සීතා­වක රාජ­මා­ලි­ගය මත ලන්දේසීන් තැනූ බල­කො­ටුව | සිළුමිණ

සීතා­වක රාජ­මා­ලි­ගය මත ලන්දේසීන් තැනූ බල­කො­ටුව

අප පසුගිය සතියේ තොරතුරු ගෙන ආවේ සීතාවක රජ සමයේ ඉදිකළ බැරැණ්ඩි කෝවිල පිළිබඳවයි. 15 වැනි සියවසේ මෙරට සමෘද්ධිමත්ව වැජඹුණු රාජ්‍යයක් ලෙස ආඩම්බරයෙන් කතා කළ හැකි මෙම සීතාවක රාජ්‍යය පැවැති අවිස්සාවේල්ල ප්‍රදේශයේ සංචාරය කිරිමේදී පාසල් දරුවන් පමණක් නොව වැඩිහිටි අපද දැකගත යුතුම ස්ථාන කිහිපයක් වෙයි.

15 වැනි සියවසේ ශ්‍රී ලංකාවේ සමෘද්ධිමත්ව වැජඹුණු රාජධානියක් වූ කෝට්ටේ රාජධානියේ රජු ශ්‍රී ලංකාව එක්සේසත් කිරීමට සමත්වූ අවසන් දේශීය රජුවිය. කෝට්ටේ රාජධානියේ පිරිහීම වේගවත් වන්නේ හයවැනි සිරි පැරකුම්බා රජුගේ අභාවයත් සමගිනි.

විජයබාහු රජු රජකමට පත්වීමත් සමග තම මුල් දරුවන් සිටියදී කීරවැල්ලේ බිසවගේ සහෝදරයකු ලෙස සැලකෙන දේව රාජසිංහ කුමාරයාහට රජකම ලබා දෙන්නට කටයුතු කිරීම තත්වය පුපුරවා හරින්නට සමත්විය.

අවසානයේ විජයබා රජුගේ මරණයත් සමග වැඩිමහලු බුවනෙකබාහු කුමරු කෝට්ටේ රජකමටද, රාජසිංහ කුමරුට රයිගම් ප්‍රදේශයද, මායාදුන්නේ කුමරුට සීතාවක ප්‍රදේශයද බාර විය. පසුව රයිගම් පාලකයාද මිය ගිය හෙයින් එම ප්‍රදේශයද මාය දුන්නේ කුමරුට බාරව තිබේ.

පෘතුගීසීන්ට හිතැති පාලනයකට ඉතිරිව සිටි බුවනෙකබාහු රජුද වැඩි කැමැත්තක් දැක්වුව මුත් මායාදුන්නේ රජු එයට එතරම් එකග නොවීය. අනෙක් අතට ධර්මපාල නම් බුවනෙකබාහු රජුගේ දියණියකගේ පුත්‍රයකුට තම රාජ්‍ය හිමිකර දෙන්නට කටයුතු කිරීමද මායාදුන්නේ කුමරුගේ සිත් පාරවන කාරණාවක් විය.

1530දී පමණ සීතාවක උපරාජ්‍යය බිහිවී ඇත්තේ මෙම තත්වයන්ගේ ප්‍රතිඵලයක් ලෙසටය. මෙම තත්ත්වය වරක් මායාදුන්නේ කුමරුගේ අධික බල තණ්හාව ලෙසට විග්‍රහ වන විට තවත් අතකින් මෙම පසුබිම යටතේ සිංහල ජාතියක් ගැන සිතන්නට ඉතිරිව සිටියේද මායාදුන්නේ කුමරුන් පමණක් බවට විග්‍රහ වේ.

මායාදුන්නේ රජතුමා (ක්‍රි.ව. 1521-1581) හයවැනි විජයබාහු රජතුමාගේ හා කීරවැල්ලේ මහබිසෝ බණ්ඩාර දේවියගේ බාල පුතාය. කුඩා කල සිටම යුද දක්ෂයකු හා උපායශීලී නායකයකු වූ මෙතුමා ක්‍රි.ව. 1521 දී සීතාවක රාජධානිය පිහිටුවා ගත්තේය.

බෝතලගේ සුමනා දේවිය අග බිසව (අනුලා කහතුඩුව) විය. මහරජ්ජුරු බණ්ඩාර තිඹිරිපොළේ බණ්ඩාර, කස්තාන බණ්ඩාර, ටිකිටි බණ්ඩාර යන කුමාරවරුන්ගේද මහ ටිකිරිබිසෝ බණ්ඩාර හා කුඩා ටිකිරි බණ්ඩාර යන කුමාරියන්ගේ පියතුමාය. ක්‍රි ව 1536දී රයිගම රාජධානියද උරුම වූ අතර පෘතුගීසීන් කෝට්ටේ පාලකයා රවටා ගෙන තම මවු බිම ගොදුරු කර ගන්නා බව තේරුම් ගෙන කෝට්ටේ රජුට හා පෘතුගීසීන් ට එරෙහිව යුද වැදුණේය.

 කෝට්ටේ රණශූරයා වූ වීදියේ බණ්ඩාර, ටිකිරි කුමරුගේ හමුදාව යොදා පලවා හැරී මායාදුන්නේ රජතුමා ක්‍රි.ව. 1567 දී කෝට්ටේ රාජධානිය අත්පත් කර ගත්තේය. මුල්ලේරියා වෙල්යායේ පෘතුගීසීන්ට එරෙහි යුද ගැ‍ටුම් ‍රැසකට නායකත්වය දුන් මෙතුමා අසූ වයස් පැමිණි පසු තම පුත් අසහාය රණශූර ටිකිරි බණ්ඩාර කුමරු රාජසිංහ නමින් රජ බවට පත්කළේය. ක්‍රි ව. 1581දී මෙම අසහය නායකයා මෙලොවින් සමුගත්තේය.

සීතාවක මායාදුන්නේ රජතුමාගේ නියෝගය මත ‘ආර්ය‘ නම් ඇමැති රජ මාලිගාව, රාජ සභාව, පරිවාර මාලිගා, මංමාවත්, මල් උයන් ආදියෙන් පිරි සුන්දර නගරයක් බවට සීතාවක නුවර පත්කළේය.

එතැන් සිට මායාදුන්නේ රජතුමා සහ එතුමාගේ පුත් සීතාවක 1 රාජසිංහ රජතුමා රට විනාශ කිරීමට පැමිණි පෘතුගීසින් හා ඔවුන්ට පක්ෂපාති කෝට්ටේ හා උඩරට පාලකයන් පලවාහරිමින් 1592 වනවිට කොළඹ කොටුව සහ යාපනයේ සුළු ප්‍රමාණයක් බිම් තීරුවක් හැර සෙසු පළාත් සීතාවක රාජධානියට අයත්කර ගත්තේය.

ටිකිරි බණ්ඩාර, රජ්ජුරු බණ්ඩාර නමින් ප්‍රසිද්ධ වූ සීතාවක රාජසිංහ රජු උපත ලබා ඇත්තේ 1532 ඇසළ මාසයේදීය. වයස අවුරුදු අටේදී පියාගේ නියෝජිතයා ලෙස කොළඹ යුද කඳවුරට ගොස් ඇති අතර පියාගේ යුද හමුදාවට එකතු වී ඇත්තේ වයස අවුරුදු එකොළහේදී ය. ඇතුන්, අසුන් මෙහෙයවීමට මෙන්ම යුද සටන් ක්‍රමවලට අති දක්ෂයකු වූ ටිකිරි කුමරා දක්ෂ වෙඩික්කරුවෙක් ද විය.

අත් දෙකෙන් කඩු දෙකක් රැගෙන කරකවමින් දිවයන අසුගේ පිට සිට තවත් අසකුගේ පිටට පැනීමට තරම් දක්ෂයෙකි. සෙබළුන් පනස්දාහක්, යුද ඇතුන් දෙදාස් දෙසීයක්, කාලතුවක්කු එකසිය පනහක්, පාරු හාරසීයක්, යුදරථ, යුද නැව්වලින් සමන්විත ප්‍රබල යුද සේනාවක් ඔහු සතුව තිබී ඇත.

මෙම ප්‍රබල සීතාවක රාජධානියේ අගනුවර පිහිටා තිබී ඇත්තේ වර්තමාන අවිස්සාවේල්ල නගරය ඇති ප්‍රදේශයේය. වර්තමානයේ දැකිය හැකි නටබුන් අතර සීතාවක රාජමාලිගය තිබූ ස්ථානය විශේෂ තැනක් ගනී.

සීතාවක රාජධානියේ ප්‍රධාන ස්මාරකය ලෙස දැක්විය හැක්කේ සීතාවක කොටුවයි. අවිස්සාවේල්ලේ සිට කි.මී. 2 ක් දුරින් තල්දූවෙන් හැරී යන පනාවල පාරෙහි බණ්ඩාරවත්ත ප්‍රදේශයේ මෙය පිහිටා තිබේ. වර්තමානයේ මාලිගාවත්ත ලෙසද හැඳින්වේ.

බටහිරින් හා නැගෙනහිරින් සීතාවක නදියටද නිරිත දිගින් ගැටහැති ඔයටද මායිම් වූ මෙහි උතුරින් කුඩා කඳුගැටයක් තිබෙයි. ඊසාන දෙසින් තැඹිලියාන කන්දයි.

තරමක උස් බිම් කඩක පිහිටා ඇති මෙම කොටුව ඕලන්ද බලකොටුවක් ලෙසින් ප්‍රසිද්ධව තිබුණු නමුත් එහි කරන ලද පුරාවිද්‍යා කැණීම්වලදී පැරැණි සීතාවක රාජ මාලිගය පිහිටි භූමියේ බලකොටුව ඉදිකර ඇති බව හෙළි කර ගැනිණි.

සබරගමු පුරාවිද්‍යා කාර්යාලය මගින් මෙහි කැණීම් කර ඇති අතර, රාජ සභා ශාලාව, සළු මණ්ඩපය, සක්මන් මණ්ඩපය, උළුපැන් ගෙය, ආයුධ මඩු, බිසෝ මාලිගය, ඇත් හල හා අස් හල, ගබඩා ගෙවල් හා මුරුතැන් ගෙවල් තිබූ බව හෙළිකර ගෙන ඇත.

කෝට්ටේ යුගයේ ප්‍රධාන කවියා ලෙස සැලකෙන අලගිවන්න කවියා රචනා කර ඇති සැවුල් සංදේශය කෘතියට අනුව බිමට ගල් පුවරු අල්ලා කැටයම් කළ කුලුනු සහිතව තිබූ බවත්, රන්කොත් පැලඳවූ රාජමාලිගය දෙව්පුරයක් සේ අලංකාර වූ බවට වර්ණනා වේ.

පසුකාලයේ ලන්දේසීන් විසින් උඩරට අල්ලා ගන්නට බලකොටු කිහිපයක් ඉදිකර ඇති අතර උඩරට මාර්ගයේ සීතාවක ඊට උචිත නිසා1675 දී සීතාවක මාලිගා බිමේම නව බලකොටුවක් ඉදිකර ඇත. එය සතර දෙසින් මුර අට්ටාල (බැස්ටියන්) සහිතව ගොඩනගා ඇති අතර ඒ සඳහා මාලිගාවේ කළුගල්, ගල්කණු හා කබොක් ගල් යොදාගෙන ඇති බව සොයාගෙන ඇත.

මෙම පුරාවිද්‍යා කැණීම් 2012 අගෝස්තු මාසයේ ආරම්භ කර ඇති අතර එම කැණීම් වලින් ලන්දේසින් විනාශ කළ රජමාලිගයේ නටබුන් හමුවූ බව සබරගමු පළාත් පුරාවිද්‍යා සහකාර කොමසාරිස් එච්. පී. කේ. මදුරප්පෙරුම මහතා පවසයි.

මෙම සංචාරය සඳහා කොළඹ සිට අවිස්සාවේල්ල දක්වා ගමන් කරන විට සිසිල් බීම වීදුරුවකින්, තේ කෝප්පයකින් විඩාව නිවා ගන්නට හෝ ප්‍රණීත ආහාර වේලකින් කුස පුරවා ගන්නට අපූරු තැනක් කොස්ගම නගරයේ හමුවේ.

Lavenro Garden Hotel නම් මෙම හෝටලය ඇති සුවිශේෂී බව වන්නේ තරු පන්තියේ හෝටලයක ඇති සියලුම පහසුකම් වලින් සමන්විතවීමයි. එසේ වුවත් මෙහි සාමාන්‍ය අයකුට වුවත් සාධාරණ මිල ගණන් යටතේ ආහාර ගත හැකි එළිමහනේ Restorant එක සහ Cafeteriya එක ඉදිකර තිබේ.

සුඛිත පරණයාපා මහතා මෙම හෝටලයේ සභාපතිධූරය දරන අතර මේධා පරණයාපා මහත්මිය අධ්‍යක්ෂ ධූරය දරයි. හෝටලයේ ඇති අනෙකුත් විශේෂත්ව ගැන විස්තර කළේ එහි මෙහෙයුම් කළමනාකරු අනුර ජානක වීරසේකර මහතායි.

‘‘මෙම Lavenro Garden හෝටලය මේ වසරේ මාර්තු මාසයේ පළමුවැනිදා විවෘත කළේ. මෙහි යන එන ගමන් කෙනෙකුට පවුලේ අය එක්ක ඇවිත් ආහාර අරගෙන යන්න පහසුකම් තිබෙනවා. ඊට අමතරව කෙනකුට නවාතැන් ගන්න වෙනම ඉදිකළ කාමර පහසුකම් තිබෙනවා. විශේෂයෙන් කියන්න ඕන මංගල උත්සව ඇතුළු කෙනකුට අවශ්‍ය ඕනෑම ආකාරයේ උත්සවයක් ගන්න මෙහි පහසුකම් ඇති අතර ඒ සඳහා 1500 ක් 650 ක් සහ 350 ක් උත්සව ශාලා තුනක් තිබෙනවා.

මෙහි කොළඹින් පිට තිබෙන උසම ශාලාව තිබෙනවා. එය අඩි 21 ක් උසයි. ලෝකයේ ඕනෑම කෑම වර්ගයක් ඇණවුම් කළ හැකි අතර විශේෂයෙන් දේශිය ආහාර වර්ගවලට අපි විශේෂ තැනක් දෙනවා. එළිමහන් සංදර්ශන, උත්සව ආදිය සඳහා යොදාගත හැකි විශාල ක්‍රීඩා පිටියක් මෙන්ම ඉතාමත් අලංකාර පිහිනුම් තටාකයකින් මෙය සමන්විතයි. ඊට අමතරව කුඩා දරුවන් සඳහා විශේෂයෙන් සකස් කළ playing Area එකත් මෙතැනට එන අයගේ ප්‍රියතම තැනක්. ‘‘

විශේෂ ස්තූතිය- සීතාවක පුරාවිද්‍යා කාර්යාලයේ ජයන්තා රාජපක්ෂ මහත්මිය ඇතුළු කාර්ය මණ්ඩලයට සහ විශ්‍රාමික විදුහල්පති ඩබ්ලිව්. චන්ද්‍රසේන මහතාට.

ලබන සතියේ රාජසිංහ රජුට මරු කැඳවූ පෙතන්ගොඩ උයන සහ රාජසිංහ සොහොනට යමු. 

 
 
 

Comments