විසි­හත් වස­රක් වැසුණු දොරටු යළි විවර වන අවු­රුදු දෙසී­යක් පැරැණි ඉස්කෝලේ | සිළුමිණ

විසි­හත් වස­රක් වැසුණු දොරටු යළි විවර වන අවු­රුදු දෙසී­යක් පැරැණි ඉස්කෝලේ

ප්‍රකට ප්‍රංශ සාහි­ත්‍ය­වේ­දි­යකු වූ වික්ටර් හියුගෝ වරක්, සරල වචන කිහි­ප­ය­කින් සනා­තන ලෝක සත්‍ය­යක් මෙසේ කියා­පෑවේ ය. ‘පාස­ලක දොර විවර කරන්නා සිර කඳ­වු­රක දොර වසා දමයි’. මෙය කොත­රම් ගැඹුරු සත්‍ය­යක් ද යන්න පසු­ගිය දශක කිහි­පයේ අපට අප රට ඇසු­රින්ම පසක් කර­ග­න්නට හැකි විය. අප විසින් ගෙවා දැමූ පසු­ගිය දශක තුනක පමණ කාලය මුළු­ල්ලේම අපට වැඩි වැඩි­යෙන් අස­න්නට ලැබුණේ පාසල් වැසෙන හා නානා­ප්‍ර­කාර කඳ­වුරු ඇරෙන බව කිය­වෙන පුවත් ය. ඒ අතර සිර­ක­ඳ­වුරු, සර­ණා­ගත කඳ­වුරු, තාව­කා­ලික කඳ­වුරු හා විවෘත සිර­ක­ඳ­වුරු රටේත් ලෝක­යේත් කතා­බ­හට ලක් වූ ප්‍රධාන කරු­ණක් බවට පත් වූ හැටි අපි දුටු­වෙමු.

අද අපගේ කතා­වට නිමිත්ත වන්නේ ද වැඩෙ­නවා වෙනු­වට වැසී ගොස් වසර විසි­හ­ත­කට පමණ පසුව අද හෙටම නැව­තත් සිසුන් වෙනු­වෙන් ඇරෙ­න්නට පෙර මඟ බලන වසර දෙසී­යක පමණ කීර්ති­මත් ඉති­හා­ස­ය­කට හිමි­කම් කී මයි­ලිඩ්ඩි කෙලෙ­ම­ගල් මහා විද්‍යා­ලය ය.

ඒ බෙදු­ම්වාදී යුද්ධය ක්‍රම­යෙන් අතු ඉතිලා වැඩෙ­න්නට පට­න්ගෙන තිබූ කාල­යයි. එතෙක් එම ප්‍රදේ­ශයේ පැවැති සාම­කාමි ජන ජීවි­තය සිඳ බිඳ දම­මින් මිනිසා මිනි­ස­ත්කම අම­තක කොට එකි­නෙ­කාට එරෙ­හිව අවි අමෝ­රා­ගත් නව­සිය අසූ හත වසරේ එක්තරා දව­සක, සිසුන් දහ­ස­කට ආසන්න ප්‍ර‍්‍රමා­ණ­ය­කගේ ඇස් පාද­මින් සිටි මේ ගමේ පාසලේ දොරටු මුල්ව­රට මුළු­ම­නින්ම වැසී ගියේ ය.

ඒ අනුව සිසුන් නව­සී­ය­කට මදක් වැඩි පිරිස හා ගුරු­භ­ව­තුන් විසි­හය දෙනා තැන තැන විසිර ගිය අතර ඉතිරි වූ පිරිස සමඟ මෙම පාසල යාප­නයේ අල­වෙට්ටි ඥාණෝ­දයා විද්‍යා­ලය වෙත ගෙන යනු ලැබීය. ඇති වූ නොස­න්සුන් වාතා­ව­ර­ණය ක්‍රම­යෙන් පහව යත්ම, නැව­තත් සිසුන් අට­සී­කට මදක් වැඩි පිරි­සක් හා ගුරු­භ­ව­තුන් විසි පහක් සමඟ මයි­ලිඩ්ඩියේ පෙර පැවැති ස්ථානය වෙත ම මෙම පාසල ගෙන එනු ලැබීය.

එහෙත් නව­සිය අනූවේ ආර­ම්භ­යත් සම­ඟම ආරම්භ වූ දෙවන ඊළාම් යුද්ධය නැව­තත් එම පාස­ල­ටත් එහි සිසු දරු­ව­න්ටත් ගුරු­ව­ර­න්ටත් ගම්වැ­සි­ය­න්ටත් උන්හිටි තැන් අහිමි කළේ ය. ඒ අනුව චුන්නා­කම් ඇතුළු ප්‍රදේශ කිහි­ප­යක සව­ස්ව­රුවේ පන්ති පව­ත්වන පාස­ලක් බව­ටත් පසුව වෙනත් පාසල් සමඟ හවුල් පාස­ලක් බව­ටත් පත්වී­මට සිදු වීමෙන් පසු නව­සිය අනූ තුන පමණ වන විට මයි­ලිඩ්ඩි කෙලෙ­ම­ගල් මහා විද්‍යා­ලය ස්වකීය අන­න්‍ය­තාව අහිමි පාස­ලක් බවට පත්විය. වසර කිහි­ප­යක් ඇවෑ­මෙන් නැවත පොල් අතු සෙවිලි කළ තාව­කා­ලික මඩු කිහි­ප­යක මෙම පාසල ස්වාධීන පාස­ලක් ලෙස පව­ත්වා­ගෙන යන්නට ගත් උත්ස­හ­යන් ද යළි යළිත් ඇවි­ළුණු යුද ගිනි­දැ­ල්ව­ලට යට වී ගියේ ය.

ඒ අනුව 1996 මැයි මාසයේ සිට මේ දක්වා ගෙවී ගිය වසර 27ම මයි­ලිඩ්ඩි කෙලෙ­ම­ගල් මහා විද්‍යා­ලය පව­ත්වා­ගෙන එනු ලබන්නේ චුන්නා­ගම් සභා­ප­ති­පිල්ලෛ වීදියේ පිහිටි පෞද්ග­ලික හිමි­කා­රි­ත්ව­යක් සහිත, පාස­ල­කට අවැසි කිසිදු යටි­තල පහ­සු­ක­මක් නොමැති පාළු ගොඩැ­නැ­ගි­ල්ලක ය.

සැබෑ රාෂ්ට්‍රප­ති­ය­කුට සතුටු විය හැක්කේ ‘පාසල් වසා සිර කඳ­වුරු අරි­න්නැයි’ අණ දීමේ දී නොව, වසා දැමුණු පාසල් නැවත විවෘත කර, විවෘ­තව ඇති සිර­ක­ඳ­වුරු වසා දැමිය හැකි තත්ත්ව­ය­කට තම රට පත් කළ හැකි විට ය. මන්ද ලෝක­යක් වෙනස් කළ හැකි බල­වත්ම අවි­යත්, අන්ධ­කා­ර­යෙන් ආලෝ­කය කරා යා හැකි මාව­තත් අධ්‍යා­ප­නය ම වන බැවිනි.

 

1818 ජුනි මස 04 වැනි දා සිසුන් 33 දෙනෙ­කු­ගෙන් මයි­ලිඩ්ඩි උතුර ඇම­රි­කන් මිෂන් දෙමළ මිශ්‍ර පාසල නමින් ඇරැඹි එම පාසල 1963 දී රජ­යට පව­රා­ගත් පාස­ලක් බවට පත්වී­මත් සම­ගම භෞතික වශ­යෙන් මෙන්ම සිසු ගුරු සංඛ්‍යා­ත්මක වශ­යෙන් ද ක්‍රම­යෙන් වර්ධ­නය වන්නට පට­න්ගෙන තිබේ. මෙම පාස­ලට මයි­ලිඩ්ඩි උතුර කෙලෙ­ම­ගල් මහා විද්‍යා­ලය යන නම තබා ඇත්තේ කීර්ති­මත් දෙමළ නාය­ක­යකු වූ එස්.ජී.වී. චෙල්ව­නා­ය­ගම් මහතා විසිනි.

උතුරු සමා­ජයේ අධ්‍යා­ප­නය හා කී‍්‍රඩාවේ උන්න­තිය වෙනු­වෙන් සුවි­ශේෂ දාය­ක­ත්ව­යක් සපයා තිබුණ ද යුද්ධය හෙතු­වෙන් වැසී ගිය එම පාසලේ ඉර­ණම යුද්ධයේ ගොදුරු බවට පත් බොහො­ම­යක් ගම්බිම් හා පාස­ල්ව­ලට අත්ව ඇති ඉර­ණමේ හර­ස්කැ­පු­මක් බඳුය. විසි­හත් අවු­රු­ද්දක් අඳුරේ සැඟවී තිබූ මේ කතාව එළි­යට ආවේ ද මේ ආකා­ර­ය­ටම විසි­හත් වස­රක් ධීව­ර­යන්ට තහ­නම් ප්‍රදේ­ශ­යක්ව පැවැති මයි­ලිඩ්ඩි ධීවර වරාය ප්‍රති­සං­ස්ක­ර­ණය කිරීමේ කට­යුතු ජනා­ධි­ප­ති­තු­මන්ගේ මූලි­ක­ත්ව­යෙන් පසු­ගිය 22 වැනි දා යාප­නයේ මයි­ලි­ඩ්ඩිහි දී පැවැ­ත්වුණු උත්ස­වය අත­ර­වා­රේ දී ය.

එම උත්ස­ව­යේ දී අති­ශය හැඟී­ම්බ­රව සභාව ඇමැතූ පාර්ලි­මේන්තු මන්ත්‍රී මාවෛ සේනා­ධි­රාජා මන්ත්‍රී­ව­රයා ‘වසර විසි­හ­ත­කට පසුව හෝ එදා මෙරට මත්ස්‍ය නිෂ්පා­ද­න­යට සැල­කිය යුතු දාය­ක­ත්ව­යක් සපයා දුන් උතුරේ ප්‍රමු­ඛ­තම ධීවර වරාය නැව­තත් ධීව­ර­යන්ගේ අයි­ති­යට පත් කරන අතර ම එය සංව­ර්ධ­නය කිරී­මට ද රජය විසින් පිය­වර ගැනීම පිළි­බඳ රජ­යට තම ජන­තාව වෙනු­වෙන් ප්‍රසංශා කළේය. ඒ අත­රෙම යුද්ධය නිමා වී වසර නව­යක් ගෙවි ඇතත් තව­මත් මෙම වරාය ආශ්‍රීත ඉඩම් මෙන්ම මෙම ප්‍රදේ­ශයේ පිහිටා ඇති ප්‍රධාන පාසල ජනතා අයි­ති­යට පත්ව නොති­බීම පිළි­බඳ බෙහෙ­වින් කන­ගාටු වන බවත් කීවේය.

මන්ත්‍රී­ව­ර­යාගේ එම කතා­වෙන් පසු එම උත්සව සභාවේ සිටි යාප­නය හමුදා ආඥා­ප­ති­ව­රයා තමන් වෙත කැඳවා සාකච්ඡා කළ ජනා­ධි­පති මෛත්‍රී­පාල සිරි­සේන මහතා, එම අව­ස්ථාවේ කොළඹ සිටි යුද හමු­දා­ප­ති­ව­රයා සමඟ ද දුර­ක­ථ­න­යෙන් සාකච්ඡා කළේය. අන­තු­රුව සභාව අම­ත­මින් එම ප්‍රදේ­ශයේ පිහිටා ඇති මයි­ලිඩ්ඩි කෙලෙ­ම­ගල් මහා විද්‍යා­ලය සති දෙකක් ඇතු­ළත නිද­හස් කරන බව ප්‍රකාශ කළේ ය. ඒ සා දිගු කලක් වැසී තිබුණු තම ගමේ පාසල කඩි­න­මින් විවෘත කර දෙන බවට ජනා­ධි­ප­ති­තු­මන් වෙතින් ප්‍රකාශ වෙත්ම එහි රැස්ව සිටි තුන්ද­හ­ස­කට අධික අහිං­ස­ක­යන්ගේ ප්‍රසා­දය මහත් අත්පො­ළ­සන් හඬක් බවට පෙර­ළිණි.

එම උත්සව සභා­වෙන් පසු ලියු­ම්කරු සමඟ කතා කළ යාප­නයේ යුද්ධ හමුදා ආඥා­පති මේජර් ජන­රාල් දර්ශන හෙට්ටි­ආ­රච්චි මහතා එම පාස­ලත් එයට අයත් අක්කර දෙක­හ­මා­රක පමණ භූමි­යත් ජනා­ධි­ප­ති­තු­මාගේ උප­දෙස් පරිදි නිද­හස් කිරී­මට අවශ්‍ය කට­යුතු කරන බව ප්‍රකාශ කළේ ය. මේ වන විට ආර­ක්ෂක අංශ හා යාප­නය දිසා­ප­ති­ව­රයා එක්ව අදාළ කට­යුතු සිදු කර­මින් සිටින අතර සැප්තැ­ම්බර් මස 05 වැනි දා නැව­තත් මයි­ලිඩ්ඩි කෙලෙ­ම­ගල් මහා විද්‍යා­ලය සිසු අයි­ති­යට පත් කිරී­මට අවශ්‍ය සැල­සුම් සකස් වෙමින් තිබේ.

දැන් සමා­ජ­යක් ලෙස අප හමුවේ තිබෙන්නේ වසර විසි­හ­තක් පාළු­වට ගිය ඒ අබල දුබල හිස් ගොඩ­නැ­ගිල්ල සැබෑ පාස­ලක් බවට පත් කර­න්නට අපට කළ හැක්කේ කුමක්ද යන පැන­යයි. මේ රටේ සැබෑ සංහි­ඳි­යා­වක් ඇති විය යුතු යැයි අවං­ක­වම අපේක්ෂා කරන පුර­වැ­සි­යන්ට අවශ්‍ය නම් මෙය ඒ සඳහා අව­ස්ථා­වක් කර­ගත හැකියි.

සැබෑ රාෂ්ට්‍රප­ති­ය­කුට සතුටු විය හැක්කේ ‘පාසල් වසා සිර කඳ­වුරු අරි­න්නැයි’ අණ දීමේ දී නොව, වසා දැමුණු පාසල් නැවත විවෘත කර, විවෘ­තව ඇති සිර­ක­ඳ­වුරු වසා දැමිය හැකි තත්ත්ව­ය­කට තම රට පත් කළ හැකි විට ය. මන්ද ලෝක­යක් වෙනස් කළ හැකි බල­වත්ම අවි­යත්, අන්ධ­කා­ර­යෙන් ආලෝ­කය කරා යා හැකි මාව­තත් අධ්‍යා­ප­නය ම වන බැවිනි.

 

අදහස්