පුළුවන් කාලේ හම්බ කරලා ඉතිරි කරන්න බැරි කාලෙට අපට කවුරුවත් නෑ : සුවය ලබමින් සිටින ඇන්ජිගෙන් කලාකරුවන්ට පණිවිඩයක් | සිළුමිණ

පුළුවන් කාලේ හම්බ කරලා ඉතිරි කරන්න බැරි කාලෙට අපට කවුරුවත් නෑ : සුවය ලබමින් සිටින ඇන්ජිගෙන් කලාකරුවන්ට පණිවිඩයක්

ගිනි කාෂ්ටක අව්වේ ඇදෙන වාහනය නතරවුණේ නුගේගොඩ පාගොඩ පාරේ පිහිටි ඇගේ නිවෙස ඉදිරිපිට. සැඩ හිරු රෂ්මියෙන් වියැළුණු පරිසරයේ කොළ පැහැ ගස්වලින් අලංකෘත වු ගෙවුයනක් පෙනේ. අප ගේට්ටුවෙන් ඇතුළුවී නිවෙස දෙසට ගමන් කළෙමු. නාගරික පරිසරයක පිහිටියත් එහි මිහිරි කුරුලු නාදය සවන් සනසාලයි. සැබැවින්ම පරිසරය නිස්කලංකය.‍ මමත්, කැමරා ශිල්පී ශාන් රූපස්සරත් ගෙඋයනේ සිසිලස විඳිමින් ඉදිරියට ගියෙමු. නිවෙස ඉදිරිපිට කිසිවකු පෙනෙන්නට නොමැති නිසා නිවෙසේ විදුලි සීනුව නාද කළෙමු. අප පිළිගැනීමට ඉදිරියට ආවේ කලා ලොවේ කවුරුත් ආදරයට අමතන 'ලෙස්'ය. නැතහොත් දශක හතරකට අධික කාලයක් තම මියුරු හඬින් ගීත ගායනාකර ගීත ලෝලීන්ගේ හදබැඳ ගත් ගායිකා ඇන්ජලින් ගුණතිලකගේ ආදරණීය සැමියා ලෙස්ලිය . මේ අප පැමිණ සිටින්නේ ප්‍රවීණ ගායිකා ඇන්ජලින්ද ලැනරෝල් නොහොත් ඇන්ජලින් ගුණතිලකගේ නිවෙසටයි.

පොඩ්ඩක් වාඩිවෙලා ඉන්න දරුවනේ මම ඇන්ජිව ලෑස්ති කරගෙන එනකම්'. ඔහු‍ නිවෙස තුළට ගියේය. මම නිවෙස තුළ තිබෙන අමුතු සිරිය නරඹන්නට වීමි. නිවෙසේ ආලින්දයේ ශාන්ත මුහුණකින් යුතු ජේසුතුමන්ගේ මනහර පිළිමයකි. එයට පහළින් දැල්වෙන පහනකි. බැලු බැලූ සෑම තැනම ජේසු තුමන්ගේ දර්ශනය රැගත් පින්තූර සහ පොත් පත්ය. ලෙස්ලි සහ ඇන්ජලීන් යුවළ කතෝලික බැතිමතුන් බව පෙනේ.

නිවෙස තුළ ඇති නිහඬ, නිසංසල බව නිසා ඉ‍‍බේටම ගීත සිහියට නැගෙයි. මා ප්‍රාර්ථනා ආශාවෝ, හොඳ සිරියාවයි ආකාසේ, ආදරණීය සිනා ඔබේ, පාට පොදක් තිලකලා, සඳ තනිවෙලා අහසේ, කලක් ඇවෑමෙන් පෙරුම් පුරා, ආදී හැත්තෑව අසූව දශක වර්ණවත් කළ ගීත සිහියට නැගෙයි. හැත්තෑව දශකයේ අපේ සිනමාවේ පෙරළියක් කළ ගාමිණී - මාලනී, විජය- මාලනී යුගය ආලෝකවත් වූවානම් එහි කොටසක් නිසැකවම ජෝති- ඇන්ජලින්ටද හිමිවිය යුතුමය. ඒ තරමටම ඇන්ජි අපේ සිනමාවට වසන්තය ගෙන ආ ගීත කෝකිලාව වූවාය. එය එදා, අද, හෙට යුග යුග රැව් පිළිරැව් දෙයි.

එක්වරම මගේ දැහැන් බිඳී ගියේය. ඒ සෙමෙන් සෙමෙන් අප වෙත පියමන් කරමින් එන අපේ කතා නායිකාව නො‍ෙහාත් ගීත කෝකිලාවිය දැකීමෙනි. මම එක්වරම කුමක් කියන්නදැයි, අසන්නේ මොනවාදැයි සිතා ගත නොහැකිව ගොළු වුණෙමි. එහෙත් ඇය නිහඬබව බිඳිමින් ඇගේ හඬ අවදි කළාය.

'මාව හොඳටම කෙට්ටු වෙලා නේද? අද දුවත් ස්කයිප් එකෙන් කතා කළාම කිව්වා අම්මාගෙ මූණත් ඇදිල ගිහින් කියලා. මොනව කරන්නද දුවේ. මේක දෙවියන් වහන්සේගේ කැමැත්ත. උන් වහන්සේගේ දයාව නිසයි මම මෙහෙම හරි ජීවත් වෙන්නේ. උන් වහන්සේ උහුලපු වේදනාවල හැටියට මගේ වේදනාව මොකක්ද? මම උන්වහන්සේට ණය ගැතියි. දුක කියන දේ ජීවිතේට අවබෝධ කර දුන්නට'ඇය කතාකරන්නේ අවබෝධයකින් යුතුවය.

ඇන්ජි සැමියාගේ සහායෙන් පුටුවකට බරදුන්නේ ඉතාම අසීරුවෙනි.

මම කුමක් අසන්නද? අප එදා දුටු ඇන්ජලින් නම් රුවැත්තියද මේ. ෂාන් කැමරාව හංගාගෙනය. මගේ ප්‍රශ්නවලට පිළිතුරු දීමට සිදු‍වුව හොත් ඇය තවත් වෙහෙසට පත්වෙයි. එහෙත් ඇගේ සිත හැදෙන්නටවත් කුමක් හෝ කිව යුතුය.

' කතා කළහම වෙහෙසයි නම් අපි යන්නම් . වෙන දවසක කතා කරමු.'මම එලෙස කීවේ කීවෙමි. 'එපා දරුවෝ මම මේ පත්තරේකට කතා කරන්නෙ අවුරුදු දෙකකින් විතර. අසනීප වුණාට පස්සෙ කිසිම ඉන්ටවීව් එකක්වත්, ටී.වී වැඩසටහනකටවත් ගියේ නෑ. ලක්ෂ ගණන්වලට සමහර නාළිකාවලින් අඬගැහුවා. පෙනිල ඉන්නවත් එන්න කියලා. ඒත් කවදාවත් මම මුදල්වලට ප්‍රතිපත්ති පාවල දෙන්නේ නෑ. ඒත් රසඳුන පත්තරේට කීවම නොදී බැරිවුණේ මගේ මුනුපු‍රාගෙ ඉල්ලීම නිසයි. හැබැයි පුතේ ෆෝටෝනම් ගන්න එපා.කතා කරහම ඇති නේ' ඇය කතාවට මුල පුරන්නේ ඉල්ලීමක් කරන ගමන්මය. සැබැවින්ම අපි ඇගේ ඉල්ලීමට අවනත විය යුතුය. ඇය මගේ හඬ අවදි කරන තුරු සිනා පිරි මුවින් බලා සිටින්නේ කතා කරන්නට බොහෝ දේ ඇති බව නිහඬව කියා පාමිනි. මම අපේ සංවාදයට මුල පිරුවෙමි.

 ඔබ සිංහල සිනමාවේ හත්තෑව, අසූව දශකය වෙනස්ම මානයකට යොමුකළ ගායිකාවක්..

ඒක තමයි අපේ සිනමාවේ ස්වර්ණමය යුගය. ඇන්ජලින් ගුණතිලක කියන ගායිකාව එම යුගයේ සිනමාවේ කොටස් කාරියක්. මමත් ජෝතිත් සිනමාව වෙනුවෙන් කළ සේවය අමතක කරන්න බෑ.

කාටද ඔබේ හඬින් වැඩිපුර ගීත ගායනා කළේ..

විජය -මාලනී යුගයේ මාලනීට. ඒ වගේම ගාමිණි - මාලනී යුගයේත් මාලනී ට ගීත ගැයුවා. ඉන් පසුව සුමනා, සන්ධ්‍යා වගේ නිළියන් ගණනාවකටම ගීත ගායනා කර තිබෙනවා. මාලනී, සුමනා අදත් කියනවා අපි ජනප්‍රිය වුණේ ඇන්ජිගේ ගීත නිසා කියලා.

ඇන්ජි- ජෝති සුසංයෝගය නිසා නේද ඒ තරමටම ගීත ජනප්‍රිය වුණේ?

මමයි, ජෝතියි දෙන්නාම සංගීතය හදාරලා නැහැ. මම ගීත ගායනයට පිවිසුණේ ගුවන් විදුලියේ ළමා පිටියෙන්. එතකොට වයස අවුරුදු දහතුනයි. මගේත්, ජෝතිගේත් හඬ මනාවට ගැළපුණු නිසයි අපි දෙදෙනා ගැයූ යුග ගීත මෙතරම් ජනප්‍රිය වූයේ. අප දෙදෙනා ගැයූ 'සඳ තනිවෙලා අහසේ- හිරු තනිවෙලා, උතුරා ගැලූ ඟගුලක් - අද වියළිලා 'ගීතයෙන් ඒ කාලයේ වෙන්වෙලා සිටිය පෙම්වතුන් නැවත එකතුවුණා. අදත් රසිකයන් මුමුනන්නේ එම ගීතයි.

ජෝතිපාල නැමැති අසහාය ගායකයා ඔබ ළඟින්ම ඇසුරු කළා...

‍ඒ කාලයේ බොහොමයක් රසිකයන් සිනමා ශාලාවට ආවේ චිත්‍රපටි බලනවට වඩා මමත්, ජෝතිත් ගායනාකරන ගීත අහන්න. ජෝතිගේ හිත හොඳ නිසා සමහරු ඔහුව පාවිච්චි කළා. කොච්චර සංගීත සංදර්ශනවලට ගියත් සල්ලි ලැබෙන්නේ නෑ. දුන්නැත්නම් ඉල්ලන්නෙත් නෑ. නමුත් මම නම් කවදාවත් මගේ හැකියාව නිකන් බාල්දු කරගත්තෙ නෑ. මගේ ගණන ලැබෙනවනම් විතරයි මම වේදිකාවට නගින්නේ. ජෝති එහෙම නොකළ නිසා තමයි කිසි දෙයක් නැතුව මිය යන්න සිදුවුණේ.

ජෝති මුදල් හම්බ නොකළාට මිනිසුන් හම්බකළා. ඒ නිසා නේද අදටත් මිනිසුන් ජෝතිට මෙතරම් ආදරේ..

ජෝතිගේත්, මගේත් වාසනා මහිමය නිසයි අපි මේ තරමට රසිකයන් අතර ජනප්‍රිය. ජෝති ජීවතුන් අතර ඉද්දී ඔය තරමට ජෝතිගේ ගුණ වර්ණනා කළේ නෑ. මිය ගියාට පස්සෙ තමයි ජෝතිට වාසනා මහිමය උදාවුණේ. ඔය තරම් කතාබහට ලක්වුණේ. මමත් මිය ගියාට පස්සෙ මම ගැන කතා කරයි. ජෝතිපාලට ආදරෙයි කිය කිය ජෝතිගේ ගීත කියල හම්බකරගන්නවා වගේ ඇන්ජලින් මිය ගියාට පස්සෙ ඇන්ජලින්ගේ ගුණ කිය කිය ඇන්ජලින්ගේ ගීත ටික කියල හම්බකරගනියි. එහෙම නැතිව අපි ජීවත්වෙලා ඉන්න කාලේ මොනවද අපි වෙනුවෙන් කරන්නේ.

ඔබ තරහෙන් කතා කරන්නේ..

තරහක් නෙමෙයි. මම කවදත් කෙළින් කතා කරනවා. මගේ ළඟ හොර බොරු වැඩ නෑ. එදා මෙදා තුර මම ගීත පන්දහසක් පමණ ගායනා කරල තියෙනවා. ඒ අතරින් වැඩි ප්‍රමාණයක් ජෝති සමග ගැයූ යුග ගීත . ඒවත් එක්තරා ගායිකාවක් ජෝති සමග මිතුරු වී මගෙන් උදුරගෙන ගායනාකළා. ඇය නිසා තමයි ජෝති - ඇන්ජි යුගය අවසන්වුණේ. නමුත් මම හිතන්නෙ නෑ රසිකයන් අහන්න ආසාවෙන් හිටියෙ ඒ හඬ කියලා. ඉන් පසුව තමයි ජෝති ඇන්ජි යුගය අවසන් වී ග්‍රේෂන්ආනන්ද , මිල්ටන්, මොරිස් දහනායක වැනි ගායකයන් සිනමාවට ප්‍රවිශ්ඨ වෙන්නේ. ඔබ මගෙන් අහුවණේ ඇයි තරහෙන් කතා කරන්නෙ කියා ඒකත් මම කියන්නම්. දැන් මම අසනීපවෙලා අවුරුදු දෙකක්. මොළයට ලේ ගමන්කරන නාළයක ලේ කැටියක් සිරවීම නිසයි මගේ ශරීරයේ අවයව කිහිපයක් එකවරම අක්‍රිය වුණේ. මාස දෙකක් පමණ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ගත්තා. ලක්ෂ හතළිස් පහක් බිල ගෙවුවා. මේ වන විට ලක්ෂ ගණනක් වැය කරලයි මේ තරමට සුව වී තිබෙන්නෙ. මෙහෙම රෝගි වුණා කියා මම මේ වනතුරු කිසිවකුගෙන් සත පහක් ඉල්ලලා නෑ. කවුරුත් දීලත් නෑ. නමුත් මම සතුටුවෙනවා මම හම්බකරගත් මුදල් ඉතුරු කරගෙන සිටින එක ගැන. ජෝති වගේ නිකන් ස්ටේජ් නැග්ගානම් කවුද අද මට මේව කරන්නේ. අවුරුදු හතළිහක් විතර ගීත කිව්ව කියල කිසිම වගකිව යුත්තෙක් මගෙන් අහල නැහැ මොනවද කෙරෙන්න ඕන කියා. මම කියන්න යන්නෙත් නෑ. මම අනෙක් ශිල්පීන්ටත් කියන්නෙ අපිට අන්තිමට කවුරුත් නැහැ. බෝතලයට, රුපියල් දහසට, දෙදහසට කලාව පාවා දෙන්න එපා. ස්ටෑන්ඩඩ් එකක් තියාගෙන වැඩකරන්න . හම්බකරන්න පුළුවන් කාලෙ හම්බකරල ඒව සුරක්ෂිත කරගන්න. මොකද අපිට බැරි කාලෙට කව්රුත් අපිට දෙන්නෙ නෑ. අපිව මතකත් නෑ.

සුව වූ විගසම නැවතත් වේදිකාවේ ඔ‍බේ හඬ අපට අසන්නට හැකිවේවිද?

මගේ රසිකයන්ට මම ආදරෙයි. ගොඩක් අය දැනටත් ගෙදරටට කෝල් කරල සැප දුක් විමසනවා. පුළුවන් වෙලාවට මම ඒවාට පිළිතුරු දෙනවා. ඒත් මගේ ශාරීරික අපහසුතා නිසා මට දුරකතනයෙන් වුණත් ඔවුන් සමග කතා කළ නොහැකියි. සුව වු විගසම හැමෝටම කතා කරනවා. පෙර සේම වේදිකාවට නගිනවා. මම දන්නවා දෙවියන් වහන්සේ මට කවදාවත් නරකක් කරන්නේ නෑ. උන්වහන්සේගේ පිහිටෙන් මට ඉක්මන් සුවය ලැබෙයි. එවිට මම නැවතත් ගයයි. මට ඕන කලින් ඔබ දැක්ක ඇන්ජලින් වගේම ලස්සනට කවුරුත් ප්‍රිය කරන විදිහට රසිකයන් අතරට යන්නයි.

ලතා වල්පොල නිතරම ඔබේ සැපදුක් බලන්න එනවා කියන්නෙ ඇත්තක්ද?

අපි දෙදෙනා සෑහෙන කාලයක් කතා නොකර හිටියා. දැන් ඒ තරහ මරහ සියල්ල ඉවරයි. නමුත් මම අසනීප වුණාට පස්සෙ ගොඩක් දේ ඉගෙන ගත්තා. ලතාගේ උපන්දිනය දවසේ මමමයි මුනුපුරා ජූඩ්ට කියල ලතාට කෝල් කළේ සුබ පතන්න. ඇය එදා පුදුම වුණා. මම කතා කළහම. ඉන් පස්සෙ දවස් ගණනක්ම එයා මාව බලන්න ආවා.

ඔබේ ගීත දැන් ඇසෙන්නේ නවක ගායිකාවකගේ හඬින්.

ඔයා කියනකොටම මම දන්නවා කවුද ඔය ගායිකාව කියලා. මට කියන්න තියෙන්නෙ ලංකාවටම ඇන්ජලින්ලා ඉන්නෙ එක්කෙනයි. මගේ හඬ දෙවියන් වහන්සේගෙන් මට ලැබුණු දායාදයක්. කවුරු කොච්චර අනුකරණය කරන්න හැදුවත් මගේ හඬට සමවෙන්න බෑ. පුළුවන්නම් ඇන්ජලින්ගේ හයි පිච් එකට ගීත කියන්න . මම අභියෝග කරනවා. අපි මහන්සියෙන් ගායනාකර ජනතාව අතරට ගෙනගිය ගීත කොහේවත් නැති කොපි චැට්ලා ඇවිත් එම ගීත කියල විශාල ලෙස මුදල් හම්බකරනවා. ඒ අය ලැජ්ජ වෙන්න ඕන ඒ වගේ වැඩ කරනවට.

ඇයි, දෙරණ නාළිකාවේ ලිට්ල් ස්ටාර් වැඩ සටහන නොවැරදීම බලන්නේ..

මම රූපවාහිනියෙ බලන්නෙ එම වැඩ සටහන විතරමයි. මම කැමැතියි එහි මගේ ගීත ගයන චූටි කෙල්ලට. මම දවසක් දෙරණට කතා කර කිව්වා මට ඒ දරුවව බලන්න ඕන කියල. මගේ පිච් එකටම, හරිම ලස්සනට පුංචි කමට කියනවා. ඒ වෙලාවට මම ගෙදර අයට කියනවා මට ඒ කෙලි පැටියව ටී.වී. එකෙන් එළියට ඇදල ගන්න හිතෙනව කියල.

එදා මෙදා තුර ගායනාකළ ගීත පන්දහසෙන් වඩාත් කැමැතිම ගීත මොනවද?

මා එදා දෑසින් සනහා ඔබ දුන් කැල්මන් හද රැඳුණා, ගීතය සහ' මට ආසයි හිනැහෙන්න මුළු ජීවිතේ' ගීතයට තමයි වඩාත් කැමැති.

ඔබේ මුනුපුරාත් කලාවට සම්බන්ධයි...

පුතා ඉමල් ජූඩ්. ඔහු ඉතාම දක්ෂයි. පුංචි කාලෙ සිටම ඔහුට සංගීතය ගැන හොඳ දැනුමක් සහ ආසාවක් තියෙනවා. අහිංසකාවිය ටෙලිනාට්‍යයට මා ගැයූ ගීතයට තනුව සහ සංගීතය දැමුවේත් මගේ මුනුපුරායි. මම ආස නෑ පුතා එක එක්කෙනා එක්ක ගීත ගායනා කරනවට. ඔහු තවම මේ කලාවට ආධුනිකයි. හැම වෙලේම මම ඔහුට කියන්නේ තමන්ගේම ගීත ගයන්න කියා. කොහොමත් මගේ බලාපොරොත්තුව සනීප වූ විට එදා ජෝති සමග මා ගැයූ ගීත පුතා සමග ගායනා කරන්න.

දුවලා දෙදෙනා ගීත ගයන්නේ නැත්තේ ඇයි?

දුවලා මිලානි සහ දිල්ෂානි. දිල්ෂානි දුව ඉන්නේ අප සමග . ඇයගේ සැමියා ටික කලකට පෙර මියගියා. ඇයගේ පුතා තමයි ඉමල් ජූඩ්. ලොකු දුව මිලානි පදිංචිව සිටින්නේ විදෙස් රටක. ඇයගේ දුව කංචිකා ඇන්ජලීනා බැලේ ඩාන්සින්වලට දක්ෂයි. පුතා ඉමෝද කරුණාතිලක ක්‍රිකට් ක්‍රීඩාවට දක්ෂයි. ඔවුන් විදෙස්ගත වෙලා සිටියට දිනපතා මගෙත්, ලෙස්ගෙත් සැපදුක් සොයා බලනවා. ගොඩක් අය අහනවා ඇයි දුවලා මගේ ගීත කියන්නෙ නැත්තෙ කියලා. දිල්ෂානි දුවගේ හැඩරුව සහ හඬ මගේ විදිහමයි. නමුත් ඇය ගීත ගායනාකරන්න අකැමැතියි. මම පුංචිකාලෙ සිටම එයාලව ඒකට හුරුකළේ නැති නිසා වෙන්න ඇති.

මොනවද රසිකයන්ට කියන්න තියෙන්නේ..

මම අසනීප වෙන්න පෙර රෝගී දරුවන් වෙනුවෙන් සහ වෙනත් ආධාර ඉල්ලූ මිනිසුන්ට හැකි අයුරින් උපකාර කළා. අසනීප වනතුරුම එම සත්ක්‍රියාව කළා. නමුත් දැන් මට ඒ දේ කරන්න මුදල් නැහැ. සමහර අය දැනටත් ගෙදරට කෝල් කරලා දුක කියනවා. ඒ වෙලාවට මම කියනවා මමත් දැන් රෝගීව ඉන්නේ මගේ අසනීපයටත් ප්‍රතිකාර ගන්නවා. මගේ ළඟ මුදල් නැහැ කියලා. නැවතත් සනීප වුණහම ඒ දේවල් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. අනිත් දේ කියන්න තියෙන්නේ අපේ සින්දු ජරා කරන්න එපා. හැමදාමත් උදේට කොන්තය කියල දෙවියන් වහන්සේගෙන් ඉල්ලන්නෙත් ඒක.

ඈ ගැයුවේ එකම ශෛලියේ ගීත නොවේ. විවිධ ස්වර පරාසයන් ඔස්සේ එදා ගීත ගැයූ ඇය අද ගීතයක් කියන්න උත්සාහ ගත්තත් වචන නොකියවෙයි. ඒ සෑම අවස්ථාවකම මගේ සිතට ආ සිතුවිල්ල වූයේ 'අනේ දෙවියනි ඇගේ හඬ නැවත දෙන්න 'යනුවෙනි. හෝරා ගණනාවක් කතා කරමින් ගෙවූ අප ඇගෙන් සමුගත යුතු වේලාව පැමිණ තිබේ. කොතරම් නොහැකි වුවත් වාරු නැති දෙපයින් ඇවිද ඇය අප ඇරලවන්නට ගේට්ටුව තෙක්ම පැමිණියාය. රටක් පිනවූ මේ ප්‍රතිභාපූර්ණ ප්‍රවීණ ගායිකාව කොතරම් නිහතමානිදැයි මට සිතුණි. වාහනයේ නැගී එද්දී ඇය කුඩා දරුවකු මෙන් අත වනා අපට සමුදුන්නාය.මට ඇය ගායනා කළ ගීතයක හඬ රැව් දී ඇසෙන්නාක් මෙනි.

කවදා හෝ සසර කතර අතර මගකදී

දුටුවා ඔබ මට අමතක නොවන තැනකදී

එතැන් පටන් මම එමි සෙවණැල්ල නියාවේ

කියන්න බෑ මහිමය මා බැන්ද දයාවේ.

Comments