රට ඇතු­ළෙත් අපෙ වෙර­ළෙත් කෝටි ගණන් වටින ඛනිජ | සිළුමිණ

රට ඇතු­ළෙත් අපෙ වෙර­ළෙත් කෝටි ගණන් වටින ඛනිජ

තෙර මෙතෙර භෞතික විද්‍යා­ඥ­යන් පව­සන පරිදි ඉදිරි වසර 50 ඇතු­ළත පෘථි­වියේ ඇති ලෝහ­මය ඛනි­ජ­වල විශාල හිඟ­යක් ඇතිවේ. එයට මුහු­ණ­දී­මට ලොව සියලු විද්‍යා­ඥ­යන් එක්වී අභ්‍යා­ව­කාශ වස්තු­ව­ලින් ග්‍රහ­ලෝ­ක­ව­ලින් ස‍ඳෙන් විරල ඛනිජ පෘථි­වි­යට ගෙන ඒමට දැන් පර්යේ­ෂණ කරන බව කොළඹ සර­ස­වියේ භෞතික විද්‍යා මහා­චාර්ය චන්දන ජය­රත්න මහතා ද පවසා ඇත.

කරුණු එසේ වුවත් ඒ අභ්‍ය­ව­කා­ශ­යෙන් ගෙන ඒමට උත්සාහ කරන ඛනිජ අපේ රටෙන් ම සොයා ගැනීමේ හැකි­යාව දැන් මතු­වෙ­මින් පවතී. මේ අනුව මුළු ලෝකයේ ම විරල වන ලෝහ­මය ඛනිජ අපේ රටින් සෙවීමේ විද්වත් පර්යේ­ෂණ දැන් අපේ භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාං­ශයේ විද්‍යා­ඥ­යන් දීප ව්‍යාප්තව ආරම්භ කර ඇත. භූ විද්‍යා හා‍ ප­තල් කැණීම් කාර්යාං­ශයේ වත්මන් සභා­පති අසේල ඉද්ද­වෙල අධ්‍යක්ෂ ජන­රාල් පී.එච්.ඊ.ආර්. සිරි­ව­ර්ධන හා ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ උදය ද සිල්වා යන මහ­ත්ව­රුන්ගේ උප­දෙස් අනුව මේ අලුත් භූ විද්‍යා පර්යේ­ෂණ කර­ගෙන යයි.

මේ අනුව දැනට වසර 15 කට පෙර සිට ජාත්‍ය­න්තර පර­මා­ණුක බල­ශක්ති ඒජ­න්සිය (IAEA) ශ්‍රී ලංකා පර­මා­ණුක ශක්ති මණ්ඩ­ලය හා භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාං­ශය (GSMB) එක්ව ශ්‍රී ලංකා­වට ආව­ර­ණය වන පරිදි යුරේ­නි­යම් හා තෝර­යිට් ඛනිජ ගවේ­ෂ­ණය සම්බන්ධ ව්‍යාපෘ­ති­යක් ආරම්භ කරන ලදී. මේ ව්‍යාපෘ­තිය යටතේ භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාං­ශයේ හා ශ්‍රී ලංකා පර­මා­ණුක බල­ශක්ති මණ්ඩ­ලයේ නිල­ධා­රීන්ට පුහුණු වැඩ­ස­ට­හන් ලබා දී ඇත. ඒ ව්‍යාපෘ­තිය යටතේ පතල් කැණීම් කාර්යාං­ශ­යට ජංගම විකි­රණ මාන පද්ධ­ති­යක් හා එක්ස් කිරණ ප්‍රති­දී­ප්ත­මා­නක වර්ණා­ව­ලි­යක් ද පරි­ත්‍යාග කර තිබේ.

මෙම උප­ක­රණ භාවිත කර­මින් දැනට ලංකාව තුළ විකි­ර­ණ­ශීලී ඛනිජ ගවේ­ෂණ කට­යුතු භූ විද්‍යා සමී­ක්ෂණ හා පතල් කාර්යාං­ශය විසින් ශ්‍රී ලංකා පර­මා­ණුක ශක්ති මණ්ඩ­ලයේ සහ­යෝ­ගය ඇතිව ඉතා සාර්ථ­කව සිදු කර­මින් පවතී. මෙම සමී­ක්ෂණ යටතේ විකි­ර­ණ­ශී­ලී­තාව සම්බ­න්ධව දිව­යි­නම ආව­ර­ණය වන පරිදි 1:100,000 සිති­යම් පිළි­යෙල කිරීමේ කට­යුතු සිදු­ක­ර­මින් පවතී. මේ වන­විට දඹුල්ල - පල්ලේ­ගම හා නුවර - හඟු­ර­න්කෙත සිති­යම් ආව­ර­ණය වන පරිදි සමී­ක්ෂණ කට­යුතු අව­සන් කර ඇත. එහිදී මාතලේ ප්‍රදේ­ශයේ විකි­ර­ණ­ශී­ලී­තාව අධික ප්‍රදේශ 3 ක් හඳු­නා­ගෙන ඇති අතර ඒවා සම්බන්ධ වැඩි­දුර සමී­ක්ෂණ කට­යුතු දැනට සිදු­ක­ර­මින් පවතී.

මීට අම­ත­රව ඉහත සඳ­හන් කළ ව්‍යාපෘ­තිය යටතේ ම දිව­යිනේ වෙරළ කලා­පයේ විකි­ර­ණ­ශී­ලී­තාව සම්බන්ධ ගවේ­ෂණ කට­යුතු භූ විද්‍යා සමී­ක්ෂණ හා පතල් කාර්යාං­ශය සිදු කර­මින් පවතී. මේ වන­විට නැගෙ­න­හිර වෙරළ තීරයේ සමී­ක්ෂණ කට­යුතු අව­සන් කර ඇති අතර එහිදී විකි­ර­ණ­ශී­ලී­තාව බහුල කලාප 9 ක් හඳු­නා­ගෙන ඇත. මීට අම­ත­රව 2018 වර්ෂ­යේදී භූ විද්‍යා සමී­ක්ෂණ හා පතල් කාර්යාං­ශයේ ක්‍රියා­කාරී සැලැස්ම යටතේ දිව­යිනේ බට­හිර හා දකුණු වෙරළ කලා­පයේ (මන්නා­රමේ සිට කොළඹ හරහා කිරින්ද දක්වා) විකි­ර­ණ­ශී­ලී­තාව ගවේ­ෂණ කට­යුතු සිදු­ක­ර­මින් පවතී.

මීට අම­ත­රව 1997 වර්ෂයේ ජාතික ජල සම්පත් පර්යේ­ෂණ ආය­ත­නය (NARA) ආය­ත­නය, කැනේ­ඩි­යානු භූ විද්‍යා ආය­ත­නය (Geological Survey of Canada) සමඟ එක්වී පාණ­දුර සිට බෙන්තොට දක්වා වූ නොගැ­ඹුරු මුහුදු කලා­පයේ මොන­ස­යිට් ඛනිජ ගවේ­ෂ­ණය සම්බන්ධ සමී­ක්ෂ­ණ­යක් සිදු­කර ඇත. ඒ සඳහා මූල්‍ය අනු­ග්‍ර­හය දක්වා ඇත්තේ එක්සත් ජාතීන්ගේ සංව­ර්ධන වැඩ­ස­ට­හන (UNDP) සහ එක්සත් ජාතීන්ගේ පර්යේ­ෂණ අර­මු­දල (UNRF) යන ආය­ත­නයි. මෙම මූලික සමී­ක්ෂ­ණ­යේදී බොල්ගොඩ ග‍ඟේ, කළු ග‍ඟේ සහ බෙන්තොට ග‍ඟේ මුහුදු කලා­පයේ (මෝය කට­වල් ආශ්‍රිත) අඩංගු අව­සා­දි­ත­වල මොන­ස­යිට් ඛනි­ජය 1.1% පමණ අඩංගු බව හඳු­නා­ගෙන ඇති අතර එය මීටර් 2 ක් ගැඹු­රට සහ වර්ග මීටර් 27 ක් පුරා පැතිර පව­තින බවට හඳු­නා­ගෙන ඇත.

මේ මොනො­ස­යිට් පිළි­බ­ඳව පරී­ක්ෂණ කර ඒවා කොත­රම් ප්‍රමා­ණ­යක් අපට ලබා­ගත හැකි දැයි සම්පූර්ණ පරී­ක්ෂ­ණ­යක් කිරී­මට ඉදි­රි­යේදී කට­යුතු කරනු ලැබේ. මෙම ඛනි­ජ­වල සීරි­යම් ලැන්ටි­නම් වැනි ඉලෙ­ක්ට්‍රො­නික උප­ක­රණ වලට යොදන විරල හා ඉතා වැඩි වටි­නා­ක­මක් ඇති ඛනිජ වර්ග අන්ත­ර්ගත බව ද භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාං­ශයේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ උදය ද සිල්වා මහතා පව­සයි.

භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාං­ශය මේ නවී­න­තම පර්යේ­ෂණ උප­ක­රණ මඟින් ගොඩ­බිම් හා මුහුදේ පව­තින විකි­ර­ණ­ශීලී ඛනිජ හා මූල­ද්‍රව්‍ය පිළි­බ­ඳව පරී­ක්ෂණ කිරීම් දැන් දීප ව්‍යාප්ත ලෙස අරඹා ඇත. ඒ අලුත් පරී­ක්ෂණ භූ විද්‍යාඥ ඒ.එම්.ඩී.යූ. අබේ­සිංහ භූ විද්‍යාඥ කේ. ඒ. ජී. සමීර, පර්යේ­ෂණ නිල­ධාරි චන්දන රුක්මල් යන මහ­ත්ව­රුන්ගේ මෙහෙ­ය­වී­මෙන් ක්‍රියා­වට නංවති.

මේ යටතේ ඇල්පි­ටිය, ඌර­ග­ස්ම­න්හ­න්දිය ප්‍රදේ­ශ­වල විකි­ර­ණ­ශීලී ඛනිජ පිළි­බ­ඳව පර්යේ­ෂණ කරන අයුරු අපට දැක­ගත හැකි විය. ඒ අනුව ජංගම ගැමා විකි­ර­ණ­මාන පද්ධ­තිය මඟින් මෙම පරී­ක්ෂණ කරනු ලැබේ.

මෙම නවීන උප­ක­ර­ණය කැබ් රථ­යක සවි­කර තිබේ. මෙම වාහ­නය විකි­ර­ණ­ශීලී ද්‍රව්‍ය බහු­ලව ඇති ස්ථාන අස­ලින් ගමන් කරන විට ඒ පිළි­බඳ දත්ත ප්‍රස්තාර සහි­තව පාලන උප­ක­ර­ණ­යෙන් භූ විද්‍යා­ඥ­යන්ට පෙන්නුම් කරයි. ඒ තොර­තුරු මධ්‍යම තොර­තුරු ගබ­ඩාවේ ගබඩා වන අතර පසුව ඒ අනුව සිති­යම් ද සකස් කළ හැකිවේ.

මේ අලුත් පර්යේ­ෂණ අලු­ත්ගම, ගාල්ල, බෙන්තර, කළු­තර සහ පානම සිට කෝකි­ලායි දක්වා නැගෙ­න­හිර වෙරළෙ සිදුකර තිබේ. ඊට අම­ත­රව දකුණු ප්‍රදේ­ශයේ වෙරළ කලා­පයේ හා මහ­නු­වර ප්‍රදේ­ශ­වල ද මේ පර්යේ­ෂණ සිදු­කර තිබේ. මෙම පරී­ක්ෂණ අනුව හෙළිවූ වැද­ගත්ම කරුණ වන්නේ අපේ රටේ වෙරළ කලා­පයේ අලු­ත්ගම, ගාල්ල, බෙන්තර, කළු­තර ප්‍රදේ­ශය මෙරට වැඩිම විකි­ර­ණ­ශීලී ඛනිජ ඇති භූ ගර්භ ප්‍රදේ­ශය බව හඳු­නා­ගැ­නී­මයි.

රට­පුරා සිදු­ක­රන මෙම විකි­ර­ණ­ශීලී ඛනිජ පිළි­බඳ අලුත් පර්යේ­ෂණ අනුව මිනි­න්දෝරු දෙපා­ර්ත­මේ­න්තුවේ 1:100000 සිති­ය­ම්ව­ලට අනු­රූ­පව ඛනිජ සිති­යම් 21 ක් සකස් කිරීම ද දැන් කාර්යාං­ශය අරඹා ඇත. ඒ සිති­යම් අනුව අපේ රටේ ඛනිජ කලාප ප්‍රකා­ශ­යට පත්කර ඒ ස්ථාන හාරා එම ඛනිජ මගින් විශාල ආදා­ය­මක් ලබා­ගැ­නී­මට සැල­සුම් සක­ස්කර ඇත.

රජයේ නව ප්‍රති­පත්ති අනුව භූ විද්‍යා සමී­ක්ෂණ හා පතල් කාර්යාං­ශයේ සභා­පති අසේල ඉද්ද­වෙල මහතා සහ අධ්‍යක්ෂ ජන­රාල් සී.එච්.ඊ.ආර්. සිරි­ව­ර්ධන මහ­තාගේ මූලි­ක­ත්ව­යෙන් ශ්‍රී ලංකාව ආව­ර­ණය වන පරිදි චුම්භක සහ විකි­ර­ණ­ශී­ලී­තාව සම්බන්ධ ගුව­න්ගත සමී­ක්ෂ­ණ­යක් 2019 වර්ෂයේ මැද භාගය පමණ වන­විට සිදු කිරී­මට බලා­පො­රො­ත්තුවේ.‍

මෙරට භූ විද්‍යා පර්යේ­ෂණ පිළි­බඳ අතී­තය වසර 115 දක්වා ඈතට දිව­යයි. දිව­යිනේ විකි­ර­ණ­ශීලී ඛනිජ පිළි­බඳ මූලික අධ්‍ය­ය­න­යක් මුලින් ම සිදු­කර ඇති බවට වාර්තා වී ඇත්තේ 19 වැනි ශත වර්ෂයේ මුල් කාල­යේදී ය. 1904 වර්ෂයේ ආචාර්ය ආනන්ද කුමා­ර­ස්වාමි මහතා විසින් තෝරි­ය­න­යිට් හා තෝර­යිට් යන විකි­ර­ණ­ශීලී ඛනිජ ලොව ප්‍රථම වරට ලංකා­වෙන් සොයා­ගෙන ඇත. ලෝකයේ ප්‍රථම වරට තෝරි­ය­න­යිට් හා තෝර­යිට් ඛනිජ සොයා ගෙන ඇත්තේ අපේ රටේ සිදු කරන ලද මෙම සමී­ක්ෂ­ණය මඟිනි. මෙසේ සොයා­ගත් තෝරි­ය­න­යිට් හා තෝර­යිට් ඛනි­ජය භාවිතා කර ලොව සිටි විකි­රණ විද්‍යා­ඥ­යින් විසින් එව­කට විකි­ර­ණ­ශී­ලී­තාව පිළි­බඳ විවිධ පරී­ක්ෂණ සිදු­කර ඇත. එම දත්ත­ව­ලට අනුව 1905 – 1910 අතර කාලය තුළදී දිව­යිනේ විවිධ ප්‍රදේ­ශ­වල (අවි­ස්සා­වේ­ල්ලට ආසන්න මිටි­පොළ හා රත්න­පු­ර­යට නුදුරු බඹ­ර‍බො­ටුව) එම තෝරි­ය­න­යිට් හා තෝර­යිට් යන ඛනිජ කැණීම් කට­යුතු සිදු­කර අප­න­ය­නය සිදු­කර ඇත. එම කාලය තුළදී තෝරි­ය­න­යිට් හා තෝර­යිට් යන ඛනි­ජ­ව­ලට ඉහළ මිලක් එංග­ල­න්තයේ ලන්ඩන් නුවර වෙළෙ­ඳ­පොළ තුළ පැවැතී ඇති අතර එයට හේතුව වී ඇත්තේ විකි­ර­ණ­ශී­ලී­තාව පිළි­බඳ පරී­ක්ෂණ කට­යුතු සඳහා එම ඛනිජ භාවිත කිරී­මත්, එම ඛනි­ජ­වල ඇති තෝරි­යම්, පීඩන ලාම්පු (Petromax) සඳහා යොදා­ගන්නා මැන්ටල (Mantle) සෑදීම සඳහා උප­යෝගි කර­ගත් බැවිනි.

මෙම තෝරි­ය­න­යිට් හා තෝර­යිට් ඛනිජ බහු­ලව වාර්තා වී ඇත්තේ පෙග්ම­ට­යිට් හා ග්රැනි­ටික් පාෂාණ ආශ්‍රි­තව වන අතර ප්‍රධාන වශ­යෙන් දිව­යිනේ අවි­ස්සා­වේල්ල, රත්න­පුර, බළන්ගොඩ, වැලි­මඩ, මාතලේ, දෙනි­යාය, හිනි­දුම යන ප්‍රදේ­ශ­යන්හි එම විකි­ර­ණ­ශීලී ඛනිජ අඩංගු පෙග්ම­ටික හා ග්රැනි­ටික් පාෂාණ හමුවී ඇත.

ඊට අම­ත­රව මොන­ස­යිට් ඛනි­ජය ද ලංකාව තුළ බහු­ලව හමු­වන විකි­ර­ණ­ශීලී ඛනි­ජ­යක් වන අතර එම මොන­ස­යිට් ඛනි­ජය සම්බ­න්ධව ලංකාව තුළ මුල්ම සමී­ක්ෂ­ණය සිදු­කර ඇත්තේ, බ්‍රිතාන්‍ය ජාතික භූ විද්‍යා­ඥ­යින් වන වේලන්ඩ් හා කෝට්ස් යන මහ­ත්ව­රුන් විසින් 1910 වර්ෂයේ කළු­තර සිට කොස්ගොඩ දක්වා වූ මෙරට බට­හිර වෙරළ තීර­යේය. එහිදී එම ප්‍රදේ­ශ­වල වෙරළ තීරයේ ඛනිජ වැලි සමඟ මිශ්‍ර වී ඇති ආර්ථික වශ­යෙන් කැණීම් සිදු කළ හැකි මොන­ස­යිට් ඛනිජ බහුල ස්ථාන හඳු­නා­ගෙන ඇත. මොන­ස­යි­ට්වල රසා­ය­නික සංයු­තිය වන්නේ විරල පාංශු ලෝහ (Rare – earth elements) අඩංගු තෝරි­යම් පොස්පේට් වේ. මෙම මොන­ස­යිට් ඛනිජ වලට විශාල ආර්ථික වටි­නා­ක­මක් ඇත්තේ එහි අඩංගු විරල පාංශු ලෝහ වන සීරි­යම්, යිට්රි­යම්, නියෝ­ඩි­යම් හා ලැන්ත­නම් නිසා ය. ඉන්පසු 1918 හා 1922 අතර කාලය තුළ බෙන්තො­ටට නුදු­රින් පිහිටි කයි­කා­වල ප්‍රදේ­ශයේ එම මොන­ස­යිට් නිස්සා­ර­ණය කිරීමේ නියමු කර්මාන්ත ශාලා­වක් ආරම්භ කර ඇත. පැරණි දත්ත වලට අනුව එම නියමු කර්මාන්ත ශාලා­වෙන් 1918 – 1922 වක­වා­නුවේ මොන­ස­යිට් ඛනි­ජය නිස්සා­ර­ණය කර වස­ර­කට මෙට්රික් ටොන් 80 බැගින් ජපා­න­යට අප­න­ය­නය කර ඇත. 1910 වර්ෂයේ කයි­කා­වල බේරු­වල වෙරළ තීරයේ අඩි 4 සිට 8 දක්වා ගැඹු­රට කරන ලද අව­ගා­ර­කු­හර සමී­ක්ෂ­ණ­යේදී ඛනිජ වැලි සමඟ මිශ්‍ර වී ඇති මොන­ස­යිට් ඛනි­ජය 3.5% සිට 15% දක්වා පැතිරී ඇති බව හඳු­නා­ගෙන ඇත. මේවා රට යැවී­මට ද කට­යුතු කර ඇත.

මේ අනුව බලන විට අපේ රටේ භූ ගර්භයේ විකි­ර­ණ­ශීලී ඛනිජ බහු­ලව ඇති බවට අතී­තයේ සිට ම ඕනෑ තරම් විද්‍යා­ත්මක සාක්ෂි ඇත.

අදහස්