දිවි රැක­ දුන් කුර­හන් හේන | සිළුමිණ

දිවි රැක­ දුන් කුර­හන් හේන

සිව්හෙළයන්ගේ ම ප්‍රධාන ජීවනවෘත්තිය වූයේ ගොවිතැනයි. ප්‍රධාන ආහාරය (බත) සැපයුණේ වී වගා කළ කුඹුරු (මඩ) ගොවිතැ‍නෙන් ය. වියළි දේශගුණය වැඩි කාලයක් පැවති නිසා වී ගොවිතැනට අවශ්‍ය ජලය රැස්කර ගැනීමට රුහුණු, මායා, පිහිටි, ත්‍රී සිංහලේ ම සමුදුර පරදන වැව් අමුණු ඉදි වූහ.‍ චෝල, මාඝ ආදී ආක්‍රමණ ද පෘතුගීසි, ලන්දේසි හා ඉංග්‍රීසි ක්‍රියාකාරීන් ද ඒ වාරි පද්ධති අක්‍රිය කළහ. හේන් වගාව රට තුළ බහුලව ක්‍රියාත්මක වීමට මෙය ද එක් ප්‍රබල හේතුවකි. අහස්දියෙන් කළ හේන් ගොවිතැනට අවශ්‍ය වූයේ අඩු ජල ප්‍රමාණයකි. යලමහ මෝසම්වලදී හේන් ගොවිතැනින් ලබා ගත් ධාන්‍ය, එළවළු, බතේ අඩුව සම්පූර්ණ කළ හ.

හේන් වගාව නිසා වන සම්පත විනාශ වේ යැයි දැඩි විවේචනයක් පවතී. බත නැති වන විට දිවි රැක දුන් හේන් ගොවිතැන වනස්පතිය ආරක්ෂා වන සේ පුරාණ ඇත්තන් විසින් සිදු කර ඇත. හිතුමනාපයට හේන් කෙටුවේ නැත. හේන කොටස පෙදෙස පළමු (මාරම්) මයිම් කපා ගම් ප්‍රධානියාට පවසයි. ඔහු ගොස් බලා ජලපෝෂක හෝ වැවට හෝදා පාළු ගලා නොයනවා නම් පමණක් අනුමැතිය දුන්නේ ය. අනෙක වර්ෂය පුරා හේන් සඳහා කැලෑ කැපුවේ ද නැත. වගා කළේ මෝසම් දෙකට පමණි. එකම හේන කීපවරක් ම වගා කළ බව සැබෑවකි. එවිට අලුත් කැලෑ විනාශ නොවීය. හේන් වර්ග කීපයක් ගැන කියැවෙන්නේ ද ඒ නිසාය. (1) නවදැලිහේන අලුතින් කැලෑ කපා ගිනිතබා අලුපොහොර මත කරන ගොවිතැනයි. රජරට ඇත්තෝ මේ හේන් වගාවේ දලු නවයක් අලුතින් ලද බව කියයි. ප්‍රධාන ධාන්‍යයට අමතරව (වට්ටක්කා, පුහුල්, තියඹරා, කැකිරි, අබ, බටුමිරිස්, කූරපලා, අසමෝදගම්, වැ‍ටකොලු යනාදිය මීට අයත් ය. මීට මාතලේ ඉසව්වේ “දඹු” හේන කීවේ ය. (2) මූකලාන්හේන රූස්ස ගස් කැපෙන හේනයි. අද කැලෑ පාළුවන් සේ මහ ගස් මුලින් ම බිම දමා ඉරා ගත්තේ නැත. ගස් කඳු බා පොලවට හිරු ආලෝකය ලබා ගති. කඳු බාන අතු, රිකිලි බවට පත් කර, පොළවට ම සමතලා (පෙන්) කළේය. (3) අත්දඩුවා හේන වූයේ අත්ගොබයක් පමණ වන කැලෑ කපා ගිණි ලාගාන හේනයි. (4) කනතු (ඇතැම් ප්‍රදේශවල) පැලැස්ස හේන පදුරු කපා බීජ වපුරා උදුලු ගාන හේනයි.

විශේ්ෂයෙන් හේන වියළි කාල ගුණැති රජරට හාරු හුණු ගිරුවා පත්තුවේ ඇත්තන්ට වටිනාකම් දුන් පරවෙනි ගොවිතැනකි. මාතලේ රත්තොට - ලග්ගල ද, හතර කෝරලේ ද, මොණරාගල, දිඝවාපි අම්පාර, පානම්පත්තුවේ ද, මයියංගනය, දඹාන ආදි වශයෙන් රට පුරා ද පැතුරුණ ගොවිතැනකි. තද ඉරෝඩර ඇති කාලවලදී වැව් තාවුලු වල ද හේන් වගාකර ඇත. (5) “තාවූලුහේන” බැරිම තැනකදී ගම්වැසි සියල්ලෝම එකමුතුව පංගුවට වගාවකි. එහිදී ද ජලපෝෂක උඩංගෙනේට මෙන් ම තාවුල්ලේ සීමාවැට පැන “පෝටවැටි” දෙසට නාවේය.

හේන් වගාවේ අග්‍රස්ථානය ලැබුණේ සියලු ධාන්‍ය වර්ග අතරින් කුරහන් වලටයි. කුරහන් අහාරයෙන් දෙවෙනි වූයේ බතට ම පමණකි. බත නැතිදා ජනයාට දිවි රැක දුන්නේ කුරහන් ය. කුරහන් වටා අපට ම අනන්‍ය වූ සංස්කෘතියක් ද බිහි විය. මේ වටා ගෙතුණ කවිරාගන්, කථාලතා, චාරිත්‍රධර්‍ම රාශියක් ම පවතී. එසේම කුරහන් විවිධාකාර ක්‍රම වලට සකසා භුක්ති විඳියි. කුරහන් හා බැඳුණ ජන බලයේ වටිනාකම් දේශපාලන භාවිතයෙන් ද තහවුරු වෙයි. නිදහස ලැබුණ මුල් කාල‍යේදී ම ගිරුවාපත්තුවේ රාජපක්ෂවරු කුරහන්පාට සාටකය පළඳින විට රජරට සමසමාජ පක්ෂයේ පතිරාජ තෙන්කොන් මැතිදුන් කුරහන් සුවඳට පෙම්බැඳි කවි පද බැන්දා ය.

“නිල බල රදල බල යටපත් කරන්නෙමි

අධි රද වාදයේ මල බෙර වයන්නෙමි

මියැදෙන තුරාවට රජරට හිදින් නෙමි

කුරහන් සුවඳ පන මෙන්මා රකින‍්නෙමි”

“හේන්” පිරිසක් එක්ව එක යායට කොටා, ගිනි තබා වැඩ කළේ ආරක්ෂාව, වැට, පැල්ලැගීමේ පහසුව, සලකාගෙන ය. සරු නිසරු බිම කාටත් ලැබෙන සේ “මුල්කැටා” හේන බෙදා ගැනුණේ කරත්ත රෝදේ ගරාදි යේ මැදසිට විහිදවමින් ය. ඍජුකෝණාශ්‍රයක හැඩයට “ඉරවිලි” නමින් තවත් ක්‍රමයකට හේන බෙදා ගත්තේය. ගොවිතැනේ කුරහන් භූමිකාව ගැන බොහෝ ‍ෙද් කියන්නට ඇත. හේන්කෙටීම, ගිනි තැබීමේ චාරිත්‍ර, වැටපැල්ලැගුවේ සිරිත්, කුරහන් කරල් කැපීම, වේළිම, ඇට කිරීම, ඇසුරුම් අටුව, දුම්මැස්ස, පිටි ඇඹරීම, විවිධ කෑම (රොටි, පිට්ටු, හැලප, කැඳ, තලප සෑදීම ආදිය තොරතුරු බොහෝ ඇත.

කුරහන් වගාවේ ස්ත්‍රී පාර්ශ්වයට බොහෝ වැඩ ඇත. විශේෂයෙන් ඇඟිලි සහිත කුරහන් එක බැගින් කැපීම ඉතා දුෂ්කර කාර්යයකි. වේළීම, බිම්මල් වණේ දමා කෙටීම, වංගෙඩියේ දමා පොතු ඇරීම (එලකිරීම) ඇට සෝදා ගරා, වේළීම, කුරක්කන් ඇට පදමට රත්කර පිටි කිරීමට ගලේ දමා ඇඹරීම, ආහාර වේලට සුදුසු වන කෑම වර්ග සෑදීම යනාදියයි. ඉතින් ඒ ඇත්තෝ මේ වැඩ කරද්දිත් කවියට නඟා ආඩාපාලි කීවේ තමුන් මරන්ඩ කුරක්කන් හැඳුණ බවයි.

“ගල්වානේ මහ යා‍යේ කුරක්කන්

අත දිග හැරමිටි මොළවන සුරුක්කන්

ඇගිලි ඉහිරිලා එන රුව කුරක්කන්

ගැහැනු මරණ ඵලදාවකි කුරක්කන්”

අපේ දිවි රැකදුන් කුරක්කන් පිටිවලින් විවිධාකාර ආහාර හදා ගත හැකිය. ප්‍රණීත රසය මෙන් ම බොහෝ ගුණදායක ය. කුරහන් පිට්ටු අත පදමට වතුර යොදා වැලි කැට පමණට “ගොලගැට” තනා වන්ඩුවේ තම්බා කෑමට ගනී. කිරි දී කිරි දමා ගත් විට දිව්‍ය භොජුනකි. ජන සාහිත්‍යයේ කුරහන් හා බැඳුණ ජන කවි රැසකි. කුරක්කන් රොටිය සම්බල් වෑංජන සමඟ සේම මී පැණි සමඟ අහරට ගනී. නිතර රොටී දීමෙන් කිපුණ පුරුෂයකු මුවින් පිටවූ කිවියකි මෙය.

“රොටී රොටී හැමදාටම උයන රොටී

පැටී සේම ගුලි කර කර වඩන රොටී

තැටී සේම ළිපවට කර තියෙන රොටී

රොටී නිසා කයි දවසක මගෙන් ගුටී”

“කුරහන් කැඳ” ප්‍රණීත රසැති ‍ඖෂධයකි. කුරහන් “තලප” ය ද වෑංජන සමඟ ගන්නා බර අහරකි. මීට අමතරව “හැලප” වර්ග කීපයක් ද අතුරු පසසේ කෑමට ගත්තේ ය. කුරක්කන් වටා බොහෝ ජනකවි ගායනවා වී ඇත. අපේ ගම් පළාත්වලට ඉඩෝරය අල්ලන කාලසීමාවේ කැලේ සිව්පා සතුන්ටත් ආහාර නැත. ඉතින් උන් හැමෝම කුරක්කන් හේනට වදියි.

 

“වැටිය උඩින් පැනලා හේනට එනවා

කොට වලිගය වන වනා කිරි කුරහන් කනවා

දත් හඬ ඇහෙන කොට මගෙ ඇඟ වෙව්ලනවා

පිටියේ දෙවි අනින් ඌරා මර වනවා”

කුරක්කන් පැසී එන විටම කපාගත යුතුයි. මේ කාලයට අව්ව ඉතා තදින් පායයි. නමුත් ගෘහනිය අව්ව විද දරා ගනිමින් ඵලදාව නෙළා දෙයි.

වප් මස බිනර මස වපුරන බිජු මෙව්වා

දුරුතු තුන වම් මස පායන තද අව්වා

පුංචි මගේ පිට දනවා බැරි අව්වා

කාට කියන්නද හිමියෙනි දුක මෙව්වා

කුරහන් සංස්කෘතිය තුළ පවුල් ආරවුල් අඬ දබර තිබුණත් ගොවිතැන විනාශ කරගත්තේ නැත. හේනේ අයිතිය ඵලදාව ලබනතුරු ම ඉවසා සිටිය හ.

“කුරක්කන්නේ ද හේනෙ පැහෙන්නේ

නරක්කන් තමා හිමි උඹ කරන්නේ

නරක්කන් කොතෙක් කෙරුවත් බොලන්නේ

කුරක්කන් අ‍ඳේ ඇන්නයි ඇරෙන්නේ”

අපේ රටේ කොයි ඉසව්වේ වුවත් ඕනෑම නියං සමයක ලැබෙන දිය පොදෙන් කළ කුරහන් ගොවිතැන දිවි පෙවත රැක්මට මහෝපකාරී විය. රාජරාජ මහමාත්‍යාදීන්ටත් උතුම් දානමාලාවල් පුදන්ටත් කුරක්කන් වලින් සාදාගත් ආහාර ඇතුළු විය. කුරක්කන් පිටි ඇඹරීමේ දුෂ්කරතාව නිසාම ඊට “ඇඹුරුම්කවි” වෙනම පට බැදුණි.

“ගමේ ගෑනු ඔක්කොම නිදි බොලන්නේ

මගෙ නෙත් දෙකට කවද ද නින්ද යන්නේ

ඇයිද ගලේ ඔය හොර දඟ කරන්නේ

ඇට පොතු නැතුව පිටි ඇඹරී වැටෙන්නේ”

ජීවිත පිරිමැස්ම, මේ උතුම් බෝගයත්, කුරහන් සංස්කෘතියත්, අපට ලබා දුන් බව සත්‍යයකි. නමුත් අද වන විට කුරහන් ඇටයටත් පරදේශයට අතපාන්නට සිදුවීම ජාතියේ අවාසනාවකි.

අදහස්