වෙස් පෙරළෙන ණ-යන්න අතීතයට එක ණ-න්නක්! වර්තමානයට තව න-යන්නක්! | සිළුමිණ

වෙස් පෙරළෙන ණ-යන්න අතීතයට එක ණ-න්නක්! වර්තමානයට තව න-යන්නක්!

අප මෙතෙක් මේ වියරණ තීරය ඔස්සේ කතා-බහ කළ සියලු අංශ එකිනෙක ගත් ඉඩ-හසර ඉක්මවා, ණ / න යනු හා බැඳෙන කරුණු පැහැදුම දිගින් දිගටම විහිදෙන හැඩකි. එතරම්ම පුළුල් රීති විවිධත්වයක් ණ / න යෝජනයේදී විද්‍යමාන වන හෙයිනි.

මේ අතුරින් නාම පද හා ක්‍රියා පද මත ණ / න හැසිරුම වෙනස් වනයුරු කෙරෙහි ඉකුත් සතියෙහිදී අපගේ විමසුම් ඇස යොමු වූ සැටි ඔබට මතකය. එහිදී ණ / න යෙදුමට බලපෑවේ නාම-ක්‍රියා වශයෙන් ‘පද භේදය’ සේ වටහාගත හොත්; මෙවර විමසනු ලබන රීතියේදී හේතු කාරකය වනුයේ ‘කාල භේදය’ සේ සිත්හි රඳවාගැනීම සුදුසුය. මෙහිදී; අතීත, වර්තමාන, අනාගත වශයෙන් පුරුද්දට මෙන් ‘කාල තුනක්’ ගැන පැවසීමට නැඹුරුව සිටියද; සිංහලයෙහි ක්‍රියා පද ව්‍යවහාරය සැබැවින් පවත්නේ ‘අතීත’ හා ‘අනතීත’ ලෙස කාල දෙකකට පමණක් යටත්ව බව වටහාගෙන සිටීම අපගේ අවබෝධය පහසු කරයි.

අතීත ක්‍රියා

• පැවසීමි, පැවසූමු

• පැවසීහි, පැවසූහු

• පැවසුවේය, පැවසුවාය, පැවසීය, පැවසූහ

අනතීත ක්‍රියා

• පවසමි, පවසමු

• පවසන්නෙහි, පවසන්නහු

• පවසන්නේය, පවසන්නීය, පවසයි, පවසති

මේ හැරුණු කොට, අනාගතයේ කරනු ලබන්නක් හඟවනු පිණිස, බැහැරින් උපකාරක පදයක් (වහරට නිදසුන: ‘පසුව’ පවසමි > ‘එ-හසුන් පැසුළු පවසමි රස නුසුන් කොට’ - සැලලිහිණි සඳෙස) ක්‍රියා පදයට පූර්වයෙන් යෙදෙනු මිස, වෙනම අනාගතවාචි ක්‍රියා පද රූපයක් සිංහලයෙහි දක්නා නොලැබෙයි. ඇතැම් කෙනකු විසින් ‘පවසන්නෙමි’, ‘පවසන්නෙමු’ ස්වරූපයේ ක්‍රියා පද අනාගත අර්ථය හඟවතියි දැක්වුණද, එවදන්හි එබඳු අරුතක් නොදකිමු.

දැන් මේ අවබෝධය සිත්හි ඇතිව, ණ / න-කාරය සහිත ක්‍රියා පද මේ කාල දෙ-අන්තයෙහි හැසිරෙන ආකාරය කෙරෙහි විමසිලිමත් වෙමු.

වර්තමාන ක්‍රියා - ‘න’

• අසන්නේය, අසන්නීය

• ගයන්නේය, ගයන්නීය

• කඩන්නේය, කඩන්නීය

• බලන්නේය, බලන්නීය

• හෙළන්නේය, හෙළන්නීය

මෙ-නිදසුන් විමසත පෙනී යන්නේ; වර්තමාන කාල ක්‍රියා පදවල යෙදෙන න-යන්න දන්තජම වන බවයි. මීළඟට ඒවාට අනුරූප අතීත කාල ක්‍රියා පද විමසන විට තහවුරු වන්නේ; අතීත කාල රූපයට හැරවුණු වහා ඒවායේ වර්තමාන කාල රූපයේ පැවති දන්තජ න-කාරය, මූර්ධජ ණ-කාරය බවට රූපාන්තරණය වන බවයි. බලන්න:

අතීත ක්‍රියා - ‘ණ’

• ඇසුණේය / ඇසිණි

• ගැයුණේය / ගැයිණි

• කැඩුණේය / කැඩිණි

• බැලුණේය / බැලිණි

• හෙළුණේය / හෙළිණි

මෙහිදී පෙනී-යන තවත් කරුණක් වන්නේ අනුරූප ක්‍රියා පද මූර්ධජ ණ-යන්න සහිතව අතීත කාලයට හැරෙද්දී ඒවා කිසියම් ‘ස්වයංසිද්ධ’ ස්වරූපයක් ප්‍රකට කරන බවයි. මෙය පහසුවෙන් වටහාගන්නට පහත සංසන්දනය ඔබට උපකාරි වනු ඇත:

අතීත ක්‍රියාවේ ප්‍රභේද

• ඇසුවේය - ඇසුණේය

• ගැයුවේය - ගැයුණේය

• කැඩුවේය - කැඩුණේය

• බැලුවේය - බැලුණේය

• හෙළුවේය - හෙළුණේය

ඉහත පද යුගලවල පළමුවන ක්‍රියා පදය සිතා-මතා සිදු කරන්නක් බවත්, අනුරූප දෙවැන්න සිතීමකින් තොරව - එනම්: අවිඥානකව එසේත් නැත් නම් ‘ඉබේ’ සිදු වන්නක් බවත් සුපැහැදිලිය.

මේවා අමතර කරුණුය. අපගේ අවධානය හා අවධාරණය

න > ණ රූපාන්තරණය කෙරෙහි වන හෙයින්; වැඩි කරුණුු ඔබගේ විවේකි විමසුම් ඇසට ඉතිරි කොට, මාතෘකාව වෙත යොමු වෙමු. මෙහි අපගේ නිරීක්ෂණය වූයේ අතීතවාචි ක්‍රියාපද මූර්ධජ ණ-කාරය සහිත වන බවයි. දැන්, මෙබඳු ක්‍රියා පදවල සේම ‘ක්‍රියා මූල’ හෙවත් ‘ධාතු’ ඇසුරෙන් උපදින ‘කෘදන්ත’ පදවල අතීත රූපයද මූර්ධජ ණ-යන්නෙන්ම සමන්විත වන සැටි බලමු:

අතීත කෘදන්ත - ‘ණ’

• ඇසුණු

• ගැයුණු

• කැඩුණු

• බැලුණු

• හෙළුණු

කට වහරේ ඉහත පද පිළිවෙළින් ඇහිච්ච, ගැයිච්ච, කැඩිච්ච, බැලිච්ච, හෙළිච්ච යනාදිව ‘-ච්ච’ අන්තව යෙදෙන ආකාරය සිහි තබාගත හොත්; ඒවාට අනුරූප ගත් වහරේ හෙවත් ලේඛන ව්‍යවහාරයේ වචනය මූර්ධජ ණු-කාරාන්තව ලිවීමට කිසි විටෙක ඔබට අතපසු නොවනු ඇත.

‘-ච්ච’ > ‘ණ’

• ඇහිච්ච > ඇසුණු

• පෙනිච්ච > පෙනුණු

• කැඩිච්ච > කැඩුණු

• බිඳිච්ච > බිඳුණු

• වැටිච්ච > වැටුණු

මේ කරුණු පිඬු කරගැන්මෙන් අපට පොදුවේ එළැඹිය හැකි නිගමනය වන්නේ ධාතුවකින් නිපැයෙන ක්‍රියා හා කෘදන්ත පදවල යෙදෙන ‘ණ-කාරය’ මූර්ධජ ණ-යන්න වන බවයි.

මේ රීතිය වෙනස් වතොත්, ඒ එක් අවස්ථාවකදී පමණි. එතැන නම් ‘ත’, ‘ද’, ‘ප’,‘ ම’, ‘ස’ බඳු දන්තජ හෝ ඕෂ්ඨජ අක්ෂරයකින් අරඹින ධාතුවකින් අතීත ක්‍රියා පද සහ අතීත කෘදන්ත පද සැදෙන අවස්ථාවයි. තවදුරටත් විමසා බලතොත් මේවායේ අතීත කෘදන්ත පද අකුරු දෙකකින් පමණක් යුක්ත වන සැටිද, අතීත අනතීත කාල දෙකෙහිම ‘න-කාරය’ ද්විත්ව වී යෙදෙන අනුරූප පද රූප පවත්නා සැටිද නිරීක්ෂණය කරන්නට පිළිවනි:

අකුරු දෙකේ කෘදන්ත - ‘න’

• තැනූ - තනන, තනනවා

• දිනූ - දිනන, දිනනවා

• දුන් - දුන්නා

• පිනූ - පනින, පැන්නා

• මිනූ - මනින, මැන්නා

• සුන් - (වහර: සුන් වූ පැතුම්)

• සුනු - (වහර: සුනුසහල්)

මේ වදන්හි අනුරූප කට වහර කෙරෙහි මඳක් විමසුම් ඇස යොමු කළ හොත් පෙනී යන කරුණ වන්නේ පිළිවෙළින් තනපු, දිනපු, දීපු, පැනපු, මැනපු යනාදිව ‘-පුු’ අන්ත වදන් මිස, මේවාට ‘-ච්ච’ අන්ත අතීත කෘදන්ත වචන රූප නොපවත්නා බවයි.

 

[ඉ-ලිපි: [email protected]]

අදහස්