සෙම්බු­ව­ත්තට ඇවිත් ශුද්ධ වූ ජලය සොයන අරා­බියේ මිනිස්සු | සිළුමිණ

සෙම්බු­ව­ත්තට ඇවිත් ශුද්ධ වූ ජලය සොයන අරා­බියේ මිනිස්සු

සෙම්බු­වත්ත යනු මාතලේ ඇල්ක­ඩුව තේ වතු යායේ ඇතු­ළත, ඉහළ කඳු පන්තියේ ඇති කුඩා ගම්මා­න­යකි. එහි කඳු පන්ති­ව­ලින් ගලා එන (දිය කඳු­රු­ව­ලින් ගලන) දිය පාර­වල වැව් බැඳ හරස් කොට ‘සෙම්බු­වත්ත’ නම් කුඩා වැවක් ඉදි කොට ඇත. ඇල්ක­ඩුව තේ කම්හ­ලට අවශ්‍ය විදු­ලිය ද, බලය ද ලබා ගැන‍ී­මට එම ජලය, නළ මාර්ග­යෙන් උප­යෝගි කර ගැනී­මට, යන්ත්‍ර - සූත්‍ර ක්‍රියා කර­වී­මට එකල සුදු වතු පාල­ක­යින් ක්‍රියා කොට ඇත.

අද තේ කම්හල අක්‍රිය තත්ත්වයේ පව­තින අතර, එය අතීත නට­බුන් ලෙසින් ඒ කඳු­ක­රයේ ශේෂ වී පවතී.

සුන්දර සෙම්බු­වත්ත වැව පිහි­ටියේ එම දැවැන්ත නට­බුන් ගොඩ­නැ­ඟි­ල්ලට කිලෝ මීට­ර­යක් දෙකක් ඉහ­ළින් වූ කඳු­ක­රයේ ය. සැබැ­වින් ම වැව මන­ස්කාන්ත දසුන් මවා­ලයි. ඉහළ කඳු පන්තී­න්ගෙන් ගලා එන සුපි­රි­සුදු සිහිල් ජල දහ­රා­වන්ගේ සුපෝ­ෂ­ණය වූ වැවෙහි නිර­තු­රුව පිටාර යන දිය කඳ තවත් කුඩා දිය ඇල්ලක ස්වරූප මවා­පායි.

අහ­සෙහි නිල ද, වලා­කුළු අළු පැහැය ද උස් තුරු මුදු­න්වල සෙව­ණැලි ද සොරා­ගෙන රඳවා ගත් ඒ නිසල ජල තලය කාගේත් මත­ක­යෙන් කිසි දින බැහැර නො යයි‍. හිරි­ගඩු පි‍ෙපන සිහි­ත­ලය, වාත­ලය කපා­ගෙන පිහි­ත­ල­යක් මෙන් සිරුර කිඳා­ගෙන බසියි. වා තලය, ජල තලය නිසා දැමුණු බවත් පෙන්වයි. හරි­යට වායු කුටි­යක සිටි­න්නක් මෙනි.

එම සොබා දම් රසය, ගුණය පැහැය, ස්වරය විඳ ගැනී­මට එහි පැමි­ණෙන රස­වත්තු, සෞන්ද­ර්ය­වා­දීහු බහුල වෙති. එබිම පුරාම සංචා­ර­ක­යින් වැහි වැහැලා ය.

මේ පිරිස් අතරේ වැඩි වශ­යෙන් ම දක්නට ලැබෙන්නේ අරාබි රට­ව­ලින් පැමි­ණෙන අරාබි පිරිස් ය. ළමුන්, කාන්තා­වන් පිරි­ව­රා­ගෙන පවුල් පිටින් අරාබි ජාති­කයෝ වැඩි වශ­යෙන් පැමි­ණෙති.

අරාබි පිරිස් සුවි­ශේෂි කොට මෙහි පැමි­ණෙන්නේ ඇයි? ඔවුන් ද සොබා සොඳුරු බව අග­යන තවත් මනුෂ්‍ය කොට්ඨා­ස­යකි. එසේ වුව ද, ඔවුන්ගේ ආග­ම­නයේ ඇත්තේ කිසි­යම් වන්ද­නා­වෙක ස්වරූ­ප­යකි.

ඒ ගැන ඔවුන් පව­සන්නේ මෙසේ ය. ශුද්ධ ව‍ූ නබි­තුමා එම යුග­යේදී මෙම දිව­යිනේ සංචා­රය කර ඇත. එහිදී මෙම කඳු­ක­රයේ පා ගම­නින් සංචා­රය කර තිබේ.

එතුමෝ කඳු­ක­රයේ කුඩා දිය කඳු­රක, දිය රැඳි ස්ථාන­ය­කදී ස්නානය සඳහා සූදා­නම් වූහ. එහිදී දේව අනු­හ­සින් එම ස්ථාන­යෙන් රන් සෙම්බු­වක් මතු විය. එය උප­යෝගී කර­ගෙන දිය නා සෙම්බුව යළිත් දිය යට දමා නබි තුමෝ එතැ­නින් පිටත් වූහ. මේ එක් බැති­ම­තුන් පිරි­ස­කගේ අද­හස ය. තවත් පිරි­සක් පව­සන්නේ වෙනස් අද­හ­සකි. නබි­තු­මාට සෙම්බුව හමුවී ඇත්තේ පහ­ළින් ඇති හුන්නස් (පෝල්ස්) දිය ඇල්ලෙන්. මෙලෙස හමුවූ සෙම්බුව රැගෙන ගොස් ස්නානාය කර තිබේ.

එම ශුද්ධ වූ ජලය ඇති ස්ථාන සොයා ඔවුන් වාර්ෂි­කව දරු­වන්, බිරි­ඳන් සමඟ පැමිණ එම ශුද්ධ ජල­යෙන් මුහුණ දෝව­ණය කිරීම හෝ තම ආග­මික යුතු­කම බව ඔවුහු පව­සති. සෙම්බු­ව­ත්තට පැමි­ණෙන අරාබි වන්ද­නා­ක­රු­වන් ඇතුළු මුස්ලිම් ජාති­ක­යන් සෙම්බු­වත්ත වැව අසල තනා ඇති දිය තටා­ක­යේද හුන්නස් දිය ඇල්ල අසල තටා­කයේ ද ශුද්ධ ජලය ස්නානය කරන්නේ අල්ලාහ් දෙවි­ඳුන්ට ප්‍රශංසා කර­මිනි. අතී­තය සම­ර­මිනි. දැන් මෙම ස්ථාන අරා­බින් මෙන්ම මෙරට මුස­ල්මා­නු­ව­න්ගෙන් පිරී ඉතිරී යමින් පවතී. සෑම වස­ර­කම ඊද් - උල් අල්හා සැම­රුම් දින වක­වා­නු­වල එය සැම­රීම් සඳහා සිරි­ලක සංචා­රය කර සෙම්බු­වත්ත හුන්නස් දිය ඇළි දැක බලා­ගෙන, එහි ශුද්ධ ජලය ස්පර්ශ කොට ආපසු යෑම තම අර­මුණ බව අරාබි සංචා­ර­කයෝ පැවැ­සූහ. ඔවු­න්ගෙන් ඇතැ­මෙක් එහි ජලය කුඩා බෝත­ල­වල බහා­ගෙන සිටිනු ද දක්නට ලැබුණි.

ලොව පුරා ද, රට පුරා ද එවැනි ජන විශ්වා­ස­යන්, ඇද­හිලි, මත­යන් ඇති ස්ථාන බොහෝ ය. එහි සත්‍යා­සත්‍ය බව කෙසේ හෝ වේවා මිනිස්සු වැල නොකැඩී එම ස්ථාන කරා විවිධ අප­හ­සුතා විඳ­ගෙන ගමන් කරති.

ලංකාවේ තව­මත් වැඩි­ම­නත් ප්‍රචා­ර­යක් නැති සෙම්බු­වත්තෙ හා නබි­නා­යක තුමා සම්බන්ධ ශුද්ධ භූමිය සම්බන්ධ කතාව බොහෝ සේ ප්‍රච­ලි­තව ඇත්තේ අරා­බියේ ය. අරාබි බැති­ම­තුන් වැල නොකැඩී වන්ද­නාවේ එන්නේ ඒ පසු­බිමේ ය.

පසු­ගිය දිනෙක සෙම්බු­වත්ත ප්‍රදේ­ශයේ කළ සංචා­ර­ය­කදී අප විඳි අත්දැ­කීම මවිත කර­වන සුලුය. සෙම්බු­ව­ත්තට හැරෙන දුර්ග මඟ දක්වා කිලෝ­මී­ටර් පහ­කට වැඩි වාහන පෝලි­මකි. මේ පැමි­ණෙන සංචා­ර­ක­ය­න්ගෙන් සිය­යට හැත්තෑ­ව­කට වඩා අරාබි ජාති­කයෝ ය.

සෙම්බු­ව­ත්තට යන දුර්ග මගේ වතු­යා­යට යන්නට මින් පෙර ත්‍රි‍රෝද රථ­යක් සඳහා අය කළ මුදල රුපි­යල් 750 ත් 1000 ත් අත­රය. මේ වන විට එහි මිල ගණන් ඉහළ ගොස් ය. විදේ­ශි­ක­යෙක් එතැ­නට රැගෙන යන්නට අය කරන මිල රුපි­යල් තුන්ද­හස් පන්සි­ය­යකි. තැරැ­ව්ක­රු­වාට 1500 කි. ත්‍රිරෝද රථ රිය­දු­රාට 2000 කි.

ස්ථානයේ රථ­වා­හන පාල­නය කර­මින් පවත්වා ගන්නේ ඇල්ක­ඩුව සේව­ක­යන්ගේ නිවාස සමූ­ප­කාර සමි­තිය මඟිනි. එක් ප්‍රවේ­ශ­යක් වෙනු­වෙන් රුපි­යල් දෙසී­යකි.

ඇල්ක­ඩුව හන්දිය සංචා­රක පුර­යක සිරි ගනි­මින් ඇත. මඟ දෙපස බොහෝ නිවෙස් සංචා­ර­ක­යන් වෙනු­වෙන් වෙන් වෙමින් තිබේ. කුඩා හෝටල්, කබානා යළිත් ඉදි­වෙ­මිනි. සම­හර නවා­තැන් පළ­වල් වෙන් වී ඇත්තේ අරාබි ජාතික සංචා­ර­ක­යන් වෙනු­වෙ­න්මය. ඒ ස්ථාන­වල අරාබි කොඩි ලෙළ දෙමිනි.

සංචා­රක ව්‍යාපෘ­ති­යක් ලෙස සෙම්බු­වත්ත සාර්ථක වෙමින් ඇත. අරාබි සංචා­ර­ක­යන්ගේ පැමි­ණීමේ යම් ආර්ථික පසු­බි­මක් මේ දුගී මිනි­සුන් විෂ­යෙහි ඇති කර තිබේ. එහෙත් මේ ආග­මික විශ්වාස ඔස්සේ සිදු­වෙ­මින් ඇති භක්ති­වාදී සංචාර නියා­ම­නය වීම වැද­ගත් ය. මේ ඔස්සේ ඇති විය හැකි ව්‍යසන පිළි­බඳ ලෝක ආදර්ශ ඕනෑ තරම් තිබේ.

අස­ල්වැ­සි­යන්ට දොර විවර කළ යුත්තේ සුත­න­බු­වගේ ආර­ක්ෂාව පිළි­බඳ සහ­ති­ක­යක් තිබේ නම් පමණි.

ටෙරන්ස් වනි­ග­සිංහ

අදහස්