සෝවි­යට් සාම සම්මා­න­යෙන් කිහිප වරක් පිදුම් ලැබූ අපේ පරි­ව­ර්ත­කයා සිරිල් සී. පෙරේරා | සිළුමිණ

සෝවි­යට් සාම සම්මා­න­යෙන් කිහිප වරක් පිදුම් ලැබූ අපේ පරි­ව­ර්ත­කයා සිරිල් සී. පෙරේරා

සිරිල් සී. පෙරේරා මහතා අභාවයට පත්ව සැප්තැම්බර් 04 දිනට දෙවර්ෂයක් සම්පූර්ණ වේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.

මෙරට පළවන සාහිත්‍යාංග අතරින් පරිවර්තන කෘතිවලට අනෙක් කෘතිවලට වඩා වැඩි ඉල්ලුමක් ඇති බව වාර්තා වේ. පරිවර්තන කෘති වලට පාඨක ඉල්ලුම වැඩිවීමට හේතුවූ ප්‍රධාන කාරණා තුනක් ඉදිරිපත් කළ හැකි ය. ඉන් පළමුවැන්න සිංහලෙන් පළ වන නවකතා ඇතුළු නිර්මාණ කෘතිවල ඇති ඒකාකාරී ස්වභාවය සහ නිර්මාණ දරිද්‍රතාවෙන් පාඨකයන් හෙම්බත්ව සිටීමයි.

දෙවැනි කාරණය පරිවර්තන කෘතිවල දක්නට ලැබෙන අත්දැකීම්වල අපූර්වත්වය ඒ කෘතිවලට පසුබිම් වූ රටවල සහ ජනතාවගේ සංස්කෘතික ජීවිතය ඒවායෙන් පිළිබිඹු වීම පාඨකයන්ට නවමු අත්දැකීමක් වීමයි. මේ නිසා පරිවර්තන කෘතිවලට පාඨක සිත් ඇදී යයි.

තෙවැනි කාරණය ඒ.පී. ගුණරත්න, ඊ. ආර්. එරත්න, මාතර ජස්ටින් විජයවර්ධන, කලුබෝවිල සිරිල් සී. පෙරේරා, කේ.ජී. කරුණාතිලක වැනි වියතුන් කිහිප දෙනෙකු පරිවර්තන කාර්යයට පිවිසීමයි. එ් වියතුන් පරිවර්තනය සඳහා කෘති තෝරා ගැනීමේදීත් ඒවා සිංහලට පරිවර්තනය කිරීමේදීත් දැඩි වගකීමකින් යුතුව කටයුතු කළ අතර එනිසාම ඔවුන්ගේ කෘති පාඨකයෝ සාදරයෙන් වැලඳ ගත්හ.

මින් දෙවසරකට පෙර අප අතරින් වියෝ වූ සිරිල් සී. පෙරේරා මැතිතුමා පරිවර්තන කෘති සිංහල පාඨකයන් අතර ජනප්‍රිය කරවීමට පු‍රෝගාමී මෙහෙවරක් ඉටු කළ බවට අවිවාදිත ය. 1950 දශකයෙන් ආරම්භ කළ ඔහුගේ කාර්යභාරය දශක හතක පමණ කාලයක් තිස්සේ ගලා ගියේ ය. 1958 දී චාල්ස් ඩිකන්ස්ගේ කෘතියක් නත්තල් ගීතය නමින් සිංහලට පරිවර්තනය කළ එතුමා අනතුරුව කර්මසෝ සහෝදරයෝ, පෙරළු නැවුම් පස, මළ මිනිස්සු, යුද්ධය සහ සාමය, එමා බොවාරි වැනි විශ්ව සාහිත්‍යයේ සම්භාවනාවට පත් දැවැන්ත කෘති රාශියක් සිංහලයට පරිවර්තනය කොට පළ කරවීමට කටයුතු කළේ ය.

සෝවියට් සාහිත්‍යය පිළිබඳව පළමුවරට මෙරට පාඨකයන් අතර උනන්දුවක් ඇති කරවීමෙහිලා සිරිල් සී. පෙරේරා මහඟු මෙහෙවරක යෙදුණි. ලියෝ ටොල්ස්ටෝයි, මැක්සිම් ගෝර්කි, ඇන්ටන් චෙකොෆ් වැනි ලේඛකයන් මෙරට පාඨක සිත් තුළ නොමැකෙන ලෙස සටහන් වූයේ සිරිල් සී. පෙරේරාගේ කාර්යභාරයේ ප්‍රතිඵලයක් ලෙසිනි‍‍. වර්තමානයේ බහුල වශයෙන් පරිවර්තන කෘති පළ වීමට හේතුව වී ඇත්තේ ද සිරිල් සී. පෙරේරා ප්‍රමුඛ වියතුන් දැමූ පදනමයි.

සිරිල් සී. පෙරේරා ප්‍රමුඛ ඉහතින් නම් සඳහන් කළ වියතුන්ගේ පරිවර්තන කෘති සමඟ වර්තමානයේ බහුල වශයෙන් පළ වන පරිවර්තන කෘති සසඳන විට එ් වියතුන්ගේ කොතරම් වගකීමකින් යුතුව කටයුතු කර තිබේ ද යන්න මනාව පැහැදිලි වෙයි. පරිවර්තන කෘතිවලට ඇති ඉහළ ඉල්ලුමත් සමඟ වෙළෙඳපළ ඉලක්ක කර කෘති පළ වීම නිසා ඒ කෘතිවල ගුණාත්මක භාවයේ කඩා වැටීමක් සිදුවී ඇති බව පෙන්වා දිය හැකිය.

පරිවර්තනය සඳහා කෘති තෝරා ගැනීමේදී සිරිල් සී. පෙරේරා මහතා විශ්ව සාහිත්‍යයේ සම්භාවනාවට පත් කෘති පමණක් තෝරා ගත්තේ ය. එහෙත් වර්තමාන පරිවර්තකයන්ගේ ප්‍රධානම නිර්ණායකය වී ඇත්තේ සරල ඉංග්‍රීසි භාෂාවෙන් ලියැවුණ කෘති සහ මාරක කතා අබිරහස් කතා ආදී අවරගණයේ කෘති තෝරා ගැනීමයි. කෘතිය පරිවර්තනය කරගෙන යෑමේදී දුෂ්කරතා මතුවූ අවස්ථාවල ඒ කොටස් මඟ හැර ඉතිරි කොටස් පමණක් පරිවර්තනය කරනු ලැබූ අවස්ථා දක්නට ලැබේ.

පරිවර්තනය සඳහා තමා තෝරාගත් කෘතියට පසුබිම් වූ පරිසරය පිළිබඳ ව ද සිරිල් සී. පෙරේරා මහතා අවබෝධයක් ලබාගෙන කටයුතු කර ඇති බව එතුමාගේ කෘතිවල ඇති දීර්ඝ පෙරවදන්වලින් පැහැදිලි වෙයි. එතුමා ඒ කෘති කියවා රස විඳීමෙන් නොනැවතී ඒ පිළිබඳ හැදෑරීමක් ද කර එයින් ගම්‍ය වන යටිපෙළ අරුත වටහාගෙන එය කලාත්මක භාෂාවකින් ඉදිරිපත් කිරීමට වෑයම් කර තිබේ.

එපමණක් ද නොව ව්‍යාකරණාකූල භාෂාවකින් ඉදිරිපත් කිරීම කෙරෙහි ද සැලකිල්ලක් දක්වා ඇති බව පෙනී යයි. 'යුද්ධය සහ සාමය' කෘතිය පරිවර්තනය කරන අතරතුර සිරිල් සී. පෙරේරා මහතා ලියෝ ටෝල්ස්ටෝයි ගේ නිවහන පිහිටි යස්යානා පොල්යානාවලට ගිය අයුරු සහ එහිදී ඔහු ලැබූ අත්දැකීම් සහ ඒ සංචාරය නිසා තමාගේ කටයුතු පහසු වූ අයුරුත් විස්තර කළ හැටි අපට තවමත් මතක ය.

එතුමා‍ හැමවිටම පරිවර්තනය කිරීම සඳහා තෝරා ගත්තේ දැවැන්ත කෘති වීම විශේෂත්වයකි. බොහෝ පරිවර්තකයෝ දැවැන්ත කෘති තෝරාගෙන අතරමඟදී අතහැර දමති. නොඑසේ නම් මඳක් දුර පරිවර්තනය කරගෙන යනවිට ඉතිරි කොටස නොසැලකිල්ලෙන් කටයුතු කරති. එහෙත් සිරිල් සී. පෙරේරා නොපසුබස්නා වීර්යයෙන් යුතුව අවසානය දක්වාම ඉවසිල්ලෙන් සහ හික්මීමකින් යුතුව තම කාර්යයේ නිරත විය. ඒ පොත්පත්වල සෝදුපත් බැලීමේ නීරස කාර්යයෙහි ද එතුමා නිරතවූයේ වෙහෙස නොබලමිනි.

සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ සිංහල සහ ඉංග්‍රීසි සාහිත්‍ය අනුමණ්ඩලවලට දීර්ඝ කාලයක් තිස්සේ තම සේවය ලබාදීමට එතුමා සමත් විය.

සෝවියට් දේශයෙන් පිරිනමනු ලබන සාම සම්මානය පිදුම් ලැබූ එතුමාට රාජ්‍ය සාහිත්‍ය සම්මානයද කිහිප වරක් ම හිමි විය.

වෘත්තිය ගෘහ නිර්මාණ ශිල්පියකු ලෙස රජයේ සේවයේ යෙදී සිටි එතුමා දක්ෂ චිත්‍ර ශිල්පියකු ලෙස කටයුතු කර ඇති බව බොහෝ දෙනෙකු නොදන්නා කාරණයකි. ඔහුගේ නි‍ෙවසම ඊට කදිම සාක්ෂියකි. කලාත්මක නිමාවකින් යුත් එ් නිවෙසේ තැන තැන්වල ඔහුගේ නිර්මාණ එල්ලා තිබේ.

දශක අටකට මඳක් වැඩි කාලයක් ජීවත්ව සිටි එතුමා තමාගේ ජීවිතයම සාහිත්‍යය වෙනුවෙන් කැප කළේ ය. තව සියවස් ගණනක් යනතුරු ඔහුගේ පරිවර්තන කෘති ලාංකික සමාජයේ සැරිසරනු ඇති බවට සැකයක් නැත.

අදහස්