චොක­ර්බාලි | සිළුමිණ

චොක­ර්බාලි

‘චොකර්බාලි’ යනු භාරතීය ලේඛක නෝබල් ත්‍යාගලාභී ගුරුදේව රබින්ද්‍රනාත් තාගෝර් (1861 - 1941) විසින් බෙංගාලි බසින් රචනා කරන ලදුව 1903 වසරේ මුද්‍රණයෙන් නිකුත් වූ එනමින් ම යුත් නවකතාවේ ක්‍රිෂ්ණ ක්‍රිප්ලානි විසින් කරන ලද ඉංගිරිසි පරිවර්තනයේ සිංහල පෙළයි.

චොකර් බාලි යන්නේ අරුත ඇසට වැටුණු වැලි කැටය යන්නයි. ඉංග්‍රිසි පරිවර්තනයේ උප ශීර්ෂයක් ලෙස A Grain of sans යන්න යොදා තිබේ. 1914 වසරේ දී මෙය තාගෝර් පවුලේ සාමාජිකයකු වූ සුරේන්ද්‍රනාත් තාගෝර් විසින් පරිවර්තනය කොට එළි දක්වන ලද බව සඳහන් ය.

මේ බිනෝදනි නම් තුරුණු වැන්දඹුවගේ කතාව ලෙස එක් අතකින් විග්‍රහ කළ හැකි ය. ගෙදරදොර වැඩපළවල දක්ෂ ඇය තරමක අධ්‍යාපනයක් ලබා ඇති පහළ මධ්‍යම පන්තියේ පවුලක යෞවනියකි. ඇය වරක් මහේන්ද්‍ර නම් උගත් වංශවත් තරුණයාට යෝජනා වී සිටි නමුත් ඔහු ඊට අක­ැමැති වීම නිසා ඒ විවාහය සිදු වන්නේ නැත. ඉන්පසු විවාපත් වන ඇය නොබෝ දිනකින් ම වැන්දඹුවක් බවට පත්වන්නී ය. මහේන්ද්‍ර ආශා නම් දෙගුරුන් නැති දුප්පත් තරුණියකට ආවාහ වෙයි. බිනෝදිනී මහේන්ද්‍රගේ නි‍ෙවසේ නතර වන්නට එන්නේ රාජලක්ෂ්මී නමැති මහේන්ද්‍රගේ මවගේ ආශීර්වාදය ද ඇති ව ය.

ලේලියට වඩා මේ තරුණිය ඇයගේ සිත් ගන්නා අතර ඇයට බිනෝදිනී නැතිව ම බැරිවෙයි. පැටි වියේ සිට ම මහේන්ද්‍ර හා හැදුණු වැඩුණු බිහාරි නම් තරුණයෙක් ද නිතරම මහේන්ද්‍රගේ නි‍ෙවසට පැමිණෙයි. විවාහ යෝජනාවක් පරිදි මහේන්ද්‍ර ආශා බලන්නට යන්නේ ද බිහාරි සමඟ ය. මේ සිව්දෙනා දැන් මහේන්ද්‍රගේ නි‍ෙවසේ නිතර හමු වෙති.

තමා සහ බිනෝදනී එකිනෙකාගේ ඇසට වැටුණු ධුලි කැටයක් බඳු වෙතියි ද එනිසා එකිනෙකා හඳුන්වා ගැනීමට චොකර්බාලි යන්න යොදා ගනිමු යැයි ද යෝජනා කරන්නේ වැඩි උගත්කමක් නැති ආශා විසිනි. එහෙත් පසුව අත්‍යන්ත ශෘංගාරය නිසා මේ සියලු සබඳකම් බිඳී යයි. මහේන්ද්‍ර හා ආශා හැකි සෑම අවස්ථාවක ම එක් වෙති. රාජලක්ෂ්මී ට මෙය ප්‍රිය නැත. කොයිදේක වුණත් සීමාවක් තිබිය යුතු බව ඇය සිතයි. මෙසේ වුවහොත් පුතාට ඉක්මනින්ම ලේලිය එපා වනු ඇත.

ඇය සිතු පරිදි ම නොබෝ කලකින් ම එය සිදුවෙයි. බිනෝදිනී මහේන්ද්‍ර වසඟයට ගනියි. මොහු කලකට පෙර තමා ප්‍රතික්‍ෂෙප කළේ ය. එහෙත් දැන් ඔහු තමාට වසඟ වැ සිටියි. ආශා සිය නෑයන් වෙසෙන දුර ගමකට ගොස් දින කිහිපයක් ගත කරන අවස්ථාවේ වූ සිදුවීම් නිසා මහේන්ද්‍රට බිනෝදනී නැතිවම බැරි වෙයි. එහෙත් දෙදෙනාම බඹසර නොබිඳිති. සමහරවිට මහේන්ද්‍ර ඇවිටිලි කළ ද බිනෝදනීි සීමාවෙන් පැන නොඑන්නී ය.

මේ අතර බිහාරි සිය බිරියට පෙම් කරන්නේ යැයි මහේන්ද්‍ර ඔහුට චෝදනා කරයි. ඒ නිසා මිතුරු දම බිඳෙයි. ආශා ගිය නෑ නිවස වෙත බිහාරි යන්නේ ඇය එහි සිටින බව දැන නොවේ. මෙය දැන ගන්නා මහේන්ද්‍ර කිපෙයි. මහේන්ද්‍ර සහ ආශා අතර අඹු - සැමි සබඳතා බිඳෙයි.

බිනෝදනී මහේන්ද්‍රගේ නිවෙසින් සිය ගමට යයි. ඇය ආපසු ඇවිත් ඇත්තේ මහේන්ද්‍රගේ පවුල කඩා ඉහිරුවා බව ගමේ මිනිසුන් චෝදනා කරන නිසා ඇයට ගමේ සිටින්නට බැරි වෙයි. මහේන්ද්‍ර පැමිණ ඇය කල්කටාවට කැඳවා ගෙන ගොස් කල්කටාවේ නිවස්නයක ඇය නවත්වයි. එහෙත් ඒ නිවසේ රෑ ගත කරන්නට බිනෝදනී ඔහුට ඉඩ නොදෙයි.

බිනෝදනී විසින් අවුස්න ලදුව ඇයට ප්‍රේම කරන මහේන්ද්‍ර පසුව ඇය පසු පස යන්නේ උන්මත්තකයකු ලෙසිනි. ඒ අවස්ථාවල දී කතෘ විප්‍රලම්භ ශාංගාරයෙන් ඔහුගේ සිතේ වැලපුම මනා සංයමයෙන් යුතුව මනෝ විශ්ලේෂණයක යෙදෙයි. ආශා ද බිනෝදනී ද බිහාරි ද සිතන ආකාරය එකිනෙකාට වෙනස් ය. කර්තෘ ඔවුන්ගේ සිතුවිලි ශූර ලෙස වචනවලට නඟයි.

බිනෝදනී බිහාරිට ආදරය කරන අතර බිහාරි ද ඇයට ආදරය කරයි. එහෙත් සිය මළ සැමියාගේ නාමයෙන් තමා සදාකාලිකව අවිවාහක ව සිටින බව කියන බිනෝදනී තමන්ට ත්‍යාගයක් ලෙස රාජලක්ෂ්මීගෙන් ලැබුණු රුපියල් දෙදහස බිහාරිගේ සමාජසේවා වැඩවලට පරිත්‍යාග කරයි.

මෙහි එන තරුණ චරිත හතරේම පියා අභාවයට පත් ව සිටීම විශේෂයකි. මහේන්ද්‍රට ද සිටින්නේ මව පමණි. ඒ නිසා ඔවුන්ට මෙලෙස විරෝධතාවක් නොමැතිව හැසිරෙන්නට ඉඩ ලැබී තිබේ. එසේ ම මෙහි වැන්දඹුවෝ තිදෙනෙක් වෙති. තරුණ බිනෝදනී, රාජලක්‍ෂ්මී සහ අන්නාපූර්ණා යනු ඒ තිදෙනායි. අප්‍රධාන චරිතයක් වුව ද මහේන්ද්‍රගේ නැන්දා වන අන්නාපූර්ණා ද වරින්වර ඉස්මතු වන චරිතයකි.

මේ කෘතිය රචනා කරන සමය වන විට භාරතය බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ කොලනියක් ව පැවැතියේ ය. සාම්ප්‍රදායික සිරිත් විරිත් බටහිර සංස්කෘතිය විසින් කෙමෙන් ප්‍රතිස්ථාපනය කෙරෙමින් පැවැතිණි. මේ කෘතිය පුරා ඒ බව දැකිය හැකි ය.

මෙය ගෘහයක් තුළ ස්ථානගත වූ කතන්දරයකි. චරිත ඇත්තේ හයක් පමණක් වන අතර මහේන්ද්‍රගේ නි‍ෙවසින් පිටත දසුන් ඇත්තේ සීමිත සංඛ්‍යාවක් පමණි. ආඛ්‍යානය ඉතා සීමිත ය. චරිත විසින් ඔවුන්ගේ සංවාද ඇසුරෙන් අපගේ සිතේ සලරූ පෙළක් මවයි.

‘චොකර්බාලි’ ජේ.පී. වන්නිආච්චි විසින් සිංහලට පරිවර්තනය කරන ලදුව 2010 දී විදර්ශන ප්‍රකාශනයක් ලෙස එළි දක්වනු ලැබී ය.

අදහස්