ෆේස් බුක්, යූ ටියුබ් හරහා කෙටි කල­කින් ජන­-ප්‍රිය වුණු රංග ජය­කොඩි සහ චමල් රත්නා­යක | සිළුමිණ

ෆේස් බුක්, යූ ටියුබ් හරහා කෙටි කල­කින් ජන­-ප්‍රිය වුණු රංග ජය­කොඩි සහ චමල් රත්නා­යක

ඇත්තටම මේ දෙන්නාගේ වීඩියෝ බලලා තිබුණට මේ දෙන්නගේ පෞද්ගලික විස්තර, කොහොමද මෙවැනි දේ කරන්න සම්බන්ධ වුණේ කියල දැනගන්න ඔබ කැමැති ඇති. ඒ නිසා අපි ජනයි-ප්‍රියයි හොයාගෙන ගියා. ඔවුන් එක්ක කළ කතාබහත් එක්තරා පැත්තකින් ප්‍රහසන වැඩසටහනක් වුණා. මොකද ‘ජනා‘ එකක් කියන කොට ‘ප්‍රියා‘ ඊට මැදින් තවත් කෑල්ලක් දානවා. කතාබහට ගිය කාලය නම් දැනුණෙවත් නැහැ. ඒ තරම් ඒ කතාබහ පවා හරිම රසවත්.

‘‘මම රංග ජයකොඩි. ගම පාදුක්කේ. මුලින්ම පාසල් ගියේ නුගේගොඩ හයිලන්ඩ් කොලේජ් එකට. ඊට පස්සේ ඉසිපතනයට ගියා. රංග කියනවට වඩා දැන් හැමෝම දන්නේ ‘ජනයි‘ කිව්වම තමයි.‘‘ ජනා එහෙම කියනකොට ප්‍රියා මැදට පැන්නා.

‘‘එතකොට මාවනම් දන්නේ ප්‍රියා කිව්වම. ඒ වුණාට මගේ නම චමල් රත්නායක. ගම මාතර. මුලින්ම පාසල් ගියේ තෙලිජ්ජවිල මධ්‍ය මහා විද්‍යාලයට. උසස් පෙළ හදාරන්න ගියේ මාතර සාන්ත තෝමස් කුමර විදුහලට.‘‘

කිලෝමීටර් සිය ගණනක් දුර හිටපු මේ දෙන්නා කොහොමද යාහළුවන් වුණේ. ගහට ගහක් මොරටුවේදී හමුවෙනවා කියනව වගේ එක වගේ හැකියාවන් තියෙන දෙන්නෙක් කොළඹදි හමුවුණා. ඒකත් රසවත් කතාවක්.

‘‘මම ස්වාධීන රූපවාහිනියේ සංස්කාරකවරයෙක් විදියට වැඩ කළා. ඒ අතර කලා කටයුතුවලත් නිරත වුණා. ‘‘

ජනා එහෙම කියල නතර කරන කොටම ප්‍රියා කතා කළා.

‘‘මමත් ස්වාධීන රූපවාහිනියෙම සහාය අධ්‍යක්ෂකවරයෙක් ලෙසයි වැඩ කළේ. එතැනදි තමයි අපි දෙන්නගේ මුල්ම හමුවීම වගේම හඳුනාගැනීමත් ඇති වෙන්නේ.‘‘

ටික කාලයක් යද්දි මේ විදියට හඳුනගත්ත දෙන්නා පසු කාලයේ වෙළෙඳ ප්‍රචාරක ආයතනයකට සම්බන්ධ වෙලා වැඩ කරගෙන ගිහින් තිබෙනවා.

ඒ කියන්නේ මේ දෙන්නා පාසල් කාලයේදීත් කලා කටයුතුවල නිරත වෙලා ඇති. නැත්නම් කොහොමද මේ විදියට රඟපාන්නේ. මම ජනාගේ මුහුණ දිහා බැලුවා.

‘‘මම පාසලේ තිබුණු වේදිකා නාට්‍යවල රඟපෑවා. විවිධ කලා කටයුතුවල නිරත වුණා.‘‘

‘‘අපෝ ඒකේ අනිත් පැත්ත මම ප්‍රසිද්ධියේ කිසිම කිසිම තැනක රඟපාල නම් නැහැ. ඒත් මම යාළුවන්ට මොකක් හරි කතාවක් කියන්න යද්දි ඒකේ තිබෙන හැම චරිතයක්ම රඟපාල තමයි කියන්නේ. ඒ නිසා යාළුවෝ සමහර කතා අහන්න ඕන වුණාම මම එනකල් ඉන්නවා. මාත් ඉතින් රසකර කර කර දෙනවා.

අපි නිකම් ඉන්න වෙලාවට හදපු ප්‍රහසන වීඩියෝ ටිකක් ලැප් එකේ තිබුණා. මේක දැකපු අපි වැඩ කළ ආයතනයෙන් ගිවිසුමකට එළඹුණා ඒ ආයතනයේ නමින් වැඩසටහනක් කරගෙන යන්න. ඒත් ඒ වැඩේ කෙරුණේ නැහැ. එහිදී අපි පාව්ච්චි කළේ ජනප්‍රියයි - ජනකාන්තයි කියන නම් දෙක. ඒත් ඒ වැඩේ කෙරෙන්නේ නැති නිසා අපි දෙන්නා කතාවුණා

‘ජනයි - ප්‍රියයි‘ කියන නම් දෙකෙන් වැඩේ කරමු කියලා. ටික දවසක් යන කොට ‘ ජනයි - ප්‍රියයි ‘ විදිහට කළ අපූරු ප්‍රහසන වීඩියෝවලින් සමාජ ජාල වෙබ් අඩවි කලඹන්න ගත්තා. ඒ නිසා ෆෙස්බුක්, යූ ටියුබ් යන අය ජනයි-ප්‍රියයි කියන නම් දෙක උඩ කිලික් කරන්න ගත්තා. විනාඩි ගණනයි යන්නේ. ඒ විනාඩි තුන හතරම හිනාවම විතරයි. දවසින් දවස මේ වීඩියෝ බලන පිරිස වැඩි වෙන්න ගත්තා.

අපි හිතුවට වඩා කට්ටිය බලන්න ගත්තා. වයස් භේදයකින් තොරව ගැහැනු පිරිමි හැමෝම බලන්න ගත්තා. මොකද මේක බලෙන් පෙන්වන්න බැහැ. බලන කෙනා තමන්ගේ ඩේටා කපාගෙන තමයි මෙය බලන්නේ. එය බලපු අයගෙන් දවසෙන් දවස හොඳ නරක දෙකම ආවා. ඒක අපිට ලොකු හයියක් වුණා‘‘

ජනා කියාගෙන යන ගමන් “එහෙම නේද?,, කියලා ප්‍රියාගෙන් ඇහුවා.

‘‘ඔව්, ඔව් අතේ ඇඟිලි ගාණටත් අඩු පිරිසයි අපිව විවේචනය කළේ. ඒකෙන් අපි තේරුම් ගත්තා වැඩේ නැගලා යනවා කියලා.‘‘

යම් පුද්ගලයෙක් අඬවන්න ලේසියි. එත් හිනස්වන්න ලේසි නැහැ. ජනයි - ප්‍රියයිගේ වීඩියෝ එකිනෙකට වෙනස්. ඒ වගේම ඒ හැම එකම ප්‍රහසනය අපූරුවට ගැබ්වෙලා තිබෙනවා.

‘‘අපි කවදාවත් යටි අරුත්, තේරුම් ඒ කියන්නේ ‘ඩබල් මීනින්‘ තියෙන කිසි දෙයක් කියන්නේ නැහැ. මොකද අපේ වීඩියෝ පොඩි දරුවෝ පවා නරඹනවා. ඒ නිසා මමයි ප්‍රියයි හරියට පරිස්සම් වෙලා තමයි මේ කරන්නේ.,, “ජනා කිව්ව වගේ අපි එහෙම දේවල් කියන අයට චෝදනා කරනව නෙවෙයි. එවැනි කලාවන් අපේ රටේ විතරක් නෙවෙයි බොහෝ රටවල්වල තිබෙනවා. නමුත් අපි ප්‍රතිපත්තියක් විදියට ඒ වගේ දේවල් නොකියන්න වගබලා ගන්නවා.,,

යාන්ස් එහෙම නැත්නම් ප්‍රහසන කතා අහන්න හැමෝම ආසයි. මේ වෙනකොට ඔවුන්ගේ වීඩියෝ නරඹපු රසිකයන් පවා විවිධ තේමා යටතේ කතා ඔවුන්ට ගෙනත් දෙන්න පුරුදු වෙලා.

‘‘පොඩි මල්ලී, චූටි මල්ලී තමයි මෙවැනි දේ හඳුන්වල දුන්නේ. ඇත්තම කියනව නම් ඒ දෙන්නා අපිට ගොඩක් උදව් කරනවා. අහන ඕනිම දෙයක් පැක­ිළීමකින් තොරව කියා දෙනවා.,,

ඒ කියන්නේ ජනයි-ප්‍රියයි කියන්නේ අනුකරණයේ නියැළෙන දෙන්නෙක්ද පුංචි ප්‍රශ්නයක් හිතට ආවා. මම හිතන්නේ ජනාට ඒ දේ තේරුණා කියලා.

‘‘අපි ඒ දෙන්නා ඒ අය අනුකරණය කරන්නේ නැහැ. අනුගමනය කිරීමයි කරන්නේ. අපි අනුකරණය කළා නම් ඒ දෙන්නා මේ විදියට උදව් කරන එකක් නම් නැහැ.‘‘

රංගන ශිල්පියකු හෝ ශිල්පිනියක යම් ස්ථානයකට ආවම එහි ඉන්න පිරිස ඔවුන් ගිය පසු අර අහවලා ඇවිත් ගියානේ යැයි කතා වුණාද ජනයි-ප්‍රියයි යම් තැනකට ආවම හැමෝම මේ විහිළු කතා කියන දෙන්න නේ කියලා ළගට ඇවිත් කතා කරනවා. ෆොටෝ ගහනවා. දැන් දෙන්නා ඒ තරමට ජනප්‍රියයි.

‘‘අපි මෙතෙන්ට ආවේ රසිකයෝ නිසා. ටෙලි නාට්‍ය, චිත්‍රපට නම් ගෙවල්වල කවුරු හෝ බලන නිසා එතන ඉන්න අනිත් අයත් බලනවා. ඒත් ඩේටා කපාගෙන අකැමැති දෙයක් බලෙන් බලන්නේ නැහැ. අපේ දේවල් බලන්නේ පොඩි හරි කැමැත්තක් තිබෙන නිසා. සමහර ගෙවල්වලින් අපිට කෝල් කළාම ඒ ගෙදර ඉන්න අම්මා තාත්තා දරුවෝ හැමෝම කතා කරනවා.‘‘

මේ වගේ දෙන්නෙකුට අමතක නොවන සිදුවීම් නම් ගොඩක් ඇති. එහෙම ඇහුවම දෙන්නටම හිනා ගියා.

‘‘අපි මේ තැනට ඇවිත් ඉන්නේ රසිකයෝ අපේ මේ දේවල් නරඹන නිසා. අපි පාරට බැස්සම කවුරුහරි හිනා වුණාම අපි දිගින් දිගට හිනා වෙනවා. මොකද අපි හිතන්නේ ඒ අය අපේ වීඩීයෝ බලපු, අපි අඳුරන අය කියලා. බලන් යද්දි නැහැ නිකම් හිනාවෙලා තියෙන්නේ. අපි තමයි රැවටිලා තිබෙන්නේ. ඒ වගේ සිදුවීම් නම් අනන්තවත් තියෙනවා.‘‘

සමාජ ජාල වෙබ් අඩවිවලින් ජනප්‍රිය වෙලා විදෙස් සංචාරයක් ගිය පළමු දෙන්න බවට පත් වෙන්නෙත් ජනයි-ප්‍රියයි.

‘‘අපි දෙන්නට ජපන් යන්න අවස්ථාවක් ලැබුණා. ඒ රටවල ඉන්න ප්‍රේක්ෂකයෝ අතරත් ඉහළ ජනප්‍රියත්වයක් අපිට තිබෙනවා දැක්කම පුදුම සතුටක් තමයි දැනුණේ. ගුවන් යානයේ යද්දි එහි කාර්ය මණ්ඩලය පවා අපිව හඳුනගෙන කතා කළා. ෆොටෝ ගැහුවා. මේ දේ පටන් ගන්න කොට කවදාවත් හිතුවේ නැහැ මේ තරම් ජනප්‍රිය වේවි කියලා.‘‘

මේතරම ජනප්‍රිය ජනයි ප්‍රියයි දෙන්නගේ පෞද්ගලික තොරතුරු දැනගන්නත් රසිකයින් කැමැති වේවි.

ජනා විවාහකයි. විහත් නෙත්මික, යුගත් දෙව්මිණ නමින් දියණියක් සහ පුතකු සිටිනවා. දැනට පන්නිපිටියේ පදිංචි ජනාගේ බිරිය ජයණි රූපලාවනණ්‍ය ශිල්පිනියකි.

“මම නම් බැඳලා නැහැ. ඒ වගේම දැන්නම් ප්‍රේම සම්බන්ධයක්වත් නැහැ. ‘‘

ප්‍රියා එහෙම කියලා හිනා වුණා.

‘‘ඉදිරියටත් විවිධ වැඩසටහන් රැසක් කරන්න සැලසුම් කරගෙන යනවා. හැම වෙලේම හොඳ දෙයක් රසිකයන්ට දෙන්න තමයි අපි දෙන්නගේම අරමුණ. ඒ වගේම මේ තරම් දුර එන්න සහයෝගය දුන්න රසික රසිකාවියන් ඇතුළු සියලු දෙනාට ස්තූතිය පුදකර සිටිනවා.,, ඒ ජනයි - ප්‍රියයි සංවාදය අවසන් කරමින් කිව්ව වචන ටික. 

අදහස්