Crazy Rich Asians ප්‍රේමය, හාස්‍ය මුසු වූ අමෙ­රි­කානු සිනමා වෘතා­න්තය | සිළුමිණ

Crazy Rich Asians ප්‍රේමය, හාස්‍ය මුසු වූ අමෙ­රි­කානු සිනමා වෘතා­න්තය

‘චීනයට නිදා ගැනීමට දෙන්න. ඇය අවදි වුවහොත් ලෝකයම සොලවනු ඇත.’ ක්‍රේසි රිච් ඒෂියන්ස් සිනමා පටය (Crazy Rich Asians) ඇරැඹෙන්නේ නැපෝලියන් බෝනපාට්ගේ මේ ප්‍රකාශයෙනි.

ඔහුගේ ප්‍රකාශය සැබෑවක් කරමින් ජොන් එච් එම්. චූ අධ්‍යක්ෂණය කළ ප්‍රේමය, හාස්‍ය මුසු වූ අමෙරිකානු සිනමා වෘතාන්තය තිරගත වී දින කිහිපයකින් නිෂ්පාදකයන්ට දෙවැන්නකට පදනම දැමීමට තරම් අතිසාර්ථක ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙමින් පවතී.

රේෂල් චූ නිව්යෝක් සරසවියේ ආර්ථික වද්‍යා මහාචාර්යවරියෙකි. ඇය එම සරසවියේම ඉතිහාසය පිළිබඳ මහාචාර්යවරයකු වූ නික් යන්ග් සමඟ සෙනෙහසින් බැදී සිටින්නීය. තම හොඳම යහළුවා කොලින්ගේ මංගල්‍යයට සහභාගීවන ලෙස නික්ගෛන් රේෂල්ට ආරාධනා ලැබෙයි. නික් කොලින්ගේ දෙවැනි මනාලයා වීමට නියමිතය. රේෂල්, නික් සමඟ ගමනට සහභාගී වන්නේ සතුටිනි. රේෂල් නම් ආසියානු අමෙරිකානු පෙම්වතියට මෙහිදී ආදරවන්තයාගේ පවුලේ අය ද මුණ ගැසෙන අතර ඔවුන් සිංගප්පූරුවේ මහා ධනවතුන් බව දැන ගැනීමට ලැබෙයි. එපමණක් නොව ඔහු රටේ තරුණියන්ගෙන් වැඩිම ඉල්ලුමක් ඇති තරුණයකු බවද දැන ගනියි.

විසිතුරු ඇඳුම්, සුන්දර පරිසරය, සුරූපී තරුවලින් සිනමා දසුන් ප්‍රේක්ෂකයන් සතුටින් දැහැන්ගත කරන්නේ මොහොතකට පමණි.

නික්ගේ පවුලේ තත්ත්වය දැනගත් පසු රේෂල් පත්වන පීඩාකාරී තත්ත්වය, නික්ගේ මවගෙන් එල්ලවන විරෝධතාව, ජේත්තුකාර සමාජයත් සමඟ තරගකාරී වීමට සිදුවීම සිතන්නට බොහෝ දෑ ඉතිරි කරන්නේ බහුතරයකගේ නෙතගට කඳුළක් එක් කරමිනි. එනම් මධ්‍යම පාන්තික ආර්ථික විද්‍යා මහාචාර්යවරිය සහ සිංගප්පූරුවේ උපත ලද මහාචාර්ය පෙම්වතාගේ කතාව අවසන් වන්නේ ලොව මිල අධිකම ගොඩනැගිල්ලක්වන සිංගප්පූරුවේ මැරීනා බේ සෑන්ඩ්ස් හෝටලයේ වහල උඩින් ඇදහැළෙන මල් වෙඩි වර්ෂාවක සොඳුරු දසුනක සරල මතකය පමණක් තිළිණ කරමින් නොවේ.

කෙවින් ක්වාන් 2013 දී එනමින්ම ලියූ ඉතා ඉහළ අලෙවියක් තිබෛන නවකතාව ඇසුරින් සිනමා පටය නිර්මාණය වී තිබේ. මේ සිනමා පටය කිහිප අයුරකින්ම සුවිශේෂිය. ‘ක්‍රේසි රිච් ඒෂියන්ස්’ සියලුම ප්‍රධාන චරිත ආසියානුවන් විසින් රඟන ලද ආසියානු - අමරිකානු හාස්‍යෝත්පාදක ආදර කතාවකි. මින් පෙර 1993 දී ද ජෝයි ක්ලබ්’ අමෙරිකානු වෘතාන්ත සිනමා පටයේ ද රඟපෑ බහුතරයක් ආසියාතිකයන් වූ අතර එය චීන අමෙරිකානු කාන්තාවන් සහ ඔවුන්ගේ චීන මවුවරුන් වටා ගෙතුණ කතාවක් විය. ආසියාතික රංගවේදන් බහුතරයක් යොදාගෙන කළ ප්‍රථම හොලිවුඩ් සිනමාපටය ලෙස ඉතිහාසගතවී ඇත්තේ 1961 තිරගතවූ ‘ෆ්ලවර් ඩ්‍රම් සෝන්ග්’ය. මේ සිනමාපට තුනම එනමින්ම ලියූ නවකතා තුන පදනම් කොට නිර්මාණය වීමද සුවිශේෂිය.

අගෝස්තු 23 වැනි දා සිට ලොවපුරා තිරගත වන ක්‍රේසි රිච් ඒෂියන්ස් ද කලින් තිරගත වූ සිනමාපට දෙක මෙන්ම බොක්ස් ඔෆිස් වාර්තා පිහිටුවමින් තිරගත වෙයි.

වෝනර් බ්‍රදර් පික්චර්ස් සමාගමේ බෙදා හැරීමක් වන මෙහි අධ්‍යක්ෂකවරයා ‘ස්ටෙප් අප් 2 ද ස්ටීට්ස්‘, ‘ ජස්ටින් බීබර් නෙවර් සේ නෙවර්‘ වැනි ප්‍රකට සිනමා පට අධ්‍යක්ෂණය කළ අමෙරිකානු සිනමා පට නිපදවන්නකු වූ ජොන් එම්.චූ ය. අයන් මෑන් 3, ඇවෙන්ජර්ස් ඒජ් ඔෆ් අල්ට්‍රෝන්, නව් යූ සී මී වැනි බොක්ස් ඔෆිස් වාර්තා පිහිටවූ සිනමා පට ගණනාවකට සංගීත නිර්මාණයෙන් දායක වූ බ්‍රයන් ටයිලර් මෙහිද සංගීත නිර්මාපකයා යි.

ඔහු සංගීත සැපයු සිනමා නිර්මාණ බිලියන ගණනින් ආදායම් වාර්තා පිහිටුවා ඇති නිසා අන්තර්ජාතික බොක්ස් ඔෆිස් වාර්තා පිහිටවු සිනමා සංගීත නිර්මාණකරුවන් දස දෙනා අතර බ්‍රයන්ද සිටියි.

රේෂල් චූ ලෙස රඟන කොන්ස්ටන් වූ 2017 වසරේ ලොවට වඩාත්ම බලපෑම් කළ පුද්ගලයන් සිය දෙනාගෙන් කෙනකු ලෙස ටයිම් සඟරාව මඟින් නම් කර තිබිණි. ඇය තායිවාන් අමෙරිකානු රංගන ශිල්පිනියකි. ඊස්ට් සයිඩර්ස් වෙබ් මාලාවෙන් සහ ෆ්‍රෙෂ් ඕෆ් ද බෝට් ඒබීසී නාළිකාවේ ප්‍රහසන නාට්‍ය මාලාවෙන් ඇය ජනප්‍රිය වි සිටියි. ධනවත් නික් යන්ග් ලෙස රඟන බ්‍රිතාන්‍ය මැලේසියානු නළු හෙන්රි ගෝල්ඩිං බීබීසී නාළිකාවේ ’ද ට්‍රැවල් ෂෝ ’ඉදිරිපත් කරන්නා ලෙස 2014

වන තුරුම සේවය කළේය. මේ ඔහුගේ තෙවැනි සිනමා පටයයි. ගෙමා චෑන්, ඔව්ක්වෆිනා, නිකෝ සැන්ටෝස්, අනු එක් හැවිරිදි ලීසා ලූ, කෙන් ජියෝං, මිෂෙල් යියෝ ඇතුළු රංඟවේදීන් රැසක් ‘ක්‍රේසි රිච් ඒෂියන්ස’ සිනමාපටයට දායක වී ඇත.

කෙවින්ගේ කෘතියේ ගෝ පවුලේ සුනඛයන් තිදෙනාගෙන් එකෙකුගේ නම ඩොනල්ඩ් ට්‍රම්ප් වූ අතර එය සිනමා පටයේ රොකීිෆෙලර් ලෙස වෙනස්කර තිබේ. කෙවින් සිංගප්පූරු - අමෙරිකානු නවකතාකරුවෙකි. ඔහුගේ නවකතා ත්‍රිත්වයේ පළමුවැන්න

‘ක්‍රේසී රිච් ඒෂියන්ස්’ මෙන්ම දෙවැන්නවූ ‘චයිනා රිච් ගර්ල්ෆ්‍රෙන්ඩ්’ ද ඉදිරියේදී ප්‍රේක්ෂකයන්ට සිනමා පටයක් ලෙසින් නැරඹීමට ලැබෙනු ඇත. කතුවරයා පළමු සිනමා පටයේ කෙටි ජවනිකාවක් ද රඟපායි.


Lashtam Pashtam ලෂ්තම් පෂ්තම්

සත්‍ය කතාවක් පදනම් කරගෙන ‘ලෂ්තම් පෂ්තම්‘ නිර්මාණය කර තිබේ. ඉන්දියානු හා පාකිස්තාන් නව යෞවනයන් මිතුරන් වන්නේ ඔවුන් ටෙනිස් පිරිමි යුගල තරගයේ සාමාජිකයින්වූ බැවිනි. එහෙත් ඉන්දියානු පාකිස්තානු පස මිතුරු දේශයන්හි සම්බාධක පැනවිම් ඔවුනගේ පිවිතුරු මිතුදමට අභියෝගයක් වේ. රටේ සතුරුකම් නිසා දුරස්වන ඔවුන් දෙදෙනා මුණ ගැස්සවීමට සියලු නීති රෙගුලාසි නොතකා ඉදිරිපත් වන්නේ පාකිස්තානු ටැක්සි රියැදුරෙකි. රියැදුරාගේ චරිතය රඟන්නේ මෑතකදී වියෝවූ ඕම් පූරි නම් ප්‍රවීණ නළුවායි. විශ්වීය සහෝදරත්වය කියාපාන ‘ලෂ්තම් පෂ්තම් ‘ ප්‍රවර්ධනයේදී ‘විශිෂ්ට නළු ඕම් පූරි ගේ අවසන් රංගනය යන්නද තේමා කර ගැනිණි.

මානම් බාලාගේ කුලුඳුල් අධ්‍යක්ෂණය වන මේ සිනමා නිර්මාණයේ ජාතික සම්මානලාභී ඩොලී අලුවාලියා, ටිස්කා චොප්රා, ප්‍රියන්සු චැටර්ජි, ඉෂිතා දත්තා සහ ෆෙරිනා වෂියර් රඟති.


Kolamaavu Kokila කෝල්මාවු කෝකිලා

කාන්තාවක් බොහෝවිට ජීවත්වන්නේ දුක් විඳින්නේ, කැපවෙන්නේ තමන් වෙනුවෙන් නොවේ. පවුලේ යහපත වෙනුවෙනි. ඒ සඳහා ඇය නොකළ යුතු දෙයද කරන්නීය. ඇයගේ දිරිය සිනමාවට තේමාවූ අවස්ථා බොහෝය. කෝල්මාවු කෝකිලා ඊට තවත් නිදසුනකි. දකුණු ඉන්දීය සුපිරි තාරකාවක වන නයනතාරා ප්‍රධාන භූමිකාව නිරූපණය කරන කෝලමාවු කෝකිලා දැන් කොකෝ කෝකිලා ලෙසින් තෙළිඟු බසින්ද තිරගත කෙරේ. මේ තිරයේ සුදු චරිත රඟන නයනතාරාගේ පළමු කළු චරිතයයි. මෙහි ඇය රඟන්නේ පිළිකා රෝගී මවගේ දිවි බේරා ගැනීමට මත් ජාවාරම් කල්ලියකට එකතු වන දිළිඳු තරුණියකගේ චරිතයයි.

නෙල්සන් දිලිප් අධ්‍යක්ෂණය කළ දකුණු ඉන්දියාවේ වඩාත් ජනප්‍රිය තනු නිර්මාණ ශිල්පියකු සහ ගායකයකු වන අනිරුද් රවිචන්ද්‍ර (වයි දිස් කොලවරි ඩි ගීතයේ තනුවද ඔහුගේය) සංගීතය සම්පාදනය කළ කෝලමාවු කෝකිලා ප්‍රේක්ෂක විචාරක පැසසුම් මැද සාර්ථකව තිරගත කෙරේ. යොග් බාබු, සාරන්‍යා පොන්වානන් සෙසු ප්‍රධාන චරිත රඟති.

 

අදහස්