HOLLY WOOD | සිළුමිණ

HOLLY WOOD

ජෙනිෆර්ට ‘මල්සර බොක්සිං’ පාරක්

ජගත් සම්මානලාභිනියක මෙන් ම චිත්‍රපට නිෂ්පාදිකාවක ද වන ජෙනිෆර් ඇනිස්ටන් නම් වූ සුපිරි නිළිය, ජස්ටින් තෙරොක්ස් නම් වූ තිර රචකයා, අධ්‍යක්ෂවරයා සහ සුපිරි නළුවා ගෙන් වෙන් වූ පසුව ගත කළේ දැඩි මානසික ආතතියකින් යුතු ජීවිතයක්.

මේ තත්වය මඟ හරවා ගන්නට දෝ ඇය බොක්සිං ක්‍රීඩාව පුහුණු වෙන්නට තීරණය කළා. ඒ අනුව ජෙනිෆර්ට බොක්සිං පුහුණු කරවන්නට පැමිණියේ ලියොන් ඇසුබික් නම් වූ ප්‍රවීණ පුහුණු කරුවායි. ඔහු යටතේ බොක්සිං ක්‍රීඩාව පුහුණු වෙද්දී ජෙනිෆර් තුළ පැවතුණු මානසික අර්බුදය ක්‍රමයෙන් පහව යන්නට පටන් ගත්තා. ලියොන් හුරු කළ බොක්සිං ප්‍රහාර ඇගේ සිත පැහැර ගත්තාය කිව්වොත් නිවැරැදියි.

ටික කාලයක් ගත වෙද්දී ලියොන් ‍ගේ ප්‍රබල බොක්සිං ප්‍රහාරයන් අතරට මල්සරා ගේ සොඳුරු උණුසුමත් ජෙනිෆර් ගේ සිතට වැදුණේ ඇයටත් හොරෙන්මයි. හොලිවුඩ් පුවත්වල දැන් සටහන් වන්නේ ජෙනිෆර් සහ ලියොන් පෙම්වතුන් බවට පත්වී ඇති බවයි.ජෙනිෆර්, කලක් සුපිරි නළු බ්‍රැඩ් පිට් සමඟ ද විවාහ වී සිටියාය.

 


වෙන් වුණත් ආදරෙයි

ඇකඩමි සම්මානයෙන් දෙවරක් ම පුද ලද බෙන් ඇෆ්ලෙක් ගැන මේ දිනවල බටහිර මාධ්‍ය වාර්තා කරන්නේ ‘බැට්ල් විත් ද බොට්ල්’ යන වාක්‍යයත් එක්කයි. එය බෙන් ඇෆ්ලෙක් රඟන අලුත් ම චිත්‍රපටයේ නම දැයි ඔබට සිතේවි. නැහැ. එය චිත්‍රපටයක් නොවෙයි. බෙන් ගේ සැබෑ ජීවිතයේ ශෝචනීය තත්වය වෙලාවට ම කියාපාන හැඳින්වීමක්.

සැබැවින් ම බෙන් පසුගිය දශක දෙකකටත් වැඩි කාලයක් තිස්සේ මත්පැන් බෝතලයත් සමඟ දැඩි ලෙස මිතුරු වී සිටියා. ඔහු ගේ මේ මත් ලෝලී බව ඔහුගේ ඥාතීන්ට, මිතුරන්ට පමණක් නොවෙයි. ඔහුගේ රසික පිරිසටත් ප්‍රශ්නයක් වුණා. 1998 දී ඔහු ප්‍රසිද්ධියේ පැවසුවේ මින් මතුවට ‍නම් මත් රකුසා සමඟ මිතුරු නොවන බවයි. නමුත් ඒ ‘අමනාපය’ පැවතුණේ ටික කලකටයි. නැවතත් ඔහු තිතට ම මත්වුණා. 2001 දී ඔහුට නේවාසිකව පුනරුත්ථාපන වැඩසටහනකට යොමුවන්නට සිදුවුණේ ඒ නිසයි. යළිත් 2017 දී එවැනි ම වැඩ පිළිවෙළකට ඔහු යොමුවුණා.

පසුගිය සතියේ හොලිවුඩ්පුර පුවත් පැවසුවේ බෙන්ගේ මත්පැන් ගිජුබව නිසා ඔහුගේ ජීවිතය විනාශ වෙමින් පවතින බවයි. මේ බව වටහා ගත්තේ ඔහුගෙන් 2005 දී ඈත් වූ බිරිය වන ජනප්‍රිය නිළි ජෙනිෆර් ගානර්. ඇය බෙන් ගේ නි‍ෙවසට පැමිණ ඔහු ළඟ හඬමින් කීවේ මත්පැනට ඇති ඇබ්බැහිය නතර කර දමන්නය කියලයි. බෙන් වෙතින් එයට ප්‍රතිචාරයක් නොලැබූ නිසා ජෙනිෆර් ඔහුව පුනරුත්ථාපන කඳවුරකට රැගෙන ගිය බවයි පැවසෙන්නේ.

සුජීව තේවහෙට්ටිගේ

අදහස්