BOLLYWOOD | සිළුමිණ

BOLLYWOOD

පැපරාසීන්ගෙන් බේරෙන්න විවාහය හවායි දූපත්වල

හින්දු චාරිත්‍ර වාරිත්‍ර වලට මුල් තැන දෙමින් ප්‍රියංකා චොප්රාගේත් නික් ජොනාස්ගේත් විවාහ ගිවිස ගැනීම සිදුවුණේ මුම්බායි නුවර පිහිටි ප්‍රියංකාගේ නිවසේදීයි. දැන් ප්‍රියංකාගේ රසික පිරිස පමණක් නොවෙයි, මුළු ලොවම බලා සිටින්නේ දෙදෙනාගේ විවාහ මංගල උත්සවය ගැන අලුත් ම තොරතුරු දැන ගන්නයි.

හොලිවුඩ් පුරවරයෙන් ලැබෙන නැවුම් පුවතකට අනුව විවාහ මංගල්‍යය පැවැත්වෙන්නේ හවායි දූපත්වලදී ලු. මෙවැනි තැනක විවාහ මංගල උත්සවය පැවැත්වීමට අදහස් කර ඇත්තේ පැපරාසි ඡායාරූපකරුවන්ගෙන් බේරී සිටීමට බවයි, මනාල යුවළ ගේ පාර්ශ්වයෙන් පැවසෙන්නේ.

ඒ විතරක් නොවෙයි, නික් ජොනාස් වඩාත් ම කැමැත්තක් දක්වන්නේ හවායි දූපත් වලට නිසාලු මේ උත්සවය එහි පැවැත්වීමට තීරණය කර ඇත්තේ. සමහර විට මේ මංගල්‍යය ‘බීච් වෙඩින්’ එකක් බවට පත්වීමට ඉඩ ඇතැයිද සමහර ආරංචි පවසනවා. ඒ වුණත් තවමත් මේ ගැන වැඩි විස්තර ප්‍රසිද්ධ වෙලා නැහැ.

මේ අතර, ප්‍රියංකා ගේ මව, මධු චොප්රා මහත්මිය පැවසුවේ විවාහ මංගල උත්සවය පැවැත්වෙන දිනය ගැන තවමත් තීරණයක් ගෙන නැති බවයි. ඇය, නික් ජොනාස් ගැන කතා කළේ දැඩි ප්‍රසාදයකින්. “නික් හරිම තැන්පත්, බුද්ධිමත් දරුවෙක්. එයා වැඩිහිටියන්ට ගරු කරන්න දන්නවා. ඉතින්, අම්මා කෙනකුට ඊට වඩා දෙයක් මොකටද?”


බ්‍රෝකර් ගාස්තුව ගෙවා නැතිලු

බ්‍රෝකර්වරයකු පසුගියදා ඉන්දියාවේ ඛාර් පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. ප්‍රකාශ් ජී. රොහිරා නම් වූ ඔහු මේ ලෙස පැමිණිලි කළේ ජනප්‍රිය නිළි කන්ගනා රනවුත්ට එරෙහිවය. ප්‍රකාශ් එහි සඳහන් කළේ කන්ගනා විසින් මිලදී ගන්නා ලද පාලි හිල් ප්‍රදේශයේ පිහිටි බංගලාව වෙනුවෙන් තමන්ට අයවිය යුතු බ්‍රෝකර් ගාස්තුව ගෙවා නොමැති බවයි.

කන්ගනා මේ බංගලාව මිලට ගෙන ඇත්තේ පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී, රුපියල් කෝටි 20.07 කටයි. එම ගනුදෙනුව වෙනුවෙන් කටයුතු කළ තමන්ට හිමිවිය යුතු රුපියල් කෝටි 1.03 ක මුදල කන්ගනා ගෙන් මෙතෙක් තමන්ට ලැබී නැතැයි ප්‍රකාශ් පවසනවා.

“මේ ගනුදෙනුවට කලින් එකඟවුණු විදිහට බ්‍රෝකර් ගාස්තුව විදිහට අපි ගෙවන්න පොරොන්දු වුණේ සියයට එකක්. දැන් මේ මනුස්සයා සියයට දෙකක් ඉල්ලනවා. එයාට ගෙවන්න තිබුණු ලක්ෂ 22 ක විතර මුදලක් අපි බැංකුවට ගෙව්වා. මේ ගනුදෙනුවට අදාළ ලිපිගොනු මා ගාව තියෙනවා.” කන්ගනා පුවත්පතකට ප්‍රකාශයක් කරමින් එලෙස පැවසුවා. බොලිවුඩ් සිනමාවේ ජනප්‍රිය නළු නිළියන් වන රවීනා තැන්ඩන්, සන්ජේ දත්, කරීනා කපූර්, කට්රිනා කයිෆ්, අමීර් ඛාන් ඇතුළු කලාකරුවන් රැසක් ම පදිංචි වී සිටින්නේ ‍පාලිහිල් ප්‍රදේශයේයි.

අදහස්