කවි මඩල | සිළුමිණ

කවි මඩල

සූටික්කෝ...

සූටික්කෝ හැඩකාරයි
පියඹද්දී දඟකාරයි
නුඹ දකිද්දි මට ලෝබයි
හිත පිරෙන්නෙ නුඹ හින්දයි

කෙඳි පරඬැල් අමුණාලා
රන් කූඩුව මම හදලා
මල් පඳුරේ හංගාලා
නුඹ රැක්කේ පණ දීලා

දං රඹුටන් හිඹුටු පනා
කැව්වේ ආදරෙ පුරවා
ආදරෙ උණුසුම දුන්නේ
තටු අස්සේ සඟවාලා

නුඹ ගයනා ගී සින්දූ
සූටික්කෝ හරිම හැඩයි
පරිස්සමට ඔය කරනම්
මල් කරණම් එපා ඕං

සූටික්කෝ මේ අහපං
නුඹ අම්මගෙ පණ තාමත්
හිත පුරවා ගෙන තාමත්
බලා ඉන්නෙ නුඹ එන කම්

නුඹ තාමත් මට පුංචියි
මගේ සතුට නුඹ ගාවයි
ඇවිත් යන්න මා බලන්න
දං රඹුටන් එපා ඔන්න

හාදුවකුත් අරං එන්න
ගීතයකුත් මට කියන්න
මගේ හිතේ ගිනි නිවන්න
මට අහැකියි නිවන් යන්න

දේවි ජයවර්ධන


සිරි දළදා

බුදුන්ගේ මළ දේහයේ ශේෂ­යක්
වැඩ හිඳුවා හැදු­වාට මාලි­ග­යක්
අනිත්‍ය මෙනෙහි කෙරු­මට කම­ට­හ­නක්
දළ­දාව කිය­න්නෙම මළ ගෙයක්

තැන්නේ ඤානා­නන්ද හිමි


දළ­ඹුවා

ඇඟ පුරා
විස පිරුණු
පුදු­මා­කාර
අහිං­ස­ක­යෙක්

තුෂාරි නේරං­ජා වික්‍ර­ම­සිංහ


රාත්‍රිය

වලා සළු­පට ඉරා කදි­මට
සඳ­ව­තිය හොරැ­හින් බලයි
තව ටිකක් තණ බිම රැඳී සිට
අහස බල­මුයි ඔබ කියයි
අහස ඉම තරු මල් පිපෙයි
හොර හොරෙන් සඳ­වත බලයි
නෙක වණින් සැදි වලා සළු පෙළ
අහස හරි ලස්සන අදයි
සඳ­ව­තට තරු­ව­ලට ඉඩදී
වලා­කුළු නිහඬ ව ඉඳී
නොනි­ද­මින් මේ සොබා අසි­රිය
විඳ බල­න්නැයි තරු කියයි
හළ කවුළු අත­රින් රැයේ අද
සෙමෙන් සඳ දිය ගෙට ගලයි
එසඳ නිදි­ගත් සිහින අව­දිව
සියුම් තැන් පාරා නිදයි
ඇහැළ ගස මල්ව­ලින් පුරවා
සඳ­ව­තිය දිය ගෙන දොවයි
සොබා සිරි­යට ළැදිව ගැමි ලිය
එදෙස නෙත් හී සර විදියි
ස‍ඳ දියෙන් තෙමි තෙමී යන රැය
නින්ද තව ඈතට දුවයි
ජීවි­තය සුව යහන සත­පන
රාත්‍රිය නම් අද තමයි

ජය­සේ­කර මල­වි­ආ­රච්චි


අනි­ය­තක සොඳු­රු­බව

ඔබෙන් සමු­ගත යුතුව ඇති බවක් සිත කොනක
නිධ­න්ගත වී තිබේ ළඟ රැඳෙන හැම වරෙක
නොනිම් උල්පත මතින් සිනා නොම දී කෙලෙස
සොවින් බර අහ­ස­කට දේදුන්න ආ දිනෙක...
පිපෙ­න්නට තිබුණි නම් සදා­තන වී මලෙක
මෙවන් පෙම් වද­න්වල නොවේ මා කිසි කලෙක
පත­න්නට කැමති සුබ පැතුම ඔබ වූ කලෙක
අදින් ඈතට නොයා හිඳිමු අත ළඟ දුරෙක...

පෙමිලා ඉලේ­සිංහ


 සීතල නිවා­ල­න්නට

රැල්ලේ මා ළඟට එන්න
රැල්ලෙන් මා වෙළා­ ගන්න
දෑස් පියා මා ඉන්නම්
ඔබෙ පෙණ කැටි ඇඟ උලන්න
පෙරළි පෙරළි එන රැල්ලේ
මාත් පෙර­ළ­ගෙන ඇවි­දින්
වෙරළ ඉඳිමි හිමින් සැරේ
මා වෙර­ළට අත­හ­රින්න
එත­කොට මුදු සුළඟ වැදී
සිහින් සීත­ලක් දැනේවි
නැවත ඇවිත් මා වෙළාන
ඒ සීතල නිවා­ලන්න
රැල්ලේ මා වසා­ගන්න
මා ගත වට එතී ඉන්න
ආපසු සීතල දැනෙන්න
එපා නැවත මා මුදන්න

ඉන්ද්‍ර­පාල හබ­රා­දූව


පුංචි පහේ මං

නැඟ එද්දි සැවුල් හඬ ඈත කෙළ­වර ගමේ
නිදි බරිත ඇස් මුදා ලැබුණු මව් උණු­හුමේ
බැරි බරක් කරට ගෙන හිරු නැඟෙන කනි­සමේ
නැණ නුවණ ලැබ ගන්න පුංචි අපි සිප් බිමේ
අත්ත­කින් අත්ත­කට නිති පනින කුරුලු රැල
තෙමී මඟ නසින බව කියා ඇත ඇදුරු කැල
සිප් බිමෙන් පිටව නෙක පන්ති වෙත ඇදෙන කල
පුංචි අප ගත සිතේ දියව යයි සවිය බල
නාගන්න හැන්දෑවෙ හිරු මුහුදෙ ගිලෙන කල
ආකහේ මැවෙන හැඩ දකින ඉඩ නොමැත මට
පොත් පුරා ගෙදර වැඩ නිම කර බලන කොට
රෑ අඳුර ගුලි වෙවී ඔච්ච­මට එබෙයි ගෙට
හෝඩි පොත පුරා සිටි සාමලා අම­රලා
වෙලේ ඉප­නැල්ල මත දුවන විට හති හලා
ඇයිද මට තහ­න­මක් මං වැඩිද ලොකු වෙලා
යළිත් යන්නට දෙන්න පුංචි සන්දිය බලා

ඒ. දන්ත­නා­රා­යන
 


 

අදහස්