ලංකාවේ ක්‍රිකට් අවුට් කරන්න ඇවිත් මාට්ටු වූ බුකි­කා­රයෝ | සිළුමිණ

ලංකාවේ ක්‍රිකට් අවුට් කරන්න ඇවිත් මාට්ටු වූ බුකි­කා­රයෝ

ක්‍රිකට් ක්‍රීඩ­ක­යන්ව පහ­සු­වෙන් පොහො­සත් කර­මින් ඔවුන්ගේ ක්‍රීඩා දිවි­යට විලංගු දැමී­මට ලොව පුරා බුකි­ක­රුවෝ උත්සාහ කර­මින් සිටිති. මේ වන විට ශ්‍රී ලංකාව තුළ ද මේ බුකි වෛර­සය ශීඝ්‍ර­යෙන් ව්‍යාප්ත වෙමින් තිබේ. එය හෙළි වන්නේ බුකි ඒජ­න්ත­ව­රුන්ගේ සේවා­දා­ය­ක­යන් මෙරට ක්‍රියා­ත්මක ප්‍රධා­න­තම තර­ගා­ව­ලි­යක් වන අන්තර් පළාත් විස්සයි විස්ස තර­ගා­ව­ලිය ද නැර­ඹී­මට පැමිණ ඇති ආකා­රය හෙළි­ද­රව් වීමත් සම­ඟිනි.

මේ සම්බ­න්ධව මුල්ම සැකය මතු වන්නේ ආර්.ප්‍රේම­දාස ක්‍රීඩාං­ග­ණයේ පැවැති තර­ග­ව­ල­දීය. එතැන දී දක්නට ලැබුණේ මුස්ලිම් හා දෙමළ ප්‍රේක්ෂ­ක­යන් පිරි­සක් තර­ගය නර­ඹන ආකා­ර­යය. මාලි­ගා­වත්ත දෙම­ට­ගොඩ ප්‍රදේශ ඇසු­රෙහි පව­තින ආර්.ප්‍රේම­දාස ක්‍රීඩාං­ග­ණ­යට මේ ප්‍රේක්ෂක සංයු­තිය අමු­ත්තක් නොවු­ණත් ඔවුන්ගේ විජා­තික පෙනුම සම්බ­න්ධව ක්‍රිකට් බල­ධා­රීහු වැඩි අව­ධා­න­යක් යොමු කළහ.

ඔවුන්ගේ සැක­යට පද­න­මක් සහිත බව ඒත්තු යන්නේ දඹු­ල්ලේ­දීය. දඹුල්ලේ පැවැති තරග නැර­ඹී­මට ශ්‍රී ලාංකි­ක­යන්ට වඩා විජා­තික පෙනු­මක් සහිත පිරි­සක් පැමිණ සිටිනු දක්නට ලැබිණි. පරීක්ෂා කරන විට ඔවුන් ඉන්දියා හා පකි­ස්තාන ජාති­ක­යන් බව හෙළි විය. මේ තත්ත්වය තහ­වුරු වූයේ මේ පිරිස පල්ලෙ­කැ­ලේ­ටත් පැමිණ සිටින බව දකින විටය.

මෙවර පලාත් තර­ගා­ව­ලි­යට බුකි­ක­රු­වන්ගේ තර­ගා­ව­ලි­යක බවට පත්වී ඇත් දැයි සැකය මතු­වන්නේ ඒ සම­ඟය. මේ පිරිස ක්‍රීඩාං­ග­ණ­ව­ලින් ඉවත් කිරී­මට සාධ­නීය පද­න­මක් කිසි­වෙ­කුට තිබුණේ නැත. තිබුණේ අනු­මා­න­යන් පම­ණය. කෙසේ වෙතත් සැක කට­යුතු විදේ­ශික පුද්ග­ල­යන් 15කගෙන් පමණ කට­උ­ත්තර ලබා ගැනී­මට ශ්‍රී ලංකා පොලි­සිය කට­යුතු කළේය. ඔවුන් පවසා තිබුණේ තමන් පැමිණ ඇත්තේ එල්.පී.එල්. තර­ගා­ව­ලිය නැර­ඹී­මට බවය. එල්.පී.එල් යනු ලංකා ප්‍රිමි­යර් ලීග් ලෙස නම් කොට පව­ත්ව­න්නට සංවි­ධා­නය කර තිබූ 20 විස්ස ක්‍රිකට් තර­ගා­ව­ලිය ය. පැවැති ක්‍රිකට් පරි­පා­ල­නය මාරු වීමත් සමඟ එම තර­ගා­ව­ලිය සංවි­ධා­නය කර­ගැ­නී­මට නව පරි­පා­ල­ක­යන්ට කල්වේලා මදි විය.

පළාත් තර­ගා­ව­ලිය ආරම්භ වන්නේ ඊට වික­ල්ප­යක් ලෙසය. එල්.පී.එල්. තර­ගා­ව­ලිය ලංකාවේ පැවැ­ත්වූවා නම් ඊට සහ­භාගි වන විදෙස් ක්‍රීඩ­ක­යන් දැලේ දමා­ගැ­නී­මට බුකී­ක­රු­වාට පහ­සුය.

මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආය­ත­නය ද විවිධ ආර­ක්ෂක ක්‍රියා­මාර්ග ක්‍රියා­ත්මක කර­මින් ක්‍රිකට් ක්‍රීඩ­ක­යන් ආරක්ෂා කර­ගැ­නීමේ මෙහෙ­යු­මක් ආරම්භ කර ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් ආය­ත­න­යට ක්‍රීඩ­ක­යන් ආරක්ෂා කර­ගැ­නීමේ වැඩ­පි­ළි­වෙ­ළක් ක්‍රියා­ත්මක කිරී­මට සිදුව ඇත්තේ සම­හර ශ්‍රී ලංකා ක්‍රීඩ­ක­යන් සහ ක්‍රිකට් ආය­ත­නය වෙනු­වෙන් විවිධ රාජ­කාරි උසු­ලන පිරිස් බුකී­ක­රු­වන් සමඟ තරග පාවා­දී­ම්ව­ලට සම්න්ධ වූ බවට සාක්‍ෂි ලැබීම හේතු­වෙනි.

අව­සන් වසර දෙක තුළ දී ශ්‍රී ලංකා ක්‍රිකට් පරා­ජ­යෙන් හෙම්බත් වෙද් දී බුකී­ක­රු­වන් විසින් මෙරට ක්‍රිකට් වැට­ලී­මට උත්සාහ කරනු ලැබුවේ, ඒ පරා­ජයේ මුවා­වෙන් ක්‍රීඩ­ක­යන්ව දැලේ දමා ගැනීම පහසු බව වටහා ගනි­මිනි. නමුත් බුකී­ක­රු­වන් ‘ඩීල්’ දැමී­මට උත්සහ කළ රංගන හේරත් සහ කුසල් පෙරේරා මීට වසර කිහි­ප­ය­කට පෙර ගාල්ලේ පැවැති ටෙස්ට් තර­ග­යක් අත­ර­තු­ර දී තමන්ට කළ යෝජ­නා­වක් පිළි­බ­ඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආය­ත­න­යට සහ දුෂණ විම­ර්ශන ඒක­ක­යට පැමි­ණිලි කළේය. මේ හේතු­වෙන් බුකී කරු­වන්ගේ උත්ස­හය ව්‍යර්ථ විය.

බුකී­ක­රුවා එක් උත්සා­හ­යක් අත­හැ­රිය ද තවත් ක්‍රම කිහි­ප­යක් මඟින් ක්‍රීඩ­ක­යන්, තණ­තිලි සක­ස­න්නන්, නිල­ධා­රීන් මෙන්ම ඇතැම් විට ක්‍රිකට් ක්‍රීඩ­ක­යන්ගේ ඒජ­න්ත­ව­රුන් ද මුද­ලට ගනි­මින් තමන්ගේ ව්‍යාපෘ­තිය පව­ත්වා­ගැ­නී­මට කට­යුතු කරයි. මෙහි ප්‍රති­ඵල ප්‍රකාශ වන්නේ අප නොසි­තන ආකා­ර­යෙනි. වරක් ශ්‍රී ලංකාවේ ක්‍රියා­ත්මක පළමු පෙළ ක්‍රිකට් තර­ගා­ව­ලි­යක් අත­ර­තු­ර දී ප්‍රසාද ලකුණු ලබා­ගැ­නී­මට පාණ­දුර ක්‍රීඩා සමා­ජය සහ කළු­තර කාය­ව­ර්ධන කවය ක්‍රීඩා සමාජ අතර 2016 වසරේ මග්ගොන සරේ පිටියේ පැවැති ක්‍රිකට් තර­ග­ය­ක දී තරග පාවා­දී­මක් සිදු­විය. එය සිදුවී තිබුණේ කණ්ඩා­ය­ම්වල කල­ම­ණා­කා­රී­ත්වයේ සැල­සු­මක් ලෙසය. එහි තීන්දුව තව­මත් ක්‍රිකට් ආය­ත­නය විසින් සඟවා තබා ගනු ලබන්නේ විසි­රුවා ඇති ක්‍රිකට් කමි­ටුවේ උප­ලේ­ක­ම්ව­රයා පාන­දුර ක්‍රීඩා සමා­ජයේ ප්‍රබ­ල­යකු වූ නිසාය. එම තර­ග­යේ දී පාණ­දුර කණ්ඩා­ය­මට නාය­ක­ත්වය ලබා­දුන්නේ චාමර සිල්වාය. ක්‍රීඩා කළ යුතු ආකා­රය සම්බ­න්ධව නිල­ධා­රීන් උප­දෙස් වන විලා­ශ­යෙන්ම මේ තර­ගය යම් සැල­සු­ම­කට අනුව සිදු වන පාවා­දී­මක ලක්ෂණ චාමර දුටු­වේය. නිල­ධා­රීන්ට ඕනෑ ආකා­ර­යට ක්‍රීඩා කිරී­මට එරෙ­හිව ඔහු ගෙදර ගියේය. පසුව ඔහු පැව­සුවේ බඩේ අමා­රු­වක් නිසා එසේ කළ බවය. ක්‍රිකට් ආය­ත­නය නිසි­යා­කා­රව වර­ද­ක­රු­වන්ව රටට හඳුන්වා දුන්නේ නැත.

චාමර සිල්වා බඩේ අමා­රු­වක් නිසා ගෙදර ගිය බව පවසා ප්‍රශ්නය ගොඩින් බේරා ගැනී­මට එදා උත්සහ කළ ද දිගින් දිග­ටම මෙම සිද්ධිය ප්‍රශ්න­යක් වීම හේතු­වෙන් නිල­ධා­රීන් බේරා ක්‍රීඩ­ක­යන්ගේ කර මත වරද පැට­වී­මට කට­යුතු යෙදිණි. තර­ගය මග­හැ­රීමේ විනය විරෝධී හැසි­රීම ඉදි­රි­යට දම­මින් චාමර ඇතුළු ක්‍රීඩ­ක­යන් කීප­දෙ­නෙ­කුට තරග තහ­න­මක් පැන­විණි. මාස කීප­ය­කින්ම එම තහ­නම ඉවත් විය. දැන් චාම­රලා ක්‍රිකට් පිටි­යට පැමිණ තිබේ.

අල් ජසීරා රූප­වා­හීනී නාලි­කාව විසින් ගාලු ජාත්‍ය­න්තර ක්‍රීඩාං­ග­ණයේ තණ­තීරු සක­සන්නා සහ එහි සහය කළ­ම­නා­කරු වූ තරංග ඉන්දික සහ ජීවන් මෙන්ඩිස්ගේ සොහො­යු­රකු වන පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩ­ක­යකු වන තරිඳු මෙන්ඩිස්, මෙන්ම හිටපු තවත් ක්‍රිකට් ක්‍රීඩ­ක­යකු වන ජීවන්ත කුල­තුංග බුකී කරු­වන්ගේ වුව­ම­නාව මත තරග පාවා­දුන් හැටි ජාත්‍ය­න්ත­ර­ය­ටම විකා­ශය කළහ. ඔවුන්ට තහ­න­මක් පැන­වු­වද ප්‍රශ්නය තව­මත් ඔඩු දුව­මින් තිබේ.

හිටපු ක්‍රිකට් සභා­පති තිලංග සුම­ති­පාල පසු­ගිය දා අර්ජුන රණ­තුංග සහ අර­වින්ද ද සිල්වා තරග පාවා­දුන් බවට ප්‍රකාශ කළේය. ඒ සමඟ උත්තේ­ජ­නය ලැබුවේ ශ්‍රී ලංකාවේ ක්‍රික­ට්ව­ලට ඇම දාන්නට කල් බල­මින් සිටිනා බුකි­ක­රු­වෝය. කෙසේ වෙතත් එදා නීති­ඥයෝ විස්සක් පමණ අර්ජු­නලා වෙනු­වෙන් පෙනී සිටි­මින් එම චෝද­නා­වෙන් ඔවුන් නිද­හස් කළහ. ඒ කතාව අර්ජු­නලා මාධ්‍ය හමු­වක් කැඳ­ව­මින් පවසා සිටි­යහ. මේ කරුණු කාරණා අනූව බුකි­ක­රු­වන් ශ්‍රී ලංකාව දෙසට වැඩි අව­ධා­න­යක් යොමු කිරී­මට පටන් ගෙන තිබේ.

වර­ද­කාර ශ්‍රී ලාංකික ක්‍රීඩ­කයා

බංග්ලා­දේ­ශයේ ක්‍රියා­ත්මක බී.පී.එල්. තර­ගා­ව­ලි­යට මෙන්ම ඉන්දි­යාවේ ක්‍රියා­ත්මක අයි.පී.එල්. තර­ගා­ව­ලි­යට ද මේ බුකී­ක­රු­වන් නිතර සංචා­රය කරනු ලබන බවට තොර­තුරු ලැබී තිබේ. ප්‍රශ්න කළ පුද්ග­ල­යන්ට අනුව ඔවුන් පැමිණ ඇත්තේ තරග නර­ඹ­න්නට ය. ඒ අනුව උත්තර ගෙන ප්‍රශ්නය විසඳා ඇත. මෙත­රම් ක්‍රිකට් ‘ඇම්ම’ ඇති විදේ­ශි­ක­යන් ලංකාවේ පළාත් තර­ගා­ව­ලිය නැරැ­ඹී­මට පැමි­ණෙන්නේ ඇයි ද යන ප්‍රශ්න­යට ශ්‍රී ලංකා දූෂණ විම­ර්ශන ඒක­කය ඉක්මන් විසැ­ඳු­මක් සෙවිය යුතුය. පසු­ගිය කාලයේ ගාල්ලේ තරග පැවැ­ත්වෙන විට බුකී­ක­රු­වන් කිහිප දෙනෙ­කුම ක්‍රීඩාං­ග­ණ­යෙන් ඉවත් කිරී­මට ඔවුන් කට­යුතු කළ ද තත්ත්ව­යට එය ස්ථිර විස­ඳු­මක් නොවිණි.

එල්.පී.එල්. වෙනු­වෙන් වීසා ලබා­ගත් බුකී­ක­රු­වන් අන­තු­රුව එළැ­ඹෙන එංග­ලන්ත කණ්ඩා­යමේ ශ්‍රී ලංකා සංචා­රය ද ඉලක්ක කර­ගෙන ඇත. ක්‍රීඩ­කයෝ බුකී­ක­රු­වන්ගේ පරෙ­ස්සම් විය යුතු ආකා­රය දැන් හොඳින් දනිති. පසු­ගිය දා ශ්‍රී ලංකා ක්‍රිකට් දූෂණ මර්දන ඒක­කයේ ප්‍රධා­නියා විසින් පළාත් තර­ගා­ව­ලිය නියෝ­ජ­නය කරන ක්‍රීඩ­ක­යන් 60 දෙනා­ටම විවිධ උප­දෙස් දෙන ලදී. ඔවුහු ප්‍රශ්න කිරීම්වලට ලක් කරනු ලැබූහ. නමුත් එහි දී කිසිදු ක්‍රීඩ­ක­යකු විසින් තමන්ට බුකි­ක­රු­වන්ගේ යෝජනා ආ බවට පැමි­ණිලි කර නැත.

නමුත් ‘සෙල්ෆි’ ගස­මින් ඔවුන් පුහු­ණු­වීම් කරන අයුරු බලා සිටි­මින් බුකි­ක­රුවා ක්‍රීඩ­ක­යන්ට කිට්ටු වන ආකා­රය වාර්තා විය. ශ්‍රී ලංකාවේ ජාතික මට්ටම නියෝ­ජ­නය කරන තරුණ වමත් පිති­කරු යුග­ලක් සමඟ ද බුකී­ක­රු­වන් යැයි කියන පිරි­සක් කතා කර ඇතැයි රාව­යක් පැතිර ගියේය. ක්‍රීඩ­ක­යන් සමඟ පේ‍්‍රක්‍ෂ­ක­යකු කතා කරන විට බුකි කරු­වකු යැයි ක්‍රීඩ­කයෝ නොද­නිති. නමුත් බුකි­ක­රුවා මාස ගණන් මෙහි ලැග සිට ක්‍රීඩ­කයා සමඟ සමීප වී සින­හ­ව­කින් පටන් ගන්නා මිතු­දම අන­තු­රුව එකට තේ පානය කරන තැනට පැමි­ණෙයි. එතැ­නින් එහාට ඒ සම්බ­න්ධ­තාව දිවෙන්නේ මැච් ෆික්සින් තේමාව ඔස්සේය. ක්‍රීඩ­කයෝ ඉක්ම­නින් පොහො­සත් වෙති. බුකී­ක­රුවා මාස කිහි­ප­යක් පෙරුම් පුරා ආදා­යම ද උපයා ගනිති.

ශ්‍රී ලංකාවේ සජීවී තර­ග­යක් පව­ත්වන වන විට බුකී­ක­රු­වන් කාසියේ වාසි­යට ද ඔට්ටු දමන ආකා­රය වාර්තා වී තිබේ. කාසියේ වාසිය තර­ගය ආරම්භ වීමට පැය භාග­ය­කට පෙර උඩ දැමු­වද එහි සජීවී විකා­ශය අර­ඹන්නේ ඊට විනාඩි විස්ස­කට පසු­වය. ඒ අත­ර­වා­රයේ ක්‍රීඩාං­ග­ණයේ සිටින බුකී­ක­රුවා දුර­ක­ථන මාර්ග­යෙන් තවත් ඔට්ටු­වක් දමයි.

කණ්ඩා­ය­මට ක්‍රීඩා කරන 11 දෙනා තේරීම, වැඩිම ලකුණු ලබා ගන්නා ක්‍රීඩ­කයා, තර­ගයේ වීරයා සහ වැඩිම කඩුලූ ලබා ගන්නා ක්‍රීඩ­කයා වශ­යෙන් විවිධ ඔට්ටු බුකියේ පවතී. ශ්‍රී ලංකාවේ ද ජාත්‍ය­න්තර හෝ පළාත් තර­ගා­ව­ලි­වල දී මේ වෙනු­වෙන් ඕනෑ තරම් ඔට්ටු දමයි. ඒ ඔවුන්ගේ රැකි­යා­වයි.

කෞෂාල් ලොකු­ආ­රච්චි මෙරට සිටි තුන් ඉරි­යව් ක්‍රිකට් ක්‍රීඩ­ක­යකි. ඔහු බංග්ලා­දේ­ශ­යේ දී කළ තරග පාවා­දී­මක් අතේ මාට්ටු වීමෙන් තහ­න­ම­කට ලක් විය. ඒ අනුව මාට්ටු වූ සහ මාට්ටු නොවූ ක්‍රීඩ­ක­යන් මෙරට තවත් සිටින බවට අයි.සී.සී.ය ශ්‍රී ලංකා ක්‍රික­ට්ව­ලට හෝඩු­වා­වක් දී තිබේ. ඉදි­රි­යේ දී ඒ නම් හෙළි කිරී­මට ද ජාත්‍ය­න්තර ක්‍රිකට් කවු­න්සි­ලය සුදා­නම්ය. බුකී­ක­රු­වාට මාට්ටු නොවී­මට දැන් සිටින ක්‍රිකට් ක්‍රීඩ­ක­යන්ට අතී­තයේ ඕනෑ තරම් පාඩම් තිබේ. ක්‍රිකට් ආය­ත­නය ද බුකී­ක­රු­වන් වෙනු­වෙන් මීට වඩා සන්නද්ධ විය යුතුය. නැත­හොත් මෙරට ඉති­රි­වනු ඇත්තේ ක්‍රිකට් නොව සූදු­වකි.

Comments