ගලහ රෝහලේ ප්‍රහාරයට තුඩු දුන් සිඟි­ත්තාගේ මර­ණ­යට හේතුව වෛද්‍ය නොසැ­ල­කි­ල්ලද? | සිළුමිණ

ගලහ රෝහලේ ප්‍රහාරයට තුඩු දුන් සිඟි­ත්තාගේ මර­ණ­යට හේතුව වෛද්‍ය නොසැ­ල­කි­ල්ලද?

න්තාන කඳු­ක­ර­යට යාබද ව පිහිටි ගලහ තර­මක් සීත කාල­ගු­ණික තත්ත්ව­යක් පව­තින ප්‍රදේ­ශ­යකි. වැඩි කල­බ­ල­යක් දක්නට නොමැති මේ ප්‍රදේ­ශයේ ජන­තා­වගේ ප්‍රධාන ජීව­නෝ­පාය තේ කර්මා­න්තය හා බැඳී පව­තින්නේ ප්‍රදේ­ශය පුරා තේ වතු විහිදී පැතිරී තිබෙන නිසාය. හිරි­ගඩු පිපෙන සීතෙන් ද සාම­කාමී වට­පි­ටා­ව­කින් ද යුතු ගලහ ප්‍රදේ­ශය එක් වරම පසු­ගිය 28 දා උණු­සුම් වූයේ දෙද­හ­සක පමණ පිරි­සක් ගලහ ප්‍රාදේ­ශීය රෝහ­ලට කඩා­වැදී එහි දේපොළ වලට හානි කර­මින් ප්‍රධාන වෛද්‍ය නිල­ධා­රි­ව­රයා සෙවීම නිසාය. මේ සමඟ සාම­කාමී පරි­ස­රය ක්ෂණ­යෙන් වෙනස් ව ගොස් දැඩි කල­බ­ල­කාරී ස්වරූ­ප­යක් ප්‍රදේ­ශය පුරා පැතිර ගියේය. මොහො­ත­කින් සිදුවූ මේ සිය­ල්ලට හේතු වූයේ වයස අවු­රුදු එක­හ­මා­රක්වූ දරු­ව­කුගේ මර­ණ­යකි. ගලහ ප්‍රාදේ­ශීය රෝහ­ලට අසා­ධ්‍යය තත්ත්ව­යෙන් ඇතුළු කළ දරු­වාට රෝහ­ලේදී නිසි ප්‍රති­කාර නොලැ­බීම මර­ණ­යට හේතුවූ බව දක්ව­මින් මේ පිරිස රෝහ­ලට කඩා වැදී එහි දේපොළ වලට හානි කර­න්නට වූහ. හිතා­මතා ප්‍රති­කාර ප්‍රමාද කළ රෝහලේ ස්ථාන භාර වෛද්‍ය­ව­රයා තමන්ට ලබා දෙන ඉල්ල­මින් මේ පිරිස මුලින් පහර දී තිබුණේ රෝහලේ වෛද්‍ය­ව­රුන් දෙදෙ­නාගේ වාහන දෙක­ටය. ඉන් නොනැ­ව­තුණ ඔවුන් පසුව රෝහලේ ජනෙල් දොර­වල් පම­ණක් නොව වෛද්‍ය­ව­ර­යාගේ රාජ­කාරි කාම­රයේ මේස පුටු සහ වෛද්‍ය උප­ක­රණ තොය­ගක් ද විනාශ කර තිබේ. මෙය පාල­නය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බළ­කාය, පොලිස් කැරලි මර්දන ඒක­කය සහ අවට පොලිස් ස්ථාන නව­යක නිල­ධා­රීන් යෙද­වී­මට මධ්‍යම පළාත් නියෝ­ජ්‍යය පොලි­ස්පති වර­යාට සිදු විය.

මේ සිදු­වීම් මාලා­වට මුල්වූ දරුවා සංකර් සුජී ය. ගලහ දෙල්තොට වත්තේ පදිංචි තිදරු පියකු වන එස් ගසං­කර්ගේ බාල පුතුවූ සුජී අවා­ස­නා­වන්ත ලෙස මිය ගියේ ගලහ රෝහලේ සිට දෙම­ව්පි­යන් විසින් ත්‍රිරෝද රථ­ය­කින් පේරා­දෙ­ණිය සිරි­මාවෝ බණ්ඩා­ර­නා­යක ළමා රෝහ­ලට රැගෙන යන අත­ර­තු­රය. “පුතාට සෙම ගතිය තියෙ­නවා, එයාට දවස් දෙක තුන­කට කලින් උණ හැදුණා. පහු­වදා උණ ගතිය වැඩි බව දැනුණු නිසා අපි ත්‍රීවිල් එක­කින් එයාව ගලහ එම්.ඕ.එච් මහ­ත්තයා ප්‍රයි­වට් බෙහෙත් දෙන තැනට ගෙනිච්චා. මහ­ත්තයා කිව්වා දරුව ව ඉක්ම­නට ගලහ රෝහ­ලට අරන් යන්න කියලා. අපි උදේ 8.30 විතර වෙන­කොට රෝහ­ලට ආවා. දරු­වට හොඳට ම අමාරු වෙලා හිටි­යත් ඩොක්ටර්ලා ගාන­ක­ට­වත් ගත්තේ නැහැ. මගේ නෝනා කෑ ගහලා කිව්වා දරු­වට ආමා­රුයි ඉක්ම­නට කවු­රු­හරි බලන්න කියලා. ඩොක්ටර් කෙනෙක් දරුව ව බලලා බෙහෙත් පෙත්තක් දුන්නා. ඒත් අඩු­වෙන පාටක් පේන්න තිබුණේ නැහැ. ඒ වෙලාවේ කාන්තාවෝ දෙන්නෙක් ලේ පෙරා­ගෙන වාට්ටු­වට ගෙනාවා. බස් එක­කින් වැටිලා ඒ අයට තුවාල වෙලා කියලා තමයි කිව්වේ. දොස්ත­රලා දෙන්නා ඒ දෙන්නට ප්‍රති­කාර කරලා ඇම්බි­යු­ලන්ස් එකෙන් පේරා­දෙ­ණි­යට යවන්න ලෑස්ති කළා. එතන හිටිය ඇටෙ­න්ඩන් මහ­ත්ත­යෙක් කිව්වා මේ ළම­යත් මේකේ යවන්න පුළු­වන් නේද කියලා. නමුත් කවු­රු­වත් එය­ටත් ඇහුම් කන් දුන්නේ නෑ. අපිත් කිව්වා අපේ පුතත් ඒකෙම යවන්න කියලා. දොස්තර චිට් එක ලිය­න­කම් දරු­වව ඇම්බි­යු­ලන්ස් එකට දාන්න බැහැ කියලා එතන හිටිය අය කිව්වා. අපේ කෙනෙක් ගිහින් ඇම්බි­යු­ලන්ස් ඩ්‍රයි­වර්ට කතා කළාම එයත් සැරට කතා කරලා තිබුණා.දරු­වට එන්න එන්නම හුස්ම ගන්න බැරි­වුණා. අපි බලා­ගෙන ඉද්දිම අර ලෙඩ්ඩු දෙන්නා දාගෙන ඇම්බි­යු­ලන්ස් එක ගියා. පස්සේ අපි ළම­යව රෝහ­ලට අරන් ආපු වීල් එකේම දාගෙන පේරා­දෙ­ණිය රෝහ­ලට අරන් ගියා. ගලහ ඉඳලා කිලෝ මීටර 25 ක් විතර පේරා­දෙ­ණි­යට තියෙ­නවා. අපි පේරා­දෙ­ණිය රෝහ­ලට එන­කොට 11.40 විතර වුණා. එත­කො­ටත් ළමයා මැරිලා මහ­ත්තයෝ,,. මිය­ගිය දරු­වාගේ පියා එස්ග­සං­කර් පව­සයි. දරුවා මිය­ගිය දින දෙල්තොට වත්තේ තේරු උත්ස­වය පැව­තිණි. මේ නිසා විශාල පිරි­සක් එම ස්ථාන­යට රැස්ව සිටි­යහ. ගලහ රෝහලේ වෛද්‍ය­ව­රුන්ගේ නොසැ­ල­කිල්ල හේතු­වෙන් දරුවා මිය­ගිය පුවත ළැව් ගින්නක් සේ ප්‍රදේ­ශය පුරා පැතිර ගියේය. තේරු උත්ස­ව­යට පැමිණ සිටි තරුණ කොටස් ඇතුළු විශාල පිරි­සක් එක් මොහො­ත­කින් රෝහල වෙත කඩා වැටුණේ මේ පසු­බිම තුළ ය. රෝහ­ලට ප්‍රති­කාර ලබා ගැනී­මට පැමි­ණෙන රෝගීන්ට රෝහල තුළදී කලක පටන් අත් විඳින්ට සිදු­වන දේ සම්බ­න්ධ­යෙන් බොහෝ පිරිස් සිටියේ කළ­කි­රී­මෙනි. වැඩි උගත් කමක් නොමැති වතු කම්කරු ජන­තාව කිසි­වි­ටෙ­කත් තමන්ට එරෙ­හිව නැඟී සිටි­තැයි රෝහල් පාල­නා­ධි­කා­රිය බලා­පො­රොත්තු නොවූවා විය හැකිය. එහෙත් සිදු­වූයේ කිසි­වකු නොසිතූ දෙයකි. පොලී­සි­යට කිසිදු අයු­ර­කින් පාල­නය කර ගැනී­මට නොහැකි ලෙස මේ පිරිස හැසි­රෙ­න්නට වූහ. රෝහල තුළට ඇතු­ළුවී සිටි පිරිස මහත් පරි­ශ්‍ර­ම­යක් දමා රෝහල් පරි­ශ්‍ර­යෙන් පිට­තට ගැනී­මට සමත්වූ පොලි­සිය ඊළ­ඟට මුහුණ දුන් අභි­යෝ­ගය වූයේ වෛද්‍ය­වරු ඇතුළු කාර්ය මණ්ඩ­ලය රෝහ­ලින් පිට­තට ගැනී­මය. නොස­න්සු­න්කාරී ලෙස හැසි­රුණු පිරි­සගේ එක ම ඉල­ක්කය වූයේ වෛද්‍ය­ව­රුන් දෙදෙ­නාය. මොවුන් අත්අ­ඩං­ගු­වට ගෙන මාංචු දමා පිට­තට ගන්නා ලෙස ඔවුන් පොලී­සි­යට බල කළහ.වර­දක් ඔප්පු වී නොමැති නිසා පොලී­සි­යට එය කළ හැක්කක් නොවීය. අව­ශ්‍යය වුව­හොත් කඳුළු ගෑස් ප්‍රහා­ර­යක් එල්ල කර හෝ පිරිස විසු­රුවා හැරී­මට පොලී­සිය මේවන විටත් සූදා­නම්ව සිටි­යේය.

දහ­වල් 12.00 ට පමණ රෝහල් භූමි­යට පැමිණි පිරිස පස්වරු 6.00 පමණ වන­තු­රුත් විසු­රුවා හැරී­මට පොලී­සි­යට නොහැ­කිවී තිබිණි. රෝහල් කාර්ය මණ්ඩ­ලය රෝහල තුළ සිරවී සිටි­යහ. ස්ථාන භාර ප්‍රධාන වෛද්‍ය නිල­ධා­රී­ව­ර­යාට අම­ත­රව ලියා­ප­දිංචි වෛද්‍ය­ව­රි­යක්, පවුල් සෞඛ්‍ය නිල­ධා­රි­නි­යන් දෙදෙ­නෙකු, කනිෂ්ඨ කාර්ය මණ්ඩ­ලයේ තිදෙ­නකු හා ගිලන් රථ රියැ­දු­රකු ගලහ ප්‍රාදේ­ශීය රෝහලේ කාර්ය මණ්ඩ­ල­යට අයත් වූහ. මෙම රෝහලේ එකදු හෙද නිල­ධා­රි­නි­යක හෝ නොසි­ටීම ද ගැට­ලු­වකි. අදාළ වෛද්‍ය­ව­රුන් දෙදෙනා වහාම ක්‍රියා­ත්මක වන පරිදි මධ්‍යම පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යා­ල­යට මාරු කළ බව සඳ­හන් ලිපි­යක් රැගෙන ආ පොලී­සිය එය පෙන්වා රෝහල අවට ඒ වන­වි­ටත් රැඳී සිටි පිරි­සට විසිර යන ලෙස ඉල්ලී­මක් කළේය. පළාත් සෞඛ්‍ය අධ්‍ය­ක්ෂ­ව­රි­යගේ නම සඳ­හන් කර­මින් අත්අ­කු­රින් ලියා තිබූ එ් ලිපියේ අධ්‍ය­ක්ෂ­ව­රි­යගේ නිල මුද්‍රාව නොමැති වීම නිසා ලිපිය පිළි­ගත නොහැකි බව කිය­මින් එ් පිරිස තවත් නොස­න්සු­න්කාරී අන්ද­මින් හැසි­රෙ­න්නට වූහ. කර­කියා ගත හැකි දෙයක් නොමැ­තිවූ පොලී­සිය රෝහල තුළ සිරවී සිටින පිරිස පිට­තට ගැනී­මට විශාල වෙහෙ­සක් දර­න්නට වූ අතර වෛද්‍ය­ව­රයා එහිදී පිට­තට ගත්තේ පොලිස් නිල ඇඳුම් අන්ද­වාය. පොලිස් ජීප් රථය රෝහල ආස­න්න­යට ම රැගෙන ගොස් පොලිස් නිල ඇඳු­මින් සැරසී සිටි වෛද්‍ය­ව­රයා ඊට නග්ගවා පිට­තට ගනිත්දී දුම් බෝම්බ­යක් ගසා එ් ස්ථානය දුමා­ර­යෙන් වසා දැමී­මට පොලී­සිය පිය­වර ගත්තේය. වෛද්‍ය­වරු ඇතුළු කාර්ය මණ්ඩ­ලය රෝහ­ලින් පිටව ගොස් ඇති බව ස්ථිර ව තහ­වුරු කර­ගත් පිරිස එ් ස්ථාන­යෙන් විසිර ගියේ රාත්‍රී 8.00 ට පම­ණය. එසේ වුවත් රෝහලේ ආර­ක්ෂාව සඳහා විශේෂ පොලිස් කණ්ඩා­යම් කිහි­ප­යක් යෙද­වී­මට මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලි­ස්ප­ති­ව­රයා පිය­වර ගෙන තිබිණි.

“අපි දොස්තර මහ­ත්ත­යාට කිව්වා සර් දරුවා පේරා­දෙ­ණි­යට යවන්න කියලා.ඔයා­ලට ඕන විදි­හට ලෙඩ්ඩු මාරු කරන්නේ නැහැ කියලා දොස්තර මහ­ත්තයා මට බැන්නා. අපි දොස්තර මහ­ත්තු­රුන්ට සල­කන්නේ දෙවි­ව­රුන්ට වගේ. මේ දොස්ත­ර­ලාට අපේ දුක තේරෙන්නේ නැහැ;අපි දෙවි­වරු කියලා හිතු­වට මේ මිනිස්සු රාස්සයෝ. කිසිම හිතක් පපු­වක් නැහැ. මේ මිනිස්සු රෝහ­ලට පහර දීලා මේ කල­බල කළේ දොස්ත­රලා කරන මේ අසා­ධා­ර­ණ­යට විරු­ද්ධ­වයි. අපිට අපේ දරුවා වටි­නවා. දොස්තර මහ­ත්තයා ටිකක් මේ ගැන උනන්දු වුණා නම් දරුවා බේර­ගන්න තිබුණා. මේ රෝහල් හදලා තියෙන්නේ මිනිස්සු වෙනු­වෙන්. ඒක දොස්ත­ර­ලාට අම­ත­කයි. රෝහල් තියෙන්නේ ලෙඩ්ඩුන්ට. දොස්ත­රලා ඉන්නේ ලෙඩ්ඩුන්ට බෙහෙත් කරන්න. ලෙඩෙක් රෝහ­ලට එන එක දොස්තර මහ­ත්ත­යාට කර­ද­ර­යක් වෙන්නේ කොහො­මද?මම වත්තේ ඩේ කෙයා එකේ වැඩ කරන්නේ. මහ­ත්තයා පුංචි කඩ­යක් වත්තේ කර­නවා. වෙන අම්ම­ලාගේ දරුවෝ රැක­බලා ගන්න මට මගේ දරුවා රැක ගන්න බැරි­වුණා මහ­ත්තයා. මේ දේ ආය වෙන කෙනෙ­කු­ට­වත් වෙන්න දෙන්න නර­කයි. දොස්ත­ර­ලගේ දරුවෝ විත­රක් නොවෙයි අපේ දරු­වොත් දරු­වෝ­ග­අ­පිට සල්ලි නැති වුණාට, දරු­වන්ට අඩු­වක් කරන්නේ නැහැ.අපිට දරුවෝ තුන් දෙනයි. ලොකු දුවට අවු­රුදු 12 යි. පොඩි පුතාට 10 යි.,, මිය­ගිය සංකර් සුජීගේ මව පෝන රානි පව­සන්නේ හැඬු කඳු­ළිනි.

“උණත් සමඟ ඇතිවූ වලිප්පු තත්ත්ව­යක් යටතේ මේ ළමයා රෝහ­ලට අර­ගෙන ඇවිත් තිබෙන්නේ. මෙයාලා පෞද්ග­ලික ප්‍රති­කාර කරන වෛද්‍ය­ව­ර­ය­කුට උදේ දරුවා පෙන්නලා තිබෙ­නවා. ඒ දොස්තර මහ­ත්ත­වාගේ උප­දෙස් මත තමයි මේ අය දරුවා උදේ 9. 00 ට විතර රෝහ­ලට ඇතුළු කරලා තිබෙන්නේ.අධික උණ සමඟ ඇතිවූ වලිප්පු තත්ත්වය නිසා දරු­වාට වෛද්‍ය­ව­රයා ඖෂධ පෙත්තක් ලබාදී තිබෙ­නවා. ඒකට සාමා­න්‍ය­යෙන් දරු­වාට නින්ද යනවා. මේ අතර තමයි දෙම­ව්පියො සහ තවත් අය වාට්ටුව තුළ කල­බල ඇති කරලා නොස­න්සු­න්කාරී ලෙස හැසිරී තිබෙන්නේ. හුස්ම ගන්න අමාරු වෙන්නේ සෙම හිර වුණාම. වෛද්‍ය­ව­රයා ඇඟි­ල්ලක් දලා ඒ සිරවූ සෙම ඉවත් කරන්න උත්සාහ කරලා තිබෙ­නවා. ඒක කරන්න මෙතන හිටපු අය කල­බල කරලා වෛද්‍ය­ව­ර­යාට ඒ වැඩේ කරන්න දීලා නැහැ. රෝහ­ලට කලින් ආපු තුවාල කාරයෝ දෙන්නෙක් ඇම්බි­යු­ලන්ස් එකෙන් යවලා ගමේ ළමයා අරන් යන්න ඇම්බි­යු­ලන්ස් එක ඉල්ලු­වාට ඒ වෙලාවේ ඇම්බි­යු­ලන්ස් එකක් තිබිලා නැහැ. පස්සේ මේ අය දරුවා ත්‍රිවීල් එක­කින් අරන් යන­කොට තමයි මඟදී දරුවා මැරිලා තියෙන්නේ. මේ වෛද්‍ය­වරු දෙදෙනා පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යා­ල­යට වහාම මාරු කළා. මොකද වෛද්‍ය­වරු කැමැති නැහැ පව­තින තත්ත්වය යටතේ ඒ රෝහලේ වැඩ කරන්න. අනිත් පැත්තෙන් ප්‍රදේ­ශ­වා­සී­නුත් කිය­නවා මේ වෛද්‍ය­වරු මාරු කරන්න කියලා. මේවන විට රෝහ­ලට සිදුව තිබෙන අලා­භ­හානි ගැන තක්සේ­රු­වක් කෙරෙ­නවා. වෛද්‍ය­ව­රුන්ගේ වාහන දෙකට අම­ත­රව රෝහලේ හදිසි ප්‍රති­කාර ඒක­ක­ය­ට­ල­දන්ත චිකි­ත්සා­ගා­ර­ය­ට­ල­වෛද්‍ය නිල කාම­ර­යට වගේම තවත් රෝහලේ බඩු භාණ්ඩ ගණ­නා­ව­කට හානි වෙලා තිබෙ­න­වා­ග­ළ­ම­යාට ප්‍රති­කාර ලබා දීමේදී අඩු­පා­ඩු­වක් වුණාද කියලා බලන්න දිස්ත්‍රික් නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍ය­ක්ෂ­ව­ර­යෙ­කුගේ ප්‍රධා­න­ත්ව­යෙන් පරී­ක්ෂණ මණ්ඩ­ල­යක් ක්‍රියා­ක්ම­ක­යි­ග­අ­පිට මේ ගැන ස්ථිර යමක් කියන්න පුළු­වන් වෙන්නේ ඒ වාර්තා පද­නම් කර­ගෙ­නයි. දැනට අපි කරන්නේ ඉක්ම­නින් රෝහල යථා තත්ත්ව­යට පත් කිරීම සඳහා අව­ශ්‍යය පිය­වර ගැනී­මයි.,, මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ශාන්ති සම­ර­සිංහ මහ­ත්මිය පව­සයි.

මේ සිද්ධිය පිළි­බඳ ව වෛද්‍ය­ව­රුන් නියෝ­ජ­නය කර­මින් රජයේ වෛද්‍ය නිල­ධාරී සංග­මය ද තම හඬ අවදි කළේ ය. එ් සංග­මයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ පව­සන්නේ මේ සිදු­වී­මේදී වෛද්‍ය භාරයේ සිටි දරුවා වෛද්‍ය අව­වා­ද­ව­ලට පට­හැ­නිව බල­හ­ත්කා­ර­යෙන් රෝහ­ලෙන් රැගෙන යෑමෙන් පසුව මේ මර­ණය සිදුවූ බව ය. එය නීති විරෝධි ක්‍රියා­වක් බව පව­සන වෛද්‍ය අලුත්ගේ ඊට අම­ත­රව දරු­වාගේ ඥාතීන් ඇතුළු පිරිස වෛද්‍ය­ව­රුන්ගේ රාජ­කා­රි­යට බල­පෑම් කිරීම රෝහ­ලට සහ වෛද්‍ය­ව­රුන්ගේ වාහ­න­ව­ලට හානි කිරීම ඇතුළු නිති විරෝධී ක්‍රියා කිහි­ප­යක් ම සිදු­කර ඇති බව පව­සයි. ඔවුන් සම්බ­න්ධ­යෙන් ද නිසි ලෙස නිතිය ක්‍රියා­ත්මක කළ යුතු බව ඔහු පෙන්වා දෙයි.

මිය­ගිය දරු­වාගේ මළ සිරුර පිළි­බඳ පශ්චාත් මරණ පරී­ක්ෂ­ණය පේරා­දෙ­ණිය රෝහලේ විශේ­ෂඥ අධි­ක­රණ වෛද්‍ය නිල­ධාරී එන්.ඒ.එස්.පී විජ­ය­රත්න මහතා විසින්ද මරණ පරී­ක්ෂ­ණය හසිදි මරණ පරී­ක්ෂක අමල් උභ­ය­නාත් ජය­ව­ර්ධන මහතා විසින් ද සිදු­ක­රනු ලැබීය. ඉදි­රි­පත්වූ වෛද්‍ය වාර්තා හා සාක්කි සැල­කි­ල්ලට ගත් හදිසි මරණ පරී­ක්ෂ­ක­ව­රයා මර­ණය පිළි­බඳ විවෘත තීන්දු­වක් දෙමින් දරු­වාගේ ශරීර කොටස් රස පරී­ක්ෂක වෙත යොමු කිරී­මට පිය­වර ගෙන තිබේ. සිද්ධිය සම්බ­න්ධ­යෙන් වහාම පරී­ක්ෂ­ණ­යක් පව­ත්වන ලෙස සෞඛ්‍ය අමැ­ති­ව­ර­යාද සෞඛ්‍ය අධ්‍යක්ෂ ජන­රා­ල්ව­ර­යාට දැනුම් දීමක් කර තිබේ.

 

ඡායා­රූප-ගලහ සමූහ හා ගම්පොළ සමූහ

අදහස්