දහස් ගණන් නිවුන්නු ජීව­ත්වන බ්‍රසී­ලයේ කැන්ඩිඩො ගොඩොයි | සිළුමිණ

දහස් ගණන් නිවුන්නු ජීව­ත්වන බ්‍රසී­ලයේ කැන්ඩිඩො ගොඩොයි

ලෝකයේ විවිධ ප්‍රදේශවලට ආවේණික වූ ලක්ෂණ තිබෙනවා. ඒ ස්වාභාවික පිහිටීම්, සතා සීපාවා, සුන්දර ස්ථාන හෝ එහි වෙසෙන මිනිසුන්ගේ විශේෂිත දෙයක් විය හැකියි. මෙලෙසින් එම ප්‍රදේශ විවිධ සුවිශේෂී කරුණක් නිසා අවට පමණක් නොව ලොවපුරා ප්‍රසිද්ධ වීමට පුළුවන්. අපේ රටේත් එවැනි ප්‍රදේශ බොහොමයක් දකින්නට ලැබෙනවා.

එහෙත් අද අතැඹුල විශේෂාංගයෙන් ගෙන එන්නේ බ්‍රසීලයේ එවැනි ප්‍රදේශයක් පිළිබඳවයි. බ්‍රසීලයේ ‘කැන්ඩිඩො ගොඩොයි’ (Candido Godoi) නම් ගම්මානය ලොව ප්‍රසිද්ධ වී තිබෙන්නේ ‘නිවුන් දේශය’ (TWIN LAND) ලෙසයි. එයට හේතු වන්නේ එම ගම්මානයේ හට ගන්නා අති විශාල නිවුන් දරු උපත් සංඛ්‍යාවයි.

එහි සිදුවන සෑම දරු උපත් දහයකටම අනිවාර්යෙන්ම එක් නිවුන් දරු උපතක් සිදුවනවා. මෙය ලෝක නිවුන් දරු උපත් අනුපාතයට වඩා දහස් ගුණයක වැඩිවීමක් නිසා තමයි ‘නිවුන් දේශය’ ලෙසින් මෙම ගම්මානය ප්‍රසිද්ධ වී තිබෙන්නේ. මෙලෙස වීමට හේතුව කුමක් කියාද ඔබ සිතන්නේ? සැබවින්ම මෙලෙසින් නිවුන් දරු උපත් ඇතිවීමට හේතුව තවමත් නිශ්චිතවම සොයාගෙන නෑ.

එසේ වූවත් බොහෝ දෙනා පවසන්නේ මෙයට වගකිවයුත්තේ නාසි වරුන් කියායි. වෛද්‍ය ජෝසප් මෙන්ගෙල් (Dr. Josef Mengele) එසේත් නැත්නම් මරණයේ දේවදූතයා (The Angel Of Death) යනු ලොව හෙල්ලූ ඇඩොල්ෆ් හිට්ලර්ගේ සමීපතමයෙකි. විවිධ වෛද්‍ය පර්යේෂණවලට මිනිසුන් යොදාගැනීම හා මරණයට පත් කිරීම නිසා තමයි ඔහුට මෙම අන්වර්ථ නාමය ලැබී තිබෙන්නේ.

ලක්ෂ 4කට වැඩි යුදෙව් ජාතිකයන් පිරිසක් මොහු අතින් ඝාතනය වී තිබෙනවා. ලෝක යුද්ධය අවසාන භාගයේදී මෙම වෛද්‍යවරයා බ්‍රසීලයට පලාගොස් තිබෙන අතර එතැන් පටන් ඔහුගේ වෛද්‍ය පර්යේෂණ සිදු කර තිබෙන්නේ බ්‍රසීලයේ සිටයි.

මෙම පර්යේෂණ අතුරින් එකක් වන්නේ ආර්ය ජන ගහනය වැඩි කිරීම සඳහා නිවුන් දරුවන් ඉපදෙන ලෙසින් සිදු කළ පර්යේෂණයයි. 1960 ගණන් වලදී මෙම වෛද්‍යවරයා කිහිපවරක්ම මෙම ගම්මානයට පැමිණ තිබෙන බව පවසන්නේ මෙහි වෙසෙන ජනතාවයි. ප්‍රථමයෙන් පශු වෛද්‍යවරයෙක් ලෙසින් පැමිණ ඉන්පසුව ගම්මානයේ කාන්තාවන් හට වෙදකම් කිරීමට පටන්ගෙන තිබෙනවා.

ඒ කාලයේ දකින්නට නොතිබුණ ‘හෝමෝන හා බෙහෙත්’ එක් කොට සෑදූ බෙහෙත් වර්ග බීමට ලබාදීම මෙලෙසින් නිවුන් දරුවන් ඉපදීමට හේතු වී තිබෙන බව බොහෝ දෙනා විශ්වාස කරනවා. බ්‍රසීලයේ තිබෙන මෙම ගම්මානයේ ජීවත් වන්නේ ජර්මානු සංක්‍රමණිකයන් පිරිසකි. මෙහි සමහර ගම්වැසියන් තවමත් එකිනෙකා හා කතා කරන්නේ ජර්මානු භාෂාවෙනි.

ගොවිතැන් කරමින් ජීවත්වන මේ පිරිස 6000-7000ක් අතර වන අතර මෙයින් 1000 ක් පමණ නිවුන්නු වීම විශේෂත්වයකි. බොහෝ කලක් තිස්සේ මෙම ග්‍රාමය තුළම සිදුවූ අන්තර් විවාහයන් නිසා ජානමය වශයෙන් සුළුවට තිබූ ලක්ෂණයක් ප්‍රබල වී මෙලෙසින් නිවුන් දරුවන් ඇති වීමට පුළුවන් බවද වර්තමාන වෛද්‍යවරුන් ප්‍රකාශ කරනවා.

තවත් සමහරුන් මෙහි පස, වැවෙන ආහාර භෝග හා ජලය යොදාගනිමින් නිවුන් දරු උපත් සඳහා හේතුවක් සෙවීමටත් උත්සාහ කරනවා. කෙසේ නමුත් මෙම හේතුව නිසා දැන් මෙම ග්‍රාමයට විශාල සංචාරක ආකර්ෂණයක් ලැබෙන බව සඳහන් වනවා.

අදහස්