් වික්‍ර­ම­සිං­හ­යන්ට මංගල උත්ස­වය පැවැ­ත්වෙන දිනය දන්වා යැවි­මට කොට්ටව රාල­හාමි කට­යුතු කළේය. වික්‍ර­ම­සිං­හ­යන්ද නිය­මිත දිනය මංගල උත්ස­වය දැක බලා ගැනි­මට කොග්ග­ලට පැමි­ණි­යේය.

මනා­ලි­යගේ නිවෙස පිහිටා තිබුණේ ගන්දුව දූප­තේය. ගන්දු­වට යාම සඳහා ඔරු දෙක බැගින් එක් කොට එයට ලෑලි මැස්සක් දමා සරසා තිබුණි. මංගල ජෝඩුව වෙනු­වෙන් මේ ආකා­ර­යට වෙනම ඔරු දෙක බැගින් එක්කොට ලෑලි මැස්සක් දමා තිබුණි. එය ඉතා අලං­කාර ලෙස සරසා තිබු­ණේය. හතරේ කොනේ සිටි ගැට­ව­රයෝ සිවු දෙනෙක් පාරුව පැද­වූහ. ඔවුන් පාරුව පද­වනු ලැබුයේ උසුලු විසිලු කර­මින් ගීතිකා ගය­මිනි. මාර්ටින් වික්‍ර­ම­සිංහ සූරීන් වෙනු­වෙන් වෙනම පාරු­වක් සුදා­නම් කොට තිබු­ණේය. එම පාරුව රුවල් රෙදි­ගසා ඉතා අලං­කාර ලෙස වට කර තිබුණි. වික්‍ර­ම­සිංහ මහතා හා කොට්ටව රාල­හාමි මංගල උත්ස­වයේ අසි­රිය විඳි­මින් පාරුවේ නැගී කොග්ගල ඔයේ ඒ මේ අත ගමන් කළහ. එදින මාර්ටින් වික්‍ර­ම­සිං­හ­යන් දහ­වල් ආහා­රය ගනු ලැබු­වේද මෙකී පාරුවේ සිටය. මෙය මෙම දෙප­ළට නැවුම් අත්දැ­කී­මක් විය.

ගන්දූවේ සිට ගොඩ­බි­මට පැමිණි මනාල ජෝඩුව කැන්දා­ගෙන ගියේ කත­ළුව ප්‍රදේ­ශ­ය­ටය. සර­සනු ලැබු තිරි­ක්කල හා කරත්ත පෙර­ටු­ක­ර­ගෙන මංගල ජෝඩුව බක්කි කර­ත්ත­යක නැඟී කත­ළුව බලා ගමන් ආරම්භ කරනු ලැබීය. කර­ත්ත­වල බැඳ සිටි ගව­යින්ට මල්මාලා දමා තිබු අතර එක් කර­ත්ත­යක මංගල ගමනේ ගීතිකා ගයන්නෝ වූහ. අනික් කර­ත්තයේ නාග සලං හා උර්දු ගීත ගායනා කර­මින් පිරි­සක් ගමන් කළහ. වික්‍ර­ම­සිංහ මහතා මේ පැරැණි මංගල උත්ස­වය දැකී­මෙන් දැඩි සතු­ටට පත්වූ­යේය.

දිය රෙද්දට වහ වැටුණු දොස්තර මහ­ත්තයා

ඒ කාලයේ කොට්ටව රාල­හා­මිගේ මංගල සේවා ආය­ත­නයේ තරු­ණි­යන් සිය ගණ­න­කගේ ඡයා­රූප විය. විවාහ අපේ­ක්ෂක තරු­ණයෝ රාල­හා­මිගේ කාර්යා­ල­යට පැමිණ එම ඡයා­රූප බලති. මනා­ල­යන් කැමති මනා­ලි­යන් මුණ­ගැ­ස්වී­මට කොට්ටව රාල­හාමි කට­යුතු කර­න්නේය. දිනක් තරුණ වෛද්‍ය­ව­ර­යෙක් කොට්ටව රාල­හා­මිගේ මංගල සේවා ආය­ත­න­යට පැමි­ණි­යේය. ඔහු තරු­ණි­යන්ගේ ඡයා­රුප එකින් එක පෙර­ළ­මින් පරික්ෂා කළේය. “රාල­හාමි මගේ නම් හිත්ගත් මනා­ලි­යක් මේ පිංතූ­රු­වල නැහැ.” තරුණ දොස්තර් මහතා කීවේය.

“මට වැද­ගත් පවුල් දෙක තුනක තරු­ණි­යන් ගැන යෝජනා කිහි­ප­යක් ලැබී තියෙ­නවා. අපි ඉන් දෙක තුනක් බලන්න යමු” රාල­හාමි කීවේය. වෛද්‍ය­ව­රයා මේ වෙද්දී මනා­ලි­යන් බැලී­මට ගොස් හොඳ­ටෝම හෙම්බත්ව සිටි­යේය.

“මට නම් දැන් මනා­ලි­යන් බලන්න ගිහින් එපා වෙලා තියෙන්නේ රාල­හාමි කියන නිසා යමු” වෛද්‍ය­ව­රයා කීවේය.

වෛද්‍ය­ව­ර­යාගේ මෝටර් රියට ගොඩවූ කොට්ටව රාල­හාමි වෛද්‍ය­ව­රයා සමඟ මනා­ලි­යන් බැලී­මට තැන් කිහි­ප­ය­කට ගියේය. එහෙත් වෛද්‍ය­ව­රයා ඒ කිසිදු මනා­ලි­ය­කට කැමති වූයේ නැත. පසුව කොට්ටව රාල­හාමි, වෛද්‍ය­ව­රයා ගැමි ගෙද­ර­කට කැඳ­වා­ගෙන ගියේය. ඒ ගෙද­රට යන පාර අසල වූ ළිඳ­කින් තරු­ණි­යක් දිය නාමින් සිටි­යාය. දිය රෙද්ද­කින් සැරසී සිටි තරු­ණිය දෙස බල­මින් වෛද්‍ය­ව­රයා හෙමින් සීරුවේ රථය ඉදි­රි­යට ධාව­නය කළේය.

ගැමි නිවෙසේ මිදුලේ රථය නතර විය. කොට්ටව රාල­හාමි රථ­යෙන් බැස නිවෙ­සට ගියේය. තරු­ණි­යගේ මව කොට්ටව රාල­හාමි කවු­දැයි දැන සිටි­යාය.

“අපි අවේ දුව බලන්න” රාල­හාමි කීවේය.

“අපොයි දන්වලා එන්න තිබු­ණානේ. දුව නාන්න ගිහින්. ඉන්න මම දුවට එන්න කිය­න්නම්” මව කීවාය. තරු­ණිය දිය රෙද්ද පිටින් නිවෙ­සට දිව ආවාය. දිය රෙද්දෙන් සැරසී කොණ්ඩය කඩා­දමා තරු­ණිය දිව එන අයුරු වෛද්‍ය­ව­රයා දෑස් දල්වා­ගෙන බලා­ගෙන සිටි­යේය.

“රාල­හාමි මෙන්න මේ වගේ පිංතුර තමයි රාල­හා­මිගේ කාර්යා­ලයේ තියෙන්න ඕනැ” වෛද්‍ය­ව­රයා කීවේය.

“ඒක තමයි මම පෙන්වන්න දොස්තර මහ­ත්තයා කැඳ­වා­ගෙන ආවේ.” රාල­හාමි සිනා­සෙ­මින් කීවේය. තරු­ණිය ඇඳ සිටි දිය රෙද්ද මෙන්ම ඇය වෙත පැවති ගැමි­කම හා රූම­ත්බව නිසා වෛද්‍ය­ව­රයා ගැමි තරු­ණි­යට කැමති වූයේය.

දිය­ණි­යගේ විවා­හය දා ළය පැලී මිය­ගිය මව

වැලි­ගම ප්‍රදේශයේ වය­ස්ගත මවක් කොට්ටව රාල­හාමි වෙත සිය පවුලේ දුක කියා ලිපි­යක් එවා තිබුණි. එය ඉතා දුක්බර ඉල්ලී­මක් විය.

‘මහ­ත්තයෝ අපි ගමේ වැද­ගත් පර­ම්ප­රා­ව­කින් පැවත එන අය. මගේ මහ­ත්තයා මුද­ලාලි කෙනෙක්. හොඳට හම්බ කළා. ලොකු පුතා අපි හරි හම්බ­ක­ර­ගත්තු මුළු සේස­තම විනාශ කරලා මැරිලා ගියා. දෙවැනි පුතා නොගැ­ළ­පෙන විවා­හ­යක් කර ගෙන අපට සල­කන්නේ නෑ. මගේ මහ­ත්තයා ඒ දුක­ටම මිය­ගියා. මම අංශ­බා­ග­යෙන් ඔත්පළ වෙලා දැන් වස­රක් විතර වෙනවා. මට නැගි­ටී­මට බැහැ. මට සාත්තු සප්පා­යම් කරන්නේ බාල දිය­ණිය. ඇය දේව­තා­වි­යක්. අනේ මහ­ත්තයෝ මැරෙන්න කලින් මගේ දිය­ණි­යට මහ­ත්ත­යෙක් හොයලා දෙන්න’ මව එම ලිපි­යෙන් ඉල්ලා තිබු­ණාය.

මේ ලිපිය කිය­වී­මෙන් පසු කොට්ටව රාල­හා­මිට ඇති­වූයේ දැඩි වේද­නා­වකි. මේ දිය­ණි­යට පිහිට විය යුතු බවට කොට්ටව රාල­හාමි අදි­ටන් කර­ග­ත්තේය. ඔහු මේ පවු­ලට ගැළ­පෙන තරු­ණ­යකු සමග එම නිවෙ­සට ගියේය. මහලු මව දෑත් දිගු­කොට කොට්ටව රාල­හා­මිට වැන්දාය. සැබ­වින්ම මෙය හැඟී­ම්බර අව­ස්ථා­වක් විය. දුක වේද­නාව හඳු­නන තරු­ණයා තරු­ණිය කසාද බැඳී­මට කැම­ති­විය. පවුලේ වග­කීම බාර ගැනී­ම­ටද කැමැත්ත පළ­ක­ළේය. ඒ අනුව විවා­හය ලියා පදිංචි කිරී­මට දේපා­ර්ශ්වය කථිකා කර­ගනු ලැබීය.

විවා­හය ලියා­ප­දිංචි කිරී­මෙන් පසු මනාල යුවළ නිවෙ­සට පැමිණ මනා­ලයා මවට බුලත් අතක් දී වැන්දේය. මවගේ දෑස්ව­ලින් සතුටු කදුළු රූරා වැටෙ­න්නට විය. මව සිටියේ දැඩි සතු­ටිනි. ගත­වූයේ නිමේ­ෂ­යකි. ඇය මනා­ල­යගේ දෑත් අල්ලා­ගෙ­නම මිය ගියාය.

පැරණි ඇද­හිලි සනාථ වූ මොහො­තක්

කොට්ටව සිරි­සේන රාල­හා­මිගේ මංගල සේවය මගින් මුණ­ග­ස්වනු ලැබූ තරු­ණ­යකු හා තරු­ණි­යක විවා­හය ගිවිස ගැනී­මට තින්දු­කොට තිබුණි. ඒ කොට්ටව රාල­හා­මිගේ උප­දෙස් මතය. තරු­ණයා රියැ­දු­රෙකි. තරු­ණිය ගෘහ­ණි­යකි. “රාල­හාමි අපට නැකත් කේන්දර පොරො­න්දම් බලන්න අවශ්‍ය නැහැ. අපි දෙදෙ­නාගේ කැමැත්ත අනුව විවාහ වෙනවා” තරු­ණයා රාල­හා­මිට කීවේය. කොට්ටව රාල­හා­මිට මනාල යුව­ළගේ කැමැ­ත්තට ඉඩ දීමට සිදු­විය. මෙකී යුව­ළගේ විවා­හය ලියා­ප­දිංචි කරනු ලැබුවේ මනා­ලි­යගේ නිවෙ­සේ­දීය. ඒ සඳහා මනා­ලි­යගේ හා මනා­ල­යාගේ පාර්ශ්වයේ ඥාතිහු ද පැමිණ සිටි­යහ. විවා­හය ලියා­ප­දිංචි කරන අව­ස්ථාවේ මනා­ලිය අසු­න්ගෙන සිටි පුටුව පෙරළී ඇය බිම ඇද වැටු­ණාය. ඥාතින්ගේ මුහුණු ඇඹුල් විය. කාන්තා­වන් තැන් තැන්ව­ලට වීමේ ගැන එක එක කථා කිය­න්නට වූහ. මංගල ජෝඩුව ඔවුන්ගේ මංගල ගමන ආරම්භ කළේද ඔවුන්ගේ කැමැත්ත අනු­වය. කිසිදු චාරි­ත්‍ර­යක් වාරි­ත්‍ර­යක් ඉටු කළේ නැත. ජෝඩුව පිටත් වෙද්දී ජල බඳු­නක් රැගෙන පෙරට ඒම වැනි චාරිත්‍ර හෝ සෙත් ගායනා කිසි­වක් කළේ නැත. මෙකී මනාල යුව­ළගේ යුග දිවිය සාර්ථක වුයේ නැත. ඔවුන්ට දරු­වෝද නොවූහ. මනා­ලයා සතුව තිබු ඉඩ­ක­ඩම් පවා විකුණා දැමි­මට ඔහුට සිදු­විය. ටික කාල­ය­කදි ඔහු හදිසි අන­තු­ර­කට ලක්ව මිය­ගි­යෙන් බිරිය තනි­විය.

මාන­සික රෝගීන්ට උදව් කළ හැටි

මාන­සික රෝග පිළි­බඳ විශේ­ෂඥ වෛද්‍ය හරි­ස්චන්ද්‍ර මහතා කොට්ටව සිරි­සේන රාල­හා­මිගේ හිත­ව­තෙකි. දිනක් හරි­ස්චන්ද්‍ර මහතා කොට්ටව රාල­හා­මිගේ මංගල සේවා කර්යා­ල­යට පැමිණ තරුණ තරු­ණි­යන් මුණ­ග­ස්ස­වන අයුරු නිරි­ක්ෂ­ණය කළේය. ඊට පසු එක් දිනක හරි­ස්චන්ද්‍ර මහතා කොට්ටව රාල­හා­මිට දුර­ක­ථ­න­යෙන් කථා කළේය. “රාල­හාමි මට උදව් කරන්න ඕන. මම ලියුම් කඩ­දා­සි­යක් ලියලා කාගේ අතේ හරි එච්වොත් ඒ අයට උද­ව්වක් කරන්න ඕනැ.” හරි­ස්චන්ද්‍ර මහතා රාල­හා­මිට කීවේය.

“ඔව් දොස්තර් මහ­ත්තයා, මම කව­දාත් හොඳ වැඩ­ව­ලට උදව් කර­න­වානේ. මට පුළු­වන් උද­ව්වක් කර­න්නම්” කොට්ටව රාල­හාමි කීවේය. දිනක් හරි­ස්චන්ද්‍ර දොස්තර් මහ­තාගේ ලිපි­යක් රැගෙන පිරිමි තිදෙ­නෙක් සමග කාන්තා­වක් රාල­හාමි හමු­වී­මට පැමි­ණි­යහ. මාන­සික රෝග­ය­කින් පෙලෙන තරු­ණයා හඳුනා ගැනී­මට කොට්ටව සිරි­සේන රාල­හා­මිට වැඩ­වේ­ලා­වක් ගත­වූයේ නැත. “ආ එන්න පුතා, ඔයා කැමති මේ අය­ගෙන් කාටද?” තරු­ණි­යන්ගේ රූප පෙන්ව­මින් කොට්ටව රාල­හාමි රෝගී තරු­ණ­යා­ගෙන් ඇසු­වේය. රාල­හා­මිට අවශ්‍ය වූයේ රෝගී තරු­ණ­යාගේ මනස සුව­පත් කිරී­ම­ටය. රෝගී තරු­ණයා ඉතා ආශා­වෙන් තරු­ණි­යන්ගේ ඡයා­රූප බැලු­වේය.

“පුතා ඉස්සෙල්ලා බෙහෙත් බීලා ලෙඩ සුව කර­ගන්න ඕනැ. ඊට පස්සේ මං හොඳ මනා­ලි­යක් හොයා දෙන්නම්” රාල­හාමි තරු­ණ­යාට කීවේය. තරු­ණ­යාගේ හිසේ මලක් පිපු­ණාක් වැනි විය. එප­ම­ණක් නොව මංගල සේව­යට පැමිණි තමන්ට හිත­වත් තරු­ණි­යන්ට කියා කොට්ටව රාල­හාමි මෙවැනි තරු­ණ­යන් සමග කථා බස් කිරී­මට කට­යුතු යෙදු­වේය. මේ අයු­රින් මාන­සික රෝගින්ට උදව් කිරි­මට ද කොට්ටව රාල­හාමි කට­යුතු කළේය.

ලලිත් චාමින්ද

Comments