සාර්ථක වූ පවුල් ජීවි­ත­යක සුන්දර බව කියන ගීත­යක් | සිළුමිණ

සාර්ථක වූ පවුල් ජීවි­ත­යක සුන්දර බව කියන ගීත­යක්

වැව් දිය රැලි සේ මතු වන ආද­රයේ
මහි­මය දුටුවේ ඔබ­ගෙනි ආද­රියේ
සසරේ පිය මැන දව­සක හිමි­දි­රියේ
නිවන් දකිමු හිමි පාමුල සඳ එළියේ...
දුක සැප ඉව­ස­ගෙන ආ මඟ මල් වැස්සේ
කඳු­ළක් දුටු විටදි නෙත කඳු­ළැලි පිස්සේ
ළෙන්ගතු කතා බහ අතරේ හිත රැක්කේ
සසරේ පුරුදු සෙනෙ­හස ඔබ­ගෙනි දැක්කේ...
භව­යෙන් භවේ දූදරු­වන් හදා­ගෙන
තුරින් තුරේ රස පල­වැල බෙදා­ගෙන‍
හෙමින් සැරේ නිව­නට මඟ හදා­ගෙන
යමු අපි ඉතින් හද­වත ගිනි නිවා­ගෙන....

ගාය­නය- ධම්මිනි ප්‍රේම­චන්ද්‍ර ෆොන්සේකා
පද රච­නය- රඹු­කන සිද්ධාර්ථ හිමි
සංගී­තය- විශා­රද චන්ද්‍ර­දාස බෝගොඩ

අපූරු ගී නිර්මාණයකට හද සනසන්නට මෙන්ම හද කම්පාවට පත් කරන්නට හැකිය. එවන් වූ ගී නිර්මාණ සොයමින් යන ගමනේදී අපට බොහෝ සුභාවිත ගීත හමුවිණි. ඇතැම් ගී නිර්මාණ ප්‍රවිණයන්ගේය. ඇතැම් ගී නිර්මාණ ආධුනිකයන්ගේය. නිර්මාණකරුවා කවුරුන් හෝ වේවා එකී නිර්මාණය ගීත කලාවට යම් මෙහෙවරක් ඉටුකරන්නේ නම්, රසික සිත්සතන් පෝෂණය කරන්නේ නම් ඒ නිර්මාණයට සුදුසු තැන දීමට ‘ගීයක අරුම, විශේෂාංගයේ ප්‍රධාන අරමුණ විය. කෙසේ වුවත් දැන් දැන් පාඨකයන් මෙන්ම නිර්මාණකරුවන්ද එවන් නිර්මාණ පිළිබඳ අප දැනුවත් කිරීම සැබැවින්ම සතුටට කරුණකි.

අද ගීයක අරුම තුළින් අප ඔබට ගෙන එන්නේ එවන් වූ සුවිශේෂී නිර්මාණයකි. .

ආදරයෙන් බැඳුණු දෙදෙනෙකු එක වහලක් යටට වූ පසු ඔවුන් ගෙන යන ජීවිතය මහා පුදුමාකාරය. විටෙක එය බාධක මැද්දෙන් ගලා බසින දිය ඇල්ලක් සේය. විවිධ අත්දැකීම් වලට මුහුණ දෙන්නේය. හිත් රිදුම් හිත් බිඳුම් හිත් සැනසුම් සියල්ල මැද්දෙන් ඒ ජීවිත ගලා යන්නේය. ඇයට සිටින්නේ ඔහු පමණි. ඔහුට සිටින්නේ ඇය පමණි. දුක සැප සියල්ල දෙදෙනා විසින් දරා ගෙන යන ගමන මහා පුදුමාකාරය. මේ ගමනේදී ඔවුන්ගේ බැඳීම ශක්තිමත් කරන්නේ ආදරය, සෙනෙහස, කරුණාව සහ එකිනෙකා මත පවත්නා විශ්වාසයයි. තම ලෙයින් ජනිත වූ දූදරුවෝද මේ අතර වෙති. මේ සියලු කරුණු කාරණා සාර්ථක වූ පවුල් ජීවිතය සුන්දර බව දන්නේ ඔවුන්ම පමණි. නමුත් අද වන විට අපට මෙවැනි සුන්දර පවුල් අපේ සමාජයෙන් හමුවන්නේ කීයෙන් කීයද? එය සැබැවින්ම ඛේදවාදකයකි. හදට සතුටක් ගෙන එන එවන් දෙන්නා දෙමහල්ලන් පිළිබඳ ලියැවුණ ගීතයකි මේ .

“ වැව් දිය රැලි සේ මතුවන ආදරයේ“ ගීතය අප සමාජය තුළ දැක ඇති සුන්දර පවුල් ජීවිත ගණනාවක්ම සිහියට නැගීය. කාලෙකින් අසන්නට ලැබුණ මේ සොඳුරු ගීතය පිළිබඳ තොරතුරු සෙවිමේදී ඒ ගැන ඇසූ දෑද හරි අපූරුය.

ඇය රුහුණු විශ්වවිද්‍යාලයේ සත්ව විද්‍යා මහාචාර්යවරියක වන ධම්මිනි ප්‍රේමචන්ද්‍ර ෆොන්සේකාය. ධම්මිනි විසින් ගායනා කරනු ලබන ‘වැව්දිය රැලි සේ, ගීතය පද රචනා කර ඇත්තේ රඹුකන සිද්ධාර්ථ ස්වාමීන් වහන්සේය. එහි සංගීත නිර්මාණය කර ඇත්තේ විශාරද චන්ද්‍රදාස බෝගොඩ සූරීන්ය.

ධම්මිනි වෘත්තීය ගායිකාවක් නොවේ. එනමුදු ඇය පාසල් වියේ සිටම ගීතයට පෙම්බැන්දාය. ඉගෙනුමෙන් ඉහළට ගිය ඇය අවසානයේ තෝරා ගත්තේ සාමාන්‍යයෙන් කෙනෙකු තෝරා නොගන්නා විෂය කේෂත්‍රයකි. ඇය සත්ව විද්‍යා මහාචාර්ය වරියකි. නමුදු ගීතය කෙරෙහි තිබූ ඇල්ම ඇගේ වෘත්තීය නිසා කිසි විටෙක යටපත් නොවූයේය. ‘වැව් දිය රැලි සේ...‘ඒ ඇල්මේ ප්‍රතිපලයයි.

‘මම දවසක් රඹුකන සිද්ධාර්ථ හාමුදුරුවන්ට දුරකථනයෙන් අමතා තමයි මට ගීතයක් ලියන්න කියලා ආරාධනය කළේ. උන් වහන්සේ බොහෝම කැමැත්තෙන් ඒ ආරාධනය පිළිගත්තා. නන්නාඳුනන දෙන්නෙක් එකට හමුවෙලා ආදරයෙන් බැඳී එක වහලක් යට බොහෝම ආදරයෙන් බැඳී ගතකරන ජීවිය ගැන ලියැවුණ ගීතයක් තමයි මට ඕනෑ වුණේ. සිද්ධාර්ථ ස්වාමීන් වහන්සේ බොහෝම අරථවත්ව මට ඒ ගීතය ලියා දුන්නා. ඒ වගේම තමයි චන්ද්‍රදාස බෝගොඩ මහතාගේ තනු නිර්මාණය ඒ පද වැල තවත් අර්ථ ගැන්වීමට සමත් වුණා.ධම්මිනි පවසන්නේ එසේය.

ඇය ලයාන්විතව ගයන්නීය. ඒ ඇගේ ප්‍රේමයයි. එය බොහෝ නිවි සැනසුණ කුලගෙයක් අර්ථ ගන්වයි. ගීතයේ නිමැවුම් කරු වූ සිද්ධාර්ථ ස්වාමීන් වහන්සේගෙන් අපි ඒ ගැන ඇසුවෙමු.

‘‘අපිට මේ සමාජයේ කිසිම විටෙක ගීතයෙන් බැහැර වෙලා ජීවත් වෙන්න බැහැ. ගීතය කියන්නේ අධිසංවේදි මාධ්‍යයක්. මේ මාධ්‍යයේදී තමන්ට කියාගන්න බැරි දහසක් දේවල් කියැවෙන්නේ ගීතයෙන්. ධම්මිනි මට ආරාධනයක් කළා. මම ඒ ආරාධනය පිළිගත්තා. අද අපේ සමාජයේ බොහෝ අවබෝධයෙන් ජීවත් වන පවුල් හොයාගන්න අමාරුයි. ආදරණීය හැඟීම් අඩුයි. සමහර අය විවාහ වූ සැණින් දික්කසාද වෙනවා. මේක හරි ඛේදවාචකයක්. එවන් වටපිටාවක ඉඳගෙන මෙවන් ගීතයක් ලියන්නට ලැබීම සතුටක්. බොහෝම සුන්දර ලෙස ජීවත් වෙන පවුල් අප දැක තිබෙනවා. අසා තිබෙනවා. ඒ අත්දැකීම් ඔස්සේ තමයි මේ ගීතය ලියැවුණේ. පවුල් ජීවිත කියන්නේ බොහෝම සංකිර්ණ එකක්. එය අවබෝධයෙන් යා යුතු ගමනක්. දෙන්නා දෙමහල්ලෝ සහයෝගයෙන් ආදර බැඳීමෙන් යන ගමනක්. එහෙම යන ගමන හරිම අර්ථවත්.“

“දුක සැප ඉවසගෙන ආ මග මල් වැස්සේ

කඳුළක් දුටු විටදි නෙතු කඳුළැලි පිස්සේ

ළෙන්ගතු කතාබහ අතරේ හිත රැක්කේ

සසරේ පුරුදු සෙනෙහස ඔබගෙනි දැක්කේ. “

ඇය ගයන්නීය. ගීතයේ සමස්තාර්ථයම ගෙන බැලූවිට සැබැවින්ම ගැහැනියකට මෙවන් සෙනෙහසක් ලැබෙන්නේ නම් එය කොතරම් නම් වාසනාවක් ද?

අදහස්