බෝනස් එකක් | සිළුමිණ

බෝනස් එකක්

නිකොලොයි ඔස්ත්‍රොව්ස්කි ගැන අසා ඇති කෙනෙක් නැතැයි කියන්නට මුළුමනින් ම මා ඉක්මන් නොවුණත් සාහිත්‍යයට පෙම් බඳින ඕනෑම කෙනෙක් ඔහු ගැන දන්නා බවට මට සැකයක් නැත. ඔස්ත්‍රොව්ස්කි තම ජීවිතයෙන් තුනෙන් එකක් ගත කර දිවියෙන් සමු ගත්ත ද ඒ කෙටි කාලය ඇතුළත වානේ මෙන් පන්නරය ලබන්නට අපට කියා දුන් ‍ලේඛකයෙකි. අපට වානේ මෙන් පන්නරය ලබන්නට උගැන්වූ ඔහු ඒ වනවිට අඳ බවට පත් වූ ලේඛකයෙකු බව ඔබ දන්නවාද?

'වානේ පන්නරය ලැබූ හැටි' කෘතිය ලේඛනයේ රන්සුනු සොයායන අපට මඟහැර යෑමට නොහැකි කෘතියකි. එයට හේතුව වන්නේ අන් සියල්ල සේම ලේඛනය ද විවිධ කාල වල, විවිධ තත්ත්ව වලදී වසංගත වලට, උණ රෝග වලට ගොදුරු විය හැකි බැවිනි. ආදරය ද එසේ ම බැව් අපට කියන්නේ 'කොලරා කාලේ ආලේ' ලියමින් ගබ්රියෙල් ගාර්සියා මාර්කේස් ය. ලේඛනය ද ඊට දෙවැනි වන්නේ නැත. ඔබට, මට වසංගත, උණ සන්නිපාත ආදී දේ ලේඛනයේදී නිරන්තරයෙන් බෝ වේ. වරදවා වටහා නොගනු මැනව! මා කියන්නේ භෞතික රෝග ගැන නම් නොවේ.

මේ සියලු ලෙඩ අතරේ ලේඛනයේ යෙදෙන්නන් ලේඛණය අතහරින්නේ ද නැත. කුමන බාධක, කම්කටොළු ආවත් ලේඛනයට පෙම් බඳින්නෝ ලේඛනය අත නොහරිති. ඔස්ත්‍රොව්ස්කි ද එසේ ම ය.

ඔස්ත්‍රොව්ස්කි මුලින් ලියන්නට ආශාවෙන් සිටියේ නැත. ඔහු පෙළුණේ කියැවීමේ පිපාසයෙනි. දෑස් අඳ නිසාම කියවා ගැනීමට නොහැකි බැවින් නි‍ෙවසට එන ඕනෑම අයකුට තමාට ඇසෙන්නට යමක් කියවන්නැයි ඔහු ඉල්ලා සිටියේය.

ඔහු අඳ බවට පත් වන්නේ සෝවියට් ආණ්ඩුව රැක බලා ගැනීම වෙනුවෙන් සටන් කරද්දී ය. යුද පෙරමුණේදී තදබල ලෙස තුවාල ලබන ඔහු අනතුරුව දුම්රිය මාවත් තනන වැඩපොළක කම්කරුවකු ලෙස සේවය කරන්නේ ය. කොමසෝල් නායකයකු වූ ඔහුගේ දෑස් අන්ධ වූයේ 1920 වර්ෂයේදී ය.

1917 විප්ලවයෙන් පසු බිහි වූ සෝවියට් තරුණයා විසින් රට ජාතිය වෙනුවෙන් කරන පරිත්‍යාගයේ කතාව ' වානේ පන්නරය ලැබූ හැටි' කෘතියේ ආත්මය වෙයි. ඔබ මෙතෙක් එය කියවා නැත්නම් හැකි ඉක්මනින් ඒ කෘතියේ කියවා ගන්නා ලෙස මම ඔබට ඇරියුම් කරමි. පාවෙල්ගේ චරිතය සෑම විප්ලවවාදී තරුණයකුගේ ම ආදර්ශය වනු ඇත. මැක්සිම් ගෝර්කි මේ කෘතිය හඳුන්වන්නේ 'කය මැඬ ගෙන ආත්මය ජයග්‍රාහී වන ආකාරය පිළිබඳ ඉතා දීප්තිමත් නිදර්ශනයක්' ලෙස ය. මිනිසා විනාශ කළ හැකි වුවත් පරාජය කරන්නට නොහැකි බව අපට උගැන්වූයේ හෙමිංග්වේ ය. එය තව සිය දහස් ගුණයකින් ඔස්ත්‍රොව්ස්කි කියා දෙන්නේ ය.

ඔස්ත්‍රොව්ස්කි හැම විටම කියන්නට පුරුදුව සිටියේ ' වැඩ කිරීම තමයි මගේ හොඳ ම ප්‍රතිකාරය' කියා ය. මා ඔබට යෝජනා කරන්නේ ද එය ම ය. ඕනෑම අසීරු අවස්ථාවක අධික ලෙස වැඩ කිරීමට ඇබ්බැහි වීමෙන් ඒ අසීරු අවස්ථාවක නොදැනුවත්ව ම මඟ හැරෙයි. ඔබ ලේඛනයේ යෙදෙන්නේ නම් ඔබට මිණිවන් නිර්මාණයක් ඉතිරි වෙයි. එබැවින් අසීරු අවස්ථා යනු ඔබට ලැබෙන බෝනස් ය. කොතරම් අසීරු අවස්ථාවක් ගත කරමින් සිටියේ වුව ද ඔස්ත්‍රොව්ස්කි කණගාටු වූයේ නැත්තේ එබැවිනි.

ඔබ දන්නවාද ඒ සුවිශේෂී පොතට ඔහු ' වානේ පන්නරය ලැබූ හැටි' කියා නම් කළේ ඇයි කියා. ඒ ගැන ඔස්ත්‍රොව්ස්කි ම බ්‍රිතාන්‍ය පුවත්පත් කලාවේදීන් පිරිසකට කියා ඇත්තේ මෙසේ ය.

' වානේ වලට පන්නරය දෙන්න දිලිසෙන ගින්දරත්, තද සීතලත් අවශ්‍ය වෙනවා. ඊට පස්සේ ඒක ඉතාමත් ශක්තිමත් වෙනවා. ඕනෑම වැඩකට සුදුසු වෙනවා. අපේ පරම්පරාව පදම් වුණෙත් ඒ ආකාරයට; ජීවිතයේ බරපතළ පරීක්ෂණවලට භාජනය වෙලා. අන්තිමේදී කුමන ආකාරයක වුණත් ජීවිතයකට මුහුණ දෙන්න තරම් පන්නරයක් ඔවුන් ලැබුවා.'

ඔහු කියන්නේ අප වැඩ කිරීම; සෑම තත්ත්වයක් යටතේ ම වැඩ කිරීම කොතරම් සුපසන් අවසානයක් අපට ලබා දෙනවාද යන්න ය. පොත පොත් ප්‍රකාශකයන් වෙත යැවූ ඔහු ඔවුන්ගේ තීරණය එනතෙක් පැවසුවේ,

'ඔවුන් මගේ පොත අහක දැමුවොත් මම ආයෙත් වැඩ කරනවා. මම කොහොමහරි ජීවත්වීමට බලපත්‍රයක් ලබා ගන්නවාමයි‍. '

අධිෂ්ඨානය, කැපවීම කියන්නේ ඒ වගේ දෙයකට බැව් ඔබට වැටහෙනවාට සැක නැත.

ලේඛනයේ නිරතවීමට බලාපොරොත්තු වන අපට විවිධ අරමුණු තිබේ. ඒ අරමුණු වෙත යෑමට නම් අප වානේ මෙන් පන්නරය ලැබිය යුතු ම ය. එයට හේතුව මුලින් ම කිව්වා සේ ලේඛනය ද විවිධ වසංගත රෝග, දුර්භික්ෂවලට මුහුණ දෙන බැවිනි.

අදහස්