පොලො­න්නරු ඉති­හා­ස­යෙන් ලොව කැල­ඹෙන පොතක් ලියූ අවු­රුදු විසි දෙකේ ඉංග්‍රීසි තරු­ණයා | සිළුමිණ

පොලො­න්නරු ඉති­හා­ස­යෙන් ලොව කැල­ඹෙන පොතක් ලියූ අවු­රුදු විසි දෙකේ ඉංග්‍රීසි තරු­ණයා

“මාඝ නමැති මහා ග්‍රීස්මය තෙම ලංකා රාජ්‍යය නමැති මහ වනය පෙළන්ට බොහෝ වූ යෝධ නමැති ලැව්ගිනි මෙහෙයී ය. ඉක්බිති ලෝක­යාට පීඩා කරන්නා වූ උහුගේ ක්‍රෑර වූ මහා­යෝ­ධයෝ “අපි කේරළ යෝධ­යම්හ” යි උන්නාද කෙරෙ­මින් තැනින් තැන මිනි­සුන්ගේ වස්ත්‍රා­භ­ර­ණා­දිය පැහැර ගත්හ. බොහෝ­කල් පාල­නය කරණ ලද්දාවූ කුලා­චා­රය කඩ කළ හ. හස්ත­පා­දා­දිය කැපූ හග බොහෝ ගෙවල් බිඳපූ හ.ගව­ම­හි­ෂා­දීන් තමන් අයත් කොට බැඳ පූ හ. මහා ධන­වත් වූ ආඪ්‍ය ජන­යන් බැඳ වධ කොට සියලු බොහෝ වූ චෛත්‍ය­යන් වැනසූ හ. විහා­ර­යන්හි විසූහ. උපා­ස­ක­යන් පෙළූ­හග දරු­වන් තැළූහ...”

මහා වංශය 81 පරි­ච්ඡේ­දය සිරි­ලක වැසි­යන්ගේ ඉති­හා­සය ලොවට හෙළි­ක­රන මාහැඟි පුස්ත­කය වන මහා­වං­ශයේ කාලිං­ග­යෙන් පැමිණි මාඝ’ නම් වූ ආම­ණි­ක­යාගේ පාලන සමය විස්තර කර ඇත්තේ එලෙ­සිනි. රජ­රට ශිෂ්ටා­චා­රයේ බිඳ­වැ­ටීම සට­හන් කළ මාඝගේ විසි එක් වස­රක පාල­නය ගැන මහා­වං­ශය පරි­ශී­ල­නය කරන ලාංකි­ක­යන් තුළ ඇති­වන හැඟීම වනුයේ ඔහු අධම අශිෂ්ට පාල­ක­යකු බවට සැක­යක් නැත; නමුත් දුටු­ගැ­මුණු එළාර ගැන සිදු­වන කතා­ව­කදී ද එළාර රජ දුෂ්ට­යකු යැයි කියැ­වුණ ද ඊට පර­ස්ප­ර­යක් මතු කරන ඔහුගේ ගුණ ගැන කියැ­වෙන කතා ජන­ප්‍ර­වා­දයේ මෙන්ම මහා­වං­ශ­යේම කියැ­වෙන්නේ ය. මාඝ ළතෙත් බවින් තොර මහා අප­රා­ධ­ක­රු­වෙක් ම පමණ ද? මාඝ සම්බ­න්ධව ද මහා­වං­ශ­යට ඔබ්බෙන් ගිය කතා­වක් තිබිය නොහැ­කිද?

එ් ප්‍රශ්නය තද­බල ලෙස තම සිතේ කාවද්දා ගත් වයස අවු­රුදු විසි දෙකක තරු­ණ­යෙක් දැවැන්ත ගවේ­ෂ­ණ­යක නිරත වූයේය. තම වයසේ අනෙක් තරු­ණ­යන් කා බී විනෝද වන ප්‍රීති­මත් කාල­සී­මාව ඔහු මිඩංගු කළේ අමුතු පර්යේ­ෂ­ණ­යක නිරත වන්නට ය. තමන්ට විවේ­ක­යක් ලැබෙන සෑම මොහො­ත­ක­දීම පොලො­න්න­රු­වට ගිය ඔහු එහි නට­බුන් අතරේ කල් ගෙව්වේය. පුරා­විද්‍යා කෞතු­කා­ගා­ර­යේත්, පුස්ත­කා­ල­ව­ලත් කාලය ගත කළේය. මේ ගවේ­ෂ­ණ­යේදී ඔහුට මහා­වං­ශ­යෙන් මාඝ ගැන නොකි­ය­වෙන බොහෝ තොර­තුරු හමු විය.

මේ තරු­ණයා නමින්, පෝල් කූපර් ය. දකුණු දිග ලන්ඩ­නයේ උපත ලබා පසුව වේල්සයේ හැදී වැඩුණු පෝල්, එංග­ල­න්තයේ වෝර්වික් සර­ස­වි­යෙන් සහ ඇංග්ලියා සර­ස­වි­යෙන් තම උසස් අධ්‍යා­ප­නය හැදෑරූ අයෙකි. දැනට මාධ්‍ය­වේ­දි­යකු මෙන්ම ග්‍රන්ථ කතු­ව­ර­යකු ලෙස කට­යුතු කරන ඔහු, මීට වසර හත­ර­කට පමණ පෙර ලංකා­වට එන්නේ ගුරු­ව­ර­යකු ලෙසිනි. ඔහු පළ­මුව ගුරු­ත­ලාව ශාන්ත තෝමස් විදු­හලේ ස්වේච්ඡා ගුරු­ව­ර­යකු ලෙසට බැඳී කට­යුතු කළේය. එහිදී සිංහල භාෂාව කෙරෙහි උපන් දැඩි ඇල්මෙන් යුතුව ඔහු වැඩි කාල­යක් සිංහල උගෙ­නී­මට වැය කළේය.

ඉන් අන­තු­රුව මෙරට ඉති­හා­ස­යට උපන් ඇල්මෙන් යුතුව රජ­රට සංචා­ර­යට ඇදී යන ඔහුගේ සිත තදින්ම ඇද බැඳ ගත් තැන වූයේ පොලො­න්න­රුව ය. වසර කිහි­ප­යක් පුරා පොලො­න්න­රුව හැකි­තාක් තම ආත්ම­යට සමීප කර­ගත් පෝල් ලංකා­වෙන් නික්ම ගිය පසු අගනා කෘති­යක් පළ කර­න්නේය. River of the Ink’නමින් එසේ ඉංග්‍රී­සි­යෙන් ලියැ­වුණු ඔහුගේ කුළු­ඳුල් නව­ක­තාව පසු­ගි­යදා සහෘ­දය මාධ්‍ය­වේදී සමන් කළු­ආ­ර­ච්චිගේ පරි­ව­ර්ත­න­යක් ලෙසින් ‘තීන්ත නදිය’ නමින් සිංහ­ලෙන් ද ප්‍රකා­ශ­යට පත්විය. තීන්ත නදිය කෘතිය හඳු­න්වා­දීමේ වැඩ­ස­ට­හ­න­කට පසු­ගි­යදා ලංකා­වට පැමිණි පෝල් සිළු­මිණ සමඟ සුහද සංවා­ද­යක ද නිරත වූයේය.

“මම හිතන හැටි­යට පොලො­න්න­රුව තමයි ලංකා ඉති­හා­සයේ කලාව සහ සංස්කෘ­තිය අතින් ස්වර්ණ­මය යුගය. අද­ටත් පොලො­න්න­රුවේ නට­බුන් දැක්කම ඒ අතී­ත­යට ගමන් කරන්න පුළු­වන්. මගේ පොතෙන් කියැ­වෙන යුගය වෙද්දි පොලො­න්න­රුව කියන්නේ ලන්ඩ­න­ය­ටත් වඩා ලොකු නග­ර­යක්. සම­කා­ලීන ලෝකයේ තිබුණු ප්‍රධාන ම නග­ර­ව­ලින් එකක් විදි­හ­ටත් පොලො­න්න­රුව හඳු­න්වන්න පුළු­වන්”

පොලො­න්න­රුව යනු බොහෝ ලාංකි­ක­යන්ට වන්දනා භූමි­යකි. බහු­ත­ර­ය­කගේ බෞද්ධ පසු­බිම හේතු­වෙන් පොලො­න්න­රුවේ විහා­ර­ව­ලට වන්ද­නා­මාන කිරීම, නට­බුන් බල­මින් ඇවි­දීම හැරුණු විට එකල ඉති­හා­සය හාරා පාදා මතු කර­ග­න්නට උත්සාහ දරන්නේ එහෙ­මත් අයෙකු ය.

“පොලො­න්නරු නට­බුන් අතර කාලය ගෙවද්දී ඒ ජන­තා­වගේ ජීවිත කොයි­වගේ වෙන්නට ඇත්දැයි මට නිතර සිතෙන්න පට­න්ගත්තා. විශේ­ෂ­යෙන්ම පොලො­න්නරු රජ මාළි­ගය දැක්කම මාව විස්ම­යට පත්වුණා. ඒ කාලේ රජ­වරු සිටු­වරු කොහොම ජීවත් වෙන්න ඇත්ද කියලා හිතුණා. පොලො­න්නරු නට­බුන් අත­රින් ලංකා­ති­ලක විහා­ර­ය­ටත් මගේ ලොකු කැමැ­ත්තක් තිබෙ­නවා. කොහොම නමුත් කාලිංග මාඝ සමය ගැන මට ලොකු උන­න්දු­වක් ඇති­වුණා. ඒ කාල­සී­මාව ගැන අපේ ඉති­හා­සයේ යම් අඩු­වක් තිබෙන බව මට හැඟී ගියා. මහා­වංශ රචක හිමි­වරු ඉති­හා­සය ගබඩා කිරීමේ අර­මු­ණින් ලේඛ­නයේ යෙදු­ණත් නව­ක­ථා­ක­රු­වකු ලෙස මට ඊට වැඩි නිද­හ­සක් මාඝ යුගය ගැන සෙවී­මේදී සහ ලිවී­මේදී උදා­වුණා”

මාඝ යනු අති­ශය ක්‍රෑර­තර පාල­ක­යකු බව සමාජ සම්ම­ත­යක් බවට පත්ව තිබි­යදී මාඝගේ ජීවි­තය තුළ නුදුටු පැත්තක් අනා­ව­ර­ණය කිරී­මට පෝල් පෙලෙඹ වූ කාර­ණාව ඇතැම් විට මනෝ සාමා­ජීය විශ්ලේ­ෂ­ණ­යක ප්‍රති­ඵ­ල­යක් බඳු ය.

“සෑම­වි­ටම දුෂ්ට චරිත විස්තර කිරී­මේදී ඔවුන්ගේ චරිත ස්වභා­වය සංකීර්ණ ලෙස පෙන්නුම් කිරීම වැද­ගත්. මාඝ දුෂ්ට­යෙකු බව ඉති­හා­ස­යෙන් ඕනෑ­ව­ටත් වඩා සාධක හමු­වෙ­නවා. නමුත් යම් කෙනකු දුෂ්ට­යකු බවට පත් කරන හේතු මොන­වා­දැයි සොයා­බැ­ලී­මත් ඒ වගේම වැද­ගත්”.

ඔහු මාඝගේ ජීවි­තය ගැන සෙවී­මට සම­ගා­මීව ලෝකය පුරා මධ්‍ය­කා­ලීන යුගයේ විසූ වෙනත් ක්‍රෑර රජ­ව­රුන්ගේ අතීත පිළි­බ­ඳව ද සොයා­බැ­ලී­මක් කළේය. එහිදී ඔහුට නිරා­යා­ස­යෙන් ම පැහැ­දිලි වූ එක් කරු­ණක් වූයේ එවැනි පාල­ක­යන් තම දුෂ්ට­ත්වය වසා ගනි­මින් ප්‍රචා­රණ අර­මුණු වෙනු­වෙන් කලාව යහ­මින් යොදා­ගෙන තිබූ බව ය. එය මාඝගේ චරි­තය ගොඩ­නඟා ගැනී­මට ඔහුට බෙහෙ­වින් උප­කාරී විය.

තීන්ත නදිය කෘතියේ පෙර­ව­ද­නට සට­හ­නක් තබ­මින් පෝල් තමා පොලො­න්නරු සංචා­රය කළ අව­ස්ථා­ව­න්හිදී ගැමි ජන­තාව තමාට සහාය වුණු ආකා­රය ගැන ද කෘත­ඥ­පූ­ර්ව­කව සිහි­පත් කොට තිබේ. අපි ඒ පිළි­බඳ ව ද පෝල්ගෙන් විම­සීමු.

“ලංකාවේ ඉන්න කාලයේ මට ගොඩක් හොඳ මිතු­රන් මුණ­ගැ­හුණා. පොලො­න්න­රු­වෙදී මම එක ගෙද­රක නැවතී සිටියා. ඇත්තට ම මම ඒ ළඟ තිබුණු ඉස්කෝ­ලෙක ඉගැ­න්වීම් කට­යුතු කළා. ඉතින් ඒ ගෙදර අයත් එක්ක පවු­ලේම සාමා­ජි­ක­යෙක් වගේ පිළි­ගැ­නී­මක් මට ලැබුණා. එයා­ලත් එක්ක සින්දු කිව්වා, විනෝද වුණා. කොටින්ම අතින් රෙදි හෝදන්න, පොල් ලෙලි ගහන්න පවා පුරුදු වුණා”.

පෝල්ගේ තවත් විශේ­ෂ­ත්ව­යක් වන්නේ සිංහල සහ ද්‍රවිඩ යන භාෂා දෙකම හැසි­ර­වී­මට ඔහුට ඇති සුරු­කම ය. ලංකාව හා සබැ­ඳුණු නව­ක­තා­වක් පළ කිරී­මේදී එම භාෂා හැකි­යාව ද ඔහුට විශාල ශක්ති­යක් වන්නට ඇති බවට සැක­යක් නැත.

“මම ලංකාවෙ ඉන්දැද්දි සිංහ­ලයි,දෙම­ළයි ඉගෙ­න­ගත්තා. ඒ දෙකම හරි ලස්සන භාෂා­වන්. හැබැයි දෙමළ භාෂාවේ ව්‍යාක­රණ ටිකක් සංකීර්ණ නිසා ඉගෙන ගන්න අප­හසු වුණා. මම ගොඩක් ම ආසා සිංහල ප්‍රස්තාව පිරු­ළු­ව­ලට තමා.වවු­ලගෙ ගෙදර ගියාම එල්ලිලා ඉන්න ඕනෙ’ වගේ ප්‍රස්තාව පිරුළු හරිම ලස්ස­නයි”.

ඔහු කොත­රම් සිංහල ප්‍රස්ථාව පිරුළු කෙරෙහි ආක­ර්ෂ­ණය වූයේද සහ ඒවා උග­ත්තේද යත් River of the Ink ඉංග්‍රීසි පිට­පතේ එක් තැනක “රට වට කර වැට බැන්දත් කට වට කර වැට බඳින්න බැහැ” යන සිංහල පිරුළ පවා ඒ අයු­රින්ම ඉදි­රි­පත් කර තිබේ.

ලාංකි­ක­යන්ගේ කෑම­බීම ගැන ද පෝල් බෙහෙ­වින් උන­න්දුය. ලාංකි­ක­යකු තරම් හොඳින් අතින් බත් කෑමේ හුරු­වක් තමාට ඇතැයි ද ඔහු පව­සයි. “මම ගොඩක් ම ආසා පොළොස් මාළු­වට තමා. ඒකෙ පුදුම රස­යක් තියෙන්නෙ. ලෝකෙ වෙන කොහේ­වත් ඒ වගේ කෑමක් නැහැ” ඔහු කියන්නේ අති­ශ­යෝ­ක්ති­ය­කින් නොවන බව නිසැක ය.

“ලංකාවේ මිනිස්සු හරිම කරු­ණා­ව­න්තයි. එයාලා කිසිම දෙයක් බලා­පො­රොත්තු නොවී මට කරු­ණා­වෙන් සැල­කුවා. ඒ වගේම හරි ආසා­වෙන් සිංහල භාෂාව ඉගැ­න්නුවා. එයාලා තමන්ගේ ඉති­හා­සය ගැන ගොඩක් ආඩ­ම්බර වෙනවා. ඒක එහෙම විය යුතුයි. මොකද පුරා­වස්තු අතින් විශිෂ්ට උරු­ම­යක් ලාංකි­ක­යන් සතුයි. එයාලා ඒ දේවල් රැක­ග­න්නත් ගොඩක් මහන්සි වෙලා තියෙ­නවා”

තම කෘතිය ලිවී­මට පෝල් මුල පුරද්දී සිතුවේ අවු­රුදු දෙක­කදී පමණ තම කෘතිය ලියා නිම කළ හැකි වනු ඇති බව ය. එහෙත් ලාංකේය ඉති­හා­සය අධ්‍ය­ය­නය කර­මින් පරි­පූර්ණ අයු­රින්ම පොත අව­සන් කිරී­මට ඔහුට වසර පහක් ම ගත විය. එ් කාලය පුරා­වට ලංකාවේ රැඳී සිටි­මින් තොර­තුරු රැස්කි­රී­මට ඔහු ගත් වෑයම ද සුළු­පටු නොවේ. වයස අවු­රුදු 17දී ලංකා­වට පැමිණි ඔහු තමාට වයස අවු­රුදු 22 පිරෙන විට නැවත එංග­ල­න්තය බලා යන්නේ සාර්ථක නව­ක­තා­ක­රු­වකු වීමට අවැසි සරු බීජ ද රැගෙන ය. ළපටි යෞව­න­යකු අතින් ලියැ­වුණු විශිෂ්ට කෘති­යක් ලෙස River of the Ink වෙත ලැබෙන වටි­නා­කම ද එයම ය. ලාංකි­ක­යන්ට මේ පොත තව­මත් ආග­න්තුක ය. එහෙත් යුරෝ­පය තුළ මේ වන විටත් River of the Ink කෘති­යට ඉහළ ජන­ප්‍රි­ය­ත්ව­යක් හිමි ව ඇති අතර බට­හිර මාධ්‍ය රැසක් විසින් ම ඒ පිළි­බඳ ධනා­ත්මක විචාර ඉදි­රි­පත් කර තිබේ.

පෝල් තම කෘති­යට ‘තීන්ත නදිය‘ යන නම යොදා ඇත්තේ කුමක් නිසා­දැයි තීර­ණය කිරී­මට නම් නව­ක­තාව කියැ­විය යුතු ම බව ඔහුගේ අද­හ­සයි. “තීන්ත නදිය කියන්නේ කවිය, ආද­රය සහ ධෛර්යය අඩංගු කතා­වක්. ඒ වගේම අබි­ර­හස් තීන්ත වර්ග­ය­කුත් මේ කතාවේ ඇතු­ළත්. මට මේ ගැන දිය හැකි එකම ඔත්තුව එය පම­ණයි”.-

Comments