රට වටේ යන ‘ ඉන්තාල්, | සිළුමිණ

රට වටේ යන ‘ ඉන්තාල්,

මෙරට සංගීත කණ්ඩායම් අතරට මොරටුවෙන් බිහි වුණ නවතම සංගීත කණ්ඩායමක් වන ‘ඉන්තාල්‘ සංගීත කණ්ඩායම මොරටුවේ පමණක් නොව, අද වන විට මෙරට අස්සක් මුල්ලක් නෑර සිය නම ප්‍රචලිත කරගැනීමට සමත්ව තිබේ. එම නිසා අපි මෙවර BAND OF THE WEEK සමඟ කතා කරන්න එහි නායක මාලක සංජීව රාජකරුණා එකතු කරගත්තෙමු. මේ ඔහු සමඟ කළ කෙටි පිළිසදරකි.

ඔබ කවුද?

 

මගේ නම මාලක සංජීව රාජකරුණා. මොරටුව ඉන්තාල් මියුසික් බෑන්ඩ් එකේ නායකයා.

 

ඉන්තාල් කියන නම බෑන්ඩ් එකට යෙදුවේ කවුද?

 

මගේ කේන්දරේට අනුව තමයි ඉන්තාල් කියන නම යෙදුවේ. ඒ නම හදලා දුන්නේ සමන්ති අහුබුදු මහත්මිය.

 

එහි තේරුම මොකක්ද ?

‘ගයන තාල‘

 

මේ තරම් බෑන්ඩ් ගොඩක් තියෙද්දි ඇයි බෑන්ඩ් එකක් හදන්න හිතුවේ ?

 

මම පාසල් යන කාළේ ඉදලා සංගීතයට පුදුම ආසාවක් තිබුණේ. ඒ නිසා ලීඩ් ගිටාර් ප්ලේ කරන්න ඉගෙන ගත්තා. ඉන් පස්සේ පාසලේ යාළුවොත් එකතු කරගෙන බෑන්ඩ් එකක් කළා. හැබැයි ටික කාලෙකින් එය නතර වුණා.

 

නතර කළේ ඇයි ?

මම රැකියාවකට කොරියාවට ගියා. ඒ නිසා තමයි නතර වුණේ.

 

බෑන්ඩ් එක පටන් අරන් කොයි තරම් කාලයක් වෙනවද ?

 

මාස 08 ක් විතර වෙන්නේ. ඒ මාස අටට ෂෝ හතළිහකට වැඩිය ප්ලේ කරලා තිබෙනවා. සාමාන්‍යයෙන් මාසයකට ෂෝ අටක් දහයක් වරදින්නේ නැහැ. මේ වෙනකොට ලබන අවුරුද්දටත් බුකින් දාල ඉවරයි. ඒ විතරක් නෙවෙයි දකුණු කොරියාව, ඩුබායි, කුවේට් සහ ජපන් රටවල්වල සංචාර කිහිපයකුත් ලැබිල තියෙන්නේ.

 

බෑන්ඩ් නොගහා හොඳ රැකියාවක් කරන්න කියලා ගෙදරින් කිව්වේ නැද්ද ?

 

මුලදි නම් ගෙදරින් කැමැති වුණේ නැහැ. ඒ අය කිව්වේ වෙන රස්සාවක් කරන්න කියලා. ඒත් දිගින් දිගට මම බෑන්ඩ් පැත්තට යද්දි ගෙදර අය තේරුම් ගත්තා මට සංගීතය තමයි හරි යන්නේ කියලා. දැන් නම් හැමෝම හොඳ සහයෝගයක් දෙනවා.

 

බෑන්ඩ් එකේ සාමාජිකයන් ගැනත් සඳහන් කළොත් ?

 

ලීඩ් ගිටාර් ජයලත් ජයනාත්, රිදම් ගිටාර් චමින්ද ප්‍රනාන්දු, බේස් ගිටාර් ප්‍රසන්ත සිරිවර්ධන, කී බෝඩ් ඩිල්තාන් පීරිස්, ඔක්ටර් පෑඩ් දිනේෂ් කුමාර, ඩ්‍රම්ස් ධනුෂ්ක ඉන්දික, ගායකයන් ලෙස ඉසුරු සම්පත්, ජනක ශ්‍රී, ජයෙන් අබේසේකර, චමිල ප්‍රනාන්දු, කසුන් චතුරංග. ඒ වගේම නිත්‍ය ගායකයකු සහ නිවේදකයකු ලෙස ජීවක දිසානායක කටයුතු කරනවා.

 

ඒ කියන්නේ වෘත්තීයක් විදියටද කට්ටිය බෑන්ඩ් එකේ ප්ලේ කරන්නේ ?

 

ඔව් අපි වෘත්තියක් විදියට තමයි වැඩ කරන්නේ . මොකද මාසෙට ෂෝ ගොඩක් එද්දි, ඒ ෂෝ ගොඩක් රට වටෙන්ම එනවා. එහෙම තියෙද්දි වෙනත් රැකියාවක් කරන්න වේලාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා වෘත්තියක් විදියටම කරගෙන යනවා.

 

සංගීත කණ්ඩායමට ආවේණික ගීත තිබෙනවද ?

අපේ ගීත තුනක් තිබෙනවා. ඒ අතුරින් ජනක ශ්‍රී ගායනා කරන ‘මගේම විතරයි‘ ගීතයට හොඳ ඉල්ලුමක් තිබෙනවා.

 

දැන් අස්සක් මුල්ලක් නෑර සංගීත කණ්ඩායම් තියෙද්දි, එවැනි කණ්ඩායම් ඔබේ කණ්ඩායමට අභියෝගයක් නෙවෙයිද ?

 

අතීතයේ වගේ නෙවෙයි දැන් සංගීත කණ්ඩායම් ගොඩක් තිබෙනවා. ඒ කණ්ඩායම් අභියෝගයක් නෙවෙයි කියලා මම කියන්නේ නැහැ. ඒත් අපි අපේ වැඩේ හරියට කරනව නම් කවුරුවත් අභියෝගයක් වෙන්නේ නැහැ. ඒ වගේම අපි කවුරුවත් අනුකරණය කරන්නෙත් නැහැ. අපිට ආවේණික රටාවකට ප්‍රේක්ෂකයා කැමැති දේ ලබා දෙනවා. ඒ නිසා තමයි අපිට හොඳ ඉල්ලුමක් තිබෙන්නේ.

 

මේ තරම් දුර එන්න කවුද අතහිත දුන්නේ ?

 

මගේ වගේම අනෙක් සාමාජිකයන්ගේ මවුපියන් සහ සහෝදර සහෝදරියන්, ගමේ යාළුවන්, මාත් එක්ක කොරියානු රටේ එකට සේවය කළ යාළුවන්, ගායන ශිල්පී චන්ද්‍රසිරි හෙට්ටිආරච්චි මහත්මයා, සංදර්ශන සංවිධායකවරුන් ඇතුළු නම් ගම් නොකියපු තව ගොඩක් පිරිසක් ඉන්නවා. ඒ හැමෝම මේ අවස්ථාවේ ගෞරව පූර්වකව ස්තූතිය පුදකර සිටිනවා.

 

බෑන්ඩ් එකක් විදියට අනාගත බලාපොරොත්තු මොනවද ?

 

රට වටේම රසිකයන් ඉල්ලන බෑන්ඩ් එකක් වෙන්නයි එකම බලාපොරොත්තුව.

 

අදහස්