එක් නිමේෂයක් ඇති සිතිවිල්ලකට හිත අස්සටම රිංගා ගන්න. එහෙම අනවසරයෙන් එන සිතිවිලි බොහොමයක් තමන්ගේ ම ආධ්‍යාත්මයත් එක්ක තදින් ම පටැලෙනවා. මේ ජිවිත ගමන පුරාම අපි බොහෝ දෙනා උත්සාහ කරන්නේ එලෙස පැටළෙන බොහෝ සිතිවිලි ලිහා ගන්න. ඒ අවසරයෙන් සමහර සිතිවිල්ලක් හදවත ආදරයෙන් පුරවද් දී තව සිතිවිල්ලක් මොන යම් අයුරකින්වත්, කවරකුවත් සමීප කර ගන්න අකමැති බය උපදවනවා. ඒ බය මොන තරම් නීරස වුවත් ඔබත්, මමත් ඒ හැම සිතිවිල්ලක් ම වැළඳ ගන්නවා නොවෙයි ද...? අවසන මොහොතක විරාමයක දී ආපසු හැරී බලද්දී අප පමණක් ආශාවෙන් ඒ හා බැඳිලා. ඒ බයට වඩා උස් තැනක් සොයා දෙන්න ඒ හිත අසමත්.
ඔබත්, මමත් යමක් නිසා විඳීමකට වැඩියෙන් විඳවීමකට ආදරය කරනවා නොවෙයි ද...? ඒ තමන්ට යමක් අහිමි වූවත්, හිමි වූවත් විඳීම විඳවීමක් වන බවට තදින් ම මනසත්, හදවතත් විශ්වාස කරන නිසාම යි. පෙර කියූ සිතිවිල්ලක් අසල හිත නතර වෙදදී, ඒවායෙන් සමහරක් සිහින් වැස්සක දී හෙමින් රූරා වැටෙන වැහි බිඳුවක් වගේ හිත අගිස්සෙන් රූරා වැටෙද්දී තවත් කොහේදෝ පාවෙන සිතිවිල්ලක් හිනාවකට මුවා වෙලා තැන්පත් වෙනවා. ඒ සුවඳකුත් තවරාගෙනම යි. එසැණින් සුවඳක් වූ ඒ සියල්ල මොහොතක දී අපුලක් දනවාවි. ඒත් ආපහු දවසක ආකාසය බර වෙද්දී වේගයෙන් පොළවට වැටෙන වැහි බින්දු ඒ මොහොතට විතරක් සීමා වෙලා ගලාගෙන යනවා. සීමා රහිතයි කියූ හිතට එන්න බලාන ඉන්න ආදර සිතිවිල්ලකට ඇළුම් කරන ගොඩක් හිත් එදාට තමන්ගේ සීමා, මායිම් ආයෙත් ලකුණු කරාවි. ඒ සීමාවන් ඇතුලේ මොන තරම් නොකියූ සිතිවිලි සැඟවිලා යාවි ද...?
වැහි පිහිල්ලෙන් රූරා වැටුණු
හිනාවේ මල් සුවඳ අරගෙන
නැවුම් මඩ සුවඳට හිත් බඳින මට
ලියා ගන්නට බැරිව ලත වුණු
නහ කපන වැහි හිනා වුණු
එදා එහෙම දවසක්
වැහි බිඳුවලට මුද්‍රා තැබුණු
නිමක් නැති සිතිවිලිවලට මුද්‍රා තැබුණු
සාගරය එක් තැන් කෙරුණු
එදා එහෙම දවසක්
දහක් මල් ගොමු හිනැහී පිපෙන
ස්නේහයම දෝතින් දරා
හද පියන් ඇර පාරමී පිරුව
එදා එහෙම දවසක්
හිනැහිලා පිපෙන, තමන්ගේ හදවත පුරා නිමක් නැතිව ගලාගෙන යන ස්නේහයට ජීවිතයේ පාරවල් සලකුණු කරන රේඛාවන් අඳින්නට, සිතිවිල්ලකට ඉඩ දෙන එක මොහොතක දී පාරමී පුරනවා නම් ඇත්තටම එදා එහෙම දවසක්.
ඔබට එක් දිනයක්, මට එක් දිනයක්.... එදා එහෙම දවසක්.
චමත්ක