රත්න­පුරේ මැණික් සම්පත නිසා වැ‍ලපෙන මිනිස්සු | සිළුමිණ

රත්න­පුරේ මැණික් සම්පත නිසා වැ‍ලපෙන මිනිස්සු

අපේ රටේ සම්ප්‍ර­දා­යික මැණික් පතල් කර්මා­න්තයේ ඉති­හා­සය ඉපැ­රණි රජ දවස දක්වා දිවෙ­න්නකි. එම­ඟින් ශ්‍රී ලංකාවේ ජාතික ආර්ථි­ක­යට ලැබී ඇති දාය­ක­ත්වය අති විශා­ලය. අන­තුරු අවම, මැණික් කැණීමේ සම්ප්‍ර­දා­යික ක්‍රම­වේ­ද­යන් පිළි­බ­ඳව ලෝකයේ මැණික් කර්මා­න්තය කෙරෙහි අව­දා­න­යෙන් පසු­වෙන පර්යේ­ෂ­ක­යන් හා විශ්ලේ­ෂ­ක­යන්ගේ විශේෂ අව­ධා­නය යොමු වී ඇත්තේ ද ශ්‍රී ලංකා­ව­ටයි.

තට්ටු පතල් සහ දෝනා පතල් ක්‍රම පුළුල් වශ­යෙන් ක්‍රියා­ත්මක වන අතර පතස් කැපීම හා ගංගා­වල ඇදුම් පතල් ජපන් ගැසීම ආදී ක්‍රම­යන් ද මැණික් කැණීම සඳහා යොදා­ගත් ක්‍රම වේ. පසු­කා­ලී­නව මැණික් කර්මා­න්ත­යට විවිධ තාක්ෂ­ණික ක්‍රම­වේද එක් වූයේය. මිනිස් ශ්‍රම­යෙන් කැණීම් කළ නොහැකි ස්ථාන­වල යන්ත්‍ර සූත්‍ර යොදා­ගෙන පතල් කැපීම ආරම්භ වන්නේ ඒ අනු­වය. නමුත් එම­ඟින් බල­වත් පාරි­ස­රික විනා­ශ­යක් සිදු­වන ආකා­රය පසු­ගිය කාල­ව­ක­වා­නුව තුළ කතා­බ­හට ලක් විය. එය සම්ප්‍ර­දා­යික පතල් කර්මා­න්තය ද බර­ප­තළ ව්‍යස­න­ය­කට ලක් කළේය. පතල් ක්ෂේත්‍රයේ යෙදී සිටින විශාල කම්ක­රු­වන් ප්‍රමා­ණ­ය­කගේ ද ජීවි­කා­වට පහ­රක් වැදුනි. මිනි­සුන්ගේ ශ්‍රමය උප­යෝගී කර­ගෙන පතල් කැණීම් කළ හැකි ස්ථාන වලද මහා පරි­මා­ණ­යෙන් යන්ත්‍ර සූත්‍ර යොදා ගනි­මින් පතල් කැපී­මට ව්‍යාපා­රි­කයෝ හුරු වූහ.

කම්ක­රු­වන් කිහි­ප­දෙ­නෙකු පම­ණක් යොදා ගෙන පස් කැපීම, ඉල්ලම් ගැනීම සහ ඉල්ලම් සේදීම යන සියලු කාර්ය­යන් සිදු විය. සියලු ම මැණික් අදාළ පතල හිමි­ක­රු­වාට ලැබිණි. ඊට යොදා­ගත් කම්ක­රුවා දෛනික කුලිය මත යොදා ගැනීම නිසා සුළු මැණික් ව්‍යාපා­රි­ක­යන්ට ද කුඩා ප්‍රමා­ණයේ මැණික් ගල් ලැබීමේ මාවත අව­හිර විය.

මේ ක්‍රියා­ව­ලිය තුළ මැණික් ක්ෂේත්‍රය පිළි­බඳ සුබ­වාදී නොවන පුවත් රැසක් ගලා එන්නට විය. පරි­ස­රය විනාශ කරන පතල් කර්මා­න්ත­යට නව නීති පැන­විය යුතු බවට වූ සංවා­ද­යක් ඇති­විණි. එම­ඟින් වූ බල­පෑ­මට පරි­ස­ර­යෙන් පිළි­තුරු ලද අයුරු සම­හර ස්වභා­වික විපත් අව­ස්ථා­ව­ලදී ප්‍රකට විය. මහා වැව් මෙන් ඈතට දිස්වුණු නොවැසූ පතල් වළ­වල් මැණික් ලැබෙන ප්‍රදේ­ශ­වල සුල­බව දක්නට ලැබිණි. ගං ඉවුරු බිඳ දැමිණි. ගං පතුල හැරීම් සිදු විණි. පත­ල්ක­රුවෝ මර­ණය රැගෙ­න­විත් තිබුණේ තාරා­විගේ බඩේ බිජු ගන්නට උගේ බඩ පළා මරා දැමුවා සේය.

මොන ගැටලු මතු වුවත් ජාතික ආර්ථි­කය ශක්ති­මත් කරන මැණික් ව්‍යාපා­රය තුළ නොවි­සැ­ඳුණු ගැටලු තව­මත් ඉතිරි වී තිබේ. මේ සම්බ­න්ධව මුලින් ම අප හා කතා කරන්නේ ලංකා මැණික් ව්‍යාපා­රි­ක­යන්ගේ හා පත­ල්ක­රු­වන්ගේ මහා සංග­මයේ සභා­පති පුන්සිරි තෙන්න‍කෝන් ය.

“අපේ රටේ සාම්ප්‍ර­දා­යික මැණික් කර්මා­න්තය ජාතික ආර්ථි­ක­යට ලබා දෙන්නේ විශාල පිටු­බ­ල­යක්. නමුත් සාමාන්‍ය කුඩා ප්‍රමා­ණයේ මැණික් ව්‍යාපා­රි­ක­යාගේ සිට ජාත්‍ය­න්තර වෙ‍ළෙඳාමේ යෙදී සිටින මැණික් ව්‍යාපා­රි­කයා දක්වා ම පසු­ගිය වසර කීප­යක් තිස්සේ විශාල ගැට­ලු­ව­ලට මුහුණ දුන්නා. ජාතික මැණික් හා ස්වර්ණා­භ­රණ අධි­කා­රිය මඟින් එළ­ඹුණු සම­හර තීන්දු හා තීරණ ඍජු­වම මීට බල­පෑවා. පත්වුණු සම­හර සභා­ප­ති­ව­රුන් මැණික් ව්‍යාපා­රය හා පතල් කර්මා­න්තය පිළි­බඳ නිසි අව­බෝ­ධ­යක් නොමැති කමින් කට­යුතු කිරී­මට පෙල­ඹීම මේ සියලු අවුල් විය­වුල් බවට පත්වුණා. සම­හර මැණික් ව්‍යාපා­රි­ක­යන්ගේ වැරදි ක්‍රියා පිළි­වෙත් ද මීට බල­පෑවා. නමුත් සුළු පිරි­සක් සිදු කරන වර­දක් හේතු­වෙන් ශ්‍රී ලංක‍ාවේ ම මැණික් ක්ෂේත්‍ර­යට දඬු­වම් කිරී­මක් සිදු වුණා කිය­ලයි අපට දැනුණේ. මේ සියලු හේතු මත 2014 වසරේ සිට මැණික් පතල් රැකි­යා­වෙන් සිය­යට හැත්තෑ­වක් ම ඉවත් වුණා. විදේශ ව්‍යාපා­රි­ක­යන් මැණික් ගැනී­මට පැමි­ණීම ශීඝ්‍ර ලෙස අඩු වුණා. මේ වන විටත් මැණික් පතල් කම්ක­රු­වන් වෙනත් කුලී වැඩට යනවා. හුඟ දෙනෙක් කොළඹ පැත්තට ගිහින්. මේ නිසා නැවත පතල් පටන් ගැනී­මත් ගැට­ලු­වක්. ඒ වගේ ම ශ්‍රී ලංකාවේ මැණික් අප­න­ය­නය කරන අව­ස්ථා­වේදී සමා­ග­මක් ව‍ශයෙන් නම් සිය­යට දා හත­රක (14%) බද්දක් පන­වලා. වෙළෙ­න්දෙකු පෞද්ග­ලි­කව කරන අව­ස්ථා­වක එය සිය­යට විසි අටක් (28%) දක්වා වැඩි කරලා. මේ නිසා බර­ප­තළ අසී­රු­තා­ව­කට මැණික් ව්‍යාපා­රි­කයා පත්ව සිටි­නවා. රටේ මැණික් කැණීමේ ප්‍රශ්න නිසාම මේ වන විට අපේ ව්‍යාපා­රි­ක­යන් මැඩ­ග­ස්කර් වැනි රට­ව­ලට ගොස් මිලදී ගන්නා මැණික් ලංකා­වට ගෙනැ­විත් ප්‍රති­අ­ප­න­ය­නය කරන විට විශාල බද්දක් පැන­වෙ­නවා. නමුත් තායි­ල­න්තය හා හොංකොං වැනි රට­ව­ලට මැණික් ගෙන­යෑ­මේදී බද්දෙන් නිද­හස්. මේ හේතුව මත ලංකා­වට එම මැණික් රැගෙන එන්නෙ නැහැ.

රළු ගල් පිළි­බ­ඳව පව­තින ප්‍රබ­ලම තාක්ෂ­ණය තිබෙන්නේ ලංකාවේ මැණික් ගැනු­ම්ක­රු­ව­න්ටයි. මැඩ­ග­ස්ක­ර්වල ලංකාවේ ව්‍යාපා­රි­ක­යන් දෙද­හ­ස­කට අධික ප්‍රමා­ණ­යක් සිටි­නවා. නමුත් ඒ අ‍යගෙන් මැණික් ලංකා­වට නොලැ­බීම හේතු­වෙන් රටට ලැබිය හැකි විශාල මුද­ලක් අහිමි වෙනවා.”

පසු­ගිය කාල සීමාවේ පතල් වලට බැසී­මට නොව කූඩ­යක් වට්ටි­යක් හෝ රැගෙන ඇළක් දොළක් අස­ලින් ගමන් කිරී­මට ද ඉඩක් නොලැ­බුණි. පොලී­සිය, මැණික් සංස්ථාව හා පොලිස් විශේෂ කාර්ය බළ­කාය මඟින් අත්අ­ඩං­ගු­වට ගෙන අධි­ක­ර­ණ­යට පමු­ණුවා දැරිය නොහැකි දඩ නියම කිරීම සිදු­විය. මේ තත්වය සම­හරු හැඳි­න්වූයේ මිනී­ම­රු­වන් මංකො­ල්ල­ක­රු­වන් පසු­පස හඹා යන අයු­රින් ඔවුන් ක්‍රියා­ත්මක වූ බවය. වර්ත­මා­නය වන විට උක්ත තත්ත්වය පහව ගොස් ඇති බව මැණික් සංග­මයේ සභා­පති පුන්සිරි තෙන්න‍කෝන් මහ­තාගේ අද­හ­සයි.

ඔහු ඒ සම්බ­න්ධ­යෙන් පළ කළේ මෙවැනි අද­හ­සක්. “වර්ත­මා­නයේ මැණික් සංස්ථාවේ සභා­පති ලෙස පත්ව සිටින ‍පේෂල ජය­රත්න මහ­ත්මයා මැණික් ව්‍යාපා­රයේ සහ මැණික් කර්මා­න්තය පිළි­බ­ඳව අව­බෝ­ධ­යෙන් කට­යුතු කිරීම සතු­ටට කරු­ණකි. පරි­ස­රය විනාශ කර මැණික් සම්පත නෙළා ගැනී­මට අපි විරු­ද්ධයි. නමුත් තමුන්ගේ ඉඩ­මක පරි­ස­රය නොනසා දලං කෑල්ලක් සොයා ගැනී­මට අව­ස්ථාව දීම වර­දක් ලෙස දකින්නෙ නැහැ.

යන්ත්‍ර සූත්‍ර යොදා ගනි­මින් කරන මැණික් කැණීම් වලට පන­වන තැන්පත් මුද­ලත් රුපි­යල් ලක්ෂ විස්සේ සිට ලක්ෂ දහය දක්වා අඩු කර තිබෙ­නවා. පොලිස් විශේෂ කාර්ය බළ­කාය මඟින් ප්‍රමා­ණය ඉක්මවා කරන වැට­ලීම් සීමා කර තිබෙ­නවා. මැණික් කැණීම් කළ වළ­වල් වැසීම් අප සිදු කළ යුතුයි. අව­බෝ­ධ­යෙන් හා වග­කී­මෙන් යුතුව වැඩ කර­නවා නම් එය රට­ටත්, සමා­ජ­ය­ටත් වටි­නා­ක­මක් එක­තු­වන දෙයක්. ලංකාව සතු සුවි­ශේෂ මැණික් පිළි­බඳ දැනුම ලෝකයේ ම තවත් ඉහළ නැංවීම සඳහා අප ක්‍රියා කළ යුතුයි. මැණික් ව්‍යාපා­රය හා සම්බන්ධ ප්‍රධාන පළාත සබ­ර­ග­මු­වයි. එයින් ද රත්න­පු­ර­යට හිමි වන්නේ ප්‍රමුඛ ස්ථාන­යක්.

විදේ­ශි­ක­යින් හට මැණික් පිළි­බඳ දැනුම ලබා දීමත් ඒ පිළි­බද රුචි­ක­ත්ව­යක් ඇති­වන අයු­රින් මිණි­පුර ආශ්‍රි­තව පහ­සු­කම් තවත් වැඩි දියුණු විය යුතුයි. ජාත්‍ය­න්ත­ර­යට මැණික් සම්පත පිළි­බ­ඳව හැදෑ­රී­මට හා නැර­ඹී­මට මැණික් කෞතු­කා­ගා­ර­යක් ඉදි­කි­රීම, පර්යේ­ෂණ කට­යුතු සඳහා පහ­සු­කම් සැල­සිය යුතුයි. රත්න­පුරේ සංචා­රක මධ්‍ය­ස්ථාන බිහි­විය යුතුයි. ඒ වගේ ම මැණික් ක්ෂේත්‍රයේ නියැ­ළුණු පිරිස් සතු දැනුම නව පර­පු­රට ලබා දීමද කළ යුතු කරු­ණක්. ලංකා මැණික් ව්‍යාපා­රි­ක­යන්ගේ හා පත­ල්ක­රු­වන්ගේ මහා සංග­මයේ හිටපු සභා­පති සරත් ආනන්ද මහතා අපට කියන කතාව මෙසේ ය.

“ඇත්ත වශ­යෙන් ම මැණික් කර්මා­න්තය පිළි­බ­ඳව ඉතා කන­ගා­ටු­දා­යක තත්ව­යක් තමා උද්ග­තව තිබුණෙ. කැණීමේ බල­පත්‍ර ලබා ගැනීම මේ වන විට 50% කින් අඩු වෙලා. ලොකු නෛතික රාමු අතරෙ මේ ව්‍යාපා­රය කොටු කරලා තියෙ­නවා. ජනා­ධි­ප­ති­තුමා මේ සම්බ­න්ධව අනු­ග­ම­නය කරන නම්‍ය­ශීලී ප්‍රති­ප­ත්තිය ගැන අපි බලා­පො­රොත්තු සහි­තව ඉන්නවා. ලෝක වෙළෙඳ පොළේ අප රටේ මැණි­ක්ව­ලට විශාල ඉල්ලු­මක් තියෙ­නවා. ඒත් ඒ ඉල්ලුම සම්පූර්ණ කර­ගන්න මැණික් වෙළෙඳ ‍පොළට එන්නෙ නැහැ.

ඒ වගේ ම මැණික් පතල් කළ සේවක පිරිස අද කොළඹ ගොඩ­නැ­ගිලි ඉදි­කි­රී­ම්ව­ලට ගිහින්. ඒ අයගේ මැණික් පතල් පිළි­බඳ ඇති දැනුම මේ ක්ෂේත්‍ර­යට අහිමි වෙලා. අඩු තරමේ පත­ල­ය­කට දොළොස් දෙනෙක් සොයා ගන්න එක අභි­යෝ­ග­යක්. මේ නිසා ම බැකෝ යන්ත්‍ර යොදා­ගෙන පතල් කැණී­මට අව­සර දීම පිළි­බ­ඳව අපි සතුටු වෙනවා. රුපි­යල් ලක්ෂ දහ­යක තැන්පත් මුද­ලක් ඇප­යට තබා ගන්න නිසා පරි­සර හානි­යක් වෙන්න ඇති ඉඩ අඩුයි.

ගොවි­ජන සංව­ර්ධන දෙපා­ර්ත­මේ­න්තුව බැකෝ පතල් සඳහා ඉඩ දෙන්නේ පර්චස් විස්ස­කට පම­ණයි. එයත් වෙනස් විය යුතුව තිබෙ­නවා. මොකද බැකෝ යන්ත්‍ර­යට ම එවැනි ඉඩක් අව­ශ්‍යයි. ගොඩ­ද­මන පස් දැමී­මට, කම්ක­රු­වන්ට වාඩි­යක් සාදා ගැනීම වැනි දේත් මීට අයත් දේවල්. ඉදිරි කාල­යේදී මෙවැනි රෙගු­ලාසි වෙනස් කර දෙනවා නම් මැණික් ක්ෂේත්‍රයේ උන්න­ති­යට හේතු වෙයි.

දැනට අපේ මැණික් කර්මා­න්තය හරහා සොයා යන්නේ නොගැ­ඹුරු පොළොවේ ඇති මැණික් පමණි. ගැඹු­රෙහි පිහිටි මැණික් සම්පත නෙළා ගැනී­මට ක්‍රමෝ­පා­ය­යන් සොයා බැලිය යුතුය. ප්‍රධාන වශ­යෙන් ම මැණික් අප­න­යන කට­යු­තු­ව­ලදී පන­වන බදු සීමා අවම කිරීම කෙරෙහි රජයේ අව­ධා­නය කඩි­න­මින් යොමු­විය යුතුය.

රත්න­පුර, නිවි­ති­ගල, ඇහැ­ලි­ය­ගොඩ, පැල්ම­ඩුල්ල, කිරි­ඇල්ල වැනි නග­ර­වල කිසිදු ඇප­යක් හෝ බැඳු­ම්ක­ර­යක් රහි­තව රුපි­යල් කෝටි ගණ­නක මුදල් මත මැණික් වෙළ­ඳාම් සිදු­වන්නේ විශ්වා­සය පද­නම් කර­ගෙ­නය. ලෝකයේ විශ්වා­සය මත මුදල් ගනු­දෙනු වන රටක් වශ­යෙන් ශ්‍රී ලංකා­වට ඇත්තේ ඉම­හත් ගෞර­ව­යකි. රටට මහත් කීර්ති­යක් ගෙන දෙන මැණික් කර්මා­න්ත­යට සුර­ක්ෂිත හෙට දිනක් උදා කිරීම වග­කිව යුත්තන්ගේ වත්මන් කාර්යය භාරය නොවන්නේ ද?

අදහස්