පාස්කු නිවා­ඩුව | සිළුමිණ

පාස්කු නිවා­ඩුව

පසුගිය වසරේ ප්‍රකාශයට පත් වූ අභිනව පරම්පරාවේ කාව්‍ය නිර්මාණ කෘති ඇසුරෙහි මට හමු වූ, කාව්‍යයේ මා අපේක්‍ෂා කරන අධ්‍යාත්ම ස්වරූපයට සමීපතර වූ කෘතිය වනුයේ, හෙනා ලියවැලක හිනා වෙන මල් පෙති බව, කියනු කැමැත්තෙමි. මෙමඟින් අප හමුවට එන පුළුල් කාව්‍යෝචිත අධ්‍යාත්මයක් රැගත් නිර්මාණ සමූහයක පිතෘවරයා නිරාශ ගුණසේකර නම් වෙයි.

වර්තමාන නව කාව්‍ය නිර්මාපකයන් ගේ නිමැවුම් කෙරෙන් මා දකින්නේ විචිත්‍රත්වයට වඩා විවිධත්වය ය. විචිත්‍රත්වය යන වදනින් පැවැසෙන මනෝඥභාවය හා විසිතුර ඒ නිර්මාණ කෘතීන්හි ඇත්තේ ස්වල්ප වශයෙනි. එක් තනි කාව්‍ය ස්වරූපයකට සීමා වීමට අකැමැති කෙනකු වුව ද මම කවි නිමවන්නකු හැටියට පෞද්ගලික ව මගේ රුචියට නොසරිලන කවියක් කෙරෙහි වඩාලාත් ඇලුම්වත් නො වෙමි. ඒ වනාහි මනුෂ්‍යත්වයේ සැටියකි. කවි නිමවන්නකු කාව්‍ය ගැන කරන විචාරයේ පැහැදිලි සීමාවන් තිබේ යැ යි ටී.එස්. එලියට් කී බසට මම ගරු කරමි.

නිරාශ ගේ කවිය, ලොව උත්තම කාව්‍යයන්හි අපේක්‍ෂාවට සමීප වීමට යත්න දරන්නකු අවධාන පරවශ විය යුතු අංශ කිහිපයක් කෙරේ යොමුවන්නකි. ඔහු යම් සංවේදනයක් සිය කවිය ඇසුරේ ගොඩනංවමින් ඊට පාදක අත්දැකීමෙහි නො වූ විභවයක් සිය කවියේ ආභ්‍යන්තරික ව පනවයි. කවියේ හුදු සංවේදනය යම් බඳු රූපාන්තරයකට පත් කිරීමට කවියකු පරිභාවිත කළ යුතු ක්‍රමෝපායයන් උදෙසා නිරාශ දරන යත්නය අප කාගේත් විමැසුමට හසු වුව මනා ය. සැබැවින් ම ඔහු කවියේ අප්‍රමේය ජීවිතය සලකා ඊට සරිලන ඉන්ද්‍රීයරූපී සංඥා සහිත බසක් පිළිබඳ ව ව්‍යාවෘත වන අලුත් තාලේ නිර්භය නිර්මාපකයෙකැ යි මට හැඟී ගියේ හෙනා ලියවැලක හිනා වෙන මල් පෙති කෘතියෙහි ‘පාස්කු නිවාඩුව’ නම් නිමැවුම විමසන කල්හි ය.

 

දුර ඈත අප්‍රකට කලපුවල

රංචු සේ ගැවසෙන

යෝධ පෙලිකන් කුරුල්ලෝ....

නිසොල්මන් ය

නිහඬ ය ...

තබමින් පුළුල් අඩි

වගුරු පස් ආනවල

සීරුවට සොයති කිසිවක්...

දිගු පාස්කු නිවාඩුව

අරන් ඇවිදිල්ලා

නගරබද බෝ ජීවිත

ඈත කෙත්බිම්වලට

ප්‍රීතිය ප්‍රමෝදය

කලබලය නම් නො අඩු ය

එක ම සැණකෙළියකි මේ මොහොත

යාච්ඤා අහවර ව

ඇතැමෙක් සේන්දු වෙති

බලා කියා ගන්නට

වගුරුබඩ පක්‍ෂීන්

ගන පන්පඳුරු අස්සෙන්...

හිස හරවලාවත් නො බලති

යෝධ පෙලිකින් කුරුල්ලෝ

ගිලෙති කලපු දිය ඇසුරේ...

විසල් හොටකින් ගෙන යමක්

ආයාසයෙන් තොර වු නැඟෙත්

හිටි ගමන්...

වැලලි අහසේ පතුරා

උන්ගේ ම සුදක්

ඈත පල්ලියට ඉහළින්

කැටිවෙද්දි මූසල ම අඳුරක්

 

මෙමඟින් ගම්‍ය වනුයේ පෙලිකන් කුරුල්ලන් ගේ නිසග ස්වාභාවික චර්යාව හා එහි ප්‍රතිපක්‍ෂය ලෙස යම් සමාජීය හා ආගමික හැඩගැස්මකට ලක් වූ මිනිසුන් ගේ පෙලැඹුම් විලාසය යි. පෙලිකන් කුරුල්ලෝ සිය සුපුරුදු හැසිරීම් සහිත ඔවුන් ගේ ම ස්වාභාවික පරිසරයට එකඟ ජීවිත ගත කරති. ඔවුහු නිසොල්මන් නිහඬ ඇත්තෝ ය. කවියා ඔවුන් වගුරුවල බැස පුළුල් අඩි තබමින් සීරුවට යමක් සෙවීමෙහි නිරත වූවන් ලෙස දකී.

මේ අප්‍රකට කලපු කරා නගරබද බොහෝ ජීවිත රැගෙන එනු ලැබ ඇත්තේ දිගු පාස්කු නිවාඩුව විසිනි. දිගු පාස්කු නිවාඩුවට කවියා මෙහි දී සජීවත්වයක් ආරෝපණය කරයි. නිසොල්මන් කුරුලු ඇත්තන් ගේ විලාස නැරැඹීමට පැමිණි නගරබද මිනිසුන් නිසා අප්‍රකට කලපු එක ම සැණකෙළියකි. ප්‍රීතිය ප්‍රමෝදය කලබලය නො අඩු ව එහි ය. එහෙත් හිස හරවලාවත් නො බලන පෙලිකන් කුරුල්ලෝ ය. ඔවුන් තමා ගේ ම සංසිඳුණු ලොවෙක ය. ගන පන් පඳුරින් ගැවැසි කලපු දිය ඇසුරේ විටෙක ඔවුහු ගිලී යති. කලපු පෙදෙස ද එහි පෙලිකන් සියොතුන් ගේ නිසර්ග සිද්ධ පැවැත්ම ද මඟින් කවියා යෙදෙනුයේ සූක්‍ෂ්ම සංඥාකරණයක ය.

කුරුල්ලන්ගේ ස්වාභාවික විහරණ විධිය හා චර්යාව නරඹන්නන් මිස ඔවුන් ගේ දිවි තතුවෙහි සූක්‍ෂ්ම ප්‍රවෘත්තිය වෙත සාවධාන වන්නෝ එහි නො වෙති. සංවිධාන කළ, පරාරෝපිත ලබ්ධිගත ජීවිත හමුවේ පෙලිකන්ලා ගේ චර්යා සහිත කලපු භූමිය එක් ව තැබීම කවියා දැනුම්වත් ව කළ ප්‍රතිමුඛකරණයකි. Juxtaposition කවියේ අර්ථ කණිකාව පහළ වන්නේ මේ දෙපාර්ශ්වය එක ළඟ තැබීමෙනි. එ සේ ම මේ නිමැවුමෙහි චිත්තරූපික යෙදවුම් මඟින් කවියේ වාච්‍යාර්ථ සියල්ල අප්‍රධාන බවට පත් කරනු ලැබේ.

තමන්ට ම හිමි සුදක් ඇති ඔවුන් හොටින් ගත් දෙය ගෙන අහසට නැඟෙනුයේ ද ආයාසයෙන් තොර ව ය. තරගයක් එහි නැත. තත්ත්වාරෝපිත, සංවිධිත, ජීවිතවල ස්වභාවය සමඟ පෙලිකන් කුරුල්ලන් ගේ ස්වාධින චර්යා ලක්ෂණ ඉන්ද්‍රීයරූපී ව සංඝටනය කිරීමෙන් කවියේ ව්‍යංග්‍යය සාක්ෂාත් කිරීම මෙහි දී නිරාශ ගේ ක්‍රමෝපායය වී ඇත. අත්‍යවශ්‍ය ඇඟැවුම්ශීලී ස්වරයක් චිත්තරූපික පැවැත්මකට නතු කරගන්නා හෙතෙම සිය කවියෙන් අනවශ්‍ය විස්තර විවරණ සැපැයීමට, යම් අධ්‍යාශයක් ප්‍රකාශමාන කිරීමට කැප නො වේ.

නිරාශ කරනුයේ යම් අවස්ථා කීපයක් අප හමුවේ තැබීම පමණි. මධ්‍යස්ථ අවලෝකනයකින් කැරුණු සියුම් පෑරුමක් මෙනි අපට නිරාශ ගේ කවිය දැනෙනුයේ.

එ සේ ම මේ කවි කෘතිය ආශා අභිලාෂ සමඟ වන දිවි පැවැත්ම කවරක් ද, යන්න කෙරේ යොමු වුණු සරු නිමැවුම් රැසකින් යුක්ත ය.

ලිංගිකාශාව වුව ජීවිතයේ ගතික ක්‍රියාත්මක භාවයේ සංරචකයක් A Component of the life instict ලෙස නිරාශ දකිනුයේ ස්වකීය වගකීම වන කාව්‍යෝචිත ව්‍යවහාරය නොඉක්මවමිනි.

 

අදහස්