දිවි නසා ගැනීම | සිළුමිණ

දිවි නසා ගැනීම

වැහි කාලෙට එහා ඉවුර පේන්නෙ නැති ගණං ගංවතුර ගලපුහම මං ගඟට පැන්නෙ එක්කො මැරෙන්න එහෙම නැත්තං එහා ඉවුරට යාගන්න හිතාගෙන.

ඉතිං මං භික්ෂුවට කිව්ව වැහි කාලෙදි ඔයාට මාත් එක්ක ගඟට පනින්ඩ පුළුවන්නෙ. ටිකක් දුරට පීනනකං අපි දෙන්නට එකට ජීවත් වෙන්ඩ පුළුවං. ඉන් පස්සෙ ඔයාට මැරෙන්ඩ පුළුවං. මං එගොඩ ඉවුරට පීන ගන්නං කියල.

ඔහු මා දිහැ බැලුවෙ වියරුවෙන්. ඇස් දෙක කේන්තියෙන් දැවෙනව. එතකොට මං කිව්ව ‘ඔයා මාත් එක්ක කේන්තියෙන් ඉන්න හින්ද ආයෙත් ඉපදේවි. කේන්ති අරගෙන මේ ලෝකෙ තියන කරදරවලින් බේරෙන්ඩ බෑ. ඇයි මේ මං දිහෑ කන්ඩ ව‍ාගෙ බලං ඉන්නෙ? මං අහපු ප්‍රශ්නෙට සාන්ත දාන්ත විදිහට උත්තර දෙන්ඩකො. උත්තර දෙන්ඩ බැරි නං. ‘මං දන්නෑ’ කියල කියන්ඩකො. තරහ ගන්ඩ එපා!’ මං කිව්ව.

‘දිවි නහගන්න එක පාපයක්. මට බෑ දිවි නහගන්ඩ. ඒත් මට ඕනෑ අ‍ායෙ‍ ආයෙත් ඉපදෙන්නෙ නැතුව ඉන්ඩ. මට මා සන්තකයේ ති‍යන හැම දේම හෙමිහිට අත්හැරදාල ඒ තත්ත්වයට ළඟා වෙනව’ භික්ෂුව කිව්වා.

‘කරුණාකරල මට පෙන්නන්ඩ ඔයා සත්තකේ තියන මොකක් හරි දෙයක්. ඔයා හෙලුවෙන් ඉන්න හින්දා මට පේන හැටියට ඔයා සන්තකේ කිසිම දෙයක් නෑ. මොනවද ඔයා සන්තකේ තියෙන්නෙ?’මම ඇහුවා.

සීයා මාව වළක්වන්ඩ හැඳුවා. එතකොට මම උන්දැට කිව්ව මට නානි ගෙං අවසර අරගෙනයි මේ ප්‍රශ්න අහන්නෙ. මාව නතර කරන්ඩ කාටවත් බෑ. ඔයාටත් බෑ. කියල මං උන්දැට කිව්වා.

සීය නිශ්ශබ්ද වුණාට ආත්තම්ම කියනව නං උන්දෑ භාවනා කරන්ඩ යනව වගේ ඇස් දෙක පියා ගත්ත.

‘අපුරුයි සීයෙ, ඔයා කේන්තියෙන් පිච්චි පිච්චි භාවනා කරන්ඩ වගේ ඇස් දෙක පියාගෙන ඉන්නවා. මං අහපු ප්‍රශ්නවලින් කේන්ති ඇවිස්සිල ඔයාගෙ ගුරු අතන ඉන්නව. ඒ ප්‍රශ්නවලට ඔයාගෙ ගුරුට උත්තර දී ගන්ඩ බැරුව ගිය හින්ද ඔයා දැන් හිතේ අමාරුවෙන් ඉන්නව. මට නං හිතෙන්නෙ ශ්‍රමණ වේශයෙන් ඉන්න මේ මනුස්සය දුර්වල මිනිහෙක්. කියලයි. මම කිව්ව.

පුංචි දරුවෙක් වුණාට එද‍ා ඔහු කවුරුද කියල මං හඳුන ගත්ත. කිසිම කෙනෙකුට මගෙ එක්ස්- රේ ඇස් දෙකෙන් බේරිල ඉන්ඩ බැරුව ගියා.

ඒ සන්දියෙ මං කොල්ලෙක්ය කියන එක මම අහපු ප්‍රශ්න බරපතළ විදියට නොසැලකීමට හේතුවක් නෙමෙයි. සැබෑවටම ඒක තමයි මම කවදත් සාකච්ඡාවට ලක්කරපු බරපතළම දේ. දිවි නසා ගැනීම!

ඒ වගේ ප්‍රශ්නයක් මං ජෛන භික්ෂුවකගෙන් අහපු එක අශෝභන රළු වැඩක් කියල බටහිර හැටියට හිතන අයට පේන්ඩ පුළුවන්. ඒ ගොල්ලො හිතනව ඇත්තෙ ජෛන භික්ෂුවක් කියන්නෙ පාප්තුමා වගේ කෙනෙක් හැටියට නේ.

‘ඇයි ඔයා දිවි නහගන්නෙ නැත්තෙ?’ ඒකනේ ප්‍රශ්නෙ. කරුණා කරල දැන් මට ඉඩ දෙන්ඩ ඒ ගැන පැහැදිලි කරල දෙන්ඩ.

ජෛනාගම තමයි දිවි නසා ගැනීමට ගරු කරන ලෝකෙ කියල එකම ආගම, ඒ කතාවෙන් විමතියට පත්වෙන එක ඔබේ කාරියක්. හැබැයි, ඒකට ඒ අය කියන්නෙ දිවි නසා ගැනීම කියල නෙමේ. ඒ අය ඒකට සන්තාර කියන ආධ්‍යාත්ම විද්‍යාත්මක නමක් දීල ති‍යනව. මං ඒකට විරුද්ධයි. විශේෂයෙන්ම ඒක කරන ක්‍රමේට. ඒක හරිම හිංසාකාරියි. ක්‍රෑරයි. අවිහිංසාව මත විශ්වාස තබා සිටින ආගමක් දිවි නසා ගන්න සන්තාර වගේ අාගමක් දේශනා කිරීම පුදුමසහගතයි. ඔබ එය අධ්‍යාත්ම විද්‍යාත්මක දිවි තොර කර ගැනීමක් හැටියට විග්‍රහ කළ හැකියි. නමුත් නමෙන් ඇති වැඩක් නෑ. දිවි නසා ගැනීම කියන්නෙ දිවි නසා ගැනීමමයි. ඒකෙ තේරුම පුද්ගලයා ඉන් පසු ජීවත් වෙන්නෙ නැහැ කියන එකයි.

ඇයි මං ඒකට විරුද්ධ? මං දිවි නසා ගැනීමට කෙනෙකුට තියන අයිතියට නෙමෙයි විරුද්ධ. ඒක මූලික මිනිස් අයිතිවාසිකමක් නිසාමත් නෙමෙයි. මට ජීවත් වෙන්න වුවමනාවක් නැත්තම් මට ‘ජීවත් වෙයන්’ කියල බල කරන්ඩ කාටද අයිතියක් තියෙන්නෙ? හැමෝටම කරන්ඩ තියෙන්නෙ මට පුළුවන් හැම ආකාරයෙන්ම උදව් කරන එකයි. මට පහසුව සලසන එකයි.

මතක තියා ගන්ඩ! දවසක මට නැති වෙලා යන්ඩ කැමැත්තක් ඇති වේවි. මට හැමදාම ජීවත්වෙලා ඉන්ඩ බෑ. ඒත්, මට විරුද්ධ ජෛනාගමේ දිවි නසා ගැනීමේ ආකල්පයට නෙමෙයි. ඒ ක්‍රම‍වේදයටයි. ඒ අයගෙ ක්‍රමවේදය තමයි කිසි දෙයක් නොකා සිටීම. ඒකෙන් මැරෙන්ඩ අහිංසකයෙකුට ඇති නැති තරමින් දවස් අනූවක් වත් යාවී. ඒක වධහිංසාවක් .

අදහස්