ඉස්සරලම කරන්නේ ගොසිප් සයිට් තහනම් කරන එක | සිළුමිණ

ඉස්සරලම කරන්නේ ගොසිප් සයිට් තහනම් කරන එක

මොනවද මේ දවස්වල කරන්නේ?

ටෙලි නාට්‍ය හතරක වැඩ කරනවා. ඒ සියත රූපවාහිනියෙන් විකාශය කෙරෙන සඳ එළිය, අපේ ආදරය, සනත් අබේසේකරගෙ පරාක්‍රමබාහු සහ තවත් ටෙලිනාට්‍යයක වැඩ කරනවා. පරාක්‍රමබාහු ටෙලි නාට්‍යයේ පරාක්‍රමබාහු චරිතය මට සුවිශේෂයි. මෙයට පෙර රජ කතාවකට සම්බන්ධවී නැති නිසා චරිතය ටිකක් අභියෝගාත්මකයි. එහි රූගත කිරීම් කෙරෙන්නේ අනුරාධපුරේ.

පොඩි කාලෙ ඉඳන් හීන මැව්වෙ කවුරු වෙන්නද?

මගේ ජීවිතයේ පුංචි කාලයේ සිටම ක්‍රිකට් ක්‍රීඩකයෙක් වෙන්නයි ආසාව තිබුණේ. පාසලේ 15, 17, 19 ඉසව් තුනෙන්ම ක්‍රිකට් ක්‍රීඩා කළා. මහරගම ජනාධිපති විදුහලේ කැපී පෙනුණු ක්‍රිකට් ක්‍රීඩකයෙක්වූ නිසා පාසලෙන් ඉවත්වන තුරුම ක්‍රිකට් ටීම් එකේ හිටියා.

හීනය සැබෑ නොවීම ගැන අමිලට දුකක් නැද්ද?

මුල් කාලයේ පොඩි දුකක් තිබුණා. දැන් නම් ක්‍රිකටර් කෙනෙක් නොවී රංගන ශිල්පියෙක් වීම ගැන සතුටුයි. මොකද රංගනය මැරෙනතුරුම නියැළිය හැකි වෘත්තියක්. නමුත් ක්‍රිකට් ක්‍රීඩාවට නියමිත වයසක් තිබෙනවා. ඒ නිසා දැන් සතුටුවෙනවා මා තෝරාගත් වෘත්තීය ගැන.

කැමැත්තෙන් කියවපු පොත මොකක්ද?

මම එතරම් පොත් කියවන කෙනෙක් නෙමෙයි. ඒකට හේතුව වෙලාවක් නැතිකම. පාසල් කාලයේදි නම් පොත් කියෙව්වා. අදටත් මතකයි තුන, හතර වසර වලදී කියවපු 'මඩොල් දූව' පොත. මඩොල් දූව කියවද්දි එහි කර්තෘ මාර්ටින් වික්‍රමසිංහ මහතා ගැන පුදුමාකාර ආදරයක් ඇතිවුණේ. එතුමා ගැන හිතේ ඇඳුණු සිතුවිල්ල දෑසින් දැකගන්නයි මඩොල්දූව නරඹන්න ගියේ. එදා සිට මේ දක්වා කොයිතරම් පොත් කියෙව්වත් මඩොල් දූව පොත විතර වෙනත් පොතක් හිතේ රැඳුණෙ නැහැ.

සිත්ගත් සිනමා රංගන ශිල්පියා හෝ ශිල්පිනිය කවුද?

ජාත්‍යන්තර සිනමාවේත් දේශීය සිනමාවේත් මම කැමැති රංගන ශිල්පීන් සහ ශිල්පිනියන් රැසක් සිටිනවා. කොහොමත් මගේ විනෝදාංශය චිත්‍රපට නැරඹීම නිසා එක්කෙනෙක් කියා කියන්න අපහසුයි. දේශීය සිනමාවේ මගේ සිත්ගත් රංගන ශිල්පියා තමයි ජෝ අබේවික්‍රම. ඔහුගේ රංගන ප්‍රතිභාවට මම ඉතාම කැමැතියි. ඔහු ලංකාවේ බිහිවෙච්ච අති විශිෂ්ට කලාකරුවෙක්. ඒ වගේම ගාමිණී, විජයගේත් රංගන හැකියාව ගැන කැමැත්තක් තිබෙනවා.

රංගන ශිල්පිනියන් ගැන කතා කරද්දි දේශීය සිනමාවේ රංගන ශිල්පිනියන් කිහිප දෙනෙක්ම ඉන්නවා. ඒ අතර මාලනී, ස්වර්ණා, අනෝජා වැනි රංගන ශිල්පිනියන්ට කැමැතියි.

කැමැතිම ගායකයා හා ගායිකාව..

මම හැමදාමත් ප්‍රිය කරන්නෙ පැරැණි ගීතවලට. නවක ගීත අසන්න ඒ තරම් කැමැත්තක් නැහැ. ඒ නිසයි ජෝතිපාල, මිල්ටන් පෙරේරා, මිල්ටන් මල්ලවාරච්චිගේ ගීතවලට කැමැති. ගායිකාවන්ගේ ගීතවලට වුණත් වැඩිපුර කැමැත්තක් දක්වන්නේ එදා ඇසුණු ලතා වල්පොල, ඇන්ජලින් ගුණතිලක වැනි ගායිකාවන්ගේ ගීතවලටයි.මම හිතනවා දැන් අසන්න ලැබෙන ගීතවලට වඩා එම ගීත ගොඩක් ලස්සනයි.

කැමැතිම රාජ්‍ය නායකයා..

ඇත්තම කියනවනම් අපේ රටේ කියන්න තරම් කැමැති නායකයො කිසිවකු නැහැ. ඉස්සර සිටිය ඩී. එස් සේනානායක මහතා හොඳයි කියල ‍ජනතාව කියනව. අහල තියෙන හැටියට ඔහු හොඳ නායකයෙක්. පසුගිය කාලයේ ඇමරිකානු ජනාධිපතිව සිටි බැරැක් ඔබාමා හොඳ නායකයෙක් කියා මම විශ්වාස කරනවා. ඔහු හොඳ මහත්මා ගතිගුණ තිබෙන නායකයෙක්.

ඔබට රටේ නායකයා වෙන්නට ලැබුණොත් පළමුව කරන්නේ කුමක්ද?

පළමුව කරන්නේ 'ගොසිප් සයිට්' තහනම් කරන එක. ඒ සඳහා කඩිනම් නීතියක් ගේනවා. රටක් විදිහට ඉදිරියට යන්න තියෙන ලොකුම බාධාවක් විදිහට මම ඔය ගොසිප් සයිට් දකින්නේ. මොකද ඒවයෙන් හොයන්නෙ රටට හෝ තමන්ට වැඩක් ඇති දේවල් නෙවෙයි අනිත් අයගෙ ඕපදූප. ඒව බලන මිනිස්සුත් මානසික රෝගීන් වෙනවා.

තවත් පුද්ගලයෙකු කරනවට අකැමැතිම දෙය..

මිනිස්සුන්ගෙ දකින්න අකැමැතිම දෙයක් තමයි මිනිස්සුන්ට මූණට හිනාවෙලා යනකන් ඉඳල පස්සට තවඑකක් කියන එක . කෙනෙක්ගෙ දියුණුව දැක්කම හදවතින්ම සතුටු වෙන්නෙ කීයෙන් කී දෙනාද? එවැනි මිනිසුන් මට පෙන්නන්න බෑ. තමන්ගේ අඩුපාඩු තියාගෙන අනුන්ට හිනාවෙන එවැනි මිනිස්සුන්ට මිනිස්සු කියන එකත් ගැළපෙන්නෙ නෑ.

රංගන ශිල්පියෙකු ලෙස සමාජයට දෙන්න බලාපොරොත්තු වෙන්නේ මොනවාද?

මට කියන්න තියෙන්නෙ හැම වෙලේම ලාංකීය දේ අගයන්න කියන එක. ලාංකීය නිෂ්පාදනවලට මුල්තැන දෙන්න. ලාංකීය ‍නිර්මාණ අගය කරන්න. විශේෂයෙන් කලාවෙන් රැකෙන අපි වගේ කලාකරුවන් ගැන හිතලවත් දේශීය නාට්‍ය, චිත්‍රපට නරඹන්න. එය අපි වගේ කලාකරුවන් වෙනුවෙන් කරන උදවුවක්. එසේ නොකළහොත් බොහෝ කලක් නොගිහින් අපිට කිසිම දේක අනන්‍යතාවක් නැතිව යනවා.

 

  

Comments